ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසර කාලය එමගින් ලබා දෙන ලද නිසාය. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ වාර්තා සහ සමාන්තර රැස්වීම් ගණනාවක් විසින් එක්තරා අන්දමක ශ්‍රී ලංකා සැසිවාරයක් බවට එය පත්ව තිබුණි. 50කට ආසන්න දෙස් විදෙස් ශ්‍රී ලාංකික ක්‍රියාධරයින් පිරිසක් එයට සහභාගිවීමට පැමිණ තිබුණි.

හිමිකම් කොමසාරිස් සෙයිඩ් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පසුගිය බදාදා මානව හිමිකම් මණ්ලයේ සාකච්ජාවට ගැනුණි. එය ශ්‍රී ලංකාව සම්බන්ධ උච්චාවස්ථාව බවට පත්විය. මෙම සටහන ලියැවෙන බදාදාට පසුදා ශ්‍රී ලංකාව සම්බන්ධ 34/1 දරණ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එය ඒකමතිව සම්මත වනු ඇත.

ශ්‍රී ලංකාවෙහි යම් යම් ක්ෂේත්‍රයන්හි මානව හිමිකම් ප්‍රගතියක් දක්නට ඇතත් සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සිදු නොවන තරම් යැයි සෙයිඩ් සාකච්ජාව අරඹමින් ප්‍රකාශ කළේය. විවාදයට තුඩ දී ඇති දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබද අදහස් දක්වමින් ඔහු කීවේ දණ්ඩ මුක්තිය අහෝසි කිරීමට ශ්‍රී ලංකාව දක්වන අකමැත්ත හෝ නොහැකියාව විසින්ම අධිකරණ යාන්ත්‍රණයක අන්තර් ජාතික සහභාගිත්වය අත්‍යවශය කරන බවයි. එවැනි ක්‍රියාදාමයක කේන්ද්‍රය වන්නේ වින්දිතයින් බව කී සෙයිඩ් ඔවුනට යුක්තිය ඉටු නොකරන තාක් කල්පවත්නා සාමයක් උදා නොවනු ඇතැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සාකච්ජා කිරීමට ආණ්ඩුවෙන් පැමිණ සිටි විදේශ ඇමැති හර්ෂ ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකාව සැළකිය යුතු මානව හිමිකම් ප්‍රගතියක් ලබා ඇතත් එවැනි ගමනක් තවම යා යුතුව ඇති බව පිළිගන්නා බවයි. කිසිදු රටක මානව හිමිකම් සර්ව සම්පූර්ණ නැතැයි කී සිල්වා මානව හිමිකම් වනාහී දිගටම ප්‍රගතිය කරා යන ගමනක් බව ප්‍රකාශ කළේය.

හිමිකම් කොමසාරිස් සෙයිඩ්ගේ වාර්තාව හෙළා නුදුටු නියෝජ්‍ය විදේශ ඇමැති සිල්වා ඉතා වැදගත් ප්‍රකාශයක් කළේයෙ:

‘‘මහ කොමසාරිස්වරයාගේ අදහස්, නිරීක්ෂනයන් සහ නිර්දේශයන් ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම්, යහ පාලනය, සහ නීතියේ පාලනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරමින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙහිදී අපට ප්‍රයෝජනවත් වනු ඇත.”

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි එන දෙමුහුම් යුක්ති යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳ නිර්දේශයට සිරිසේන සහ රනිල් එක් දිගට ශ්‍රී ලංකාවෙහි දී බැට දෙන නමුත් ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශය ජිනීවාහි දී කියන්නේ වෙනම කතාවකි. ශ්‍රී ලංකාණ්ඩුවේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් පෙනී ගියේ එළෙසය.

සිල්වාගේ අදහස් දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා වාර්තාව සම්බන්ධයෙන් රටවල් 20ක් පමණ අදහස් දැක්වූහ. ආසියාවෙන් කතා කළ චීනය, පකිස්ථානය, බංගලදේශය, මාලදිවයින ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සුරැකීමට කල යුතු ඉදිරි කාර්යයන් ගැන කතා කිරීමට වඩා කළේ ආණ්ඩුවට සහාය ප්‍රකාශ කිරීමයි. ජපානය ප්‍රගතිය ඉදිරියට ගෙන යා යුතු බව කියා සිටියේ ය.

අදහස් දැක්වූ යුරෝපා රටවල් 16ක් ද ඇමෙරිකාව සහ කැනඩාව ද කියා සිටියේ ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් වර්ධනයක් ඇතත් 2015 වසරෙහි මානව හිමිකම් මණ්ඩලයෙහි සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහිලා ආණ්ඩුව අසමත් වී ඇති බවයි. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද දැක්වූයේ ඒ හා සමාන අදහස්ය.

කතා කළ බොහෝ රටවල් කියා සිටි මූලික කරුණක් වූයේ ශ්‍රී ලංකාව ඉල්ලා ඇති ඉදිරි දෙවසර තුළ දී සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවළිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි කඩඉම් සහිත මාර්ග සිතියමක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතු බවයි. ජර්මනිය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, නොර්වේ, බ්‍රිතාන්‍ය, ස්පාඥය, අයර්ලන්තය සහ බෙල්ජියම අදහස් දැක්වූ යුරෝපා රටවල් අතර විය.

රාජපක්ෂ සමයෙහි LLRC වාර්තාව ක්‍රියාත්මක කල යුතු බවට මානව හිමිකම් මණ්ඩලයෙහි ඒකමතිකත්වයක් ඇතිවූ පරිද්දෙන්ම මෙම ආණ්ඩුව යටතෙහි ඉදිරිපත්ව ඇති සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාවද රාජ්‍යයන්හි මහත් ප්‍රශංසාවට ලක් විය.

