[දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා‘ අනුග‍්‍රහයෙනි]

හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් වාර්තා දෙකක් දීමට නියමිතව තිබුණා. අපි එක වාර්තාවක් පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කොට තිියෙනවා.

ඒ වාර්තාව තුළ අපි ඉතා බරපතල කාරණයක් මතු කර කරනවා. ඒ තමයි, අයවැය වාර්තාව ඉදිරිපත් කරන දවසේ අපේ මේසේ උඩට ආවේ නිවැරදි සංඛ්‍යා ලේඛන නොවීම. ඒවා නිවැරදි සංඛ්‍යා ලේඛන නොවන විත්තිය නිලධාරීන් පවා දැනගෙන හිටියා. කාරක සභා අවස්ථාවේදී ඒ බව ඔවුන් පිළිගත්තා විතරක් නෙවෙයි, වෙනත් සංඛ්‍යා ලේඛන වගයකුත් අපිට දීලා කිව්වා, මුදල් ඇමතිවරයා අයවැය වාර්තාව හැදුවේ ඒ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙලා කියලා. ඒ වගේම, අපේ වාර්තාවෙන් අපි කිව්වා, නොවැම්බර් 12 වැනි දා අපිට ලැබුණු සංඛ්‍යා ලේඛන, ඒ කියන්නේ, නිවැරදියි කියන සංඛ්‍යා ලේඛන, අඩු වශයෙන් කාරක සභා අවස්ථාවේදීවත්, සියළු ගරු මන්ත‍්‍රීවරුන්ට ලැබෙන්ට සලස්වන්න කියලා. ඒත්, අවාසනාවකට තවම ඒක සිද්ධ වෙලා නැහැ. අපි තවමත් බලාගෙන ඉන්නේ, වැරදි සංඛ්‍යා ලේඛන කියලා නිලධාරීන්ම පිළිගත්ත සංඛ්‍යා ලේඛන දිහා.

මේ සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අපේ දෙවැනි වාර්තාවේ අඩංගු විය යුත්තේ, මේ අයවැය ඇතුළේ ආණ්ඩුව ඉදිරිපත් කරන ඇස්තමේන්තු මගින් ඇත්තෙන්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නිරූපණය කරන්නේද කියන එකයි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව මුදල් වෙන් කෙරී ඇත්ද කියන එකයි. ඒ සඳහා, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා දැන ගන්න අපි උත්සාහ කළා. ඒත් ඒක හොයා ගැනීම ලේසි නැහැ. මොකද කියනවා නං, ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත්, අයවැයට කලින් ගරු අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාව ඉදිරියේ කළ ප‍්‍රකාශය එක පැත්තකින් තියෙද්දී, මුදල් ඇමතිවරයා මේ සභාවට ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලිය තවත් පැත්තකින් තියෙද්දී, මේ දෙක දිහා බැලූවහම ඇත්තෙන්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙන්නේ මොකක්ද කියන එක දැන ගන්න එක ලෙහෙසි නැහැ. ඊට අදාල තොරතුරු අපි ඉල්ලා හිටියා. නිලධාරීන්ගෙන් වගේම, අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන්ගෙනුත් අපි ඉල්ලා හිටියා ආණ්ඩුවේ නිවැරදි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් අපිට ලබා දෙන්න කියලා. එතකොට අපිට පුළුවන්, ඒකත් එක්ක, දැන් ඉදිරිපත් කරලා තියෙන ඇස්තමේන්තු කොච්චර දුරට පෑහෙනවද කියලා හොයලා බලන්න. ඒ අනුව, වෙන් කරලා තියෙන මුදල් කොච්චර දුරට අර කියන ප‍්‍රතිපත්තියට අනුකූලද කියලා මේ සභාවට කියන්න අපිට පුළුවන් වෙනවා. ඒත් අවාසනාවකට, මුළු අයවැය විවාදය මුළුල්ලේම ඒ දේ දැනගන්න අපිට පුළුවන් වෙලා නැහැ. ඒත්, ඊළඟ අවුරුද්දේ මුලදීවත් ඒ කාර්ය ඉෂ්ට කර ගැනීමට අපි හැකි හැම උත්සාහයක්ම ගන්නවා.

දූෂණය ගැන කතා කරනවා නං, 2010 මං පාර්ලිමේන්තුවට ආ දවසේ ඉඳලාම ආණ්ඩුවට විරුද්ධවත්, ඇතැම් අවස්ථාවක ඇමතිවරුන්ට විරුද්ධවත් දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. සමහර අයට සමහර නම් පටබැඳලා තියෙනවා. ඒ නම්වලින් හඳුනගන්න පුළුවන් කියන්නේ මොකක්ද කියලා. අදත් ඒ විදිහටම එක එක වචන එක එක ඇමතිවරුන් හඳුන්වන්න පාවිච්චි කරනවා. ගිය පාර්ලිමේන්තුවේදිත් අපි ඒක දැක්කා. ඒවායින් සමහරකට අදාළ සිද්ධි දැන් එළියට එමින් තියෙනවා. මේ වචන ඇමතිවරුන් සම්බන්ධයෙන් පාවිච්චි කෙරෙන්නේ, ඒ ඇමතිවරුන්ගේ තරම රට දන්න තත්වයක් තුළයි. ඇමතිවරුන් සම්බන්ධ ¥ෂණ කන්දරාව රටට රහසක් නෙවෙයි. අර වගේ ගර්හාත්මක වචන පාවිච්චි වෙන්නේ ඒක නිසයි. දැනට අවුරුදු දෙකක් බලයේ ඉන්න ආණ්ඩුවක් විදිහට ඒ කාරණය සැලකිල්ලට ගැනීම ඔවුන්ගේ අනාගතයටත් වැඩදායක වෙන්න පුළුවන්. වර්තමාන ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙනකොට, ‘තමුසෙලා බලයේ ඉන්න කොට කළේ මොකක්ද?’ කියලා අහන එකේ තේරුමක් නැහැ. ඒක උත්තරයක් නෙවෙයි. මේ පැත්තේ ඉන්න ගරු මන්ත‍්‍රීවරු අනිත් පැත්තේ ඉන්න කොට කළෙත් ඕකමයි. දැන් ඒකම නැවත පුනරුච්චාරණය කරනවා. අපූරු කාරණය වෙන්නේ, ගිය ආණ්ඩුවේ හිටපු සමහර ඇමතිවරු මේ ආණ්ඩුවේත් ඇමතිවරුන් වීමයි. චෝදනා සහ ප‍්‍රතිචෝදනා දෙපැත්තට එල්ල කරගන්න කොට, මේ කියන ඇමතිවරයා මීයට පිම්ඹා වගේ නිශ්ශබ්දව ඉන්නවා. මොකද, ඒගොල්ලොත් එක එක පැතිවලින් ඒ කියන සිද්ධිවලට සම්බන්ධ බවට චෝදනා නැගෙන නිසා.

ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන්ම අපිට අළුත් කතා අහන්න ලැබුණා. ඒ ගැන වචනයක් දෙකක් මං දැං කිව්වොත්, පොඩි ඉඟියක් දෙකක් ලැබෙන්න පුළුවන්. ගිය ආණ්ඩුවෙත් හිටපු, මේ ආණ්ඩුවෙත් දැන් ඉන්න එක්තරා ඇමතිවරයෙක් සම්බන්ධයෙන් කරුංකා ව්‍යාපාරයක් ගැන කතාවක් අපි අහලා තියෙනවා. කරුංකා වගේ තවත් වචන ගොඩාක් තියෙනවා, තවත් බොහෝ දෙනා සම්බන්ධයෙන්. මං ඒ මුළු ලැයිස්තුවම මෙතන කියවන්න යන්නේ නැහැ.

ඒත්, දැන් තියෙන්නේ අපිත් සහයෝගය දීලා පත්කර ගත්ත ආණ්ඩුවක්. ඒක නිසා මේ ආණ්ඩුවෙන් යම් යහපතක් බලාපොරොත්තු වෙන්න අයිතියක් අපිටත් තියෙනවා. කවුරුත් දන්නවා- ‘ඒකාබද්ධ විපක්ෂය’ වුණත් මේ දේ පිළිගන්නවා- මේ ආණ්ඩුවට නායකත්වය දෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ වගේ දේවල්වලට සම්බන්ධ නැති විත්තිය. ඒ දෙන්නාට විරුද්ධව ඒ විදිහේ කිසි චෝදනාවක් නැගෙනවා මං අහලා නැහැ.

ගරු මන්ත‍්‍රීවරයෙක්:

එතකොට ‘කෝප්’ සිද්ධිය?

එම්. ඒ. සුමන්දිරන් මහතා:

ඒත් ඒක එච්චර හොඳ නැහැ. නායකයෝ දෙන්නාට වගකීමක් තියෙනවා, තමන්ගේ ඇමතිවරුන්- නිලධාරීන්ව පැත්තකින් තියන්න- තමන්ගේ ඇමතිවරුන්ට මේ චෝදනා එල්ල නොවන බවට වගබලා ගන්න. අවාසනාවකට එහෙම දෙයක් පේන්න නැහැ. මේ තත්වය එක දිගටම පැවතුණොත්, මේ ආණ්ඩුව වැඩි කල් පවතින එකක් නැහැ. තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනේ, අද මේ කෑගහන එදා හිටපු ආණ්ඩුව ගෙදර ගියේ දූෂණය නිසයි කියන එක. මූලික වශයෙන් ගත්තහම දූෂණය නිසයි කියලා. තමුන්නාන්සේලාගෙන් බොහොමයක් දෙනා ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන නොතිබීම අවාසනාවක්. ඒගොල්ලෝ තවමත් පරණ පාරෙමයි යන්නේ. මං එක උදාහරණයක් දෙන්නං. මීට දවස් කිහිපයකට ඉස්සෙල්ලා මේ සභාවෙදී මං චෝදනා කළා නිවාස 65,000 ක් ගැන. එදා මේ විෂයට අදාළ ඇමතිවරයාගෙන් මං ඉල්ලා හිටියා, පුළුවන් නං නැහැ කියන්න කියලා ඒ නිවාස හදන ‘ආර්සෙලෝර් මිතාල්’ කියන ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා රවි වෙත්තසිංහ කියලා කෙනෙක් නෙවෙයිද කියලා. ඔහු ඒක නැහැ කිව්වේ නැහැ. ඒක නිසා, ‘ආර්සෙලෝර් මිතාල්’ සමාගමේ දේශීය ඒජන්තයා මේ කියන රවි වෙත්තසිංහ කියලා මං කියනවා. මේ කියන්නේ මේ රටේ ඉන්න කුප‍්‍රකට චරිතයක්. මේ පුද්ගලයාගේ නම සඳහන් වෙනවා,

‘‘තැචර්ගේ වාසනාව: මාක් තැචර්ගේ ජීවිතය සහ කාලය’’ කියන පොතේ. ඒ 2002 දී. මට සතුටුයි අද මේ සභාවේ ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සිටීම ගැන. ඔබතුමාත් ඉන්න වෙලාවක මේ පුද්ගලයා රාත‍්‍රී සමාජ ශාලාවක එළියේ ගෝරියක් දා ගත්තා. ඒක වුණේ කොහොමද, මේ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ මේ විදිහටයි:

‘‘දේශපාලන ව්‍යාපාරවලට කෝටි ගණනින් සම්මාදම් කරන රවි වෙත්තසිංහ, බස් සමාගම් තුනක්- ඉබිස්, ට‍්‍රාන්ස්බස්, මේෆ්ලවර්- ඒකාබද්ධ කෙරුණු, බි‍්‍රතාන්‍ය බස් ව්‍යාපාරයක දේශීය ඒජන්තයා ය. 1993 දී රවි වෙත්තසිංහ මහතා, රජයට අයත් වේරහැර බස් කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 25 කට මිළට ගත්තේය. එහෙත් පසුව ප‍්‍රශ්නවලට මුහුණදීම නිසා ඔහු රට හැර ගිය පසු ඉහත කී බස් කර්මාන්ත ශාලාවේ සේවකයන් රුපියල් මිලියන 465 ක වැටුප් ගෙවීමට ආණ්ඩුවට සිදු විය. ඔහු රටින් බැහැරව සිටි අවස්ථාවේ..’’

මේ කාරණය දෙපැත්තටම වදින්න පුළුවන්..

‘‘… මැතිවරණයක් සඳහා ‘ජනතා සන්ධානයට’ රුපියල් මිලියන 7 ක් ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයටද වියදම් කෙළේය.’’

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා:

කීයක්ද?

එම්. ඒ. සුමන්දිරන් මහතා:

ගණන කීයද කියලා සඳහන් නැහැ. දැන් මේ මිනිහා තමයි ඉහත කියපු, පූර්ව-නිෂ්පාදිත වානේ ගෙවල් උතුරට හදලා දෙන සමාගමේ දේශීය නියෝජිතයා. මේ මිනිහා තමයි දෙපැත්තටම සල්ලි දෙන්නේ. ඊයේ තමයි, ජාත්‍යන්තර දූෂණ-විරෝධී දිනය. ගරු ජනාධිපතිතුමා කතාවක් කරමින් වගකීමකින් යුක්තව කිව්වා, තමන්ගේ ආණ්ඩුවෙන් දෙන ටෙන්ඩර්වලින් සියයට 50 ක් දූෂිතයි කියලා. තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමාම මේක ප‍්‍රසිද්ධියේ කිව්වා. මාත් ඒ රැුස්වීමේ හිටියා. මං එතුමාට කිව්වා, ‘‘සියයට 50 ක් නෙවෙයි, සියයට 90 කටත් වඩා දූෂිතයි’’ කියලා. ඔහු ඒක නැහැ කිව්වේ නැහැ. එතකොට, ඇයි මෙහෙම වෙන්නේ? රට ඉස්සරහට ගෙනියන්න, මේ රටට අළුත් ආරම්භයක් ලබා දෙන්න, තමුන්නාන්සේලා ජාතික ආණ්ඩුවක් යටතේ එක් වෙලා ඉන්නවා නං, මුලින්ම තමුන්නාන්සේලා දූෂණයෙන් නිදහස් වෙන්න ඕනේ. එසේ නොකර මේ රටට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ.

ගරු මුදල් ඇමතිතුමා ඉතා උනන්දුවේන් අහගෙන ඉන්නවා. ඒ ගැන මං හුඟාක් සතුටුයි. මං හිතනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලූ පියවර තමුන්නාන්සේ ගනියි කියලා. තමුන්නාන්සේගේ සගයන්ට සහ තමුන්නාන්සේට එතකොට ‘හොරු’ කියලා වෙනත් අය කෑගහන එකක් නැහැ.

(ඉතිරි කොටස මීළඟට)