Image courtesy NewNowNext

යහපාලන රජය විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින බැවින්, සමකාමී ගැහැණු (Lesbian), සමකාමී පුරුෂ (Gay), ද්විලිංගික (Bisexual), සංක්‍රාන්තික සමාජභාවී (Transgender), අන්තර්ලිංගික (Intersex) සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන්(Queer) ඇතුළුව සියලු පුරවැසියන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, හිරිහැර කිරීම, ප්‍රචණ්ඩත්වය සහ වෙනත් මානව හිමිකම් කඩකිරීම් වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීම අත්‍යවශ්‍යය වේ. මෑත කාලීන මාධ්‍ය වාර්තා විසින් පෙන්වා දෙනු ලබන්නේ, සමලිංගික ලිංගික ක්‍රියාවන් සාපරාධී කරන, ලිංගික සුළුතරයන්ට හිරිහැර කිරීමට සහ ඔවුනට අසාධාරණ, කෲර ලෙස සැලකීමට භාවිතා කරන නීතීන් එනම් විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) කොටස් සංශෝධනය කිරීමට සහ ඉවත් කිරීමට ගෙන තිබූ ප්‍රධාන ක්‍රියා මාර්ග , ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙන් 2017-2021 (National Human Rights Action Plan – NHRAP) ඉවතට ගෙන ඇති බවයි.

පහතින් අත්සන් කරන අපි, සමකාමී, ද්විලිංගික, සංක්‍රාන්තික සමාජභාවී, අන්තර් ලිංගික සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන් විසින් යටත් විජිත යුගයේ සිටම මුහුණ පාමින් සිටින ක්‍රමානුකුලව වෙනස් කොට සැලකීම, සහ ප්‍රචණ්ඩත්වය ආදී ගැටළුවලට අවශ්‍ය නීතිමය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු වෙනුවට, රජය විසින් ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම තහවුරු කිරීමට කටයුතු කිරීම තදබල ලෙස හෙළාදැක, ඒ සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරන්නෙමු.

යහපාලන රජය විසින් ප්‍රකාශ කරන ලද පරිදි, එය විසින් විශ්ව මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කැපවෙන අතර සහ අන්තර්ජාතික මානව හිමිකම් වගකීම්වලට ද අනුගත වේ. තවද එයට අමතරව එය විසින් ජාතික වැඩපිළිවෙල සංශෝධනය කිරීමට සහ බලාත්මක කිරීමට කටයුතු කරන අතර, එය සිදු වන්නේ සියලු පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කරන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙමිනි. මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම යනු ශ්‍රී ලංකා රජය විසින් “ගරු කිරීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම” යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) වගන්තියේ දක්වා ඇති මානව හිමිකම් සම්බන්ධ ව්‍යවස්ථාදායක වගකීම් ඉටු කිරීම උදෙසා සිදු විය යුතු නීති ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හඳුනා ගන්නා එක් ක්‍රමවේදයකි.

මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී කිසියම් සිවිල් සමාජ සහභාගිත්වයක් තිබුන ද, මෙම ක්‍රියාවලිය ලහි ලහියේ සිදු වූ අතර, ඒ හරහා මහජන සහභාගීත්වයට ලැබුණේ අඩු අවකාශයකි. නිල නොලත් ආරංචි මාර්ග සහතික කරන පරිදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවසාන කෙටුම්පත පිටු 300කට වඩා වැඩි එකක් වූ අතර, එය තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් අතිශය අර්බුදකාරී අපොහොසත්වීම් සහ හිඩැස් ආමන්ත්‍රණය කිරීම උදෙසා වන යෝජනා ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති ඉවත් කිරීම ඇතුළුව සැලකිය යුතු මට්ටමේ ක්‍රියාමාර්ග සෑහෙන ප්‍රමාණයක් අඩංගු විය. මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍යය අමාත්‍යය, වෛද්‍යය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් අමාත්‍යය මණ්ඩලය මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුමේ කෙටුම්පත සංශෝධනය කරද්දී ලිංගික දිශානතිය/ නැඹුරුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවය පදනම් කර ගෙන පුද්ගලයන් වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) ඉවත් කිරීම සම්බන්ධ යෝජිත ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කර ඇත. සමහරක් මාධ්‍යය ආයතන ප්‍රකාශ කරන ආකාරයට මෙය සිදු කරන ලද්දේ ජාතික සංස්කෘතිය ආරක්ෂා කිරීමටයි. එසේම වාර්තා වුයේ මෙම මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම් කෙටුම්පත විසින් අයාල ආඥා පනත, වෛවාහික ස්ත්‍රී දූෂණය වැනි කාරණා ද අත හැර දමා ඇති බවයි.

අප අපගේ බලවත් සැලකිල්ල යොමු කරමින් ප්‍රකාශ කරන්නේ රජය විසින් වික්ටෝරියානු සංස්කෘතික වටිනාකම් මත පදනම් වූ මෙම රටට ආගන්තුක, මෙම යටත් විජිත යුගයේ නීති පෙරළා දමනු වෙනුවට, තමන්ගේ පුරවැසියන්ට හිරිහැර, අපයෝජන, අසාධාරණය සහ වෙනස් කොට සැලකීම සිදු කරන මෙම යල් පැන ගිය සහ පුද්ගලයන්ට වෙනස්කම් කිරීම සිදු කරන නීති ඛණ්ඩ සහ ව්‍යවහාර පවත්වා ගෙන යෑමට තෝරා ගෙන ඇති බවයි. මෙම සමලිංගික ක්‍රියාවන් අපරාධ ගත කරන නීති ශ්‍රී ලංකාව මත බ්‍රිතාන්‍ය පාලන සමයේ පැටවූ ඒවා වෙන අතර, බ්‍රිතාන්‍ය නීතියේ සහ වෙනත් රටවල පැවැති මීට සමාන නීති බොහොමයක් මේ වන විට ඉවත් කර ඇත. එසේම සමලිංගික චර්යාව යටත්විජිත සමයට පෙර අපරාධයක් බවට පත් කර තිබූ බවට කිසිදු සාක්ෂියක් නැත. එබැවින් වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය නියෝජනය කරන්නේ යැයි පවසමින් යටත් විජිතවාදී වටිනාකම් යොදා ගෙන ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, වැරැදි ලෙස සැලකීම, වෙනස් කොට සැලකීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීම පොදු ජනතාව නොමඟ යවන, ලැජ්ජාශීලි, තහවුරු කළ නොහැකි ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ ලිංගික සුළුතර ප්‍රජාව ‘නිශ්ශබ්ද කිරීම’ තුළින් , වන බලපෑම නීතිය වෙත ද යොමු වෙන අතර, ඒ හරහා අවදානමට ලක් වූ ප්‍රජාව තවදුරටත් නොපවතින්නක් බවට පත් කරන අතර, සමාජයේ වෙනත් කොටස්වලට ලබා දුන් ආරක්ෂාවන් සහ අයිතිවාසිකම් මෙම ප්‍රජාවන්ට දිගින් දිගටම අහිමි කරනු ලබයි. ලිංගික සුළුතර ප්‍රජාව තමන්ගේ පුරවැසිභාවයෙන් අර්ථ නිරූපණය කළ යුතු අතර, එය සිදු විය යුත්තේ මෙම තනි නීති කාණ්ඩය හරහා නොවන අතර, එම කාරණය රට පුරා සිටින විවිධ පන්ති, ජාති සහ ආර්ථික මට්ටම්වලට අයත් වෙන සමකාමී, ද්විලිංගික, සංක්‍රාන්තික සමාජභාවී, අන්තර්ලිංගික, සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන්ට බලපායි. 365 සහ 365 (අ) නීති කාණ්ඩ යටතේ කිසිවකු අත් අඩංගුවට ගෙන, නඩු පවරා නැති බවට රාජ්‍යය තර්ක කරන විට පවා, වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදු වන ලිංගික ක්‍රියා අපරාධ බවට පත් කිරීම, ලිංගික සුළුතර ප්‍රජාව මත තනි සහ බහුවිධ වෙන බලපෑම් ඇති කරයි.

ලිංගික සුළුතර ප්‍රජාව වසර ගණනාවක් තිස්සේ අත්විඳි ලිංගික අතවර, කායික, වාචික සහ චිත්තවේගී අපයෝජනය සම්බන්ධ සිද්ධි රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් වෙත වාර්තා කර ඇත. සමකාමී, ද්විලිංගික, සංක්‍රාන්තික සමාජභාවී, අන්තර්ලිංගික, සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන්ට එරෙහිව කොන් කොට සැලකීම සහ වෙනස් කොට සැලකීම සඳහා වැඩසටහන් රාමුවක් නීතිය විසින් සපයා ඇති අතර මේ තුළින් වැරැදිකරුවන්ට දඬුවම් නොකරන සංස්කෘතියක් බිහිකරන අතර, මේ රටේම පුරවැසියන් කොටසකට නීතියේ සම්පූර්ණ ආරක්ෂාවට ප්‍රවේශය ලබා ගෙන, ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නැගීමට නොහැකි වේ. මෙය විසින් විෂාදය, කාංසාව, මානසික පීඩනය, හුදකලා කිරීම, ප්‍රතික්ෂේප කිරීම සහ සිය දිවි නසා ගැනීම ආදී ගැට‍ළු ඇතුළුව, කෙනෙකුගේ ශරීරයට ඇති අයිතිය, ලිංගික ස්වාධිකාරය, සමානාත්මතාවය, සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස වෙනස් කර නොසැලකීමට ඇති අයිතිය ආදී අයිතිවාසිකම් කඩවීමට ලක් වෙමින් තමන්ගේ සම්පූර්ණ අයිතිවාසිකම් ප්‍රමාණය භුක්ති විඳීමට ප්‍රවේශය ලබා ගැනීමට අසමත් කරනු ලබයි. නීතිය හරහා මෙවැනි කැමැත්තෙන් වැඩිහිටියන් අතර ඇතිවන සම්බන්ධතා අපරාධකරණය නිසා ඇතිවන අසාධාරණත්වයන්ට එරෙහිව ඇත්තේ නොසැලකිය හැකි මට්ටමේ ප්‍රතිකර්ම හෝ වෙනත් පිළියම්ය. මෙම වෙනස් කොට සලකන නීති විසින් මෙවැනි අපරාධ වාර්තා වීම ද වැළකෙන අතර ඒ හරහා ද අපයෝජන සම්බන්ධ ක්‍රියාවන් තවදුරටත් චිරස්ථායී වේ.

එසේම, 365 සහ 365 (අ) නීති කොටස් විසින් ව්‍යවස්ථාමය වශයෙන් තහවුරු කර ඇති මානව හිමිකම් ගණනාවක් කඩ කරන අතර, ලිංගික සන්දර්භය සම්බන්ධයෙන් “ස්වාභාවික” සහ “අස්වාභාවික” යන කරුණු නීතිය හරහා ආරක්ෂා කිරීම හරහා සහ පෞද්ගලික ලිංගික සම්බන්ධකම් “බරපතල අශෝභන” ක්‍රියා ලෙස සැලකීමෙන් ව්‍යවස්ථාවේ අංක 10 වගන්තියෙ යටතේ දක්වා ඇති සිතීමේ සහ හෘද සාක්ෂියේ නිදහස උල්ලංඝණය කර අතර, අංක 14(1) (අ) යටතේ තහවුරු කර ඇති අදහස් ප්‍රකාශනයේ හිමිකම ද අහිමි කරයි. කැමැත්තෙන් වැඩිහිටියන් විසින් පෞද්ගලික ස්ථානවලදී සිදු කරන ලිංගික ක්‍රියා අපරාධගත කිරීමෙන්, රාජ්‍යය විසින් කිසිවකුට මැදිහත් වීමට අයිතියක් නැති පෞද්ගලික සම්බන්ධතාවලට මැදිහත් වීමෙන්, ව්‍යවස්ථාවේ 14 (1) (ඇ) යටතේ ලබා දෙන එක්රැස්වීමේ නිදහස අහිමි කරයි. පුද්ගලයන් බොහෝ ප්‍රමාණයක් පොලිසිය විසින් සිදු කරන අපයෝජනයට, රැකියාවලදී සිදුවෙන වෙනස් කම් කිරීම්වලට, සෞඛ්‍යය සේවා ප්‍රතික්ෂේප කිරීම ආදියේ අවදානමට ලක් කිරීමෙන් ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යටතේ ලබා දී ඇති සමාන ආරක්ෂාව සහ වෙනස් කොට නොසැලකීම උල්ලංඝණය කරයි.

පශ්චාත් යුද සමයේ ප්‍රතිසාධනය සහ අර්බුද පරිවර්තන කටයුතුවලදී, රජය විසින් මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රමවේද දෙකක්, එනම්, ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජන නියෝජන කමිටුව සහ සංහිඳියා ක්‍රමවේද සම්බන්ධයෙන් මහජන අදහස් කාර්ය සාධක බලකාය පිහිටුවන ලදී. ඒ හරහා නීතිය සහ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සිදු කරන ලදී.

මෙම වාර්තා දෙක වෙතම ලිංගික දිශානතිය/ නැඹුරුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතා සම්බන්ධයෙන් වෙනස්කොට සැලකීම සහ හිරිහැර ගැනීම කතා කෙරෙන, ව්‍යවස්ථාමය, නීතිමය සහ ආයතනික ආරක්ෂාවන් සහ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් මහජන අදහස් ලැබුණි. මෙම ක්‍රියාවලීන් දෙක දේශීය ක්‍රියාදාමයන් වෙන අතර, ශ්‍රී ලාංකියකයන් එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන අභියෝගවලට විසඳුම් ලබා ගැනීම උදෙසා ශ්‍රී ලාංකිකයන් විසින් දැකීමට කැමති වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිනි.
එසේ වන බැවින්, අපි සමකාමී, ද්විලිංගික, සංක්‍රාන්තික සමාජභාවී, අන්තර්ලිංගික, සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන් (LGBTIQ) ලෙස සහ එම පුද්ගලයන්ගේ මිතුරන් සහ පවුල්වල සාමාජිකයන් ලෙස සහ ශ්‍රී ලාංකික ප්‍රජාවකට සහයෝගය ලබා දෙන තනි පුද්ගලයන් සහ/ ප්‍රජාවන් ලෙස ශ්‍රී ලංකා රජයට, ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුරවැසියන් කෙරේ ඇති ජාතික සහ අන්තර්ජාතික යුතුකම් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු:

1) ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම 2017-2021 හරහා සමකාමී, ද්විලිංගික, සංක්‍රාන්තික සමාජභාවී, අන්තර්ලිංගික, සහ ලිංගික සම්මතයන්ගෙන් පරිබාහිර පුද්ගලයන් (LGBTIQ) විසින් මුහුණ පාන වෙනස්කොට සැලකීම ප්‍රචණ්ඩත්වය සහ ඒ හා සම්බන්ධ නීති විමර්ශන ක්‍රියාවලීන් සම්බන්ධයෙන්
ආමන්ත්‍රණය කිරීමට උත්සාහයන් ගැනීමට කටයුතු කිරීම සහතික කිරීම.

2) දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) කොටස ඉවත් කිරීම

3) පාදඩ ආඥාපනත ඉවත් කිරීම

4) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා ලිංගික දිශානතිය/ නැඹුරුව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් මත පුද්ගලයන් කොන් කිරීම මුලිනුපුටා දැමීම

To sign the petition, click here.

English Version here