හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙත ලියන විවෘත ලිපියයි

ජාතික ඒකාග‍්‍රතා සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග
කොළඹ

අලූත් ශ‍්‍රී ලංකාවක් පිළිබඳ ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීම

වර්ග කිලෝ මීටරයක අගය වශයෙන් ගත් විට ලෝකයේ වැඩිම වියදම්කාරී අධිවේගී මාර්ගයක්, අසාර්ථික ‘මිහින් ලංකා’ සමාගමක්, පාවිච්චියට නොගැනෙන නන්නත්තාර ගුවන් තොටුපොළක් සහ මන්ද-උපයෝජනයක් සහිත වරායක් ආදී ප‍්‍රයෝජ්‍ය වටිනාකමකින් තොර සුදු අලි ව්‍යාපෘති සඳහා ලබා ගත් යෝධ විදේශ ණය කන්දරාව, දූෂණය, අවකළමණාකරණය සහ පිරිහෙමින් පැවති රාජ්‍ය ආදායමේ සුසංයෝගයක් ඔස්සේ හිටපු රාජපක්ෂ පාලනය විසින් පහළට ඇද හෙලා තිබූ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ සහ ස්ථායී භාවයට පත්කිරීමේ අසීරු කටයුත්තට ආණ්ඩුව උර දී සිටින මොහොතක, වර්තමාන දේශපාලන තත්වය ගැන ඔබට ලිවිය යුතු යැයි මට සිතුණි.

2015 ජනවරම

මේ ලිපිය තුළින් මා ඔබට අමතන්නේ, මීට අවුරුදු දෙකකට ටිකක් ඉහතදී, කළ නොහැකි දෙයකැයි එදා සිතූ දෙයක් සාර්ථක කර ගැනීමට ඔබ මූලික වූ නිසා ය. බෙදී සිටි සහ ඇනකොටා ගනිමින් සිටි විපක්ෂයක් පොදු දේශපාලනික පෙරමුණක් වශයෙන් ද, යහපාලනය සහ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රතිඥාවක් මත ජනාධිපති සිරිසේනව බලයට ගෙනා දේදුනු සභාගයක් වශයෙන් ද එදා ගොඩනැගූ ඒ කර්තව්‍යයේ ඔබ තීරණාත්මක වූ නිසා ය. ඒ වන විට රාජපක්ෂ පාලනය නොසැලෙන බලයක් සේ ස්ථාපිතව තිබුණි. ජනතාව පෙළ ගැස්වීමේ සාධකයක් වශයෙන් යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රතිඥාව, බොහෝ විචාරකයෝ, විශේෂයෙන් රාජපක්ෂලා සමග ඇඟෑලූම් කම් පෑ විචාරකයෝ එදා ප‍්‍රතික්ෂේප කළහ. කෙසේ වෙතත්, 2015 ජනවාරියේ සහ අගෝස්තුවේ පැවති මැතිවරණවලින් ඔවුන්ගේ විශ්ලේෂණ අවලංගු කෙරුණි. ජනතාවාදී සහ අධිකාරීවාදී පාලන තන්ත‍්‍රයක් වෙනුවට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සානුකම්පික (අනෙකාවත් ඉවසන, අනෙකාවත් ඇතුළත් කරගන්නා, බහුත්වවාදී) රාජ්‍ය ක‍්‍රමයක් කෙරෙහි ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් විශ්වාසය තැබීම සොම්නසට කාරණයකි. 2015 ජනවාරියේ සහ අගෝස්තුවේ ජනවරම් දෙකක්ම එක විට බලයට පත්ව සිටියදීත්, ඒ ජනවරම් දෙකම ආර්ථික මෙන්ම දේශපාලනික තලයේ රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා වන එක්සත් දේශපාලනික එළැඹුමක් කෙරෙහි යොමුව තිබියදීත්, ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් ලැබී නැතැ යි ‘ඒකාබද්ධ විපක්ෂයේ’ ඇතැමුන් කියන කුප්ප කතා කෙනෙකුව මවිත කරවයි. අපේ මෑත ඉතිහාසයෙන් වැඩි කාලයක් අප අත්විඳ ඇති සමාජ ගැටුම සහ ආර්ථික ව්‍යාධිය පිටුදකිමින් අලූත් ශ‍්‍රී ලංකාවක් උදෙසා වන ගමනේදී මේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවේ යෙදවීම අනිවාර්ය කෙරේ.

