“ලංකාවෙන් නුබේ මව සමග
පලා ගිය නුබේ පියා
ජීවිතය දුනි නුබට
අයිතියක් නැති නමුත් මේ රටට
අයිතියක් වේ නුඹේ ජීවිතය වෙත
වෛරයක් ඇති නමුත් නුඹේ පිය වෙත
මවට දුන් වද තිස් දෙකට
දෑත එක්කර පුද ලැබුමට
හෙතෙම සුදුසු යැයි සිතුනේ මට
කියවන විට නිහඩ කල සෙවනැලි කතාව”

නිහඩ කල සෙවනැලි, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් 2017 දී ප්‍රකාශිත කවි එකතුවකි. එහි අන්තර්ගතය විසින් බොහෝ කවි මා හට හමුවූ ආදරණිය වන්නියවරුන්ගේ ජිවිත කතා ප්‍රතිබිම්බනය කරනු ලැබේ. ඉන් එක් අඛ්‍යනයානයක් අයිති වන්නේ හිම වැටුණු නොර්වේහිදී මුණ ගැසුණු ඇයටය.

“මම කසාද බැන්දේ යෝජනාවකින්. තාත්තා මට තුන්ඩු කැලි දෙකක් අතට දුන්නා. ඒක අරගෙන පල්ලියට ගිහින් යාච්ඤා කරා. එක තුන්ඩුවක් ගෙනත් තාත්තට නැවත දුන්නා. එකේ එයාගේ නම තිබුණා. ඊට පස්සේ කසාද බැන්දා. මෙහෙ අවා. ආ දවසේ සිටම මහත්තයා කරපු වැඩේ බොන එක විතරයි. බීලා මට ගහනවා. මම ගෙදරට කිවේ නෑ. එතකොට යුද්දෙන් ගෙදරට ගිණි තියලා. මමත් ගිනි දෙන්න ඕනේ නැනේ. මම තනිවම රස්සාවක් හොයාගෙන ළමයි දෙන්නා හදා ගත්තා. මහත්තයා 2013 දී මැරුණා. පුතාලා වෙන රටවල පදිංචි වෙලා. වයසට ගිය මම මෙහෙ තනිවෙලා”. ඇය ඇතින් පෙනෙන උතුරු මුහුද දෙස බලා හඩා වැටීමට නොහැකිව සිනාසුණි. “ගෙදර දාලා අවේ දරුවෝ සමග සතුටින් ජිවත් වෙන්න”. ශරීකා තිරාණ ගමගේ

“In My mother’s House: Civil War In Sri Lanka ” හි ‘මගේ නිවස’(ඌර්) අත්හැර ජීවිතය රැකගැනීම උදෙසා සංක්‍රමනය වුවන් පිළබඳ මානවාදී විග්‍රහයක් වේ. එකී විග්‍රහයේ වන ආඛ්‍යානයට අනුව, බහුතර සංක්‍රමණිකයන්, ‘නිවස බලකිරීමෙන් අත්හැර’ දැමීම පිලිබද වේදනාවෙන් රටෙන් බැහැරව ජිවත් වේ. ජීවිතය සහ භුමිය අතර වරණයේදී, ජීවිතය ජිවත් කිරීම උදෙසා ඔවුන් මුල්තැන ලබා දී ඇත. ඉතිරි වූවන් විසින් භුමියේ අයිතිය ඉල්ලා ජීවිතය පරදු තබා සටන් කරන ලදී. දෙමළ ඔවුන් භයංකරනවාදීන් ලෙස නම්කර ඔවුන්ගේ මරා දැමීම ද සාධාරණී කරනු ලැබුණි. භයංකරනවාදීන් සහ සිවිල් වැසියන් අතුරුදහන් විණි.

ජනතාව රට හැර පලා යන ලදී. චෙට්ටිකුලම් මුහාම් හිදී කොටුකර, තනිවී, අපමණ වේදනා විදි වන්නිවරු තුවාල වූ හදවත් සමග නැවත තම ගම්රට පැමිණි පසු, තමගේ පාරම්පරික ඉඩම් ඉල්ලා, උද්ගෝෂණ කිරීමට ඔවුන් අද සිදුවී ඇත.

34 වන මානව හිමිකම් සභාවරය ආමන්ත්‍රණය කරමින් මෙරට විදේශ ඇමති විසින්, රජයේ අක්කර 5,515.98 සහ පෞද්ගලික ඉඩම් අක්කර 2.090.03 දෙමළ ජනතාව වෙත නිදහස්‌ කළ බව ප්‍රකාශ කරණලදී. කෘෂිකර්මාන්තය හදවත වු, ලාංකික සමාජයේ, සමාජ, දේශපාලන සහ ආර්ථික සම්බන්ධතාවන්ගේ ප්‍රබවය ඉඩම වන අතර ඉඩමේ අයිතිය මත කුලය, පන්තිය සහ ශ්‍රම විභජනය තීරණය වේ. එවැනි සන්දර්භයක, ඉඩමේ හිමිකම අහිමි කිරීම යනු, අනන්‍යතාවය සහ සමාජ ජාල සම්බන්ධතා උදුරා දැමීමකි. මෙවැනි වටපිටාවක වන්නිවරු ඉල්ලා සිටින්නේ හුදෙක් භුමියේ අයිතිය පමණක් නොව, තමාගේ අනන්‍යතාවයද වේ. මේ බිමේ ඔවුන්ගේ දරුවන් වැළලිනි. එකී සොහොන් සුනුවිසිනු කර ඒ මත හමුදා ස්මාරක ඉදිවනු ද ඔවුන් දරා සිටියෝය. අද ඔවුන්ගේ අරගලය, ජිවත් වීම සඳහා තම ඉඩම් නැවත ලබා ගැනීමත්, තමාගේ පැවැත්ම දේශපාලනිකව පිළිගැනීමට බලකිරීමත්ය.

කපුටු බෝ ද තාප්පයකින් වටකර පඩුපෙවූ සිවුරු අන්දවා ඉඩම් බලහත්කාරයෙන් ආගමික උවමනා වෙනුවෙන් පවරා ගන්නා රටක, තමාගේ පාරම්පරික ඉඩම් හිමිකම් රැක ගැනීම වෙනුවෙන් සිවිල් ජනතාවට අරගල කිරීමට සිදුවී ඇත.(මේ මොහොතවන විට කේප්පාපිලව්/පිලක්කුඩියිරුප්පු හි හමුදාව අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් අක්කර 40ක් මුදාහරිමින් තිබේ, නමුත් තවත් විශාල ඉඩම් ප්‍රමාණයක හමුදාව රැදී සිටියි) කණගාටුව නම් එවැනි අරගල කිලි හෝ මුලතිව් සිමාවෙන් මෙපිට ජනතාව වෙත සන්නිවේදනය නොවීමයි. ඔබේ දැස් විවරව බලන්නේනම්, මේ වන්නිවරුන් සියල්ල අහිමි වුවන්ය. ඔවුන්ගේ ජිවිත එක් තැනකදී නතර වී ඇත. මේ වන්නිවරු ඔබට ලොව කොහේ හෝ මුණ ගැහුණු මුත් ඔවුන්ගේ ජීවිතය අනන්‍යතාවයේ බිදවැටීම්, භුමිය අහිමි වීම හේතුවෙන් සිදුවූ ආකාරය ඔවුන්ගේ ජිවිත කතාවෙන් වටහා ගත හැක. වැල්වැටිතුරෙයි උපන් සිවා, නොර්වේ හිදී මට තමා හදුන්වා දුන්නේ, මගේ ගම වැල්වැටිතුරෙයි, නමුත් මා කොටියෙක් නොවෙයි ලෙස ප්‍රකාශ කරමිනි. ඔහුගේ බිරිද හදවත් රෝගයකින් පීඩා විදි අතර, නොර්වේ හි නව සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වෙත පිටුවහල් කරවිදෝ යන මානසික පීඩාවෙන් හෙතම වද වින්දේය.

“මට තියන ලොකුම ගැටළුව මේ ළමයා, ලංකාවට ඔරොත්තු දේවිද? අනික මගේ කවුරුත් ලංකාවේ නැ. අවුරුදු 11 සිටම මම, මගේ තැනක් හොය හොයා ඇවිද්දා. ඉන්දියාවට ගියා බෝට්ටුවෙන්. රුසියාවට ගියා . එංගලන්තයේ සිටියා. ඊටපස්සේ නොර්වේ අවා. දෙමාපියන් නැ. ඉගෙන ගන්න යුද්දේ ඉඩ දුන්නැ. ලෙඩ වූ බිරිදක් සහ දරුවෙක් සමග මම කාලයකදී අත්හැරීමට බලකල භූමියක කුමක් කරම්ද?”

“ලංකාවට එන්න. එක ඔයාගේ රට” යයි මා නොර්වේහි උපන් දෙමළ තරුණයා සමග පැවසූවිට ඔහු ඇසුවේ ‘දෙමළ වීම කරුමයක් වූ රටකට ඇවිත් මම මොනවා කරන්නද?’. හෙතම තමාගේ දෙමළ අනන්‍යතාවය වෙත දැඩිව වෛර කරයි. වෛර කිරීමේ ඔහුගේ සහේතුකත්වය වුයේ ඔහුගේ මුළු ජීවිතය තුලම හෙතෙම ‘ජීවිතය දුන් රටක පිටස්තරයකු වීම සහ තමගේ රට තුල දෙමළ වීම හේතුවේන් පිටස්තරයකුකර තම ජිවත්වීමේ අයිතිය අහිමි කිරීම හේතුවෙනි’. ඔහු මගෙන් කිලි සහ යාපනය පිලිබද ඇසිය. මා එකී නගරයන්ගේ දුක් විලාප මෙන්ම සතුටු කතන්දර ද ඔහුට කීවෙමි. එවිට ඔහු පැවසුවේ ‘මටත් ආසයි මාව අයති ගෙදර යන්න, එත් මම දැන්, මගේ ගෙදර වෙත ආගන්තුකයෙක්.’

අරුණි සමරකෝන් | Aruni Samarakoon