නත්තල් ගසක් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමති රවි කරුණානායක මෙතරම් උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්ණයක් මතු වුනි. ඊට හේතුව මහජනතාව නිවරදිව තේරුම් ගැනීම අවශ්‍ය වේ.

ජනතාව මත පැටවී ඇති ජීවන බර, බදු බර, ගොවීන්ට ඉඩම් අහිමි වීම, ධීවරයාට මුහුද, වෙරළ, කළපුව අහිමි වීමෙන් ඇති වන පීඩණය ඔවුන්ට අමතක කරවීමට මෙවැනි සැනකෙළි ඒවාවලට එල්ලවන විරෝධය පාලනයේදී යොදා ගත හැකි දේශපාලන උපායන් වේ.

එවැනි සංදර්ෂණ සමාජය තමන්ට රිසි අකාරයට හසුරුවා ගැනීමට යොදා ගත හැකි “අබිං” වර්ගයකි.

දීප්තිමත් හා ආකර්ෂණීය ආලෝකය සපයමින්, විදේශීය රටවලින් ආනයන කරන ලද බඩුභාණ්ඩ හා තාක්ෂණික මෙවලම් ප්‍රදර්ෂණය කරමින්, ජනතාවගේ පීඩනයට හා දරිද්‍රතාවයට බලපාන සැබෑ හේතූන් ජනතාවගෙන් සගවා තැබීම පාලකයන් ගේ වුවමනාව බව පෙනී යයි. පාලකයින් අද නත්තල් ගස වෙළද ප්‍රදර්ෂණය සැනකෙලිය ඒ සදහා යොදා ගනු ඇත. පාලකයෝ මේ ආකාරයෙන් ජනතාව “ඝන අන්ධකාරයක” සිරකර තබති. ගාලු මුවදොර ඉදිවන නත්තල් ගස, වෙළද සංදර්ෂණය හා සැනකෙලි වලදී මෙන්ම, වෙනත් ස්ථාන වලද පැවැත්වෙන එවැනිම සංදර්ෂණයන් හා සාදයන් හිදී ජේසුගේ උපත සැබෑ අර්ථය ප්‍රකාශකරන්නේ නැත.

ජේසුතුමා ගේ දූත කාර්ය වන දරිද්‍රයින්ට සුබ ආරංචිය දේශණා කිරීමට බවත්, සිරකරුවන්ව නිදහස් කිරීමටත්, පීඩිතයින්ට විමුක්තිය ලබා දීමටත් බව එම සාදවලදී ප්‍රකාශ නොවේ. එසේ වූ විට ප්‍රතිඵලය වන්නේ නත්තලේ සැබෑ අර්ථය විකෘති වීමයි. ඒවායේ යටි අරමුණ වී ඇත්තේ දුප්පතා සුරාකමින් ලාබ ඉපයීමයි.

එවැනි නත්තල් සංදර්ෂණ වලට ආකර්ෂණය වන ජනතාව විමුක්තිය ලබනවා වෙනුවට දිගින් දිගටම “ඝන අන්ධකාරයෙහිම” ජීවත් වීමට සිදු වේ.

ඒසේම ආගමික අවස්ථාවක් තමන් ගේ ආර්ථීක වාසිය සදහා හෝ අවස්ථාවාදී හා බඩගෝස්තරවාදී දේශපාලනයට යොදවා ගැනීම සදාචාර නොවේ.

දේශපාලනය සදහා යොදා ගැනීම සදාචාර නොඑදා හෙරෝද්ට හා නායක පූජකවරුන්ට නත්තල තර්ජනයක් වූවාක් මෙන්ම අද දවසේ හෙරෝද්ලාට හා නායක පූජකවරුන්ට ද සැබෑ නත්තල අති විශාල තර්ජනයකි.

එසේ වන්නේ දරිද්‍රතාවය හා සමාජ විෂමතාවයන් ඇතිකරන සමාජ, ආර්ථීක ව්‍යුහයන් කඩා බිද දැමීමට ඇති කිතුණු කැදවීම “නත්තල් සංස්කෘතිය” තුල සැගවෙන බැවිනි. එවිට පීඩාකාරී එම ව්‍යූහයන් ද එසේම පවතී. එය දේව කැමැත්ත යයි විශ්වාස කිරීමට ජනතාවද පෙළඹේ. ධනවතුන්ට හා බලවතුන්ට එවැනි තත්වයක් කෙතරම් වාසි දායකද?

ඉහත අකාරයට දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව “ඝනඅන්ධකාරයක” සිරකර තැබීමේ නත්තල් සංස්කෘතිය සංවිධානය කිරීම සදහා ආයෝජනය කරනු ලබන්නේද දරිද්‍රයින් විසින්ම උපයන් මුදල්ය.

පුද්ගලික ආයතන ඒ සදහා මුදල් ආයෝජන කළද එම මුදල ඉපයෙන්නේ රටේ ශ්‍රමිකයන් විසිනි. එලෙස යෙදවෙන්නේ ජනතාවගේ ශ්‍රමයේ ප්‍රතිඵල වේ.

ආයෝජකයින් තම මුදල් මෙවැනි නාස්තිකාර දේට හා අර්ථ ශුන්‍ය දේවලට වියදම් කිරීමට පෙර පිලිතුරු සැපයීය යුතු ප්‍රශ්න කිහිපයක් අතුරින් දෙකක් පමණක් මෙහිලා සදහන් කිරීමට කැමැත්තෙමු. එම මුදල් ඉපයීමට ශ්‍රමය වැය කරන කම්කරුවන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබා දෙන්නේද? තමන්ගේ ව්‍යාපාර හා කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ රටේ පරිසර නීතියට අනුකූලවද?

ඔවුන්ගේ ශ්‍රම සූරාකමින් තමන් විසින් උපයන අයුතු ලාභය නොඅවසාන වශයෙන් පටු වානිජ හා දේශපාලන අරමුණු ඇතිව කරන මෙවැනි ක්‍රියාකාරකම් බාහිර පෙනුමෙන් ආකර්ෂනීය විය හැක. අනික් අතට ජේසු එදා ඉපදුනු ගවලෙන ඉතා දුබල හා අසරණ බවක් පෙන්වනවා ද විය හැක. නමුත් අප අතරට විමුක්තිය පහලවූයේ ගවලෙන තුලය.

සරත් ඉද්දමල්ගෝඩ පියතුමා