Image BY: Amnesty International

පසුගිය දින කිහිපය පුරාවට විහිළුකාරීම සිදුවීම් මාලාව විමල් වීරවංශ වටා දිගහැරෙමින් පැවතිණ. විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම, සමාජයේ බොහෝ දෙනාගේ වචනවලින් කියනවා නම් ‘මහජන දේපල හෙරා කෑම’ යන චෝදනාව යටතේ වුවත් විමල් සිතනා හැටියට එය ‘දේශප්‍රේමීන් මර්ධනය කරන’ වෑයමකි. මහින්දලාගේ ඔඩොක්කුවේ සිටි සහ සිටින බොහෝ දෙනා සිතන්නේ මෙලෙසය. ඔවුන්ට අනුව, තමන් බොරුවට හෝ රට, ජාතිය, ආගම ගැන නන්දොඩවන තාක්කල් හිතේ හැටියට සොරකම් කිරීමට පුරවැසියන් තමන්ට ඉඩ දිය යුතුය. විමල්ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මට තිබූ එකම ගැටළුව නම් තවත් මහා පරිමාණ දූෂණ චූදිතයන් සහ රාජපක්ෂලා අතර ඍජුවම මිනීමැරුම් චෝදනා එල්ල වූ මැරයන් දැනටත් එළිපිටම ප්‍රසිද්ධ දේශපාලනික කටයුතුවල නිරත වන සහ ඉදිරියේදීද එසේ කරන බවට පුරාජේරු ගසන පසුබිමක විමල්ට මේ දක්වා ඇප ලබා නොදුන්නේ ඇයි? යන්න පමණි. ඉන් අදහස් වන්නේ විමල් නිදහස් කළ යුතු බව නොව ඉතිරි හොරුන් සහ මැරයන් ටිකට එරෙහිවද මේ ලෙසම නීතිය අදාළ කළ යුතුය යන්නයි. මේ අතරම විමල් නියෝජනය කරන ‘දේශපාලනික කිනිතුල්ලන්’ කුලකයේ ඔහුගේ සහ-ක්‍රියාකාරියෙකු වන ගම්මන්පිල වැනි අවස්ථාවාදීන්ටත්, බෙංගමුවේ නාලක වැනි පිස්සු චීවරධාරීන් ඇතුළු ඊනියා දේශප්‍රේමීන්ටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල්ම රස ගොදුරක් වීම එක අතකින් දෛවෝපගත සිද්ධියක්දැයි සිතේ. සමහරවිට එය ඔවුන්ගේ ‘බයිට් එක’ වන මහින්ද රාජපක්ෂගේ ඇඟේ එල්ලී ගමන්ගේ ගමන යාමට දැරූ ප්‍රයත්න මේ ආත්මයේදීම පටිසන් දීමක්ද විය හැක. අවස්ථාවාදී කුහකයාට තැනක් නොතැනක් හෝ න්‍යායපත්‍රයක් නැත.

මට අනුව විමල් ඉතිහාසගත වන එක හේතුවක් තිබේ. පසුගිය කාලය පුරාවට මරා දමන ලද, අතුරුදන් කරවන ලද, ප්‍රහාරයන්ට ලක් කරන ලද සැමියන්, බිරින්දෑවරුන්, දරුවන්, දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් ඉතාම නීරස හා දුෂ්කර එහෙත් නොනවතින අරගලයක නිරතව සිටින විශාල පිරිසක් අතර තමන්ගේ සොරකම් යටපත් කිරීමටත්, දේශපාලනික යැපීම වෙනුවෙනුත් තම බිරිඳ සහ දරුවන් විකිණූ කෙනෙකු වේ නම් ඒ විමල්ය. තමන්ගේ කුටුම්භය අවභාවිත කළ කෙනෙකුට රාජ්‍ය දේපල අවභාවිත කිරීම නොකළ හැක්කක්ද? වෙහෙර ගිලපු එකාට අග්ගලාව කජ්ජක්ද කියා කතාවක් අපේ ජන ව්‍යවහාරයේ පවතී.

මේ අතරම, විමල්ගේ තවමත් අපරිණත දියණියගේ අධිරංගනය සහ ඔහුගේ බිරින්දෑ අවසානයේදී විලිලැජ්ජා නැතිව ‘අපේ කාලයේ පටාචාරා’ ලේබලය තමන් විසින්ම ඇඟේ අලවාගත් සැටිත් අපි දුටුවෙමු. සාමාන්‍යයෙන්, කුඩු මුදලාලිලා, පාතලකාරයින් තම දරුවන්ට ඒ ඉරණම අත්වන්නට ඉඩ හරින්නේ නැත. එහෙත් විමල්ගේ ‘රැඩිකල්කම’ ඒ සීමාවත් අතික්‍රමණය කර ඇති බව පෙනේ. ඕනෑම දියණියකට හෝ පුතෙකුට තමන්ගේ තාත්තා ගැන කැක්කුමක් ඇති බව අපි පිළිගනිමු. උනහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු යන කතාව අනිත් පැත්තටද එලෙසම අදාළ කළ හැකි බවද පිළිගනිමු. එහෙත් තමන්ගේ තාත්තලා සම්මාදම් වී තවත් බොහෝ දරු දැරියන්ට තාත්තලා සහ අම්මලා අහිමි කළ බවත්, රක්ෂිත බන්ධනාගාරයේ සිට පිස්සු කෙළින තම තාත්තා මේන් නොව ඒ තාත්තාලා සහ අම්මලා ආගිය අතක්වත් තවමත් සොයාගෙන නැති බවත් ඒ දියණියට කවුරුන් හෝ කියා දීම මැනවි. බන්ධනාගාරවල සෝබන උද්ඝෝෂණ කළා කියා ඇප ලැබෙන්නේ හෝ නිදහස් කරනු ලබන්නේ හෝ නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත. එක අතකින් මේවා මොන්ටිසෝරි වැඩය. අනෙක් අතට, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විශාල පිරිසක් අන්තිම ම්ලේච්ඡ ලෙස මරා දැමූ රාජපක්ෂලාගේ දරදිය ඇදි කෙනෙකු වශයෙන් එසේ කරන්නට විමල්ට සදාචාරාත්මක අයිතියක් නොමැත. මේ නිසා, විමල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රමෝදයට පත් වන මා වැන්නන්ට ගැලපෙන ප්‍රකාශයක් පණ්ඩුල නයන බණ්ඩාර ඉතා කදිමට මුහුණුපොතේ සටහන් කර තිබිණ: “අදත් ඇප නෑ කියල හිනාවෙන උන්ට කවදාහරි තේරෙයි තමන්ගෙ එකෙක් හොරකං කරලා හිරේ ගියාම තියෙන වේදනාව”!

රාජපක්ෂලා විසින් අතුරුදන් කරනු ලැබූ ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් විවිධ තාඩන පීඩන, අපහාස, තර්ජන, මානසික වධ දීම් විඳගෙන මේ වන විටත් නඩු වාර 90 කට අධික ප්‍රමාණයකට පෙනී සිටිමින් අනවරත අරගලයක නිරත වී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ වැනි (මේ එක උදාහරණයක් පමණි) බිරින්දෑවරුන් සමග බලන කල මේ අලුත්ම ‘පටාචාරා නාඩගමේ’ විගඩම් ස්වරූපය මනාව ඉස්මතු වෙයි. සන්ධ්‍යා එක උදාහරණයක් පමණි. එහෙත් මේ කිසිදු කෙනෙකු තම අරගල කරන්නේ යුක්තිය දිනා ගැනීමට මිස ප්‍රතිරූප හදාගැනීමට හෝ අනුන් වෙනුවෙන් හදා දීමට හෝ නොවෙයි. විමල් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ නඩු අසා යුක්තිය පසිඳලීමට වන අතර ඔහුගේ දරුවන්ට සහ බිරිඳට විශාල කෙනිත්තීමක් කර තිබෙන්නේ විධිමත් ආකාරයකට නඩු ඇසීමේ ක්‍රියාවලිය විය හැක. එහෙත්, විමල්ලා රාජපක්ෂ රෙජීමය යටතේ අවස්ථාවාදී දේශපාලනය කදිමට භාවිත කරමින් සිටි කාලයේ නඩු ඇසුවේ ‘ඔන් ද ස්පොට්’ ක්‍රමයටය. මේවා මතක නම් කළ යුත්තේ ‘පටාචාරා ටෝක්’ නොදී ගෙදරට වී පෞද්ගලිකව කණගාටු වීමය. විමල් වෙනුවෙන් රටම ශෝක විය යුතු බවට මතයක් හැදීමට කරන නරි නාටක අපට නම් විහිළු පමණි.

මේ සියල්ල සිදු වන්නේ යුද අපරාධ විමර්ශන සම්බන්ධයෙන් රාජපක්ෂවාදීන් විශාල භීතිකාවක්ද, යහපාලන ආණ්ඩුව විසින් අන්තිම කපටි ‘ශේප් න්‍යායයක්ද’ ජනතාව හමුවේ තබා ඇති පසුබිමක වීමද ඉතා වැදගත්ය. රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ චෝදනා මත තම සැමියා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව දන්නා සහ ඔහු හමුවීමට අවස්ථාව ඇති බිරිඳකට එම හේතුව මතම පටාචාරාවක් වීමට හැකි නම්, සිදු වූයේ කුමක්ද? ඉන්නේ කොහේද? (ඉන්නවා නම්) වැනි සරල ප්‍රශ්න ටිකටවත් උත්තර සොයාගත නොහැකිව, ඉනුදු නොනැවතී ඔවුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ශෝක වීම වැනි මූලිකම මිනිස් අයිතිය පවා අහෝසි කර තිබෙන පීඩක පරිසරයක වින්දිතයන් වූ බොහෝ අය තමන්ට ආදේශ කරගත යුතු ප්‍රතිරූපය කුමක්ද? කිසිදු හමුදා සාමාජිකයෙකුගේ ඇඟට අත තියන්නටවත් තමා ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයෙකු සිටින රටක, ඒ අපරාධවල වගකීම භාරගත යුතු රාජපක්ෂ රෙජීමයේ කෙරුමන්ට ආරක්ෂක අංශවලත්, ඉන් පරිබාහිරවත් ඉහළම තනතුරු පවා ලබා දෙන ආණ්ඩුවක් යටතේ යුක්තිය පිළිබඳ අවම බලාපොරොත්තු ටික පවා අභියෝගයට ලක් වෙමින් පවතින මිනිසුන් විශාල පිරිසක් තම පුරවැසිභාවයේ අවිනිශ්චිතභාවය ගැන කම්පා වෙමින් පවතින බවත් මේ ඊනියා දේශප්‍රේමීන් අකැමැත්තෙන් වුව පිළිගත යුතුය. විමල් වීරවංශ ඊයේ (03) අධිකරණයේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් තමාට ඇප ලබා දිය යුතු හේතු ලෙස ඉදිරිපත් කර තිබුණේ තමන්ගේ දියණියයි. ඇප ඉල්ලීම් වෙනුවට, මරා දමන ලද පියවරුන්ගේ, මවුන්ගේ, දරුවන්ගේ සහ සොහොයුරන්ගේ ජීවිත නැවත ඉල්ලීම වඩා වැදගත් සහ බරපතල බව සිතට ගන්න.

එක පිරිසකට යුක්තිය යන්න අමාරුවෙන් වුව දිනාගත යුතු දුෂ්කර අභ්‍යාසයක් බවට පත් වී ඇති අතරම තවත් පිරිසකට එම වචනයම පවා සහමුලින්ම අයුක්තිසහගත සහ අවස්ථාවාදී ප්‍රථිඵල උදාකර ගැනීමේ කුහක භාවිතයක් බවට පත්ව ඇති අයුරු පිළිකුල්සහගතය.

අශාන් වීරසිංහ | Ashan Weerasinghe