Image by: asiantribune

ලෝකය පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වනු ලබන්නේ ඇමරිකානු ජනාධිපති ලැයිතුවේ නම සඳහන් වූ අශිෂ්ටම සහ ගෝත්‍රිකම මතධාරියා ලෙසය. මින් පෙර සිටි ඇමරිකානු ජනපතිවරුන් සම්බන්ධයෙන්ද නොයෙකුත් චෝදනා සහ පැමිණිලි එල්ල වුවද ට්‍රම්ප් තරම් දුෂ්ටකම ප්‍රසිද්ධියේම පෙන්නුම් කිරීමට ඔවුන් කලබල වුණේ නැත. ට්‍රම්ප් ඇමරිකානු ජනපති සටනට එක් වූ දා පටන්ම ප්‍රසිද්ධ වේදිකාවල සහ රූපවාහිනී සාකච්ඡාවල කාන්තාවන් පහත් කොට සලකා ප්‍රකාශ නිකුත් කිරීම, උග්‍ර මුස්ලිම් විරෝධය, සුදු ජාතික ඇමරිකන්වාදය සහ ජාතිවාදය ආදී ගෝත්‍රික හැසිරීම් ප්‍රකට කිරීම සඳහා නම් දරා ඇත්තෙකි. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ සිට මේ දක්වාද ඔහු හැසිරෙමින් සිටින්නේ ලෝක බලවතාගේ පුටුවේ අසුන් ගැනීමට සුදුසු ශිෂ්ටසම්පන්න පුද්ගලයෙකු ලෙස නොවේ. කෙටියෙන්ම කියනවා නම් ට්‍රම්ප් යනු බලයෙන් හා ධනයෙන් ඔළුව උදුම්මාගත් උද්ධච්ච රස්තියාදුකාරයෙකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මහත් උද්දාමයට හා ආඩම්බරයට පත් ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සිටී. පක්ෂ පාට වශයෙන් හඳුනාගත නොහැකි වුවද මේ අය අතරින් බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ වන්දනා කරන, ලංකාවේ නිල අයිතිකරුවන් තමන් යැයි සිතා සිටින සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් බව ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන විට අපට සිතෙයි. මේ අයට අනුව ලංකාවේ නිල ඉතිහාස ග්‍රන්ථය අප ආඛ්‍යානයක් ලෙස පිළිගන්නා මහාවංසය වන අතර ලංකාව ප්‍රාග් අතීතයේ සිටිම සිංහල-බෞද්ධයන්ගේ නිජබිමයි (එහෙත්, බුද්ධාගම දේශපාලනික අවශ්‍යතාවක් මත ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ක්‍රි. පූ. 3 වන සියවසේදීය. පූර්වනූතන යුගයේ සිංහලයන් සහ දමිළයන් අතර පැවැති සබඳතා පිළිබඳ සවිස්තර පර්යේෂණාත්මක විග්‍රහයක් සඳහා මහාචාර්ය අමරදාස ලියනගමගේ විසින් රචිත Society, State and Religion in Premodern Sri Lanka කෘතිය කියවන්න). සුළු ජාතීන් කෙරෙහි සැකය සහ දුරස්ථභාවය මුසු හැඟීමකින් බැලීමට කැමැත්තක් දක්වන මොවුන් කල්පනා කරන්නේ දෙමළා සහ මුසල්මානුවා යනු සිංහලයාගේ ‘මනුස්සකමට’ මෙහි විසීමට ‘ඉඩ දී ඇති’ ජන කොටස් දෙකක් වන අතර සෑම විටම සිංහල-බෞද්ධ ස්වාධිපත්‍යයට යටත්ව ජීවත් වීමට ඔවුන් වගබලා ගත යුතුය. සුළුජාතීන් මේ සීමා ඉක්මවීමට උත්සාහ දරන සෑම ප්‍රයත්නයක්ම ඔවුන්ගේ සීමිත ලෝක දෘෂ්ටියට හසු වන්නේ සමස්ථ සිංහල ජාතියම සහ සම්බුද්ධ ශාසනයම විනාශ කොට ලංකාවේ කල්පිත ඔප්පුව තමන්ගෙන් උදුරා ගැනීමට දරන උත්සාහයක් වශයෙනි. මේ නිසාම මේ අය සෑම විටම නිරාවරණය වී සිටින්නේ අති විශාල භීතිකා ලෝකයකටය. මෙය ඔවුන්ගේ පැවැත්ම පිළිබද අවිනිශ්චිතතාව (ontological insecurity) නිසා උපදින මනෝභාවයක් ලෙස ද දැකිය හැක.

මෙම පසුබිම තුළ ඔවුන් මේ සා විශාල ඇල්මක් සහ ආදරයක් ට්‍රම්ප් කෙරෙහි දක්වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පහසුවෙන්ම පිළිතුරු ලැබේ. දෘෂ්ටිවාදීමය වශයෙන් ඔවුන්ගේ සහ ට්‍රම්ප්ගේ ෆැන්ටසි අතර සමානතා විශාල ප්‍රමාණයක් ඇත. ට්‍රම්ප් යනු ද ඇමරිකාවෙන් වෙනත් ජන වර්ග, විශේෂයෙන්ම මුස්ලිම්වරුන්, තුරන් විය යුතු යැයි විශ්වාස කරන්නෙකි. මුස්ලිම් රටවල් හතක සිට ඇමරිකාවට සංක්‍රමණය වීම අහුරාලන තීරණ ගැනීම සහ ‘ට්‍රම්ප් තාප්පය’ ඉදි කරමින් සංක්‍රමණිකයිනට පාර වැසීමට තීරණය කිරීම නිදසුන් දෙකක් පමණි.

මුස්ලිම්වරුන් පමණක් නොව ඇමරිකාවේ කලු ජාතිකයන් කෙරෙහි ද ඔහු ප්‍රකට කරන්නේ සුභවාදී ආකල්පයක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධයන් සහ ට්‍රම්ප්ගේ සුදු ජාතික ඇමරිකානුවන් සමපාත වන්නේ එබැවිනි. අනෙක් අතට, තම මුස්ලිම් විරෝධය සාධාරණීකරණය කරනු සඳහා ට්‍රම්ප් නිතර නිතර යොදා ගන්නා ගැලවුම් පාඨය නම් ‘යුද්ධයයි’. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී දෘෂ්ටිවාදය තුළ ද යුද්ධයට හිමි වන ලංසුව ඉතා ඉහළය. මුස්ලිම් ජාතිකයන් සහ අයිසිස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා අතර පහසු සම්බන්ධයක් ගොඩනැගීමට ට්‍රම්ප් කටයුතු කරනවා සේම එය පදනම් කරගෙන සමස්ථ මුස්ලිම් ප්‍රජාවම දෙස සැකමුසු බැල්මක් හෙළීමට පසුබට නොවෙයි. ලංකාවේ දෙමළ ජනයාට සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී හෙජමොනිය තුළ හිමි තැන මීට බොහෝ සෙයින් සමානය. ජනපති ධුරයට පත් වූ පසුව ට්‍රම්ප් විසින් ගන්නා ලද පළමු යුධමය පියවරේ ප්‍රතිඵලයක් ලෙස යේමනයේ සිවිල් වැසියන් 30 දෙනෙකු ඝාතනය වූ බවත්, ඔවුන් අතරින් 10 දෙනෙකුම කාන්තාවන් හා දරුවන් වූ බවත් Independent ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. සමහරවිට ඇමරිකන් අධිරාජ්‍යවාදය සහ බටහිර ලෝකයේ කුහකකම ගැන නිතර කල්පනා කරන සිංහල-බෞද්ධ ඇස් කණ්ණාඩියට එවැනි සිදුවීම් නොපෙනෙන්නේ ලංකාවේ යුද්ධය හා දෙමළා පිළිබඳ එවැනි අප්‍රසන්න මතක සම්භාරයක් ලාංකීය සමාජයේ සාමූහික විඥානයේ (collective consciousness) තැන්පත්ව තිබෙන නිසාද?

මේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන්ට පොදු තවත් කාරණයක් නම් ඔවුන් අතරින් අති බහුතරය දැඩි මහින්ද භක්තිකයන් වීමයි. මහින්දට ඇති වහල් බන්ධනය කොතෙක්ද යත් වත්මන් ආණ්ඩුව යටතේ පාලනය වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු විකල්ප ආහාර ලෙස කොස් කොළ සහ ක්‍රෝටන් කොළ ආහාරයට ගැනීමේ හැකියාව පරීක්ෂා කළ යුතු යැයි කී සැණින් ‘ඊට විරෝධය දැක්වීම පිණිස’ සති ගණනක් නිරාහාරව සිටි අය මෙන් ඉතා ගිජු ලෙස කොස් කොළ සහ ක්‍රෝටන් කොළ කට පුරා කමින් අරුම ‘විරෝධයක්’ පළ කිරීම එක් උදාහරණයක් පමණි. අප එම විරෝධය කළා නම් කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ හෝ යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ හෝ ඩමියක් සාදා ඩමියට කොස් කොළ කැවීම වුවද එවැන්නක් සිතන්නට අවශ්‍ය චින්තන නිදහස මහින්ද දෘෂ්ටිවාදය ඔවුන් වෙත ලබා දී නොමැති සෙයකි.

ට්‍රම්ප් ඇමරිකානු ජනපති වීමෙන් සහ සුළු ජාතීන්ට සහ ප්‍රගතිශීලී ඇමරිකානුවන්ට සීමා බන්ධන දැමීමෙන් අතිශය සතුටට පත් වන අය සෑම විටම එසේ කරන්නේද තමන්ගේ දෘෂ්ටිවාදීමය වහල් හිමියා වන මහින්ද ‘රජතුමා’ පදනම් කරගෙන බව පෙනේ. 2015 ජනවාරි 08 දින ජනතාවගේ බහුතර ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කෙරුණද ඔවුන් ඒ බව පිළිගන්නට කැමති නැත. මහින්දගේ ගෝත්‍රික, ම්ලේච්ඡ පාලනයෙහි කරවටක් ගිලී සිටි ඔවුන්ට බලය රඳවා තබා ගැනීම සහ තමන්ගේ හෙංචයියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මහින්ද රෙජීමය යටතේ සිදු වුණු දහසකුත් දුෂ්ට වැඩ ‘දුෂ්ට’ ලෙස පෙනුණේ නැත. ඔවුන් ඒ සියල්ලම දුටුවේ ‘දිනූ දේශය’ රැක ගැනීම වෙනුවෙන් ඒ ඒ අවස්ථාවේදී කළ යුතුව තිබුණු දේවල් ලෙසය. රාජ්‍ය පරිපාලනය පිළිබඳ කිසිදු සුදුසුකමක් හෝ පළපුරුද්දක් නොතිබුණු ගෝඨාභය රාජපක්ෂ වැනි දේශපාලනික චරිතයක් අමාත්‍යාංශ ලේකම් ධුරයකට පත් වන විට පවා දුටුගැමුණු-සද්ධාතිස්ස කතාව ඉදිරියට ගෙන එමින් එය සාධාරණීකරණය කරන්නට ඔවුහු පසුබට නොවූහ. එපමණක්ද නොව, ට්‍රම්ප් පරිදිම මහින්දද තම අභිමතයට විරුද්ධ පාර්ශ්ව තනතුරුවලින් පහ කරමින් සහ හෙලා දකිමින් පළිගැනීම සම්බන්ධයෙන්ද ඔවුන් දරන්නේ ඉතා නිශ්ක්‍රීය ආකල්පයකි. අද රණවිරුවන්ට අඩම්තේට්ටම් කිරීමක් ගැන මහා ඉහළින් කතා කරන ඔවුන්ගේ මතක සීමාවට, යුද්ධය නිමා කරන විට යුධ හමුදාපති ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකාව මහින්දගේ දේශපාලන වෛරය හේතුවෙන් තිරිසනෙකු සේ ඇදගෙන ගොස් අත්තනෝමතිකව සිරගත කළ සිද්ධිය හසු නොවේ. මේ නිසාම, මහින්ද පරිදිම ට්‍රම්ප්ද නුදුරේම පිරිහී විනාශ වීමට ඉඩකඩ වැඩි බවට මත පළ කරන පිරිසද අති විශාලය. ඔහුට අඩු මහින්දට සිටියා මෙන් බොරුකාර ජ්‍යොතිශ පිස්සන් ටිකක් පමණි. පිරිහීමට අවශ්‍ය අනෙකුත් සියලුම ‘මහින්දමය ලක්ෂණ’ ට්‍රම්ප් තුළද නොඅඩුව පැවතීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලාපොරොත්තු දල්වයි.

දෛවෝපගත සිද්ධියකට මෙන් මහින්ද සහ ට්‍රම්ප් යන දෙදෙනාටම එක් පොදු මිතුරෙක් සිටී. එනම්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් ය. ජනපතිවරණයට පෙර සිටම ට්‍රම්ප් පූටින්ට දැක්වූයේ පුදුමාකාර ඇල්මකි. පූටින් යනුද ඔහු පරිදිම මුස්ලිම් ලෝකය විනාශ කර දැමිය යුතු යැයි දැඩිව විශ්වාස කරන පුද්ගලයෙකි. අයිසිස් සංවිධානය විනාශ කිරීමේ මුවාවෙන් දහස් සංඛ්‍යාත නිරායුධ ජනකායක් මරණයට පත් වන්නට ඉඩ සැලැස්වූ සහ තවමත් ඒ ගැන සිහින දකින පුද්ගලයෙකි (ලංකාවේ සිවිල් දෙමළ වැසියන්ට සිදු වූ මිලිටරි අපරාධ ගැන කතා කරන සැණින් එල්ටීටීඊ සංවිධානයේ මිනී මැරීම් අමාරුවෙන් සිහිපත් කොට නිදහසට කරුණක් සේ ගෙනහැර පාන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් මෙහිදී සිහිපත් වේ. අයිසිස්ලා ‘හොඳ’ නැත!). පූටින් මහින්ද රාජපක්ෂගේද හොඳ ‘බොක්කක්’ බවට පත්ව සිටි අයෙකි. මහින්ද භක්තිකයන් එකල පූටින්ට හුරේ දැමූ සැටි සමාජ මාධ්‍ය භාවිත කරන අපට අමතක නැත. මේ සමීකරණය ඉතා සරලය. ‘සමාන ගති ඇති කුරුල්ලෝ එකට පියාඹති’ යනුවෙන් කතාවක් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇත. එලෙස බලන විට මුළු ලෝකයම අශිෂ්ට ඒකාධිපතියෙකු ලෙස සලකා විවේචනය කරන ට්‍රම්ප්ට වශී වී සිටින ලාංකිකයන් අතරින් අති බහුතරය මහින්ද භක්තිකයන් වීම ගැන පුදුම වීමට හේතුවක් නැත.

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂගෙන් සහ ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉගෙනීමට බොහෝ පාඩම් ට්‍රම්ප්ට තිබේ. මහින්දගෙන් ඉගෙනීමට ඇති ලොකුම පාඩම නම් මිනිසුන්ගෙන් ප්‍රතික්ෂේප වූ දිනක බහිරවයෙකු මෙන් එල්ලී එල්ලී සිටිමින් ‘සවුත්තු’ නොවී ශේෂ වී ඇති අවම නම්බුව හෝ රැකගෙන නික්ම නොයන දේශපාලඥයන් ලෝකයට විහිළු බවට පත් වීම නොවැළැක්විය හැකි ස්වභාවික ධර්මතාවක් බවය. තමන් ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව එතෙක් සිටි ජනපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ ජනෙල් උළුවහුවල එල්ලීගෙන ජාතිවාදය අවුස්සමින් ‘මට මේක දාලා යන්න බෑ අපෙ හාමුදුරුවනේ’ කීවේ නැති බවත්, මැදමුලනේදී නම් ඒ ටික හොඳටම වූ බවත් දැනගෙන කටයුතු කිරීම ට්‍රම්ප්ට පමණක් නොව ලොව ඕනෑම රටක නායකයෙකුට වැදගත්ය. මහින්දවාදීන්ගෙන් ඉගෙනීමටද ඉතාම වැදගත් පාඩමක් තිබේ. මහින්ද රාජපක්ෂ අද පණ පොවන උන්මත්තකයාගේ චරිතය ඔහුට ආරූඪ කිරීමට විශාල දායකත්වයක් ඔහුගේ වහල් සේනාව සහ ඔහුව අලෙවි කරමින් තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට මාන බලමින් සිටින ගම්මන්පිල, වීරවංස ඇතුළු දේශපාලනික කිනිතුල්ලන් නඩය විසින් ලබා දෙන ලදි. අද තමන් හුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණක් බව මහින්ද රාජපක්ෂවත් දන්නේ නැති තරමටම මේ පිස්සුව ඔඩුදුවා ඇත. 2016 ජනවාරි 08 ඡන්දයෙන් තමා පරාජය වූ බව ඔහු අදටත් දන්නේ නැත. මේ මොහොතේ පවා ඔහු සිතා සිටින්නේ තමන් තවමත් ලංකාවේ ‍ජනාධිපති බවයි. මහින්දගේ නිල ෆේස්බුක් පිටුවෙහි එක් සටහනක සඳහන් වන්නේ “අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා” යනුවෙනි. ඇන්දීමක මහත!

කෙසේ වෙතත්, මානුෂීය කරුණු සලකා බලන විට මහින්දගේ මේ ජනපති පිස්සුව හොඳ වන්නට ඉඩ නොහැරීම ඔහුට කරන උපකාරයක් විය හැක. ඇතැම් විට ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවා ගැනීමට ඇති එකම ‘සැනසුම් සුසුම’ද එය විය හැක. දැන් ඔහුට වැදගත් රටේ දේශපාලනය නොව තම ‘හිතේ දේශපාලනය’යි. විකාරයක් වෙනවා හැරුණුකොට අන් කිසිදු හානියක් ඉන් ජනතාවට නොමැති නිසා, කරුණාකර ඔහුට එහෙමම ඉන්න හරින්න!

අශාන් වීරසිංහ | Ashan Weerasinghe