සෙල්ලම්මා 83 වියැති මව අපට මුල්වරට හමු වුයේ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි සෙල්ලම්මා ඇතුලු මිනිසුන්ගේ ඉඩම් ඉල්ලා කරන ලද උපවාස විරෝධතාවයකදී ය. ඇය සහ ඇයගේ අසල්වැසියන් මෙහෙයවූ මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ වූයේ හමුදාවෙන් තම ඉඩම් නිදහස් කර ගැනීමය. එම විරෝධතා ව්‍යාපාරයේ බහුතරය වූයේ ස්ත්‍රීන්ය. විරෝධතා ව්‍යාපාරයේ මුල් අවස්ථාවේ දී විරෝධතා කණ්ඩායමේ පිරිසක් අගමැතිවරයා හමු වූව ද, ඔවුහු තමන්ගේ ඉඩම් නිදහස් කරන තුරු එම විරෝධතාව දිගටම පවත්වන ලදී.

මාසයක් පමණ දිග්ගැස්සුනු විරෝධතා ව්‍යාපාරය මගින්, ආණ්ඩුව වෙත බලපෑම් කිරීමෙන් පසු, තම ගම්මානයේ යම් කොටසක් හමුදා බලහත්කාරයෙන් නිදහස්‌ කර ගැනීමට සෙල්ලම්මා සහ ඇයගේ අසල්වැසියන්ට හැකි විය. මෙතෙක් කල් හමුදා සන්තකයෙන් තිබී නිදහස් කර ගත් තමාගේ නිවෙස් වෙත යාමේ ප්‍රීතිමත් අවස්ථාවේ දී, සෙල්ලම්මා, ඇයගේ පුත්‍රයා සහ අසල්වාසීන් පසුගිය සතියේ දී අපට මුණ ගැසුණි. හමුදා බලහත්කාරයෙන් තම ඉඩම් නිදහස් කර ගැනීමේ ජයග්‍රහණය සැමරීම දුෂ්කර වූයේ, හමුදාව ඔවුන්ගේ ඉඩමේ රැඳී සිටි අවස්ථාවේ දී එම ඉඩම් අපයෝජනය කරමින් සිදු කරන ලද විනාශකාරී ක්‍රියා හේතුවෙනි. සෙල්ලම්මාට පාරම්පරිකව උරුම වූ නිවසට කරන ලද හානි පෙන්වීම සඳහා, ඇය අපව ඉඩම වෙත රැගෙන ගියා ය.

“හමුදාව බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි, අපේ ඉඩම් සහ ගෙවල් ඉල්ලලා අපි විරෝධතා කරපු නිසා අපිත් එක්ක ලොකු තරහකින් හමුදාව හිටියේ. ඒ තරහට අපෙන් පළි ගන්න, ඒ අය බලහත්කාරයෙන් හිටපු අපේ ගෙවල් විනාශ කරලා දාලා. අපි මහ පාරේ ඉඳලා, විරෝධතා කරන වෙලාවේ, අපට හමුදාවෙන් අපේ ගෙවල් කඩන සද්දෙත් ඇහුනා. ඒ අය අපට මෙහෙම කළේ ඇයි කියලා මම දන්නෙ නෑ. 2008න් පස්සෙ පළමු වතාවට, මම ගෙදර කියලා අඩිය තැබුවේ, බියර් බෝතල් කටු සහ කණ්ණාඩි කෑලි පිරිච්ච තැනකට. අපේ ගෙදර උළුවහු, ජනෙල්, දොරවල්, කුස්සියේ වතුර බේසම, කැබිනෙට්ටුවේ වීදුරුව, විදුලි ප්ලග් පවා ගලවා ගෙන ගිහිල්ලා. ජනෙල් පියන් සහ ජනෙල් වීදුරු පවා ගලවලා දමලා නැත්නම් කඩා බිඳ දමලා. මගේ පුතාගේ ගෙදර වහලේ සෙවිලි තහඩු සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිබුණා. වැසිකිළියේ කණ්ණාඩිය පවා අරං ගිහිල්ලා, ඒක තවදුරටත් පාවිච්චි කරන්න බෑ. ඒ අය (හමුදාව), අපේ පොල් ගස් කපා දමලා, ඒවායින් අපේ වත්තේ ගිමන් කුටියක් හදලා තිබුනා. අපේ වටපිටාවේ තිබූ ගෙවල් කිහිපයක් බුල්ඩෝසර් කරලා බිමට සමතලා කරලා”.

2014, යුද්ධයෙන් පසුව තමන්ව, තමන්ගේ නිවෙස් බැලීම සඳහා රැගෙන ආ අවස්ථාවේ, මෙකී නිවෙස් සුරක්ෂිතව මෙම පසුබිමෙහි තිබූ බව සෙල්ලම්මා, අපට පැවසුවාය.

“මේ අපේ පරම්පරාගත ගෙදර. මෙතැන මගේ සහෝදර සහෝදරියෝ හත් දෙනෙක් හැදී වැඩුනා. දෙමාපියොත් අපිත් එක්ක හිටියා. 2011 න් පස්සෙ අපිව, අපේ ගෙවල් බලන්න එක්ක ගෙන ආපු වෙලාවේ දැක්කේ, යුද හමුදාව විසින් බුල්ඩෝසර් කරපු අපේ මහ ගෙදර සහ කුස්සියේ නටබුන්. මට තේරෙන්නෙ නැත්තෙ, ඇයි මේ අය මේ වගේ දෙයක් කළේ කියලා. හමුදාව වෙනම කුස්සියක් අපේ වත්තේ හදලා. ඒකෙන් පිට කරන කුණු වතුර කාණුවක් අපි පාවිච්චි කරන ළිඳ පැත්තට හරවලා තිබුනා. මේ නිසා, ළිං වතුර අපවිත්‍ර වෙලා, ළිඳ ඇතුළෙන් තද ගඳක් පිට වෙනවා, එය දරා ඉන්න එකත් අමාරුයි. ඒ වගේම ළිඳ ඇතුළෙ විවිධ කෘමින් සහ සර්පයො පවා බෝ වෙලා. ඒ ළිං වතුර තවත් පාවිච්චි කරන්න බැහැ”.

හමුදාවෙන් නිදහස් කර ගනු ලැබූ පුදුකුඩිඉරිප්පුහි වන තම ඉඩම් වෙත පෙරලා පැමිණි තවත් අයෙක් ප්‍රකාශ කරන ලදී.

“අපේ ගෙවල් තිබුනේ අතන” තවත් එක් මහලු මවක් අත දිගු කරමින් පෙන්වන භුමියේ දැන් ඇත්තේ මඩ වගුරකි. “ඒ අය (හමුදාව), අපෙ ඉඩම වැලි පතලක් කරලා, එතැන වැලි ගොඩ දාලා. දැන් එතැන තියෙන්නේ වගුරු බිමක්. වල් වැදිලා, වතුර පල් වෙලා නිසා ඒ ඉඩම තවදුරටත් භාවිතයට ගන්න බැහැ. අපේ ගෙදරත් විනාස කරලා”

යැයි, ඇය ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කළාය.

හමුදා විසින් බලහත්කාරයෙන්, සෙල්ලම්මා ඇතුළු සමහර අයගේ ඉඩම්, මුදවා ගැනීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එකී ක්‍රියාවලියේ පහත දුක්ඛිත යථාර්ථය ආමන්ත්‍රණය කිරීමට සංහිඳියා ක්‍රියාවලිය තුල ශඛ්‍යතාවයක් තිබිය යුතුය.

පළමුවෙන්ම විමසිය යුතු කරුණ නම්, වයස 83ක් වන සෙල්ලම්මා වැනි මහලු ස්ත්‍රීන් තම පාරම්පරික ඉඩම්, හමුදාවේ බලහත්කාරයෙන් මුදා ගැනීම සඳහා, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටින සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ගරු කරන ආණ්ඩුවක් වෙත බල කරමින් විරෝධතාවන්හි නිරත විය යුතුද? යන්නයි.

දෙවැන්න නම්, මෙකී ඉඩම් සහ නිවාසවල නීතිමය හිමිකරුවන් වෙත නැවත ලබා දීමට ප්‍රථම, හමුදාව විසින් එම ඉඩම් සහ නිවාස විනාශ කිරීම් සහ කොල්ලකෑම් සිදු කරනු ලැබුවේ ඇයි? යන්නයි.

තෙවැන්න නම්, යුද්ධයෙන් අවුරුදු අටකට පසුව, නැවත තමාගේ උරුම භූමිය වෙත පිවිසෙන ජනයාගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම උදෙසා ආණ්ඩුවේ කිසිදු සහයෝගයක් සහ අවධානයක් යොමු නොවන්නේ ඇයි? යන්නයි.

සිව්වනුව, හමුදා බලහත්කාරයෙන් අයුතු ලෙස අල්ලාගත් ජනතාවගේ ඉඩම් හමුදාව විසින් අපයෝජනය කිරීම, පෞද්ගලික දේපළ විනාශ කිරීම, වෘක්ෂලතා කපා හෙලීම සහ හමුදාවේ කොල්ලකැම් හේතුවෙන් වු අහිමි වීම් සහ හමුදාවේ බලහත්කාර රැඳී සිටීම හේතුවෙන් අහිමි වූ ආදායම් මාර්ග සඳහා ආණ්ඩුව විසින් වන්දි ගෙවීමක්/ හානි පූරණයක් සිදු කරනු ලබන්නේ කවදාද? යන්නයි.

අවසාන වශයෙන්, මෙතෙක් හමුදාවේ බලහත්කාර අල්ලා ගැනීමෙන් නිදහස් කර ගනු ලැබූවේ සුළු ඉඩම් ප්‍රමාණයකි. පසුගිය මාසයේ සිදු කරන ලද විරෝධතා උපවාසය මත, පුදුකුඩිඉරිප්පුහි, හමුදාව යටතේ තිබූ අක්කර 19න් අක්කර 7ක් නිදහස් කර ගෙන ඇත. ගම්වැසියන් ප්‍රකාශ කරන ආකාරයට, මාස තුනක් තුළ, හමුදාව තවත් අක්කර 10ක්, මාස 6ක් තුළ තවත් අක්කරයකුත් නිදහස් කිරීමට පොරොන්දු වී තිබේ. එහෙත් පොරොන්දු ඉටු වේවිද?

තම පාරම්පරික ඉඩම් හමුදාවෙන් නැවත ලබා ගැනීම සඳහා කරන ලද අරගලයන් තුළ, සෙල්ලම්මාගේ අරගලය ප්‍රමුඛත්වය ලත් එකකි. අඛණ්ඩ ජනතා විරෝධතා හේතුවෙන්, පුදුකුඩිඉරිප්පු හි ඉඩම් නිදහස් කිරීමට දින කිහිපයකට පෙර, පිලාකුඩිඉරිප්පු සහ පරවිපන්චාන් හි ඉඩම් ද දෙමළ ජනයා වෙත නිදහස් කර තිබේ. යුද සහ ගුවන් හමුදා විසින් මේ ඉඩම්වල බලහත්කාරයෙන් රැඳී සිටි අවදියේ දී එම ඉඩම් සහ දේපළ වෙත සිදු කරන ලද විනාශයන්ගේ සලකුණු තවමත් මෙම ප්‍රදේශයන්ගේ ජීවමානව පවතින බව එම ප්‍රදේශයන්හි කරන ලද සංචාරයෙන් අපට පෙනී ගිය කරුණකි. එසේම ආණ්ඩුවේ කිසිදු සහයෝගයක් නැවත පදිංචි වීමට නොලැබෙන බව ද අපට වාර්තා විය. එසේම එම ප්‍රදේශ තුල තවදුරටත් ගුවන් හමුදාවෙන් සිදු කරනු ලබන නිරීක්ෂණ සහ බිය ගැන්වීම් පිළිබඳව ද කරුණු අනාවරණය වූ අතර, අපට ද එය අත්දැකීමට සිදු විය. එසේම කේපාපිලව් වැනි ප්‍රදේශයන්ගේ, තම පාරම්පරික නිජ බිම් හමුදාවෙන් නිදහස්‌ කර ගැනීමට ජනතා විරෝධතා තවමත් පවතී.

සෙල්ලම්මාගේ සහ අනෙකුත් ජනයාගේ අරගලවල ජයග්‍රහණය සැමරුව ද, එය දුෂ්කර වූ විරෝධතා උපවාසයක ප්‍රතිඵලයක් බව ද අමතක නොකළ යුතුය. එසේම, නැවත තම නිජභූමි වෙත පිළිපන් ජනයා තවත් අරගලයක් වෙත මුහුණ දී ඇත. එනම් තම ඉඩම් බලහත්කාරයෙන් රඳවා තබා ගත් හමුදාව විසින් විනාශ කරන ලද තම නිවෙස් නැවත ගොඩ නගා ගැනීමයි. මෙම අවස්ථාවේදි, නැවත තම ඉඩම් වෙත පැමිණි ජනයා උදෙසා ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් හෝ වන්දි ගෙවීමක් සිදුකර නොමැත. ආණ්ඩුව මෙකී ජනයාගේ මූලික අවශ්‍යතා වන හිසට සෙවණක් හෝ ජීවනෝපාය සපයාදීම පිළිබඳ අවධානය යොමුකර නොමැත. එහෙත් අවතැන් වූ ජනයා, හමුදාව බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින තම ඉඩම් මුදවා ගැනීම සඳහා තවමත් අඛණ්ඩ අරගලයක නිරත වෙති.

*Groundview හි පළකල, Sellamma returns home after Army occupation නමැති ලිපියේ, අරුණි සමරකෝන් විසින් කරන ලද අනුවාදයකි.