සංඝමිත්තාව ශ්‍රී මහ බෝධිය රැගෙන ආ අතර හේමමාලා කුමරිය දළදාව මෙරටට ගෙනා බවට ඉතිහාස කතා පවසයි. පවතින මොහොතටත් වඩා ඉතිහාසය විශ්වාස කරනු ලබන බහුතර සිංහල හීනයානිකයන්ගෙන් මා අසන සරල කරුණ නම්, එදා මෙකී ස්ත්‍රීන් දෙපළ ශ්‍රේෂ්ඨ වස්තුන් ගෙන ඒමේදී ඔසප් චක්‍රය ක්‍රියාත්මකව ඔවුන් කිලි වලට අසු නොවුනිද? මන්ද අද සිංහල චීවරධාරී පිරිමි, මෙකී වස්තුන් වෙත ප්‍රවේශවීමට ස්ත්‍රීන් වෙත ඉඩ ලබා නොදීමේ තර්කය නම්, ස්ත්‍රීන් යනු සංශුද්ද පරාණ නොව, ඔසප් වීම හේතුවෙන් කිලිවලට අසු වූ දෝෂ සහිත සත්ත්ව කොට්ඨාශයක් ලෙස හදුන්වන හෙයිනි. එවැනි පරපීඩක මානසිකත්වයකට හිමිකම් කියන සිංහල පිරිමින්ගේ හීනයාන අන්‍යතාව සමනලී ෆොන්සේකාගේ සමාජ වෙබ් අඩවියේ වූ බෙදා ගැනීමක්(share) මගින් අභියෝගයට ලක් කර ඇත. සිංහල පිරිමින්ගේ හීනයානය බේරා ගැනීම සදහා, ස්ත්‍රී ලිංගයක් සහිත ජීවී කොට්ඨාශයන් ද ඇතුළුව යම් කාණ්ඩයක් සමනලී ට විරුද්ධව, නොමේරු දේශපාලනයක නිරත වී ඇත. ඔවුන්ගේ හිනමාන දේශපාලනය පිලිබද යම් කියවීමක් කිරීම මේ රචනාවේ මුලිකම අරමුණ වේ.

සමනලී ෆොන්සේකා බෙදාගත් සමාජ වෙබ් අඩවි ඡායාරූපය තුළ ප්‍රබල දේශපාලනයක් වේ. එනම් ශ්‍රේෂ්ඨතම නාමයෙන් වන ජාතිවාදී අනන්‍යතාව ඇය ප්‍රශ්න කරයි. සිංහල හීනයානිකයන්ට අනුව, භූමියේ අයිතිය සදහා වන දේශපාලනික නෛමිත්තික ලෙස පොදුජනයා පිඩාවට පත්කරමින් ඔවුන්ගේ ශ්‍රමය සුරා කමින්, සුඛෝපභෝගී ජීවිතයක් ගෙන ගිය රාජ පරම්පරා සහ රාජධානි කුණු හැලීමට සුදුසු ස්ථාන නොවේ. ඒවා වැදුම් පිදුම් ලැබිය යුතු ස්ථාන වේ. ජේතවනාරාමය ඉදිකිරීමේ සලසුම ම කුණු ගොඩකි. මහා විහාර භික්ෂූන්ගේන්, තමා නියෝජනය කළ අභයගිරි නිකායට සිදු වූ රාජ්‍ය අනුග්‍රහහිත අඩත්තේට්ටම් වෙනුවෙන් සොයාගත් පලිගැනීමක් ලෙස, සංඝමිත්ත භික්ෂුව විසින් මහසෙන් රජුට දේශපාලන ගතු කියා ජේතවනය ඉදිකර ගන්නා ලදී. සරලව, ජේතවනය යනු පළිගැනීමේ දේශපාලනයක විපාකයකි. පරපීඩක කුණෙන් උපත ලත් ස්ථානයක් වෙත කුණු ගොඩ ගසා ප්‍රතිචක්‍රීකරණය සදහා යොදා ගැනීමට යෝජනා වූයේ නම්, එය විශාල ගැටළුවක් ලෙස සැලකිය යුතු නොවේ. නමුත් කාරණය එය නොවේ. ජේතවනය, රුවන්වැලිසෑය, ථූපාරාමය වැනි විශාල පර්වත වෙනුවෙන් උරුමකම් කියන සිංහල හීනයානිකයන්, මිතොටමුල්ලේ කුණු කන්ද වෙනුවෙන් අයිතිය නොකියයි. සමනලී බෙදාගත් ඡායාරූපයේ අන්තර්ගත දේශපාලනය, විශාල ගඩොල් හෝ මැටි සම්භාරයන්ට හිමිකම් කීව ද, තමා ඉවත ලු කුණු මගින් ගොඩ නැගී කන්ද වෙනුවෙන් අබිමාන ලෙස සිංහල හීනමානිකයන් අයිතිවාසිකම් නොකීමය.

