අනාදිමත් කාලයක් තිස්සේ චීන ආර්ථිකයේ ප‍්‍රධාන අංශය වුණේ කෘෂිකර්මාන්තයි. ජනතාවගෙන් බහුතරයක් මේ මෑතක් වන තෙක් ජීවත් වුණේ ගම්වලයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් පාලනය පටන් ගත් දා සිට එරට පාලනය කළ මා ඕ සේතුංගේ පාලන කාලය අවසන් වන විට චීනයේ ගොවියන් අන්ත දිළිඳු භාවයට යට වී සිටි අතර, එකල ක‍්‍රියාත්මක වූ විනාශකාරී ප‍්‍රතිපත්ති හේතුවෙන් එම ජනතාව මුළුමණින්ම අපේක්ෂා භංගත්වයට පත්ව, චිත්ත ධෛර්යයෙන් බිඳ වැටී සිටියහ. මා ඕ සේතුංගෙන් පසු බලයට පත් වූ ඩෙං ෂියා ඕ පිං චීන ජනතාව වෙත වාසනාව සහ සමෘද්ධිය ගෙන ඒමට සමත් විය. ඔහු ස්වකීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ පටන් ගත්තේ රට පුරා විසිරී පැවති යෝධ ග‍්‍රාමීය ආර්ථිකයෙනි.

මා ඕ සේතුංගේ ප‍්‍රතිපත්තිය යටතේ පැවති විදේශ වෙළඳාම ඉතා අල්ප විය. 1980 වන විට, ඩෙං ෂියා ඕ පිං ආණ්ඩුව, ‘විශේෂ ආර්ථික කලාප’ පහක් ස්ථාපිත කොට තිබුණි. එහි ඉලක්කය වුණේ, විදේශ ආයෝජනය හා තාක්ෂණය ආකර්ශනය කර ගනිමින් අපනයන වෙළඳපොළ සඳහා නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. මේ ව්‍යාපෘති අතිශය සාර්ථක භාවයක් අත්කර ගත් නිසා, තව තවත් අළුත් ආර්ථික කලාප බිහි කෙරුණි. එය, 1990 අවසානය දක්වාම දියත් විය.

ඩෙං ෂියා ඕ පිං බලයට පත්වීමත් සමගම රටේ විසූ දිළිඳුම කොටස් තමන්ගේම වන ව්‍යාපෘති යටතේ නව කෘෂිකාර්මික ක‍්‍රම අත්හදාබලන්ට පටන් ගත්හ. 1979-1989 කාලය තුළ ගොවිතැනේ සහ ඊට අදාළ වෙනත් අංශවල දළ නිෂ්පාදනය සියයට 75 ට වැඩි ප‍්‍රතිශතයකින් වර්ධනය වුණේය. එය, 1949 න් පසු, එනම් සමාජවාදී සමාජ ක‍්‍රමයක් ඇති කර ගත් දා සිට චීනය එම අංශයෙන් අත්කර ගත් විශාලතම වර්ධන අනුපාතිකයයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඩෙං ෂියා ඕ පිං ලැබූ සාර්ථකත්වය කෙතෙක්ද යත්, මිලියන 100 ගොවි ජනතාවක් දිළිඳු භාවයෙන් නිදහස් කර ගැනීමට සමත් විය.

එම පාලනය යටතේ ඉතා වැදගත් පරිවර්තනීය අංශ තුනක් ඉදිරියට ගෙනාවේය. එනම්, නාගරීකරණය, කාර්මීකරණය සහ වෙළදපොළකරණයයි. මේ ක‍්‍රියාවලීන් අතර තුලනයක් පවත්වා ගන්නා අතරේම යෝධ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් දියත් කිරීම රාජ්‍ය නායකයාටත් ඔහුගේ කණ්ඩායමටත් ලෙහෙසි පහසු කාර්යයක් නොවුණි.

මේ සමස්ත ක‍්‍රියාවලිය හඳුන්වන ලද්දේ, ‘නිර්-කෘෂිකාර්මීකරණය’ යනුවෙනි. ‘පාවෙන ජනගහනයක්’ වශයෙන් හඳුනාගෙන තිබූ දසලක්ෂ ගණන් ගොවි ජනතාව හෙවත් රටේ මුළු ජනගහනයෙන් දළ වශයෙන් සියයට 10 ක් පමණ වන ජනතාව, විශාල ප‍්‍රමාණයේ සහ මධ්‍යම ප‍්‍රමාණයේ නගරවල රැකියා සොයා ගැනීමට සමත් වූහ. එය ග‍්‍රාමීය ගොවි පවුල්වලට අතිරේක ආදායමක් උත්පාදනය කර දෙන ප‍්‍රධාන මාර්ගයක් බවට පත්විය.

එසේම ඩෙන් ෂියා ඕ පිං නායකත්වය යටතේ තව තවත් ගොවි ජනතාව මහ නගර සහ කුඩා නගරවල පදිංචි කැරැවීය. ඒ මාර්ගයෙන්, කාර්මීකරණ සහ නාගරීකරණ ක‍්‍රියාවලියට ලොකු තල්ලූවක් සැපයීය. එයම, ඔවුන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීමට ඉවහල් විය. 1970 වන විට චීනයේ තිබුණු නගර ප‍්‍රමාණය 3000 කටත් අඩු ය. වර්ෂ 2000 වන විට එම ප‍්‍රමාණය 17,000 ත් ඉක්මවා තිබුණි. සීග‍්‍ර නාගරීකරණ ක‍්‍රියාවලියේ කොටසක් වශයෙන්, ග‍්‍රාමීය ප‍්‍රදේශ යාබද ප‍්‍රධාන නගරවලට අනුයුක්ත කර ගැනීමට රජය මගින්ම උනන්දු කැරැවුණි.

මේ විපර්යාසය තුළ, 1988 දී ප‍්‍රථම පියවරක් වශයෙන්, ගම් මට්ටමේ මැතිවරණ හඳුනාදෙනු ලැබුණි. ඊළඟට එය, නගර මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගැනුණි. මේ ආශ‍්‍රයෙන් පැන නැගුණු විවිධ මතභේද නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදනයක් වශයෙන් 2002 දී ‘ඉඩම් ගිවිසුම් නීතිය’ ස්ථාපිත කෙරුණු අතර ග‍්‍රාමීය චීනයේ විවිධ සම්බන්ධතා සඳහා මාර්ගෝපදේශ සැපයීමද ඒ මගින් සිදු කෙරුණි.

ඉතිහාසයේ හැම දාමත් දේශපාලන තන්ත‍්‍රයන්ගේ නැගීම සහ කඩා වැටීම කෙරෙහි ප‍්‍රධාන වශයෙන් ඉවහල්ව ඇති සාධකය වන්නේ ජනතාවගේ සුභසිද්ධිය බව ඩෙං පියා ඕ ෂිං අවබෝධ කර ගත්තේය. මේ කාලය තුළ, සමාජ අසහනයන් සහ වෙනත් කඩාකප්පල් වීම් සිදු නොවන තැනට වගබලා ගැනීමට රටේ නායකයෝ විශේෂයෙන් සැලකිලිමත් වූහ. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළ ඩෙං ෂියා ඕ පිං රජය, නැති වූ ජනතා ප‍්‍රසාදය යළි දිනා ගැනීම සඳහා වඩාත් උචිත විකල්ප සොයන්නට විය. (මාරාන්තික යුද්ධයක් සහ කැරලි දෙකකට මුහුණදී ඇති සහ ලක්ෂයකට වැඩි ජීවිත ප‍්‍රමාණයක් විනාශ කරගෙන ඇති ශ‍්‍රී ලංකාවේ නායකයනුත් එසේ වගකීමෙන් යුතුව කටයුතු කරයිද, නැතහොත්, තමන්ගේ මඩි තර කර ගැනීම සඳහා වෙන කිසිවක් ගැන නොසිතා කටයුතු කරයිද?)

ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයේ ගාමක වේගයක් අත්පත් කර ගැනීමට උරදෙන අතරේම සමාජ විරෝධතා නිශ්ක‍්‍රීය කිරීමටත් ඩෙං ෂියා ඕ පිං ආණ්ඩුව පියවර ගත්තේය. පෞද්ගලික අංශය සහ වෙළඳපොල බලවේගයන්ට ක‍්‍රම ක‍්‍රමයෙන් රාජ්‍ය අංශය අභිබවා යාමට ඉඩ හරින ප‍්‍රතිපත්තියක් එහිදී අනුගමනය කෙරුණි. එහෙත් එහිදී ජනතාවට විශාල කම්පනයක් ඇති නොවන තැනටත් වගබලා ගැනුණි.

