කියුබන් විප්ලවීය නායකයා, ෆිඩෙල් කැස්ත්‍රෝ(90) ඊයේ උදෑසන මිය ගිය පුවත හවානා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රකාශ කලා. ඊට පස්සේ ඒ පුවත ලෝකය පුරාම ප්‍රධාන පුවත වුනා. ෆිඩෙල් කියන්නේ 20 සියවසේ දැවැන්තයෙක්. පරපුරක අවසාන පුරුකක්. කැරිස්මැටික් නායකයෙක්. වමේ වීරයෙක්.

මේ සියල්ල අතරේ මට ෆිඩෙල් මිශ්‍ර චරිතයක්. වීරයෙක්ට වඩා ඉතිහාසය සහ වම පිළිබද පාඩමක්. අනාගත වමක් ගැන වැඩසටහන් හදන කොට ෆිඩෙල් මගහැර යන්න බැරි කොටසක්. ඒ නිසා ෆිඩෙල්, චේ මේ අය ගැන රොමෑන්තික වෙනවට වඩා විචාරශීලී වෙන එක ඒ අය සහ අපි දෙගොග්ලෝම විශ්වාස කරන වාමාංශය ගොඩැනැගීමට උපකාරයක් වෙයි කියලා අපට හිතෙනවා.

බැරිස්ටාගේ ෆැසිට් පාලනය පෙරලන්න වාමාංශයට බරව කටයුතු කරපු ෆිඩෙල්ට ජාත්‍යයන්තර වමේ විප්ලවය එක මොහෙතකදි මගහැරෙනවා. වඩා වැදගත් වෙනවා කියුබාව තුළ බලය පවත්වාගෙන යෑම. එක් අතකින් ඇමරිකානු පීඩනයේ අභිමුව සිටීමම එයට ප්‍රධාන හේතුවක් වෙනවා.

ලෝකය පුරාම විප්ලවාදීන්ට වාමාංශික ජවයක් ගෙනදුන් ෆිඩෙල් කියුබාවේ ප්‍රධානියා වුනාට පස්සේ මගහැරුනු අනෙක් අරගල අප්‍රමාණයි.

අපට ආසන්තම උදාහරණය සපයන්නේ ලංකාව තුළින්මයි. 1971දී මතුවන තරුණ අරගලය මඩින්න කියුබාවේ අරගල කරපු කැස්ත්‍රෝ සිරිමාවෝ බණ්ඩාරනායකට සහය පිණිස යුධ ප්‍රහාරක යානා පවා එවීමට සූදානම් වෙනවා. 1988 – 89 තරුණ කැරැල්ලේදී කියුබාවේ කැරලි ගහපු කස්ත්‍රෝ ලංකාවේ කැරැල්ල අති බිහිසුනු ලෙස අතුගා දමන්න ජේ.ආර් ගේ ලගින්ම ඉන්නවා විතරක් නොවෙයි ජේ.ආර් ට ඉස්තරම්ම හවානා සුරුට්ටුක්ද තෑගි ලෙස එවනවා. ඒ විතරක් නොවෙයි ඒ කාලයේදී ලංකාවේ මානව හිමිකම් වැනසීම වලට එරෙහිව ගෙන ආ සියලු ජාත්‍යයන්තර යෝජනාවලට එරෙහි වෙනවා.

ඊට පස්සේ ෆිඩෙල්ට මගහැරෙන්නෙ කාලාපයේ හැඩය වෙනස් කිරීමට තිබූ අරගලයක්. ඒ දෙමළ විමුක්ති අරගලය. දෙමළ ජන සංහාරක යුද්ධයේදී ෆිඩෙල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ළගම මිත්‍රයෙක් වෙනවා. යුද්ධයේ අවසාන අදියරේදී දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කිරීමට සහ යුධ අපරාධ වලට පිළිබද ගෙන ආ සියලුම යෝජනා වලදී ෆිඩෙල් හෙවත් කියුබානු දේශපාලන අධිකාරිය දෙමළ ජනයාගේ යුක්තියට එරෙහිව අන්ත දක්ෂිනාංශික රාජපක්ෂලා සමග එකට සිටගන්නවා.

මේවා ඉතිහාසය තුළ අපට හමුවන ෆිඩෙල්මය පාඩම්. වාමංශික පසුබිමක් සහිත විප්ලවයකින් බලය අල්ලගත්ත නායකයෙක් අන්ත දක්ෂිනාංෂික ලංකාවේ රාජ්‍ය නායකයන් සමග එකට පෙළගැසීම තුළ අපට උගන්නව පාඩම තමයි බලය අල්ලා ගැනීමෙන් පසු නව ජාත්‍යයන්තර වමක් සම්බන්ධව ෆිඩෙල් ප්‍රමුඛ කියුබන් කොමුයුනිස්ට් පක්ෂයට තිබූ දැනුමේ දුබල කම.

විශේෂයෙන්ම ඊනියා ඇමරිකානු විරෝධයට එහා ගිය සැබෑ වමක් සම්බන්ධව ක්‍රියාත්මක වීමට තිබූ නොහැකියාව.

කියුබාව බැරිස්ටාගේ පාලනය පෙරලා දැමීමෙන් පසු ප්‍රගතිශීලී ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ යම් ප්‍රමාණයක් වුනාට සමහර සමාජ අගතීන්ට ආමන්ත්‍රණය කිරීමට කැස්ත්‍රෝ අසමත් වෙනවා. ඒ අසමත්වීම කියුබාවට පමණක් නොවෙයි එය ලතින් ඇමරිකානු වමට බලපෑමක් ඇතිකරන්නක් බවත් අප මතක් කරගත යුතුයි.

වාර්ගවාදී ලක්ෂණයන් කියුබා කොමියුනිස්ට් පක්ෂය විසින් අලුතෙන් හදුන්වා දුන්නද සමාජය තුළ වූ වාර්ගවාදය පරාජය කීරීමට තීරණාත්මක පියවරවල් ගැනීමට ෆිඩෙල් අසමත්විය.

අනෙක් පැත්තෙන් කියුබන් වාමාංශය ජාත්‍යයන්තර වමක් වෙත රැගෙන යනවා වෙනුවට ඊනියා ඇමරිකානු විරෝධය මත පදනම් වෙමින් කියුබානු ජාතිකවාදයක් නිර්මාණය කළේය. කියුබානු කම්කරු පන්තිය තවත් අගතියක සිරකර දැමීමට ඒවා තවත් උදව් වී තිබේ.

ඊටත් වඩා සිදුවූ අගතිය වුයේ කියුබාව වාමාංශික සංවාදයකට යනවාට වඩා ෆිඩෙලියානුකරනය වීමයි. එය වාමාංශික දේශපාලනය පිළිබද සංවාදය වඩා පුලුල් කරනවාට වඩා එය කැස්ත්‍රෝ මත යැපෙන තත්ත්වයක් දක්වා වර්ධනය වීම කියුබානු වමට එල්ල වූ මරු පහරක්.

නාගරික සහ ගම්බද විශාල පුද්ගිලක දේපල කියුබන් රාජ්‍යයට නැවත අත්පත්කර දෙමින් 1961 දී ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් සමාජවාදී රාජ්‍ය ලෙස කියුබාව නම් කල ද විශේෂයෙන්ම කියුබානු කම්කරු පන්තිය සහ පාලක පන්තිය අතර ඇතිවූ ආර්ථික වෙනස සුලුපට නෑ. කම්කරු පන්තිය බලය ගන්නවා වෙනුවට පුද්ගල සහ කණ්ඩායම් පාලක පන්තියේ මතය ආදා ගැනීමට සෑම ධනවාදී සමාජය සිදුවන ලෙසටම ෆිඩෙල්ගේ නායකත්වය යටතෙත් සිදුවුනා.

ෆිඩෙල් යටතේ කියුබානු ජනයාට ලබාදුන් ජයග්‍රහණයන් අතර අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රධානම තැන ගන්නා අතර ඒවා පමණක් අනාගත වමාංශය ගොඩ නැගීමට ප්‍රමාණවත් වුනේ නෑ. ඒවායේ ප්‍රතිපලයක් විදිහට තමයි දැන් ෆිඩෙල්ගේ අනුප්‍රතිකයා රාහුල් කැස්ත්‍රෝ විසින් තනි පක්ෂ ක්‍රමයක් පැවතිය දීම පුද්ගලික ආයෝජකයන්ට වෙළද පොල විවෘත කිරීමේ වියට්නාම් පන්නයේ ආර්ථික මොඩලයක් හදුන්වා දෙන්න වෙන්නේ.

කෙසේ වෙතත් ෆිඩෙල් කස්ත්‍රෝ යනු ඉතිහාසයේ පීඩනයට එරෙහිව නිදහසේ සිහින සමග අවි අතට ගත් පරම්පරාව අවසන් පුරුකකි.

එළබෙන හෝරා කීපයම ෆිඩෙල් ගැන බොහෝ දේ කථාකරනු ඇත. නමුත් ඒ අප නොව රාජපක්ෂ වැනි තක්කඩිය. අපට වැදගත් ෆිඩෙල්ලා ගැන කථකාරීම නොව ඔවුන්ට වැරදුනු තැන්වලින් ඉගෙන ගැනීමයි.

කවුරුන් හෝ ෆිඩෙල්ට නිවන් සුව ලැබේවා කියා සාමාජ ජාලාවක සටහනක් ද තියා තිබෙනු දුටිමි.

අප කියන්නේ, සුබ ගමන් කොම්රේඩ්, ගිහින් එන්න. ගමන දිගුවූද රලු වුවද සිහින මියදෙන්නේ නැත.

පසන් ජයතිලක
| Pasan Jayathilaka