Image by: Kalpa Rajapaksha(International Women’s Strike New York City: Rally and March on March 8th)

පෙරේදා, එනම් මාර්තු 08 වෙනිදා මගේ දුරකතනයට හිත මිතුරන් කිහිපදෙනෙක්ම සුබ පැතුම් එවා තිබුණා. නොයෙකුත් පාඨ සහිත ස්ටිකර්, ඡායාරූප ආදියෙන් සමන්විත, ඒ සුබ පැතුම් එවා තිබුණේ, මට ‘Happy Women’s Day!’ එකක් පතන්නයි. වැඩිපුර පණිවුඩ එවා තිබුණේ මගේ පිරිමි මිතුරන් වීම විශේෂ දෙයක්. ඒ අතර, Women’s Day නිසා එදින තමන්ට තම සැමියන්ගෙන් තෑගි ලැබුණු බව මගේ සමීප ගැහැණු මිතුරන් තිදෙනෙක්ම කියා එවා තිබුණා.

මේ මා මීට පෙර මාර්තු 08 වැනි දිනවල අත් නොදුටු නව ප්‍රවණතාවක්.

මාර්තු 08 වෙනිදා එනම් ජාත්‍යන්තර කාන්තා දිනය දා, කාන්තාවන්ට එරෙහිව ලොව පුරා සෑම ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අසමානතාවන් සහ පීඩනයන්ට අභියෝග කරමින් සිය අයිතීන් උදෙසා සටන් කරන්නට ස්ත්‍රී වර්ගයාට ශක්තිය ලැබේවා යි පතමින්, සහෝදරාත්මක සහයෝගීතාව පල කරන සටහන්, ලිපි ආදිය ගැහැණු පිරිමි දෙපාර්ශවය විසින්ම මාධ්‍යවල පළ කිරීම සිදුවෙනවා. එය අතීතයේ පටන්ම සිදු වූවක්. නමුත් මේ වන විට, කාන්තා දිනය පිරිමින් විසින් තමන් දන්නා ගැහැණුන්ට Happy Women’s Day කියා සුබ පැතුම් පත්, සුවද විලවුන්, හෑන්ඩ් බෑග්, ලේන්සු ආදි තෑගි යවන දිනයක් බවට පත් කරගනිමින් තිබෙන බව අවබෝධ වුයේ මෙවරයි. Smart phones, සහ සමාජ ජාල වෙබ් අඩවි නිසා පුද්ගල සන්නිවේදනය ඉතා පහසු වී ඇති යුගයක, කැලැන්ඩරයේ සදහන් වී ඇති විශේෂ දිනක් නිමිති කරගෙන සරල සුබ පැතුමක් හිතවත් පිරිසකට forward කිරීම බොහෝ අයගේ සාමාන්‍ය ඕලාරික පුරුද්දක් බවට පත් වී තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් උදෙසා වන අභිමානවත් අරගලය සමරනු වස් සහ එයට දිරි දීම වෙනුවෙන් අද ලොව පුරා රටවල වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය, ඉදිරි වසර කිහිපය තුළදී, කාන්තාවන් රැවටීම සහ සූරා කෑම සදහා යොදා ගත හැකි, ව්‍යාපරිකයන්ගේ සහ මාධ්‍යයන්ගේ වාණිජ අරමුණු මගින් මෙහෙයවෙන අති සරල දිනයක් බවට ලඝු වීමේ අවදානමක් පිළිබඳ සංඥා එළි ද අපට මේ යන්තමින් පෙනෙන්නේ?

එය එසේ වන්නට ඉඩ නොදී එහි නියම අර්ථය රැක ගැනීමට අප සියලු දෙනාම මැදිහත් විය යුතු වෙනවා. එසේ නොවුණහොත් අවසානයේ දිනය පමණක් ඉතුරු වී එහි අර්ථය සහ අරමුණු මුළුමනින්ම විකෘති වී යනු ඇත. කාන්තා දිනය දා අන්තර්ජාලයේ හුවමාරු වූ, කාන්තාව අගයන ඇතැම් images වලින් හුවා දක්වා තිබුණේ මවක, බිරිඳක, දුවක ලෙස ඇගේ වටිනාකමයි. ඇය පිරිමියා උදෙසා මැවුණු මහර්ඝතම ත්‍යාගය බවයි. ඇය අපරමිත දුක් පීඩා ඉවසා දරා සිටින, කැපකිරීම් කරන, අසහාය ශක්තියක් සිය සිරුර සහ මනස තුළ දරා ගත් දෙවඟනක් බවයි. මේ සියල්ල කාන්තා නිදහස හෝ කාන්තා අයිතිවාසිකම් පිළිබද කතාන්දරය මග හැර යයි. පුරුෂාධිපත්‍යය හේතුවෙන් කාන්තාවන් ගොදුරු වන අසාධාරණයන්, සූරා කෑම් පිළිබද යථාර්ථය මග හැර යයි. ඇත්තෙන්ම සමහර ඒවා ඒ යථාර්ථය සාධාරණීකරණය කර කාන්තාවන් පිළිස්සෙන පූජාසනයක් උඩට නංවන ආකාරයේ ව්‍යාජයන් මිස වෙන මොනවත් නොවේ.

මට Happy Womens Day කියා එවා තිබූ ඇතැම් පිරිමි හිතවතුන් ස්ත්‍රී නිදහස, ස්ත්‍රී අයිතිවාසිකම් ගැන දරන්නේ ඉතා පසුගාමී, එදිරිවාදී ආකල්පයක්. ඔවුන් සවිඥානිකව හෝ අවිඥානිකව නිවසේදීත්, සේවා ස්ථානයේදීත්, මිතුරන් අතරත්, පුරුෂාධිපත්‍යය හොද හැටියට අභ්‍යාස කරන්නන්. කාන්තා දිනය වෙනුවෙන් තමන්ට තම ස්වාමි පුරුෂයා තෑග්ගක් දුන් බව සතුටින් ඉපිලෙමින් ආඩම්බරෙන් කියූ එක් මැදිවියේ කාන්තාවක් දිනපතාම සැමියා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආවතේව කිරීමට අසීමාන්තික ලෙස ශ්‍රමය වගුරුවන, ඒ වෙනුවෙන් කිසිදු පිළිගැනීමක් සහ ගෞරවයක් නොලබන කාන්තාවක්. රස්සාවක් කර ස්වාධීනව මුදල් ඉපැයුවත් තමන්ගේ නමින් බැංකු ගිණුමක් වත් නැති ඇගේ මාසික වේතනයත් බැර වන්නේ සැමියාගේ ගිණුමට.

මාර්තු 08 වෙනිදා සමරනු ලබන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් සදහා වන ඓතිහාසික අරගලයයි. මුලින්ම ජාත්‍යන්තර වැඩකරන කාන්තාවන්ගේ දිනය ලෙස හැදින්වූ එය දැන්, ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කර තිබෙනවා. 1917 මාර්තු 08 වෙනිදා රුසියාවේ ඇගලුම් කම්හල් වල වැඩ කළ ලක්ෂ ගාණක් කාන්තාවන් මර්දනයට, පීඩනයට එරෙහිව වීදි බැස සටන් කළා. රුසියානු විප්ලවයේ වෙඩි මුරය පත්තු වෙන්නේ ඒ ස්ත්‍රීන්ගේ අරගලය සමගයි. විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව ලෙනින් විසින්, සටන්කාමී කාන්තා කම්කරුවන් විප්ලවය උදෙසා ලබා දුන් දායකත්වයට ආචාර කරනු වස් මාර්තු 08 වෙනිදා සෝවියට් රුසියාවේ නිවාඩු දිනයක් බවට පත් කරනු ලැබුවා. මුල් කාලීනව සමාජවාදී කදවුරේ රටවල් විසින් පමණක් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබූ ඒ දිනය අද වන විට ලොව පුරා සෑම රටකම පාහේ සමරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ඒ දිනය ලෝක කාන්තා දිනය ලෙස පිළිගෙන තිබෙනවා. ලෝකය පුරා ස්ත්‍රීන් අත්විදින පීඩාවන් මෙන්ම ආර්ථික, සමාජයීය දේශපාලන තලයේදී ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම් පිළිබදව සහ ඒවා දිනාගැනීම සදහා කළ යුතු මැදිහත්වීම් පිළිබදවත් පුරවැසියන්ගේ අවධානය යොමු කරවීම උදෙසා නොයකුත් ක්‍රියාකාරකම් මේ දිනයේදී දියත් කෙරෙනවා.

ඡන්ද අයිතිය, සම වැටුප් අයිතිය, සම අධ්‍යාපන අවස්ථා අයිතිය, සම වෘත්තීය අයිතීන් ඇතුළු අයිතිවාසිකම් දිනාගැනීම උදෙසාත්, පවුල ඇතුළු සෑම සියලු ආයතන ව්‍යහුහයක් තුළම ක්‍රියාත්මක වන පුරුෂාධිපත්‍යයේ පීඩනයට එරෙහිව නිදහස දිනාගැනීම උදෙසාත් ලොව පුරා ස්ත්‍රීන් අප්‍රතිහත ධෛර්යයෙන් හා අසම සම කැප කිරීමෙන් කරන ලද අනවරත අරගල වල ප්‍රතිඵල අද ඔබ මා ඇතුළු බොහෝ අය භුක්ති විදිනවා. නමුත් මේ අරගලය තව බොහෝ කාලයක් යන තුරු නිමාවක් දැකිය හැක්කක් නොවේ. සමස්තයක් හැටියට ගත් විට, කාන්තාවන් ඉතාම උග්‍ර පීඩනයක් අත්විදින, නීතිය හමුවේ පවා අසීමාන්තික ලෙස අසමාන කොට සැලකීම් වලට ගොදුරු වන, ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් මත අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඇතුළු සියලු මානව හිමිකම් අහිමි කරවනු ලැබූ, ඇතැම් රටවල් හා සැසදීමේදී ශ්‍රි ලාංකීය කාන්තාවගේ තත්ත්වය සුබවාදී තැනක පවතින බව කිව හැකියි. නමුත්, අපේ සමාජයේත් ‘ගැහැණු ගැන පිරිමි ආකල්ප’ අගතිගාමී මට්ටමක පවතින බව රැකියා ස්ථානවල, විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ, උසාවි තුළ, වෘත්තීය ක්ෂේත්‍ර තුළ ස්ත්‍රීන්ට අත්විදින්නට සිදුවන පීඩනයන්, මර්දනයන් තුළින් සනාථ වෙයි. නිල බලය, ධන බලය සහ සමාජ බලය ඇත්තෝ ස්ත්‍රිය තමන්ගේ පරිහරණය උදෙසා ඇති ‘භාණ්ඩයක්’ ය යන ආකල්පයෙන් කටයුුතු කරනවා අප දැක තිබේ. දුප්පත් අහිංසක ස්ත්‍රින් ලිංගික අපයෝජනයට ලක් කර බිය වද්දා නිහඩ කරවන විනිශ්චයකාරවරුන් ගැනත්, තමන්ට රිසි සේ නම්මවා ගන්නට නොහැකි වූ තැන ගුරිවරියන්ට දඩුවම් මාරු නිර්දේශ කරන විදුහල්පතිවරුන් ගැන පමණක් නොව, රඟපාන්නට නටන්නට ආසාවෙන් මාධ්‍ය ෂෝ වලට ටෙලි නාට්‍ය වලට එන තරුණියන්ව රවටමින් ලිංගිකව සූරා කන නිෂ්පාදකවරුන්/අධ්‍යක්ෂවරුන් ගැනත්, නංගිලා ලව්වා තමන්ගේ ටියුට් ලියවාගෙන, ෂර්ට් කලිසම් හෝදවාගෙන, දවල්ට උදේට කෑම ටිකත් ගෙන්නාගෙන ඔවුන්ට කණේ පාරවල් ගසන විශ්ව විද්‍යාල වල අයියලා ගැනත් අපට ඕනෑතරම් අසන්නට ලැබෙන්නේ එහෙයිනි.

අප වහරන බස, අපේ ආකල්ප පිළිබිඹුවක්. අනෙක් මනුෂ්‍යයන් ගැන කතා කරද්දී අප පාවිච්චි කරන වචන ඔවුන් පිළිබද අප තුළ ඇති ගෞරවය හෝ අවමානය පිළිබද ප්‍රකාශනයක්. ඒ නයින් ගත්විට ස්ත්‍රීන් ගැන කතාකරද්දී අපේ සමාජයේ ඇතැම් පිරිමින්ගේ කටේ නිතර ගැවසෙන අතිශයින් නිග්‍රහාත්මක වචන මාලාවක්ම වෙයි. ‘බඩුව’, ‘කෑල්ල”, ‘බඩු ගහනවා’, ආදී ස්ත්‍රිය හුදෙක් ලිංගික භාණ්ඩයක් ලෙසම පමණක් හඟවන වචන පාවිච්චි කරන පිරිමි (හෝ ගැහැණු) ස්ත්‍රී නිදහස හෝ ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැන හෝ දරන ආකල්පය කිසිසේත්ම ප්‍රගතිශීලි එකක් විය නොහැකියි.

සයිබර් අවකාශය තුළ ස්ත්‍රීන් මහා පරිමාණ මට්ටමින්, රැවටීමට, සූරාකෑමට සහ අපයෝජනයට ලක් වෙන බව නිති පතා අහන දකින නිදසුන් වලින් පෙනේ. ප්‍රේම සබදතා බිදී ගිය විට තමන් ඇසුරු කළ කාන්තාවන්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන, ඉතා අසික්කිත ලෙස සමාජගත කරමින් ඒ ස්ත්‍රීන්ව සූරා කෑමට ලක් කරන පිරිමි ආත්ම ඕනෑතරම් අප අතරත් ගැවසෙති. එවැන්නක් කොහේ හෝ පළ වූ විට, තලු මරමින් සිනාසෙමින් ඒවා යළි යළි තැන තැන පළ කරමින්, ෂෙයා කරමින්, අශිලාචාර කමෙන්ටු දමන අය කරන්නේ, ස්ත්‍රීන් කෙරෙහි තමන් තුළ ඇති අතිශය පහළ මට්ටමේ ආකල්ප මුදා හැරීමයි. දේශපාලනයේ හෝ කලාවේ හෝ ක්‍රීඩාවේ හෝ, කවර ක්ෂේත්‍රයක වුව ඉදිරියට එන, පිරිමින්ට අභියෝග කරන, නිර්භය ගැහැණුන්ට එරෙහිව පිරිමි තවමත් ගෙඩි පිටින් පාවිච්චි කරන්නේ, ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකත්වය වටා ඈදා ගත් අශිෂ්ට කුණු ප්‍රහාරයන්ය. ඒවා අසා බලා උදහස් නොවී හෝයියා දමන සියලු දෙනා සමස්ත ස්ත්‍රී වර්ගයාට එරෙහිව පුරුෂ ප්‍රචණ්ඩත්වය මුදාහරින අශිෂ්ටයින් නොවේද?

කාන්තා දිනය නිමිත්තෙන් තම හිතවතියන්ට සුබ පතන සහෝදරයන්, තමන්ගේ වාක්කෝෂයේ ස්ත්‍රින්ට එරෙහි ගර්හාත්මක වචන ඇතිදැයි ස්වයං පරීක්ෂණයක් කර, ඇති නම් ඒවා යළි කිසිදාක පාවිච්චි නොකරන්නෙමැයි සපථ කිරීමක් කළ හැකි නම්, එයම දැවැන්ත වෙනසක් සමාජය තුළ ඇති කරනු නිසැකයි. මන්ද වචන වෙනස් කරගැනීම, ආකල්ප වෙනස් කරගැනීමේ පළමු පියවරක් වන හෙයිනි. එසේම ස්ත්‍රී ලිංගිකත්වය පදනම් කරගෙන ස්ත්‍රීන්ට එරෙහිව දියත් වෙන සියලුම ආකාරයේ ප්‍රචාරයන්ට එරෙහි වීම මගින් ද ඔවුන්ට තම සහෝදර කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිය හැකියි.

Happy Women’s Day කියා කියන්නට තරම් අප තවමත් වාසනාවන්ත වී නැත. ඒ මේ ලෝකය තවමත් ස්ත්‍රීන්ට පූර්ණ රැකවරණය සහ ගෞරවය සහිත තැනක් නොවන බැවිනි. ඒ පුළුල් අර්ථයෙන්ම නැතත්, කාන්තා දිනය වෙනුවෙන් සිය හිතවතියන්ට කිසියම්ම හෝ සුබ පැතුමක් යවන්නට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ ස්ත්‍රීන්ට එරෙහිව දියත් වන සියලු ආකාරයේ පීඩනයන්, මර්දනයන් සහ වෙනස්කොට සැලකීම් වලට අවංකවම එරෙහිව වන්නන්ට පමණි. තමන්ගේ ජිවිතය තුළ තමන්ට හමුවන ස්ත්‍රීන්ට ගෞරවාන්විතව සලකන, ස්ත්‍රියගේ ශ්‍රමයේ වෙහෙස අවබෝධ කරගන්නා අයට පමණි. ලොව පුරා, ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ධෛර්යමත්ව සටන් කරන ගැහැණුන් සහ පිරිමින් විසින් ගෙන යන සටනට සිය ආචාරයද සහයෝගිතාව ද පල කරන අයට පමණි.

කාන්තා දිනය යනු, කාන්තාවන්ගේ අයිතීන් උදෙසා වන අරගලය සමරන දිනයයි. එය නොදන්නා සියලු දෙනාට එහි අර්ථය කියා දීමත්, එය හෑල්ලු නොකරන ලෙස ඉල්ලා සිටීමත් ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ වගකීමයි.

කිසියම් රටක ශිෂ්ඨත්වය මනින ප්‍රධාන මිනුම් දණ්ඩක් වන්නේ එරට කාන්තාවන්ට සලකන ආකාරයයි කියා කියමනක් තිබේ. ඒ අනුව කිසියම් පුද්ගලයෙකුගේ ශිෂ්ඨත්වය ප්‍රකට කෙරෙන ප්‍රධාන මිනුම් දණ්ඩ වන්නේත් ඔහු කාන්තාවන්ට සලකන ආකාරයයි.

If you really want to wish your female friends a Happy Women’s Day, do something to make this world a better place for women…..

නදී කම්මැල්ලවීර | Nadie Kammallaweera