ශ්‍රී ලංකාව පුදුම රටකි. එහි ජීවත් වන මිනිසුන් ද හරිම පුදුම සහගත සත්ව කොට්ඨාශය යැයි යමෙකුට කිව හැකිය. මා එසේ සදහන් කරන්නේ මේ රටේ මිනිසුන් සිතන්නේ පතන්නේ කුමක් දැයි ඔවුන් වත් නොදන්නා බව පෙනෙන නිසා වෙනි. “උපන්නාට මේ ලොව වැනෙනවා විනා – ලොව සිරිතට අඹු දරු රකිනවා විනා“ ආදි වශයෙන් ඔහේ ජීවත් වෙන මිනිස් කොට්ඨාශයක් මේ රටේ ඇත. කළාතුරකින් හෝ හමුවන මිතුරෙකු ගෙන් හෝ නෑසියෙකුගෙන් කොහොමද ඉතින්? යයි විමසුවොත් ඔවුන්ගෙන් 99% ක් පවසන්නේ ඔහේ ඉන්නවා යනුවෙනි. මෙය නම් උපන් ගෙයි කාලකන්ණි කමකැයි කිව හැක.

මේ රටේ ජිවත්වන පුරවැසියෝ, රටට,සමාජයට සිදුවන්නේ කුමක්දැයි නොදනිති. ඉදිරියට මේ රට කෙලෙස සංවර්ධනය විය යුතු දැයිද නොදනිති. හැබැයි දෙතුන් දෙනෙක් එකතුවු තැන, රටේ සංවර්ධනය උදෙසා මහා පරිමාණයේ යෝජනා කිරිමට නම් අති දක්ෂයෝය. ඒවා වචන විනා ඉදිරියට යන කිසිවක්ම නොවේ. රටේ සමස්ත දේශපාලකයෝ ද එලෙසමය. ඔවුන්ද රැස්වන සෑම තැනකදීම, මහා පරිමාණයෙන් පොර ටෝක් දෙති. සංවර්ධනය, ‘කථාවෙන්’ ඇස්පානා පිට මතුකර පෙන්වයි. ඔවුහු බොරු ප්‍රලාප දෙඩීම අතින් ගීනස් වාර්ථා තැබිය හැකි තලයේ සිටින්නෝය.

මේ අපේ රටේ තත්වය ය. හැබැයි කොහොම හරි රෝල්වී යන බැවින් ඔහේ යන්නේය. රට තුළ පෙරට වඩා කථනයේ හා භාෂණයේ නිදහස දැන් ඇති බව අප පිළිගත යුතුය. එම නිදහස පාවිච්චි කල යුත්තේ කුමක් සදහා ද, කුමන අයුරින් ද යන්න කිසිවෙක් නොසිතන අතර, යන්නන් වාලේ යන රැළේ යාමක් නම් ඇත. රටේ පාලනය උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලෙස තෙකොටසකින් සමන්විත වන ක්‍රමවේදයක් ඇති අතර, අධිකරණය ගැන මා සාකච්ඡා නොකරන්නේ, කාලීන ජනතා අවශ්‍යතාවයන් උදෙසා නිති පැනවිය යුත්තේ ව්‍යවස්ථාදායකය විසින් වන බැවිනි. ජනතාව සිය ඡන්දයෙන් මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ තමන්ගේ පොදු යහපත උදෙසා ඔවුන් ලවා කටයුතු කරවා ගැනිමටය.

නමුත් සිදුවන්නේ වෙනකකි.

බහුතරයක් ජනතාව පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුත්තේ කුමක් දැයි කියා නොදනිති. මධ්‍යම ආණුඩුව, පළාත් සභා, මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදි ලෙස තිබුණත්, මීට දශක හතරකට පමණ පෙර තිබු ගම් සභාවෙන් ගමට සිදුවු සේවය තරම් සේවයක් අද සිදු නොවන බව නම් ජනතාව දනිති. කියති. ගම වෙනුවෙන් ගම් සභාවට ගිය මැම්බර් මහත්තයා කිසිදු මුල්‍යමය ලාබයකින් තොරව ගමේ මිනිසුන් සමඟ එකතුවී, ගමට පාරවල්, පාරට බෝක්කු සහ පාළම්, පාසැලේ අළුත් වැඩියා කටයුතු කර දුන්නේය. යටිමඩි ගැසීමක් හෝ කොමිස් ගැහිමක් වාර්තා නොවුන අතර හොරකම් කිරිම් සුළු වශයෙන් හෝ වාර්තාවුයේ සමුපාකාර වලිනි. ඒ එදත් හොරු සිටිය බවට උදාහරණ වුවත් අද මෙන් ඔවුන් කම්බා හොරුන් නම් නොවීය.

නමුත් හොරු හොරු ලෙසම එදත් අදත් සිටි බව කිව යුතුමය.

ගමේ මැම්බර් මහත්තයා මන්ත්‍රීතුමා බවට පත්වු අතර සියල්ලෝම ස්වෙච්ඡා සේවයෙන් ඉවත්ව යම් දීමනාවක් ලබන්න වුන් බවට පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මහා වරප්‍රසාදවලින් විරාජමාන වන කල්හි අවශේෂයෝ ද යම් යම් ලැබීම් උදෙසා සුදුසුකම් ලැබූ අතර, පක්ෂ දේශපාලනය තුලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලබාලයින් බවට පත්විය. ඊට පසුව අභාග්‍ය සම්පන්නම කාලය ගමට ද ගමේ ජනතාවට ද උදාවිය. සියල්ල දේශපාලනීකරණය විය. ශ්‍රමදාන ක්‍රම යටතේ, මැම්බර් මහතාගේ මූලිකත්වයෙන් සිදු වූ ගමේ පොදු කටයුතු, දේශපාලනීකරණය වි කොන්ත්‍රාත්තු බවට පත්වු අතර, ගමේ දේශපාලකයාගේ සිට සියලුම දේශපාලකයෝ, කොන්ත්‍රාත්කරුවන් හෝ ඔවුන්ගේ හිතවතුන් බවට පත් වී ධනවතුන් බවට පත්විය. රටේ කීර්තිමත් දේශපාලනඥයින්ව සිටි විජයානන්ද දහනායක, ඇම්.ඩි. බණ්ඩා, යු.බි. වන්නිනායක වැන්නවුන්, කිසිදු ශරිර අපහසුතාවයකින් තොරව පාර්ලිමේන්තුවට ආවේ ගියේ බස්රියෙන් සහ දුම්රියෙන් වුවත්, අද වන විට පාර්ලිමේන්තුවට එන මහජන නියෝජිතයෙකු වෙනුවෙන් තීරු බදු රහිතව කෝටි හතරක පමණ මෝටර් රථයක් ලබාදීමට ජනතාව පරිත්‍යාග ශීලීන් වී ඇත.

දීමනා දෙමින් පහසුකම් සලසමින් ප්‍රාදේශීය මන්ත්‍රිවරයාගේ සිට විධායක ජනාධිපතිවරයා දක්වා ජනතාව විසින් නඩත්තු කරන්නේ ඇයි? එසේ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සියල්ලෝම එකතුවී පොදු ජනතා සුභ සිද්ධිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව හරහා කාලීනව සිතා බලා අනාගත සුභ සිද්ධිය උදෙසා නිති පනවමින්, රටේ අනාගතය උදෙසා කටයුතු කරවා ගැනිම උදෙසාය. ගම් මට්ටමේ ප්‍රශ්ණ ප්‍රාදේශිය මන්ත්‍රීවරයා හරහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙත යොමුකර (ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීන් වෙත), ඔහු හරහා පාර්ලිමේන්තුවට හෝ අදාළ අමාත්‍යංශ වෙත යොමුකර අවශ්‍ය වන්නේ නම් නිති සම්මත කර ගැනිම දක්වා යාමට කටයුතු කරවා ගැනිමට හා එසේ කර දීමට මූලිකත්වය ගැනීමටයි ජනතාව විසින්, තමා වෙනුවෙන් නියෝජිතයින් පත්කර යවා ඇත්තේ.

නමුත් සිදු වන්නේ කුමක්ද? ඔවුන් ජනතාවට ඔච්චම් කරයි. ජනතා මුදලින් වරප්‍රසාද ලබන මහජන නියෝජිතයෝ, තමන්ට මෙම වරප්‍රසාද ලැබෙන්නේ, තමාගේ පෙර පිං බලයේ මහිමයෙන් බව ජනතාව ඉදිරියේම කියයි. ජනතාවට පිං කරණ ලෙස අවවාද දෙයි. අනේ මෙහෙමත් ජනතා නියෝජිතයෝ? ජනතා නියෝජිතයෝ තම භූමිකාව අවබෝධ කරගෙන නැත. අවබෝධයක් තිබුණත් නොදන්නා සේ අනෙක් දේශපාලකයින් කරණ නිසා මමත් කලාට කමක් නැහැ යන අදහසින් කටයුතු කරණවා විය හැක. නමුත් එය විය යුත්තක් නම් නොවේ. ඔවුන්ගේ යුතුකම හා වගකීම හා වගවීම විය යුත්තේ ජනතාවට අවම වැය බරක් වනසේ රටේ මුදල් පරිහරණය කිරිමත්, දැඩි මූල්‍ය විනයක් යටතේ කටයුතු කිරිමත්ය. නමුත් සිදු වන්නේ මෙහි අනෙක් පැත්තමය. ඔවුන් ප්‍රමුඛ ඔවුන්ගෙන් යැපෙන්නන් නඩත්තු කිරිම උදෙසා ජනතාව කැපකිරිම් කරන්නේය. ඔවුන්ගේ සුඛවිහරණය උදෙසා ජනතාව ණය ගෙවන්නේය. දේශපාලකයෝ ණය ගන්නා අතර, ඔවුන්ගේ විරුද්ධ දේශපාලකයෝ කියනා අයුරින් ඒ ණය මුදල්වලින් කොමිස්ද ගසන්නෝය. උන් ගැසු කොමිස් මුදල් සමඟින් ජනතාව ඒ ණය ගෙවන්නේය. දේශපාලකයෝ දෙසාබාන සංවර්ධනයේ මහා පරිමාණ දේශනාවල අවසන් ප්‍රතිපලය වන්නේ ජනතාව ණය ගෙවීම පමණක් විම කොතරම් සුන්දර අනාගතයක, සොඳුරු දසුනක් දැයි ප්‍රශ්ණකල යුතුම වන්නේය. මේවා උන්ගේ භාෂාවෙන් සහ උන් විශ්වාස කරණ අයුරින් උන්ගේ පිං මහිමයමය. ජනතාවගේ මෝඩකම නොව පව්කාරකම ම ය. පවත් මෝඩකමත් එකතු වූ කල එයට කිවහැකි තනි වචනයක් ඇත්නම් කවුරුන් හෝ කියනු මැනවි.

ජනතා නියෝජිතයින් ලෙස පක්ෂ විපක්ෂ ලෙස පත් වී ඇති මන්ත්‍රීවරු ඇමතිවරු පාර්ලිමේන්තුව තුළ කරණ කියන හැසිරෙන අයුරු පිලිකුල් සහගතය. ජනතා නියෝජිතයින් තබා ගමේ මරණාධාර සමිතියේ සාමාජිකයෙක් වන නූගත් ගැමියෙකු පවා නොහැසිරෙන අයුරින්, කෑකෝ ගසයි. අද වන විට ඔවුන් නොගලවා ඇත්තේ, ඔවුන්ගේ ඇදිවත පමණි. ගොනා වුනාට උම්බෑ නොකියන ලෙස ගැමි වහරේ කියැවේ. එය ද පරයා ගොස් උම්බෑ කියමින් දැගලිම නොවටින්නේ, ඔවුන්ගේ ආරක්ෂාවට ලැබී ඇති වරප්‍රසාදවලට ගෞරවයක් මුසුවී ඇති බැවිනි. එවන් පිරිසකගෙන්, තමා පත්කර එවූ ජනතාවට නිසි ගෞරවයක් හෝ සේවයක් ලැබෙතැයි සිතීම ගලෙන් පට්ටයක් ගැනිම හා සමානය.

රටකට තනි පක්ෂයක පාලනයට වඩා බහු පක්ෂ සහිත පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නම් ඉතාමත් හොඳය. එසේ හොඳවන්නේ ඔවුන් සැමගේම චේතනාව පොදු ජනතාවට සේවයක් කරලීම නම් පමණි. නැතහොත් එකතුවී සිටින්නේ තම පුද්ගලික ලාභ ප්‍රයෝජනය සදහා නම් ඔවුන්ගේ කිසිම ගුණාත්මක භාවයක් නැත. ඔවුන් අවස්ථාවාදීන් ය. ජනතා හිතවාදීන් නම් නොවේ. නිදහස ලැබී දශක හතකට ආසන්නය. මුල් යුගයේ සිදු වූ ජනතා සේවය මේ කාලය වන විට ක්‍රමයෙන් අඩු වී හුදෙක් තම ලාභ ප්‍රයෝජන සදහාම කැපකරගෙන ඇත. මේ තත්වය ජනතාවට තේරුණත් ඔවුන් ද එය නොතේරුණාසේ සිටින්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ ද වෙනත් යටි අරමුණක් අභිලාෂයක් ඇති බැවිනි. ඒ නම් මෙම මහජන නියෝජිතයින් මාර්ගයෙන් තමාට පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අභිලාෂයය. ජනතාව තුළ පොදු අරමුණු ගිලිහි ගොස් ඇති බැවින්, ඒ බව පැහැදිලිවම දන්නා කපටි මහජන නියෝජිතයින් පහසුවෙන් ජනතාව රවටති. පොදු සේවය පසෙක ලන ජනතා නියෝජිතයෝ කපටිකමට තම නියෝජිතයින් හරහා පෞද්ගලික සුහදත්වයන් පෙන්වා සමස්ත පොදු ජනතාවම අමාරුවේ දමති.

බළලෝභි දේශපාලකයා පෞද්ගලික අභිලාෂ ඇති ඡන්දදායකයින් හරහා රටකටම වින කටින බව ජනතාව තවම තේරුම් ගෙන නැත. ඡන්දදායකයාව පැහැදිලිවම තේරුම් ගෙන ඇති සියලුම දේශපාලකයෝ, ඡන්දදායකයාගේ පෞද්ගලික කටයුතු වන මඟුල් ගෙදර අවමඟුල් ගෙදර ආදියට යාම සදහා ද දිමනා පවා පොදු ජනතා මුදලින්ම ලබා ගනී. එය පැහැදිලිවම ඌරාගේ මාළු උගේම ඇඟ මත තබා කපා ගැනිම හා සමානය. පැහැදිලිවම මේවා අවනඩුය. මේවා කාටද කියන්නේ?. මානව හිමිකම් උල්ළංඝනයන් ජිනීවා දක්වා ගමන් කරතත්, මෙවැනි උල්ලංඝනයන් ජනතාවට තේරෙන්නේ නැත.

ඡන්දය කල්දැමීම සදහා ඡන්දය දුන් ජනතාවක් මෙරටේ සිටියහ. ජනාධිපති ධූරය අහෝසි කරණවා යැයි පොරොන්දු වූ පුද්ගලයාට, ජීවිතාන්තය දක්වා තනතුරේ රැදි සිටිමට වුවත් හැකි අයුරින් ව්‍යවස්ථාව වෙනස් කරලිමට ඡන්දය දුන් මහජන නියෝජිතයින්ව නැවත පත්කරගත් ජනතාවක්ය මෙරටේ සිටින්නේ. එසේ ඡන්දය දුන්නේ ඇයිද? කියා ප්‍රශ්ණ කිරිමට ජනතාව දැනුවත් නැත. දැනුනත් තේරුණත් පෞද්ගලික අභිලාෂ මත එසේ කරන්නේ නැත.

රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධණාගාරගත වී සිටින බැවින් පක්ෂයේ සංවත්සරය ඇමතිමට නොහැකි දේශපාලකයා පාර්ලිමේන්තුව තුළදි ඊට පෙරදින රැස්විම අමතන අයුරින්, පාර්ලිමේන්තුව තුළ කථා කිරිම වීර ක්‍රියාවකි. නමුත් පාර්ලිමේන්තුව තුළ දී තම නියෝජිතයා, කථා කළ යුත්තේ කුමක්ද යන්න ඔහුට ඡන්දය දුන් ජනතාව නොදනී. නොකළ යුත්තක් කර, වීරයෙක් ලෙස කථාකිරිම, පාර්ලිමේන්තුව තුළ සිටි මහජන නියෝජිතයින්ට ප්‍රශ්ණයක් නොවේ. කිසිදු නියෝජිතයෙක් ඒ ගැන කතා නොකළ අතර එය අතිතයට ගියේය. මාධ්‍යය ද මුනිවත රැක්කේය. කිසිදු විවේචනයක් නැත. ඔය එක් උදාහරණයක් පමණි.

ජනතා ප්‍රශ්ණ කථා කිරිමට සාකච්ඡා කිරීමට ඇති කාලය පෞද්ගලික ප්‍රශ්ණ එනම් පක්ෂවල තත්වයන් ගැන කථා බස් කිරිමට වෙන්වී යයි. මෙය ජනතාවගේ අවාසනාවකි. නමුත් එය ජනතාව නොදනී. මේ කාරණා කිහිපයකි. එනයින් ගත් කළ මේ රට පුදුම රටකි. ජනතාව පුදුම සත්ව විශේෂයකි.

නිමල් ජයසිංහ
| Nimal Jayasinghe