එකී දේශපාලනය කතා කිරීමට සමනලිට මූලික අයිතියක් තිබේ. එම අයිතිය හැඩිගල්ලේ විමලසාර චීවරධාරියා විසින් අභියෝගයට ලක් කරයි. ඔහුට ලිපි ලිවීමේ අයිතිය ඇති බව මා තරයේම පිළිගන්නා නමුත් ලිපි මගින් තර්ජනය කිරීමට අයිතියක් නොමැත. මෙකී චීවරධාරියා පවසන ආකාරයට, කුරුණෑගල පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්ෂ ගේ සමස්ත දේශපාලන අභිවෘත්තියම, ඔහුද අයත් ජාතික හෙළ උරුමයෙන් ගොඩනගා දී ඇත. උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර, මරණයට පත්කරමින් යුද්ධය ජයගැනිම සදහා දායක වී ඇත්තේ ද ඔහු ද අන්තර්ගත හෙළ උරුමයයි (https://www.youtube.com/watch?v=V0ZyJ0ZFn00). මහින්ද රාජපක්ෂ, ජනාධිපතිගෙන්, කුරුණෑගල මන්ත්‍රී බවට පත් කර ඇත්තේ ද ඔහු සහ හෙළ උරුමයයි. ඔහුගේ එම ප්‍රකාශය තුළ අන්තර්ගත වූයේ තමා නියෝජනය කරන දේශපාලන දෘෂ්ඨිවාදය හැරුණු විට වෙනත් විකල්ප දෘෂ්ඨිවාදයන් හි පැවැත්ම සදහා ඉඩක් නොමැති බවය. මෙකී දේශපාලන ඒකාධිකාරය සමනලී ශෙයාර් කරන ලද ඡායාරූපය මගින් අභියෝගයට ලක් කරයි. එකී අභියෝගයට මුහුණ දීමට හැකියාවක් නොමැති මෙකී චීවරධාරියා සහ ඔහුගේ පක්ෂය සහ දෘෂ්ඨිවාදී අනුගාමිකයන් සමනලී ගේ ස්ත්‍රී ලිංගිකත්වය ඉලක්ක කර නොමේරු දේශපාලනික අදහස් ප්‍රකාශ කර ඇත.

එවැනි එක් ප්‍රකාශනයක වූයේ, ඇයි ජේතවනයම? බැරිද මඩු පල්ලිය, මක්කම හෝ තිරුපති කෝවිල (ලංකාවේ භූගෝලීය පිහිටීම තුළවත් නොවේ) වැනි ස්ථානයන් හි කුණු පිරිවීමට?. මම දකින විදිහට මක්කමට හෝ තිරුපති වෙත ශ්‍රී ලංකික කුණු යැවිය නොහැකිය. මඩු, නල්ලුර් හෝ දවටගහ නියෝජනය කරණ ජන කණ්ඩායම්, සිංහල හීනයනකයින්ට අනුව මෙම භුමියේ පිටස්තරිකයන් වේ. තමා උපන් භුමියේ දී ම, භුමියේ අයිතියෙන් පිටමන් කරන ලද, මෙකී සුළු ජන පීඩිතයන් ගේ ජීවිත සහ අවකාශ, සිංහල හීනයානිකයන් විසින් කිලිටිකල බවට දීර්ඝ ඉතිහාසයක් වේ. යුද්ධය පැවති අවස්ථාවේ දී රුධිරයෙන් සහ කදුලෙන් කිලිටි කළ එකී ප්‍රදේශ, යුද්ධයෙන් පසුව බලහත්කාරයෙන් අවභාවිත කිරීමෙන් කිලිටි කරමින් ඇත. සියළු කරුණු සදහා සිංහල හීනයානය භාවිතා නොකරන ලෙස පැවසුව ද, ඒ සියළු පීඩනය කිරීම් තුළ වන්නේ සිංහල හීනයේ වන යටත් කිරීමේ තෘෂ්ණාවය. වික්‍රමබාහු කරුණාරත්න යථාවාදී විමසුමේ (2016) මෙසේ පෙන්වාදෙයි.

“බුදුන් මිනිසා මෙහෙයවන බලය හැටියට දැක්කේ තෘෂ්ණාවයි. එයින් බුදුන් දක්වන්නේ ජිවත්වීමේ හා ප්‍රජනනයේ නිසග ක්‍රියාවන් නොවෙයි. ඕනෑම සත්වයෙකුට ආහාර පානාදිය නැතිව ජීවත්වෙන්න බෑ. සාමන්‍ය ලිංගිකත්වක් නැතිව පරම්පරාවක් තිබෙන්නත් බෑ. එත් ලෝභ, ද්වේෂ, මෝහ කියන විශේෂ ආරූඩයකින් කටයුතු කිරීම තම තෘෂ්ණාවෙන් ක්‍රියාකිරීම කියල දක්වලා තියෙන්නේ. එය මෝහයත්, වෛරයත්, ලෝභයත් මුල්වී දියත් විය යුතුයි. මේ ක්‍රියාදාමයන් තුලින් මිනිසා බැදී සිටීම තමා වහල් භාවයේ මුල. සැබෑ විමුක්තිය සදහා මෙයින් මිදිය යුතුයි. මෙවන් තෘෂ්ණාවක් වෙන කිසි සතෙකුට ඇත්තේ නෑ. සතෙකුගේ ඒ ඒ ආසාවන්, සිරුරේ උවමනාවන් වේදනාවන් සමග බැදලා තියනවා. එත් තන්හාව ඒ විදිහට බැදිලා නැතිව නිරපේක්ෂව ක්‍රියාත්මක වෙනවා (පිටුව 81)”.

සිංහල ගිහි සහ චීවරධාරී හීනයානිකයන් ගේ මනස බැදී ඇත්තේ ද වහල් බාවයකිනි. එහිදී ඔවුන් තම වහල් බවට උපදින අභියෝග ප්‍රචණ්ඩත්වයෙන් පරාජය කිරීමට උත්සහ කරයි. උතුරේ යුද්ධය එහි එක් අවස්ථාවකී. එසේම, වහල් බවේ අහියෝග ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය යොදා ගනී. ලිංග මූල ප්‍රචණ්ඩත්වය එහි එක් පැතිකඩකි. සමනලී, ස්ත්‍රියක වීම හේතුවෙන්, ලිංග මූල ප්‍රචණ්ඩත්වය මගින් ඇය යටත්කර ගැනීම පහසුවන බවට සිංහල හීනයානිකයන් කල්පනා කර ඇත. කොටි විමුක්ති අරගලයේ වූ ඉසිප්‍රියා දුෂණය කර, තුච්ච ලෙස මරා දැමීම ම තවත් අවස්ථාවකි. සමනලී වෙතවන ප්‍රචණ්ඩත්වය, ඉසිප්‍රියා කායිකව නිහඩ කර ඇති අතර සමනලීගේ කතාකිරීම නිහඩ කිරීමට මෙකී සිංහල හීනයානිකයන් උත්සහා කරයි. එවැනි කුණු ඉතිහාසයක් සහ කුණු වර්තමානයක් සහිත සිංහල හීනයානිකයන්, ගඩොල් පර්වත වෙත කුණු හැලීමට විරුද්ධවීමට ප්‍රථම තමා වටේ වන කුණු වලින් මිදිය යුතුය. එසේම තම කුණු පිලිබද වන හඬ නිහඩ කිරීම නොව, සිහිබුද්ධියෙන් යුතුව එයට කන් දී කුණු වීමෙන් මිදීමේ මාර්ගය සොයා ගත යුතුය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon