මහින්ද රාජපක්ෂට හදිසියේම මාධ්‍ය නිදහස මතක් වී ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහුට හිතේ අමාරුව ඇතිවී තිබුණේ සිය පුත්‍රයාගේ සීඑස්එන් නාලිකාව වසා දැමීම සහ තමන්ගේ හොරණැවක් වන ‘දෙරණ’ රූපවාහිනියට ජනමාධ්‍ය ලේකම් විසින් කරුණූ විමසා ලිපියක් යැවීම නිසාය.

සිරස සහ සියත රූපවාහිනී ආයතනද සන්ඩේ ලීඩර්, උදයන් සහ ලංකා ඊ නිව්ස් මාධ්‍ය ආයතනද සිය පාලන සමයෙහිදී ගිනි තැබූ බව සමහර විට රාජපක්ෂ මහතාට මතක නැතිව ඇත. එම අවස්ථාවන්හිදී ඔහුට ජනමාධ්‍ය නිදහස ගැන කැක්කුමක් ඇතිවූයේ නැත.

ජනාධිපතිවීමට පෙර ඔහු මාධ්‍යකරුවන්ගේ මිතුරකු විය. ඔහුට මාධ්‍ය ආවරණය ලබා දීමට රනිල් වික්‍රමසිංහ විසින් යොදවන ලද එජාප හිතැති ජනමාධ්‍ය කණ්ඩායමක්ම සිටියේය. නමුත් ජනාධිපතිවීමෙන් පසු ඔහු ජනමාධ්‍යට කීවේ ‘‘එක්කෝ මා සමඟ නැත්නම් ද්‍රෝහීන් සමඟ” යන දෙපාර්ශවයෙන් එක් පැත්තක් තෝරා ගන්නා ලෙසය. රාජපක්ෂ දශකය ජනමාධ්‍යවේදී ඝාතන, පැහැර ගැනීම්, ප්‍රහාර සහ මාධ්‍ය ආයතන වසා දැමීම සහ ගිනිතැබීම් මෙන්ම වරදාන හෝ බිය මගින් යටපත් කර ගැනීම් යනාදී බියකරු සිදුවීම් මගින් පිරී ගියේ ඉන් අනතුරුවය.

ඒ තිබියදීත් දැන් බලයෙන් ගිලහී ගිය රාජපක්ෂ මහතාට ජනමාධ්‍ය නිදහසේ අගය තේරුම්යාම හොඳ දෙයකි. මන්ද යත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය ජනමාධ්‍ය හරහා ගෙන යාමට, එය ප්‍රජාතන්ත්‍රවාදී සිමාව තුළ සිදුවන තාක්, ඒ මහතාට අයිතිය තිබිය යුතු නිසාය.

අපට වැදගත් ප්‍රශ්ණය මෙයයි. එනම් රාජපක්ෂ පෙනී සිටින්නේ තමන්ට පක්ෂපාතී ජනමාධ්‍ය ආයතනයන්හි නිදහස වෙනුවෙන් පමණක් ද යන්නයි. මෙම ආණ්ඩුව යටතෙහි ඉහත කී රාජපක්ෂ මාධ්‍ය හැරුණ විට අනෙක් මාධ්‍ය සහ මාධ්‍යවේදීන් අතවරයන්ට සහ තර්ජනයන්ට ලක් වූ නමුත් රාජපක්ෂ කටක් ඇරියේ නැත.

එපමණක් නොවේ. රාජපක්ෂ අනුගාමිකයකු බව පෙනෙන අන්තවාදී චන්ඩියකු කතා කිරීමේ නිදහස අභාවිත කරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මුස්ලිම් ජනයා ඝාතනය කරන්නට වරෙව් කියා ඝෝෂා කරන විට රාජපක්ෂ කටක් ඇරියේ නැත. බෞද්ධ චීවරයට පවා නිගා දෙන ලෙස, තවත් රාජපක්ෂ අනුගාමිකයකු බව පෙනෙන, මඩකළපුවේ සිවුරුධාරියකු එළෙසම කතාකිරීමේ නිදහස අභාවිත කරමින් කුණුහරුප දෙසමින් දෙමළ රජයේ සේවකයකු මරා දමන බවට තර්ජනය කරන විට රාජපක්ෂ කටක් ඇරියේ නැත.

ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම යන්නට එම නිදහස අනිසි ලෙස භාවිත කරමින් වෛරය වැපිරවීමට මෙන්ම අනෙකෙකුට හෝ අනෙක් ප්‍රජාවකට එරෙහිව කැරෙන උසිගැන්වීම් වලට විරුද්ධවවීමද අයත්ය‍. කවර හෝ අයිතියක් මගින් වෙනත් අයකුගේ අයිතියක් පාගා දැමීමට ඉඩක් නොතැබිය යුතුය. ප්‍රකාශණයේ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ එවැනි අව භාවිතයන්ට ඍජුවම විරුද්ධ වීම මගිනි.

සෘජුවම දක්නට ලැබෙන ඥාණසාර පන්නයේ වෛර ප්‍රකාශණ හැරුණ විට පුළුල් අර්ථයෙන් ප්‍රකාශණයේ නිදහස අවභාවිතයේ යෙදවීම යන්න තුනී බෙදුම් ඉරකින් තීරණය වන කරුණකි. බොහෝ විට මෙම බෙදුම් රේඛාව බොඳව ගිය සහ වක ගැසුණු එකකි.

ප්‍රජානත්ත්‍ර විරෝධී පාලකයින් මහජනයාගේ ප්‍රකාශණයේ නිදහස පාලනය කිරීමට යොදා ගනු ලැබ ඇත්තේ ද මෙම න්‍යායමය. එනම් මාධ්‍ය නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේය යන කඩතුරාවට මුවාවී මර්දනය දියත් කිරීමයි.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්ද පසුගිය කාලය පුරා තමන්ට අවාසිදායක පුවත් පළ කරන්නේයැයි හඟින මාධ්‍යයන්ට සිය විරෝධය විවිධාකාරයෙන් පළ කර තිබේ. එයද ඔවුන්ගේ අයිතියකි. එසේ නමුත් එම විරෝධයන් ප්‍රකාශ කරන ආකාරය සමහර විට පෙන්වන්නේ මර්දනයක පෙර ළකුණූය.

උදාහරණයක් ලෙස අගමැති වික්‍රමසිංහ මෑතදී විජය පුවත්පත් ආයතනයේ ඩේලි පයිනෑන්ෂල් ටයිම්ස් නම පුවත්පත වැසිකිළී යාමෙන් පසු පුක පිසදැමීමට ගන්නා කඩදාසි හා සම කිරීම ගත හැකිය. වරක් එම පුවත් පතෙහි කර්තෘවරයාට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් අගමැතිවරයා කියා සිටියේ වැඩිකල් නොගොස් ඔහු ගෙදර යවන බවයි. (විජය පුවත්පත් ආයතනය ඔහුගේ මාමාගේය). අගමැති වික්‍රමසිංහ මෙරට ජනමාධ්‍ය දෙස බලන්නේ සතුරකු ලෙසය. එය යහපත් ලක්ෂණයක් නොවේ. ජනාධිපති සිරිසේනද ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වන්නේ ‘ ආණ්ඩුවේ හොඳ වැඩ වලට ප්‍රචාරයක් නොදෙන අපට විරුද්ධ ආයතන රටාවක්’ ලෙසය.

මෑතදී ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ විසින් ‘දෙරණ’ රූපවාහිනියට යවන ලද රාජපක්ෂ මහතා විසින්ද සදහන් කරන ලද ලිපියද එක්තරා අන්දමක මාධ්‍ය පාලනයක නිමිත්තකි. එයින් බෝපගේ කියන්නේ ‘සත්විරු සංහිඳ’ උත්සවයේදී ජනාධිපති විසින් කරන ලද කතාව, එහි හරය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කොට දෙරණ රූපවාහිනිය එදින රාත්‍රී සිය ප්‍රවෘත්ති විකාශයනය කරන ලද බැවින් දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවය. කවරකු හෝ කරන කතාවක කවර හෝ කොටසක් ප්‍රචාරය කිරීමට කවර හෝ ජනමාධ්‍යකට අයිතියක් තිබේ. එම තීරණය එකී ජනමාධ්‍ය සතු එකක් මිස එම කතාව කළ පුද්ගලයා සතු එකක් නොවේ.‍වරදක් වන්‍නේ කතාවක් තැනින් තැන කපා කොටා යළි එකට අළවා සහමුලින්ම වැරදි අර්ථයක් ලබා දීමට උත්සාහ ගන්නේ නම් පමණි.

ජනමාධ්‍ය ලේකම්වරයා පෙන්වා ඇත්තේ වඳුරන් එළවීමට රජතුමාට කඩුවෙන් කෙටූ මෝඩ වඳුරාගේ ආදර්ශයයි. පුද්ගලික අංශයේ ජනමාධ්‍යන්ට වාර්තා කළ යුතු සැටි ඉගැන්වීමට වඩා ඔහු යටතේ ඇති රාජ්‍ය මාධ්‍ය ගොන්නට මහජන සේවා ජනමාධ්‍ය අගයන් කියා දුන්නේ නම් වැඩක් වෙන්නට තිබුණි.

මාධ්‍ය ආචාරධර්ම බලයෙන් ගෙන ඒමට රාජපක්ෂ ආණ්ඩුවද උත්සාහයක් ගත්තේය. එය පරාජය වුයේ මෙරට ජනමාධ්‍ය ඊට එරෙහිව නැගී සිටි නිසාය.

දැන් වත්මන් ආණ්ඩුවද ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් සඳහා කෙටුම්පතක් දැන් ඉදිරිපත් කර තිබේ. එහි බොහෝ යහපත් දේ තිබුනද එය මනාලිය නැති මඟුලක් වැන්න. එනම් ආණ්ඩුව යටතේ ඇති එනමුත් මහජන දේපලක් වන එමෙන්ම සහමුලින්ම දේශපාලන වශයෙන් පාලනය කැරෙන රාජ්‍ය මාධ්‍ය ගැන වචනයක්වත් එහි නැති නිසාය.

අප මුලින්ම මෙම කෙටුම්පත ගැන කියා සිටිය යුත්තේ එයයි. කරුණාකර රාජ්‍ය මාධ්‍ය අවභාවිතය නතර කිරීමට යෝජනා රැගෙන එන්න. එසේ නැතිව දැවැන්ත රාජ්‍ය මාධ්‍ය සිය දේශපාලන හෙංචයියන් ලවා පාලනය කරමින් රාජ්‍යට අයත් නැති මාධ්‍යට නීති පැනවීමට සදාචාරවත් නැත.

පුද්ගලික අංශයේ ජනමාධ්‍ය සදාචාරවත් යැයි ඉන් අදහස් නොවේ. මෙරට ජනමාධ්‍ය කාර්යාල (මා දන්නේ සිංහල පුවත්පත් ගැන පමණි) දේශපාලන පක්ෂ කාර්යාල තරමට දේශපාලනීය වී තිබේ. ජනමාධ්‍යට හෝ තත්කාලීන වර්ධනයන් ගැන ජනමාධ්‍යවේදීන්ගේ දැනුම ද වැටුප මෙන්ම ඉතා පහළය. එම කාර්යාලයන්හි විද්වත්බවක් නැත.

ආණ්ඩුව ජනමාධ්‍ය ප්‍රමිතීන් සඳහා වන සිය කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන ලෙස ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ. අප එම අවස්ථාව මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා යොදා ගත යුතුය. ආණ්ඩුවේ විවෘත ආකල්පය පැසසුම් කටයුතුය.

ජනමාධ්‍යය වෘත්තීයේ ප්‍රමිති පවත්වාගැනීමට අවශ්‍ය නිසි බලතල සහිත ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම පිණිස අවශ්‍ය කරන කටයුතු ඉටු කිරීමට ද රජය සූදානම් බව කියන ලියැවිල්ල මෙසේ ද කියයි:

‘‘මෙකී යෝජිත ස්වාධීන මණ්ඩලය ජනමාධ්‍යයේ ස්වයං නියාමන විධික්‍රමය අධීක්ෂණය කරන අතර, හිතාමතා වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය කඩකරන අවස්ථාවල දී ඒ සම්බන්ධ තහංචි පැනවීමට ද එයට බලය හිමි වෙයි. තොරතුරු අයිතිය පිළිබඳ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අනුගමනය කළ විධි ක්‍රමය මෙකී මණ්ඩලයේ ස්වාධීනතාවය තහවුරු කිරීම පිණිස ද අනුගමනය කළ හැකිය. මණ්ඩලයේ සංයුතියෙන් තුනෙන් දෙකක් ජනමාධ්‍ය ප්‍රකාශකයන් හා ජනමාධ්‍යකරුවන්ගේ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද ඉතිරිය සිවිල් සමාජ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද සමන්විත විය හැකිය.”

දැන් පැමිණ තිබෙන්නේ අපේ වාරයයි. මෙය මර්දනයක් නොව වර්ධනයක් බවට පත්කර ගමු.

sd-120සුනන්ද දේශප්‍රිය | Sunanda Desahpriya