මේ කාර්යයේදී ඉතාමත්ම අවශ්‍ය කෙරෙන කළමනාකරණ නිපුණතා ආකර්ශනය කර ගැනුණු අතරේ නව අදහස්ද උකහා ගැනුණි. අළුත් තොරතුරු සහ අළුත් අදහස් ගෙන ඒම සඳහා ඩෙං ෂියා ඕ පිං තමන්ගේ රටේ දහස් ගණන් බුද්ධිමතුන්ව බටහිර රටවලට පිටත් කර හැරියේය. ආර්ථික ප‍්‍රතිසංස්කරණ අරභයා චීනය ලබා ගත් සාර්ථකත්වයේ කතාන්තරය, ශ‍්‍රී ලංකාවේ නායකයන්ට අගනා පාඨ ග‍්‍රන්ථයක් වැනි ය.

විශේෂයෙන්, ශ‍්‍රී ලංකාව සහ නැගෙනහිර යුරෝපයේ, මධ්‍යම ආසියාවේ සහ රුසියාවේ කලින් පැවති කොමියුනිස්ට් රාජ්‍යයන් තමන්ගේ විවෘත ආර්ථිකයන් සාර්ථක කර ගැනීමට අපොහොසත්ව සිටින තත්වයක් තුළ එම පාඩම සැලකිල්ලට ගැනීම තවත් වටනේය.

1990 දශකයේ සිට ගොඩනැගිලි කර්මාන්තය, ඉඩකඩම්, අපනයන-මූලික කර්මාන්ත සහ සිල්ලර වෙළඳාම වැනි අංශවල පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින සමාගම්වල විශාල වර්ධනයක් ඇති වී තිබේ. අනතුරුව එම වර්ධනය, අධ්‍යාපනය සහ මූල්‍ය වැනි අංශවලට පමණක් නොව, සුවසේවා අංශවලට පවා විහිදුණි. මේ සමාගම්වලින් බොහොමයක් අද වන විට, යෝධ වෙළඳපොල කොටස් පාලනය කරන, විශාල මූල්‍ය සම්පත්වලට හිමිකම් කියන, මහා ඒකාබද්ධ ව්‍යාපාර බවට පත්ව තිබේ.

මහා මාර්ග වැනි මහජන ව්‍යාපෘති ගැන උනන්දුවක් දක්වන දේපළ වෙළඳ සංවර්ධකයන්ට නාගරික ඉඩම් පරිහරණය සඳහා රාජ්‍ය ඉඩම් බදු දීමට රජය පියවර ගත්තේය. එසේ කිරීමෙන් ආණ්ඩුව, එක ගලෙන් කුරුල්ලන් තුන් දෙනෙකු දඩයම් කර ගත්තේය.

මුලින්ම, ඉඩම් බදු දීමෙන් සහ ආයෝජකයන්ගෙන් ලබා ගත් ධනය, ආණ්ඩුවට එතෙක් මුදල් නොමැති කම නිසා කර ගැනීමට නොහැකිව තිබූ ව්‍යාපෘති දියත් කර ගැනීමට හැකි විය. දෙවැනුව, බදු දෙන ලද ඉඩම්වල අගය ඉතා සීග‍්‍රයෙන් ඉහළ ගිය නිසා ගොඩනැගිලි කර්මාන්තය සහ ඒ ආශ‍්‍රිත අංශ තුළ සීග‍්‍ර සංවර්ධනයක් ඇති කිරීමට රජයට පිළිවන් විය. තෙවැනුව, නාගරික වැසියන්ගේ ජීවන තත්වයන් ඉහළ නැංවුණු අතර, එය ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය සඳහා අවශ්‍ය කරන ජනතා සහාය සපයා ගැනීමට ඉවහල් කර ගත හැකි විය.

ඩෙං ෂියා ඕ පිං චීනයේ අසහාය නායකත්වයට පත්වන්නේ වයස අවුරුදු 74 දී ය. ඉන් පසු, චීනය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පැහැදිළි මග පෙන්වීම, දේශපාලනික විචක්ෂණ භාවය සහ නායකත්වය ඔහු නිවැරදිව සැපයුවේය. ‘ප‍්‍රතිසංස්කරණය නොවන කෙනෙක් වෙතොත් ගෙදර යන්නැ’ යි ඔහු නිතර අවවාද කෙළේය.

අවසානයේදී චීන කාර්මීකරණය ලෝක ආර්ථිකයත් සමග වඩාත් සමීප කරනු වස්, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත විය යුතු බවට ආණ්ඩුව උදක්ම ඉල්ලා සිටියේය. මේ අනුව බලන කල, චීනයේ සාර්ථකත්වය පසුපස ඇත්තේ නිවැරදි නායකත්වය බව පැහැදිළිව පෙනෙන්ට තිබේ.

ලැසිල් ද සිල්වා


*2016 දෙසැම්බර් 19 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ China’s Success Purely Due to Good Leadershipනමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි