ශ්‍රී ලංකාවේ සමරිසි(LGBT) අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නක්. මෙහිදී දකුණු ආසියාතික සමරිසි සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍යය ඔස්සේ පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ද(Sri lankan LGBT community) සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන්ම මානව හිමිකම් ලබා දිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශර්මන් ඩි රෝස් මහතායි.

මෙම ප්‍රකාශයත් සමගම මාධ්‍යය තුළ මෙන්ම මුළු මහත් සමාජයේම දැඩි අවධානය සමරිසි ප්‍රජාවට යොමු විය. එපමණක් ද නොවේ. පුද්ගලිකව ඔහුට ඒ හරහා නොයෙකුත් මරණ තර්ජන මෙන්ම තමන් වාසය කළ නිවසට ගල් මුල් ප්‍රහාර ද එල්ල විය. ජීවිත ආරක්ෂාව උදෙසා මෙරට මානව හිමිකම් ක්‍රියාධාරයන්ගේ/ක්‍රියාධරියන්ගේ(Human Rights Activists) සහය ඇතිව ඔහුට රට හැර යන්නට ද සිදු විය.

නමුත් කෙටි කලකින් ලංකාවට පැමිණි ඔහු, ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරිසි සංවිධානය ආරම්භ කළේය. 1995 දී ‘ගමන් මගෙහි සහකරුවෝ'(Companions On a Journey – COJ) සංවිධානය සිය වැඩකටයුතු ආරම්භ කළේ එලෙසිනි.

ගමන් මගෙහි සහකරුවෝ සංවිධානය දිනෙන් දින වැඩෙමින් මහනුවර, අනුරාධපුරය ඇතුලු අනෙකුත් ග්‍රාමීය පෙදෙස් වල ද ශාඛා ආරම්භ කර එහි කාර්යයන් සමරිසි ප්‍රජාවට ලබා දුන්නා සේම, පොදුවේ අයිතිවාසිකම් දිනා ගැනීමේ ප්‍රබල හඬක් බවට එය පත් වූ අතර, ඔවුන්ගේ යාන්ත්‍රණය පොලිස් අත්අඩංගුවට පත්වන සමරිසි ප්‍රජාව මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමග සංවිධානගත වීම දක්වා දිවා යන්නක් විය. තවද මෙරටෙහි දේශපාලනික වශයෙන් ඒ තුළ දැඩි ලෙස කතාබහට ලක්වන සංවිධානයක් බවට පත් විය. එම කතාබහ මෙරට පාලනය කළ ජනාධිපතිවරු, අගමැතිවරු දක්වා දිව ගියේය.

මෙරට සමරිසි ප්‍රජාව තුළ HIV/AIDS නිවාරණයේ මුලික අඩිතාලම දමමින් ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යංශය සමග එක්ව වැඩ කිරීමටත් ඔවුන්ට හැකි වුණි. පොදුවේ ගත් කළ රට අභ්‍යන්තරයේ සිටිමින් රට අභ්‍යන්තරයෙන්ම විසදුම් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා දේශපාලනික ක්‍රියාවලියේ සිටිමින්ම මෙරට නොයෙකුත් මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාධරයන් හා සම්බන්ධතා පවත්වා ගනිමින් තම අරගලය ඉදිරියට ගෙන යන යාමට ඔවුන්ට හැකිවිය.

සමරිසි පිරිමින් උදෙසා ‘ගමන් මගෙහි සහකරුවෝ‘ සංවිධානය පෙනී සිටි අතර එහි විශාල හිඩැසක් වුයේ සමරිසි ගැහැණුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මෙරට තුළ නොවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගමන් මගෙහි සහකරුවෝ සංවිධානය තුළම 2000 වසරේදී ‘කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම'(Women’s Support Group) බිහි විය. අනතුරුව තම වැඩ කටයුතු වෙනම ම සිදු කළ ඔවුන් තම ක්‍රියාකාරකම් පොදුවේ සමරිසි ප්‍රජාවට ලබා දුන්නේ, එම ක්ෂේත්‍රයේ දැනුම හා දැක්මත් වඩාත් විචාරශීලී බවට යොමු කරමිනි. සමරිසි ප්‍රජාවට මෙන්ම ලිංගික වෘත්තිකයන්ට(Female Sex Workers) හා පොදුවේ සමස්ථ කාන්තාවන්ට ම ඔවුන්ගේ සේවාව ලැබුණි.

ඉන් අනතුරුව 2005 වසරේදී WSG හි ක්‍රියාකාරිනියක විසින් ‘ඊක්වුල් ග්‍රවුන්ඩ්'(Equal Ground) සංවිධානය බිහි කරන ලදී. එහිදී LGBTIQ ප්‍රජාවට විවෘත වූ ඊක්වුල් ග්‍රවුන්ඩ් සංවිධානයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට සමානාත්මතාවය උදා කර දීමයි.

Colombo Pride එම සංවිධානයේ ප්‍රමුඛතම ක්‍රියාවලියක් වූ අතර ප්‍රජාවට සහන සැලසීම ද ඔවුන් විසින් සිදු කරන ලදි.

මෙම සංවිධාන 3ම වෙන වෙනම හා ඇතැම් අවස්ථාවලදී එක්වත් සමරිසි ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි අතර එය සිය ප්‍රජාවේ උන්නතියට විශාල පිටුවලක් විය. මේ අතර ‘සකි'(Sakhi) හා ‘DAST’ වැනි කුඩා කණ්ඩායම් බිහි වූ අතර ඔවුන්ගේ දායකත්වය හා සහාය ද එම ප්‍රජාවට විවිධාකාරයෙන් ලැබුණි.

2012 වසරේදී නීතිමය හා සංවිධාන පරිපාලන කරුණු මත ගමන් මගෙහි සහකරුවෝ සංවිධානය වසා දැමුණු අතර එයින් 2013 වසරේදී ‘Heart to Heart’ සංවිධානය බිහි විය. බොහෝ දුරට COJ සංවිධානය හා ක්‍රියාකාරී වූ පුද්ගලයින් මෙම සංවිධානය ඔස්සේ නැවත ඒකරාශී විය. තවද COJ සංවිධානයේ අරමුණු ඉලක්ක කර ගනිමින් H2H සංවිධානය බිම් මට්ටමේ වැඩකටයුතු සිදු කරන සංවිධානයක් ලෙස තම සේවය ලබා දීමට කටයුතු කරන්නට විය.

දැනට WSG සංවිධානයේ ආයතනික ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇති නමුත් එහි ක්‍රියාධාරියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම සහාය ලාංකීය සමරිසි ප්‍රජාවට ලබා දෙයි. මේ අතර 2015 වසරේදී සංක්‍රාන්ති ලිංගික හා අන්තර් ලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් ‘වෙනස’ සංවිධානය බිහි විය. සංක්‍රාන්තික ස්ත්‍රී පුරුෂ සමාජභාවී පුද්ගලයින්(Transgender) වෙනමම මුහුණ දෙන ගැටළුවලට හා පොදුවේ තම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට නිහඬව කටයුතු කරන මෙම සංවිධානය තමන් ලබා ඇති විශාලම ජයග්‍රහණය වනුයේ Gender Recognition Certificates නොහොත් ස්ත්‍රී පුරුෂභාවය පිළිගැනීමේ සහතිකය ලබා ගැනීමට මුලිකව අනෙකුත් සංවිධාන හා පුද්ගලයින් සමග දායක වීමයි.

2016,එනම් පසුගිය වසරේදී ‘චත්‍ර'(Chatra) නමින් කණ්ඩායමක් බිහි වී ඇති අතර ඔවුන් ද තම ක්‍රියාකාරකම් කෙමින් කෙමින් සමරිසි ප්‍රජාවට ලබා දීමට පටන් ගෙන ඇත්තේ ප්‍රජාවේ වැඩකටයුතු වලට දායක නොවන පිරිස් ඒකරාශී කරගනිමිනුයි.

ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් දිනා ගැනීමේ ප්‍රයත්නයේදී ඊක්වුල් ග්‍රවුන්ඩ්, Heart to Heart හා වෙනෙස වැනි සංවිධාන මෙන්ම චත්‍ර වැනි කණ්ඩායම් ද වර්තමානයේ ක්‍රියා කරමින් සිටිනවා සේම තනි තනිව සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරනා ක්‍රියාධරයන් හා ක්‍රියාධාරියන්(Individual LGBT Activists) විශාල ප්‍රමාණයක් සිටිති. මොවුන් තිරයෙන් ඉදිරියේ/පිටුපස (ප්‍රසිද්ධියක් ඇතිව හෝ නැතිව) සිට කරන්නා වූ සේවය යම් විටෙක එළි පිටට නොපෙනුන ද සමහර අවස්ථාවන්හී දී එය සුළු කොට තැකිය නොහැකි තරම් ගනයේ ක්‍රියාකාරකම් වලින් ද යුක්ත වෙයි. ප්‍රජාවේ වසර ගණනක් රැදී සිටිමින් මොවුන් තනි පුද්ගලියින් වශයෙන් විශාල සේවාවක් ඉටු කරයි. එක් මෑත උදාහරණයක් ලෙස යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යෝජනා වෙනමම ඉදිරපත් කරමින් ඒවා කෙටුම්පත් සභාවේ සැළකිල්ලට භාජනය කරවීමට ද මෙම ක්‍රියාධරයන්ට/ක්‍රියාධරියන්ට හැකි වී තිබේ. තවද ප්‍රජාවේ ආරම්භයේ සිටම සමරිසි නොවුව ද, නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාධරයන්/ක්‍රියාධරිනියන්, නීති ක්ෂේත්‍රයේ පුද්ගලයින් හා සංවිධාන(සේවයේ නියුතු හා විශ්‍රාමික), පොලිස් සේවයේ නිලධාරීන්, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා පුද්ගලයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් යනාදී විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් විධාකාරයෙන් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට ලබා දී ඇති සහාය අදට ද ලබා දීම විශිෂ්ඨය.