එකමුතුවක් නැති රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂයක්

පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන ‘ඒකාබද්ධ විපක්ෂය’, ආර්ථික ප‍්‍රතිසංස්කරණ, සංහිඳියාව සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ආදී සෑම ක‍්‍රියාවලියක්ම කඩාකප්පල් කිරීමේ අරමුණින් කටයුතු කරනු දක්නට ලැබීම කණගාටුදායක ය. කෙසේ වෙතත්, රාජපක්ෂ පාලනය නොසිතූ විරූ ආකාරයෙන් සහ කාගේත් ප‍්‍රමෝදයට හේතුවන ආකාරයෙන් කල්තියාම ගෙදර යැවීමට එදා හැකි වූ සාධකම, යළි රාජපක්ෂ බලයට පත් කිරීමේ ව්‍යාපෘතිය වටා තවමත් ක‍්‍රියාත්මක වන බව කිව යුතුය. ඒවා අතරින් මුල් තැනක් ගන්නේ, මහින්දගෙන් පසු බලයට පත්විය යුතු අංක එකේ සහෝදරයා විය යුත්තේ කොයි රාජපක්ෂ ද- බැසිල් ද, ගෝඨා ද, නැතහොත් දඩිබිඩියක් ඇති නාමල් තරුණයා ද, එසේත් නැතහොත් ඇත්තෙන්ම තරගයේ නැති අසරණ චමල් සහ ෂෂීන්ද්‍ර ද- යන අභ්‍යන්තරික රණ්ඩුවයි. ගෝඨාගේ සහ බැසිල්ගේ සමීපතම ආධාරකරුවන්ගෙන් පැහැදිළිවම පෙනෙන්ට ඇති පරිදි, ඊළඟ බල අරගලයක් ආවොත් දෙන්නාගෙන් එක් කෙනෙකුවත් අනෙකාට ‘සෙකන්ඞ්’ වීමට සූදානම් නැති බව නම් කිව හැකිය. උරුමය සහ පරවේණිය පිළිබඳ ප‍්‍රශ්න තම තමන් අතරේ අභ්‍යන්තරිකව විසඳා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් බලයෙන් ගිලිහී ගිය රාජකීය පවුල්, යටත්විජිත ක‍්‍රමයට කලින් පැවති ලංකාවේ රාජාවලිය තුළ අනන්තවත් දක්නට ලැබේ. රාජපක්ෂ රජ පවුලේ වර්තමාන වෑයම තුළ ඇති මාරක ආබාදයත් එයම ය.

බලය සඳහා වන මේ අභ්‍යන්තරික පවුල් දබරය, දේශපාලනික උපක‍්‍රම සහ ඒවාට ඔබින මාර්ග වෙත විහිදෙයි. එහිදී තීරණාත්මක ප‍්‍රහාරක යොමුවකට එළැඹෙන බැසිල් රාජපක්ෂ, නව දේශපාලන පක්ෂයක් දියත් කොට, මහජන රැළි, විරෝධතා පෙළපාලි සහ දේශපාලනික බලය ප‍්‍රදර්ශනය කිරීමේ ක‍්‍රමවේද වෙත යොමු වී සිටී. ගෝඨාභය රාජපක්ෂගේ එළැඹුම එයින් සපුරා වෙනස් ය. පරාජිත රාජපක්ෂ සහ වර්තමාන ජනාධිපතිවරයා අතර දේශපාලනික සන්ධානයක් අටවා ගැනීමේ ප‍්‍රයත්නයක් සඳහා ආවතේවකරුවන් සහ අතරමැදියන් යොදාගන්නා ඔහු, වත්මන් රජයට ලැබී ඇති ජනවරම එවැනි සන්ධානයක් ඔස්සේ ආපසු හරවා ගැනීමේ ඇදහිය නොහැකි ප‍්‍රයත්නයක නිමග්නව සිටී. කෙසේ වෙතත්, එවැනි ක‍්‍රියා මාර්ගයකට පිටුදෙන නිශ්චිත තර්කණයක් පැහැදිළි කරලීමට හෝ එවැන්නක් දේශපාලනික බරකින් යුක්තව ඉදිරිපත් කිරීමට හෝ ඔහු මෙතෙක් සමත්ව නැත.

2020: මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසීම

දයාබර මැතිණියනි,

ඔබතුමිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවනීය අනුශාසක තනතුර හොබවන්නීය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙනත් හිටපු ජනාධිපතිවරුන් මෙන් නොව, ඔබතුමිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැනවෙන වාර සීමාවට ගරු කොට වැදගත් ආකාරයෙන් විශ‍්‍රාම ගත්තාය. එසේ කෙළේ, ඔබ සතුව මනා දේශපාලනික හයියක් ද එදා තිබියදී ය. ඒ බව, 2015 යහපාලනික ජයග‍්‍රහණය වෙනුවෙන් ඔබතුමිය කළ විශිෂ්ට කාර්ය භාරයෙන් පවා ඔප්පු කෙරුණි. ආණ්ඩුවේ මධුසමය දැන් පැහැදිළිව අවසන්ව ඇති තත්වයක් තුළ, මධ්‍ය කාලීනව ආණ්ඩුවට පැවරෙන බරපතල කාර්ය භාරයක් එය ඉදිරියේ ඉතිරිව තිබේ. එම සන්දර්භය තුළ, ඔබතුමියගේ විශිෂ්ට පියාණන් සහ මෑණියන් විසිනුත්, ඇත්ත වශයෙන් ඔබතුමිය විසින්මත් අතීතයේ ගොඩනගා නායකත්වය සැපයූ සහ අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, රටට තදින්ම අවශ්‍ය කරන, මේ වන විට ඔබටම භාර කොට ඇති සංහිඳියා ක‍්‍රියාවලිය ඇතුලූ, අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමෙහි ලා සක‍්‍රීයව දායක වීම අතිශය වැදගත් වන්නේය.

වෙනස් වීම් සහ ප‍්‍රතිසංස්කරණ තුළින් පෑදෙන සාධනීය ශක්‍යතාවන්, අවස්ථාවන් සහ ප‍්‍රතිඵල හඳුනා ගැනීමට දේශපාලන ක‍්‍රියාධරයන්ට සහ සංවිධානවලට ඇති හැකියාව හෙවත් ‘සදාචාර පරිකල්පනය’ පිළිබඳ සංකල්පය, කීර්තිමත් දේශපාලන විද්‍යාඥ පෝල් ලෙඩරාච් විස්තරාත්මකව පැහැදිළි කොට දක්වා තිබේ. එහෙත්, අපේ සමාජයේ පවතින පූර්ණ විවිධත්වය ශ‍්‍රී ලාංකීය රාජ්‍යය තුළ නිරූපණය වනු වස්, ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට දැමීමේ ඓතිහාසික අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට, වැඩියත්ම 2015 ජනවාරියේ දී වැරදි පැත්තේ සිටගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයන් අසමත් වීම මා තුළ යම් කණස්සල්ලක් දනවයි. එල්.ටී.ටී.ඊ, මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ආචාර්ය නීලන් තිරුචෙල්වම් එදා විස්තර කළ පරිදි, බහු-වාර්ගික සමාජයක් මත ඒක-වාර්ගික රාජ්‍යයක් පැටවීමේ විකෘතිය ඉවරයක් කර ගැනීම අපේ වගකීමකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් දෙනා කරන ප‍්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ, දැනටමත් ඔවුන්ගේ බැල්ම 2020 ජනාධිපතිවරණය කෙරෙහි යොමුව ඇති බවකි. එහෙත් තව අවුරුදු තුනකට එහායින් ඇති මැතිවරණයක් ගැන කල්පනා කරනවාට වඩා, 2015-2020 අතර කාලය තුළ අප අත්පත් කරගෙන ඇත්තේ කුමක්ද යන්න, අඩු වශයෙන් මේ රටේ ස්වෛරී ජනතාව වෙනුවෙන් අප දායාද කොට ඇත්තේ කුමක්ද යන්න වඩා වැදගත් වන බව ගෞරව පූර්වකව දන්වා සිටිනු කැමැත්තෙමි.

රාජපක්ෂ පාලනය අවසානයක් කළ හැකි වුණේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සහ එක්සත් ජාතික පක්ෂය, තවත් පක්ෂ ගණනාවක් සමග සන්ධානගත වීමෙනි. ඔවුන් දැනුත් එකට වැඩ කළ යුතුය. ජාතික හෙළ උරුමයේ නායක සහ රාජපක්ෂ පාලනයේ විවේචකයෙකු වන චම්පික රණවක ඇමතිවරයා මෑතකදී වැදගත් නිරීක්ෂණයක් කර තිබුණි. එනම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට වෙන වෙනම මැතිවරණවලට තරග කළ හැකි බවත්, පසුව ජාතිය ගොඩ ගැනීමේ ව්‍යායාමයක් තුළ එකට එක්ව රට පාලනය කළ හැකි බවත් ය. සයිටම් විවාදයට සහභාගී වෙමින් කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප‍්‍රායෝගික, ආකර්ශණීය සහ පිළිගත හැකි විකල්පයකින් තොරව, තිබෙන ආණ්ඩුවක් පෙරලා දැමීම විසඳුමක් නොවන බව කියා තිබේ. උතුරේ මෙන්ම දකුණේ ද ක‍්‍රියාත්මක වන දේශපාලනික අන්තවාදීන්ට දිය හැකි හොඳම පිළිතුර වන්නේ, මීට වසර දෙකකට කලින් මේ රටේ ජනතාව බලය පැවරූ, ප‍්‍රජාතන්ත‍්‍රීය, දේශපාලනික සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියේ ඊළඟ වටය සාර්ථකව නිමා කිරීම සඳහා ජාතික ආණ්ඩුව එකට එක්ව කටයුතු කිරීමයි.

ඔබේ හිතවත්,

හරීම් පීරිස්

*2017 අපේ‍්‍රල් 20 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Rebuilding A Divided Nationනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි