සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(20) අධිකරණයට දැනුම් දී තිබේ.

කපිල හෙන්දවිතාරණ

B 92/09 නඩු අංකය යටතේ ගල්කිස්ස අධිකරණයේදී එම නඩුව කැදවු අවස්ථාවේ වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇත්තේ මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ එම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් ය.

අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංග ගේ දේහය ගොඩ ගෙන වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව මේ වන අධිකරණයට ලැබී ඇති බවත්, එම වාර්තාව අනුව මෙම මරණය විශේෂිත වූ උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් සිදුවු මරණයක් බව තහවුරු වී ඇති බවත්, වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඇප ලබා සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයාට සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටිමටත් ගල්කිස්ස අධිකරණය විසින් නියෝග කළේය.

ඉදිරිය

මෙයින් හැගවෙන්නේ රාජපක්ෂ සමයේ ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමට හෝ එයට අවශ්‍ය දේශපාලන ලැදියාව නොති බූ බවය. ඒ දේශපාලන ලැදියාව නොපෙන්වන ලද්දේ ඝාතකයාත්, ඝාතනය පිළිබදවත් රාජපක්ෂ ආණ්ඩුවට සෘජු සම්බන්ධතාවයක් තිබූ බවට දෙස් විදෙස් වාර්තා පෙන්වා දී තිබුණු තත්ත්වයක් තුළය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ රාජපක්ෂ රෙජීමයට 2015 ජනවාරි 8 ගෙදර යාමට සිදු වීමය. නමුත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා වැදගත් තොරතුරු රාශියක් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙය වැදගත් ප්‍රවණතාවයකි.

නමුත් ප්‍රශ්ණය (1)

කීත් නොයා, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, ප්‍රගීත් එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන්ට සිදු කළ අපරාධ සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වූයේ හමුදා සාමාජිකයන්ටය. නමුත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂී තොරතුරු ලබා දුන්නද ඇතැම් හමුදා සැකකරුවන්ට ඇප දීම සිදු විය. එය නිකංම සිදු වූවක් ලෙස සැලකිය නොහැක. එය එසේ වන්නේ මේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා විටින් විට වර නගන තත්ත්වයක් මතයි. ‘එක කෝප්‍රල් කෙනෙකුටවත් අත කියන්න දෙන්නේ නෑ‘ ඉතාමත් මෑතකදී ජනාධිපතිවරයා පැවසුවේය.

මින් වක්‍රාකාරයෙන් හෝ පරීක්ෂණවලට මෙන්ම අධිකරණ ක්‍රියාවලියට යම් බලපෑමක් එල්ලවීම සිදු නොවන්නේ යැයි යමෙකුට කිව හැකිද? නැත. එහි සෘජු බලපෑමක් ඇත. එය මෑත කාලයේ පාර්ලිමේන්තු මංත්‍රී රවිජාර් ඝාතකයන් නිදහස් වීම, ලසන්ත ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට ඇප ලැබීම, ප්‍රගීත් අතුරුදන් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි හමුදා සාමාජිකයන්ට ඇප ලැබීම වැනි දේ සැලකිය හැකිය. එබැවින් දැන් වන විට ලසන්ත ඝාතනයට සම්බන්ධ වැදගත් අනාවරණයන් අධිකරණය හමුවේ තිබියදී කිසිදු දේශපාලන ඇගිලි ගැසීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ‘යහපාලන‘ ආණ්ඩුව විසින් සිදු කල යුතුය. එය එක් පැත්තකින් ජනවාරි 8 පොරොන්දුවකි. පොරොන්දුවලට පයිං ගැසීමට මෛත්‍රීට හෝ රනිල්ට ජනවරම ලැබුනේ නැත. ජනවරම ලැබුනේ එවන් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටය.

ප්‍රශ්ණය (2)

ඉහත සදහන් කල සියලු අපරාධවල සැකකරුවන් ලංකාවේ හමුදාවේ සාමාජිකයන්ය. ඉහළ නිළයන්ය. නමුත් තවදුරටත් සොයාගත යුතු වැදගත් ප්‍රධාන මූලයක් තිබේ. එනම් එම මාධ්‍යවේදීන් ඝාතනයට, අතුරුදන් කිරීමට සහ පහරදීමට අණ දුන්නේ කවුරුන්ද යන්නයි.

වැදගත්ම කොටස තිබෙන්නේ එතනයි. එම වැදගත් ම කොටසට අත නොගසා මගහැර ගියහොත් නැවත වරක් වෙනත් මුහුණු වරකින් එම ඝාතකයින් මේ සමාජයෙන් මතු විය හැකිය. එබැවින් එය වළකාලීමේන් බැහැර වීමට යහපාලනයට නොහැකිය. අනෙක් කරුණ නම්, කෙතරම් දේශපාලන මිතුරුකම්/ ඇමතිකම් දැරුවත් ෆොන්සේකා ට ද එම වරදකාරීත්වයෙන් ගැලවිය නොහැකිය. මක් නිසාද යත් ඔහු එම අවස්ථාවේ බබෙක් නොව හමුදාවේ හමුදාපතිවරයා ය. නමුත් ඔහු පවසන ලෙස ඔහු වත් ‘නොදැන‘ ඇතැම් කල්ලි ක්‍රියාත්මක වූ බව ඇමති ෆොන්සේකා පවසයි. එසේ නම් එම කල්ලිවලට අණදුන්නේ කවුරුන්ද යන්නත් ඔහු නොදන්නවා විය හැකි ද? නමුත්, තමන් දන්නා සියලු දේවල්, දැන් වන ලෙසම අධිකරණය හමුවේ පැවසීමට එහා ගොස්, ඝාතකයන්ගේ මහ මොලකරු නීතිය ඉදිරිය ගෙන ඒමට ඇති දේශපාලන උනන්දුවත් ෆොන්සේකා පෙන්විය යුතුය. ඔහු දැන් යහපාලනයේ ඇමති නිසා විශේෂ වරප්‍රසාදයන් විසින් ඔහු ආරක්ෂා වන්නේ නොවේ. එසේ වන්නේ නම් එය ඝාතනය සේම අපරාධයකි.

එබැවින් වෙඩි තැබූ හෝ උලකින් ඇණ ඝාතනය කළ ඝාතකයා මෙන්ම ඝාතනයට අණදුන් ඉහළම අපරාධකරුවාත් නීතිය හමුවට පමුණුවන තෙක් මේ රටේ පුරවැසියන් විමසිල්ලෙන් පසු වන බව ලියා තැබිය යුතුයි.

එය මගහැර තෝරු, මොරු සමග කරට අත දමා ගෙන, හාල් මැස්සන්ට පමණක් දඩුවම් කිරීමට ගියහොත් යහපාලනයටත් 2020 දී ජනතාව පිළිතුරු දෙනු ඇත.