සමරිසි ප්‍රජාවේ බොහෝ පිරිස් මේ පිලිබඳ දැනුවත් නොවුව ද ඔවුන් මෙම ප්‍රජාවට නිහඬව සිදු කරන්නා වූ වැදගත් සේවය අති මහත්ය. එය 1994 සිට අද දක්වාම එසේමය.

මෙම සටහනෙහි අරමුණ වූයේ සමරිසි ප්‍රජාවේ සිටින හා ඒ පිලිබඳ සහායක් දක්වන පිරිසට සංක්ෂිප්තව ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවේ ඉතිහාසය හා වර්තමාන ක්‍රියාකාරීත්වය දැන ගැනීමට සැලැස්වීමයි. එයට හේතුව වන්නේ, වර්තමාන සමහර සමරිසි ක්‍රියධරයන්ගේ/ක්‍රියාධරියන්ගේ ඒ පිලිබඳ දැනුම ඉතා අල්ප වීමත්, තම ඉතිහාසය හා වර්තමානය හරි හැටි නොදැන අනාගතය වෙනුවෙන් සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම නිෂ්ඵල ක්‍රියාවක් වීමට ඉඩ බැවිනි.

තවද, මෙම සටහනෙහි තවත් අරමුණක් වනුයේ ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව පිළිබඳ හෝ එහි දේශපාලනික වෙනස්වීම් හුදෙක් තනි පුද්ගලයෙක් හෝ සංවිධානයකින් පමණක් ලබා නොදෙන දෙයක් බවට අවධාරණය කිරීමයි. මන්ද මෑත කාලීනව ඉතා සුලභව දක්නට ලැබූ කරුණක් වූයේ ලංකාවේ සමරිසි අයිතිවාසිකම් දිනා ගැනීමේ ප්‍රයත්නය තනි තරඟකරුවකුගේ ධාවන තරඟයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන්නා වූ වෑයමක් තිබූ බැවිනි. නමුත් අවධාරණව හා විශ්වාසවන්තව කිව යුතුව ඇත්තේ තිරයෙන් ඉදිරියේ සේම, තිරයෙන් පිටුපස ද ඉතා වැදගත් දේ සිදුවන අතර ඒවා දේශීය හා විදේශීය වශයෙන් ප්‍රචාරාත්මක ප්‍රවෘත්ති නොවුවත් ලාංකීය සමරිසි ප්‍රජාවට ඉමහත් සේ වැදගත් වන බවයි.

ශ්‍රී ලාංකීය සමරිසි ප්‍රජාව තරයේ සිහි තබා ගත යුත්තේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේදී තම පුද්ගලික තරාතිරම් හා ප්‍රසිද්ධිය පසෙක තබා පොදුවේ ප්‍රජාවට ලබා දෙන්නේ කුමක්දැයි වටහා ගැනීමයි. සමරිසි ක්‍රියාධරයන්/ක්‍රියාධරියන් පමණක් ප්‍රජාව නොවේ. මානව හිමිකම් සැසි සඳහා දේශීයව හෝ විදේශීයව සහභාගිවන්නන් පමණක් ප්‍රජාව නොවේ. Facebook හෝ අනෙකුත් සමාජජාල වල පෙනී සිටින්නන් පමණක් ප්‍රජාව නොවේ. ශ්‍රී ලාංකීය සමරිසි ප්‍රජාව යනු සමාජයෙන් වසන්ව ඉහත කී කිසි කණ්ඩායමකට සම්බන්ධ නොවූ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බහුතර සමරිසි පුද්ගලයින් ද අතුලත් විය යුතුය. ඉතින් අප විසින් සමරිසි ප්‍රජාව වෙනුවෙන් යැයි සිතා සිදු කරන මොන යම් දෙයක් වුව ද කෙලින්ම හෝ වක්‍රවාකාරව ඔවුනට ද බලපාන බවද සිහි තබා ගත යුතුය.

මෙය සමරිසි ප්‍රජාවගේ සටනක් පමණක් නොවේ. මෙය සමරිසි ප්‍රජාව වෙනුවෙන් සඳහා පමණක් කරන සටනක් ද නොවේ. මෙය තනි සටනක් ද නොවේ. මෙය මානව වර්ගයාගේ මණුෂ්‍යත්වය රදා පවත්වා ගැනීම වෙනුවෙන් දරන්නා වූ ප්‍රයත්නයකි!

අදහස් සඳහා විවෘතයි.

ඩෙන්ව පීටර්සන්

සබැදි සටහන්

උන් පිරිමි ද? ගැහැණු ද? මිනිස්සු ද?

සම ලිංගිකයෝ