නුගේගොඩදී අපේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කතා කරන සැටි අසාගෙන සිටීමට වීම නින්දිතයි. කෙසේ වෙතත් ඒ ගැන කරුණු සමහරක් පැහැදිළි කරගත යුතුව ඇත.

පළමුවෙන්ම ඊට සහභාගී වු සෙනග ප‍්‍රමාණය ගැන අපි යථාවාදී වෙමු. මහින්ද රාජපක්ෂ දශකයකට ආසන්න කාලයක් මේ රටේ ජනාධිපති වශයෙන් සිටියේය. එබැවින් යම් මහජන රැලියකට 5000 ක් සෙනග ගෙන්වා ගැනීමට ඔහුට හැකි වීම මහ බක්කක් සේ නොගන්න. අනිත් අතට, 2010 දී ඡන්ද මිලියන 6 ක් ලබා ගත්, 2015 දී ඡන්ද මිලියන 5 ක් ලබා ගත් කෙනෙකුට එයින් ඩිංගිත්තක්, සුපර් මාකට් එකක රථ ගාලකට ගෙන්වා ගැනීමට හැකි වීමේ ඇති අරුමය කුමක්ද?

දෙවැනුව, මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවත් මතක තබා ගන්න. අපට තිබෙන්නේද එපමණයි. අතිරේක වාරයකුත් බලයේ සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපේ ව්‍යවස්ථාවේ ප‍්‍රජාතන්ත‍්‍රිය සාරය වෙනස් කළ අවස්ථාවේ එය අපට තදින්ම වැදුණේද එබැවිනි. දේශපාලන විද්‍යාව තුළ එය හැඳින්වෙන්නේ ‘ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක්’ වශයෙනි. එය කොන්ගෝවේ සිදුවිය. එය බුරුන්ඩියේ සිදුවිය. එය සිම්බාව්වේහි සිදුවිය. 2014 දී එය ශ‍්‍රී ලංකාවේ සිදුවිය. දේශපාලන විද්‍යා පාඨ ග‍්‍රන්ථවල එය හැඳින්වෙන්නේ ‘ව්‍යවස්ථා කුමන්ත‍්‍රණ’ සහිත රටක් වශයෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයකින් ඒකාධිපතිවාදයකට පරිවර්තනය වීමට එය පාදක වෙයි. 2015 දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කෙළෙමු. ඒ අනුව, යළිත් වරක් ‘ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක්’ සඳහා පාර්ලිමේන්තුව බිල්ලට ගැනීමට ජනාධිපතිවරයෙකුගේ විධායක බලයට නොහැකි වන්නේය.

එසේ තිබියදී, ‘‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව 2017 දී අපි අගමැතිවරයා වශයෙන් පත්කර ගන්නේ’’ යැයි කුමාර වෙල්ගම කීම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයණට තරග කෙළේය. අගමැති තනතුරට තරග කෙළේය. ඒ දෙකින්ම ඔහු පැරදුණේය. එක වරක් නොව, දෙවරක්ම ඔහු පැරදුණේය. එසේ ජනතාව විසින් කිහිප විටක්ම ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබුණත් ඔහු සෙල්ලම අතහරින්නේ නැත. රජ කෙනෙකු සහ ගැලවුම්කරුවෙකු වශයෙන් කලක් පෙනී සිටි ඔහු දැන්, නුගේගොඩ බස් නැවතුම් පොල අස්සේ පරණ පෙම්වතියක් පස්සේ තවමත් පන්නන බොළඳ කොල්ලෙකුගේ තත්වයට පත්ව ඇත. ඉතිං අපට කීමට ඇත්තේ, ‘සෙවල පෙරාගෙන පස්සෙන් එන එක දැන්වත් නවත්තලා, ඉන්න කෙනෙක් එක්ක අළුත් ජීවිතයක් පටන් ගන්න’’ යන්න පමණි. මේ රටේ දශක ගණනාවක් තිස්සේ දූෂණය රජ කළත්, ජාතිවාදය, නාරි-ද්වේෂය, සමලිංගික-ද්වේෂය මොන තරම් පැවතියත්, සෑම වසර 4/6 කට වරක් ඡන්දය පාවිච්චි කොට අපේ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අපට හැකියාව තිබේ. මේ රට එක්සත්ව තබා ගන්නා එවැනි හරයාත්මක ප‍්‍රතිපත්තිවලට කෙනෙකු තර්ජනය කිරීම නින්දිත ය. එය අප සැහැල්ලූවෙන් භාරගත යුතු නැත.

තෙවැනුව, සමලිංගික-ද්වේෂය ගන්න: ඊයේ ටියුෂන් පංති අවසන් වී ගෙවල් දොරවල් බලා යන ළමෝ වූහ. ඊයේ රෑ රූපවාහිනී ප‍්‍රවෘත්ති බැලූ ළමෝ වූහ. වැඩිහිටියන් විසින් කියන දේවල් ඔවුන්ට ඇසුණි. කෙනෙකුට සමලිංගික යැයි කීම එම පුද්ගලයාට කරන නිගරුවක් වන බව විශ්වාස කිරීමම මේ දේශපාලඥයන්ගේ අධ්‍යාපනික හිඟන බව පෙන්නුම් කරයි. මේ ආණ්ඩුව සමලිංගික ආණ්ඩුවක් ද? හොඳයි, එසේ වෙච්චාවේ. ඒ සමලිංගික ආණ්ඩුව අප වෙනුවෙන් දිනාගෙන ඇති දේවල්, එතකොට? ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබා ගැනීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක ණය ආධාරයක් ලබා ගැනීම, අපේ පලූදු වී තිබු විදේශ සම්බන්ධතා පිළිසකර කර ගැනීම.. එපමණක්ද? මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ ‘ඒකාබද්ධ විපක්ෂයේ’ ගජ මිතුරන්ට කට අරින්ට ඉඩ දීම සහ වෙඩි නොකා, රෑට සුදු වෑන් එකකින් පැහැරගෙන යාමේ අවදානමක් නැතිව, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය කඩාකප්පල් වන ආකාරයෙන් පාරවල් ගානේ විරෝධය පෑමට නිදහස දීම.. ඒ නිසා, ඩොලර් බිලියන 64 ක් වන ණය උගුලක අපව හිර කළ, පිරිසුදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තරුණයන්ව වෙඩි තබා ඝාතනය කළ, තමන්ගේ පටු වාසිය තකා ව්‍යවස්ථාවේ වචන වෙනස් කළ, තමුන්නාන්සේලාගේ රාජපක්ෂ-වෙල්ගම-වීරවංශ පුරුෂවාදී මදන ආණ්ඩුවට වඩා ඕනෑම දවසක සමලිංගික ආණ්ඩුවක් භාර ගැනීමට මා සූදානම් ය.

තමුන්නාන්සේලා මේ ආණ්ඩුව කෙරෙහි අසහනයෙන් පිපිරෙන බව මම දනිමි. ආණ්ඩුව ගැන ප‍්‍රශ්න අප බොහෝ දෙනාටත් තිබේ. දේශපාලනය, අසහනය ඇති කරවයි. දශක ගණනාවක් තිස්සේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මතවාදවල සිටි, ඒ ප‍්‍රතිවිරෝධතා මතම පෝෂණය වූ සහ ඇනකොටා ගත් ලොකුම පක්ෂ දෙක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එක වේදිකාවකට පැමිණ තිබීම ගැන මොහොතකට සිතා බලන්න. එය තුළ අසහනය දනවන අනේක කාරණා තිබිය හැකි බව ඇත්ත. එහෙත් අප වැඩිවිය පත්වන විට අසහනය අපව වට කර ගැනීම සිරිතයි. අප කෝපයට පත්වීම ස්වභාවයයි. අප වැඩි වැඩියෙන් ඉල්ලන බව සැබෑවයි. එහෙත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි ඇති අසහනය, පැවති ආණ්ඩුව කෙරෙහි පැවති භීතිය සමග පටලවා ගැනීමේ වරද නොකරන්න. ඒ දෙක අතරේ විශාල වෙනසක් තිබේ. එය අප පිළිගත යුතුව ඇත්තෙමු.

ඒ සියල්ල එසේ තිබියදී, ඊයේ මම මහත් ආඩම්බරයට පත්වීමි. වෙන කවර දාටත් වඩා අද අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්ව ඇති බව මම තේරුම් ගත්තෙමි. සුළු පිරිසකගේ සහයෝගය ඇති විපක්ෂයකට, අත්අඩංගුවට පත් නොවී, බාධාවකට මුහුණනොදී, රැස්වීමේ නිදහස මගේ රටට ඇති බව මට වැටහුණි. අනෙකා ඉවසීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහගු ගුණයකි. වෙන කවර දාටත් වඩා ඊයේ එය බැබළුණේය. ඒ වෙනුවෙන් අප ස්තුතිවන්ත විය යුත්තේ, ‘ඒකාබද්ධ විපක්ෂයේ’ වචනයෙන් කිවහොත්, සමලිංගික ආණ්ඩුවටයි.

තිසුරී වන්නිආරච්චි

*2017 ජනවාරි 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Thanks, Homosexual Government නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි