ලේ වැකි යුද්ධය අවසන් වී වසර 8ක් ගෙවෙමින් තිබේ. උතුරු සහ නැගෙණහිර අහසේ සෑම වේලාවකම නැගෙමින් තිබූ වෙඩි බෙහෙත් දුමාරය දැන් නැත. නමුත් වන්නි මහපොළවේ තවමත් ඒ වේදනාවන් එසේම පවතින් බව ඒ9 ඔස්සේ පමණක් උතුරට ගොස් දෙමළ ලේ තැවරුනු ‘යුද නටඹුන්‘ බලමින් ‘ඊනියා ජයග්‍රාහී‘ ලීලාවෙන්, හමුදා අවන්හලෙන් සප්පායම් වී ආපසු එන කිසිදු සිංහලයෙකුට දැනෙන්නේ නැති සේයකි.

එය වසර ගණනාවක් ගිය පසුත් තවමත් එය වෙනස් වී නැති බව අද ද පෙනෙන්නට තිබේ. යුදකාලයේදී ද්‍රවීකරණය වූ ජනමාධ්‍ය තවමත් හැසිරෙන්නේ එසේමය. යුද කාලයේදී ජීවිත වෙනුවට මිනී ගණන් කිරීමටත්, ඝාතනය කරන අයුරු උද්දාමයෙන් සිය රූපවාහිණි නාලිකාවල ප්‍රචාරය කරන්නට පොර කෑ දකුණම අද ද එම ක්‍රියාව වෙනත් ආකාරයකට කරමින් තිබේ. එදවස ජීවිතයට වඩා මිල වූයේ ඝාතනයන්ය.

අද ද එය වෙනත් ආරක් ගත්තද අන්තර්ගතය එයමය.

එයට ආසන්නම උදාහරණයක් පාදක කර ගත හැකිය. මාසයක් පුරා කේප්පාපිලව්, පුදුකුඩුඉරුප්පු, පරවිචංචාන් ආදී උතුරු සහ නැගෙණහිර මිනිසුන් උපවාසයේ මෙන්ම විරෝධතාවයේ යෙදෙන්නේ/ යෙදුනේ දිවා රෑ, අව්ව, වැස්ස නොබලා සෑම දිනකම, සෑම දෙනෙක්ම එක්වය. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ තමන්ට අයිති ඉඩම් වල සහ නිවාස වල මේ දක්වා වාඩිලා සිටින හමුදාව එවායින් ඉවත්කර නැවත, ඒ ඉඩම් සහ නිවාස ඔවුන්ට ලබා දෙන ලෙසය.(ඒ අරගලවල යම් ප්‍රගතියක් පෙන්වමින් පුදුකුඩුඉරුප්පුවල හමුදාව සතු ඉඩම් කිහිපයක් සහ කේප්පාපිලව් හී පිලක්කුඩියිරුප්පු පිහිටි ජනතාවට අයත් ඉඩම් කොටස් 48ක් නැවත එම පවුල්වලට ලබා දීමට බළධාරීන්ට සිදු විය. නමුත්, මුල්ලතිව්, කේප්පාපිලවු ප්‍රදේශයේ නිදහස් නොකළ අක්කර 482ක ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු පූර්වීක ගම්මානයේ ජනතාව මේ වන විටත් විරෝධතාවයේ නියැලී සිටී.)

නමුත් මේ යුක්ති සහගත ඉල්ලීම ගැන දකුණේ බොහෝ සිංහල භාෂිත ජනමාධ්‍ය තුළ අකුරක්වත් ලියවෙන්නේ නැත. ඒ වෙනුවට දකුණ තුළ හොදින් අලෙවිකර ගැනීමට හැකි, පාර්ලිමේන්තුව තුළ කුලල් කා ගැනීම්, දේශපාලනකයන්, සහ පක්ෂ තුළ කුණුරසැති ප්‍රවෘත්ති හොදහැටි අයිසින් කර විකිණීමට තබා ඇත. ඒ අතර මැද චතුර වැනි මානසික ව්‍යාදීන් සමග සංවාද ද කිරීම‍ට සිංහල භාෂිත මාධ්‍ය සූදානම්ය.

නමුත් වසර 30ක් තලා දැමූ උතුරේ මිනිසාගේ ප්‍රජාතන්ත්‍රවාදීත්, යුක්තිසහගත වූ ඉල්ලීම් ගැන ඔවුන් ලියන්නේ වත් කියන්නේ වත් නැත. බෙදුම් රේඛාව සළකුනු කර ඇත්තේ 2009 ට පෙර සේමය.

නමුත් ක්ෂණිකයින් යමක් ලියැවේ.

මේ එයට එක් උදාහරණයකි. වෙබ් අඩවිය එසියන් මිරර් ය. දිනය පෙබරවාරි 27. අදාල පුවතට දමා ඇති මාතෘකාව ‘පරෙවිපච්චාන් හමුදා කදවුරට පිරිසක් බලෙන් ඇතුළුවෙයි (PHOTOS)‘



පරෙවිපංචාන්

පරෙවිපංචාන් මිනිසුන් සිය ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක නිරත වූයේ පසුගිය පෙබරවාරි 19වනදා සිටය. ඔවුන්ගේ සම්ප්‍රදායික ඉඩම් සහ නිවාස අක්කර 9ක් තුළ හමුදාවෝ වාඩි ලා සිටින්නේ වසර ගණනාවක සිටය. ඒ අක්කර 9තුළ පවුල් 24කට අයිති ඉඩම් සහ ගෙවල් ඇති බව පරෙවිපංචාන් ජනතාව පවසයි.

ඒ අසලට යන ඔනෑම අයෙක් දක්නට ඇත්තේ ද සාමාන්‍ය මිනිසුන්ගේ නිවාස හමුදාව භාවිතා කරන අයුරුය.

‘එල්ටීටීඊ එක ඉන්න කාලේ අපේ ගෙවල් වල අපි හිටියා, එක තැනක විතරයි තමිල් චෙල්වම්ගේ කාර්යාලයක් තිබ්බා. ඒ උනාට අපි අපේ පාඩුවේ හිටියා. දැන් අපිට අපේ ගෙවල් ඉඩම් මුකුත් නෑ. හමුදාව ඔක්කෝම අල්ලගෙන‘ ඉඩම් හිමියේ පවසයි.

ඒ පරෙවිපංචාන් මිනිසාගේ යුක්ති සගහත හඩය.

නමුත් අදාල වෙබ් අඩවියට ඒ මිනිසුන්ගේ යුක්ති සහගත හඩ ඇසුනේ නැත. ඔවුන් ට ඇසුනේ ‘හමුදා කදවුරකට ඇතුලුවන්න ගිය මිනිසුන්‘ ගේ කතාවකි. ඒ ඉඩම්, නිවාස පරෙවිපංචාන් මිනිසුන්ට අයිති සාම්ප්‍රදායික දේපල බවත්, ඒවා ඒ මිනිසුන්ගේ සම්පත් බවත් ලියන්නට අදාල වෙබ් අඩවියට සේම දකුණේ බොහෝ මාධ්‍යට අවශ්‍ය නැත. නමුත් ඒ අරගලයේ බලපෑම නිසා පරවිපංචාන් හී හමුදාව අත්පත්කරගෙන ඇති ජනතාවගේ ඉඩම්වලින් අක්කර 7.5ක් නැවත ලබා දීමට ඔවුන්ට සිදු තිබේ. නමුත් ඉතිරි ඉඩම් කොටස් කිහිපය ද ඉල්ලා ඔවුන් දිගින් දිගටම සිය අරගලයේ නිරතව සිටී.

නමුත් ඔවුන්ට අවශ්‍ය කොටස අදාළ මාධ්‍ය ඔවුන් ලියා ඇත. එනම් හමුදාව ගැනය. වන්නි මිනිසාගේ ජීවිතය, ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්, ඔවුන්ගේ අයිතීන් ඒ මාධ්‍යට අවශ්‍ය වන්නේ නැති සේයකි. යුද්ධයෙන් වසර 8ක් ඉක්ම ගොස් ඇති විටකත්, සහජීවනය, සංහිදියාව ගැන කතා කරන මේ මොහොතේත් බොහෝ මාධ්‍යට අවශ්‍ය වන්නේ තවමත් උතුරේ ජන ජීවිතයේ නිදහසට තවමත් බලපෑම් කරන හමුදාව උත්කර්ශයට නැංවීමය.

මේ පරවිපංචාන්වල මිනිසුන්ගේ අයිතිය කියාපාන ඡායාරූප ය.(පහත ඡායාරූපයේ ලිද ඉදිකර ඇති දිනය බලන්න)

කිසිදු බෞද්ධයෙක් නැති, නමුත් මිනිසුන්ගේ ඉඩම්වල හමුදාව විසින් සිය කදවුර තුළ ඉදිකර තිබූ ‘බුදු කුටියයි‘

එපමණක් නොවේ, යුද්ධාවසාන කාලයේදී සිය දරුවන්, සැමියන් හමුදාවට බාර දුන් පසු, පසුව අතුරුදන් වී ඇතැයි පවසමින්, කිලිනොච්චියේ, වව්නියාවේ, ත්‍රීකූණාමලය වැනි ප්‍රදේශවල දෙමාපියන්, බිරින්දෑවරුන් සත්‍යග්‍රහයන්වල නිරත වන්නේ මාසයකට ආසන්න කාලයක සිටය. නමුත් ඒ හඩ දකුණේ මාධ්‍යට අවශ්‍ය නැත.

වන්නි මිනිසාගේ ‘ජීවිතය’ ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට තවමත් අදාළ වන්නේ ‘තුවක්කුය’!

වසර 30කට වඩා පැවති ලේ වැකි යුද්ධය විසින් ඉතිරි කර ඇති තවත් ඛේදාන්තයක් මිහිරක් සේ තවමත් දකුණ විදිමින් ඉන්නේ එසේය.

එබැවින් අද ද හෙට ද අපට අවශ්‍ය කරන්නේ යුද බිම්/ හමුදා කදවුරු, ගොවිබිම් බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක්, මාධ්‍යවේදීන් සහ ‘තුවක්කු‘ වෙනුවට ‘ජීවිතය’ ‘මිනිසුන්‘ වෙනුවෙන් ලියන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ය.