රාජ්‍යයන් අදහස් දැක්වීමෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන සඳහා අවස්ථාව ලැබුණි. ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අදහස් දක්වමින් අන්තර් ජාතික යුද අධිකරණයට ඉදිරිපත් නොකර තවමත් ශ්‍රී ලංකාණ්ඩුව කෙරෙහි විශ්වාසයෙන් සිටින්නේ ඇයි දැයි සෙයිඩ්ගෙන් විමසා සිටියේය. සිය අවසන් අදහස් දැක්වීමෙහිදී එම ප්‍රශ්ණයට කෙලින්ම පිළිතුරු දෙමින් සෙයිඩ් කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය අහෝසී වී නැති බවත් තමන් දිගටම ලංකාණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

රාජ්‍ය නොවන සංවිධාන යටතෙහි අදහස් දැක් වූ පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු ලංකාණ්ඩුව මානව හිමිකම් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉදිරි දෙවසර තුළ අනීවාර්‍යයෙන්ම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය පෙරට ගෙන යායුතු බවයි. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ද ඒ මතයම ප්‍රකාශ කළෝය.

මීට අමතරව දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකික පිරිස් විසින් මානව හිමිකම් මණඩලයෙහි සංවිධානය කරන ලද සමාන්තර රැස්වීම් දුසිමකින් තරම් පසුගිය සති හතර පිරී තිබුණි. එ අතර වාරයෙහි ඇති වූ සාමීචි කතාබහ බොහෝය.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ එක්වූ යාපනයේ දෙමළ ජනතා මණ්ඩලයේ මතය දරණ පිරිස් විසින් පවත්වන ලද එවැනි රැස්වීම්හි මූලික තේමාව වුයේ ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් අන්තර් ජාතික යුද අධිකරණය හමුවෙහි ශ්‍රී ලංකාවට නඩු පැවැරීමට කටයුතු කළ යුතු බවයි. එම මතය ප්‍රකාශ කිරීම පිණිස දහපහලොස් දෙනෙකු පමණ උතුරුකරයේ සිට ජිනීවා කරා පැමිණ තිබුණි. එම ඉල්ලීම ප්‍රයෝගික වශයෙන් සිදුවීමට අල්ප ඉඩක්වත් නැති නමුත් එම මතයෙහි එල්බගත් පිරිස් සිටිත්.

එවැනි සමාන්තර රැස්වීම් සඳහා ජිනීවා තානාපති ප්‍රජාව කෙරෙන් ප්‍රතිවාරයක් තිබුණේම නැති තරම්ය. යම් බලපෑමක් ඇතිකළ හැකි සමාන්තර රැස්වීම් අඩුම වශයෙන් හතරක් තිබුණි. එම රැස්වීම් හි සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ යළි සිදුනොවීම සහතික කිරීම පිළිබද එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරුවන පබ්ලෝ ඩි ග්‍රීෆ්, එක්සත් ජාතීන්ගේ සුළු ජන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාරිතාකාරිය වන රිටා ඉසාක් න් ඩිආයේ සහ යුරෝපා පාර්ලිමේන්තු මංත්‍රීවරියක සහ එහි මානව හිමිකම් අංශ ප්‍රධානියකු වන බාබාරා ලොක්බීලර් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වූ පාක්‍යසෝති සරවනමුත්තු මූලික අදහස් දැක්වූහ.

මෙම සමාන්තර රැස්වීම්වලට සැළකිය යුතු ප්‍රමාණයක් තානාපති ප්‍රජාව සහභාගි වී තිබූ අතර වැදගත් සාධනීය යෝජනා එම සාකච්ජා සභාවන්හි දී මතුවිය.

මෙකී සාකච්ජාවන් හි පොදු තේමාව වශයෙන් දැකිය හැකි වූයේ ද පෙර කී කරුණය. එනම් 2015 දේශපාලන පෙරළියෙන් පසු ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් පැහැදිළිවම සිදුව ඇතත් විශේෂයෙන්ම සංක්‍රමණීය යුක්තිය ඉටු කිරීම අරභයා ශ්‍රී ලංකාණ්ඩුවේ වාර්තාව ඉතා දුර්වල බවයි. එමෙන්ම ලංකාණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල නොවූ එකදු රාජ්‍ය නොවන සමාන්තර රැස්වීමක් හෝ තිබුණේ නැත. 2014 වසරින් පසු ලංකාණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයේදී වැඩිපුරම විවේචනයට ලක් වූ සැසිවාරය මෙයයි.

ලංකාණ්ඩුව සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ එය විසින්ම ඉල්ලා ලබා ගත් ඉදිරි දෙවරසක කාල පරිච්ජේදය තුල 30/1 දරණ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවට අන්තර් ජාතික ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකික මානව හිමිකම් ප්‍රජාව කෙරෙන් නැගී එන ප්‍රබල ඉල්ලීමයි. සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය අවංකව සහ කැපවීමෙන් පෙරට ගෙන නොගියහොත් සිරිසේන – රනිල් ආණ්ඩුව ද අන්තර් ජාතික වශයෙන් අවඥාවට සහ අපවාදයට ලක්වනු ඇති බවට පෙර නිමිති මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය පෙන්වා සිටියේ ය.

එනමුත් අඳ ගොලු බිහිරි ආණ්ඩුවක් බවට පත් වෙමින් යන සිරිසේන – රනිල් පාලනයට නැගී එන මෙම කුණාටු පෙරනිමිති දැනෙනු ඇතැයි සිතීම දුෂ්කරය. අපේ කාරිය වන්නේ මෙම අදහස් සාධනීය ලෙස රටතුළ දෝංකාර නැවීමයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya