ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නව බලතල පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ ඔහුය.

එය ඇත්ත නම් භයානකය. එකහෙළා විරුද්ධ විය යුතුය. මහජන උද්ඝෝෂණ මැඩලීමට හිටපු යුද හමුදාපතිවරයකු ගෙන එන්නේ ආදරයට විය නොහැකි නිසාය.

ඇමැති රාජිතගේ එම ප්‍රකාශය ජනපතිගේ විහිළුවක් ඇත්ත කාරණයක් ලෙස දැක්වීමකැයි ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රිලනිප ඇමැතිවරයකු වන ජෝන් සෙනවිරත්න වහාම ප්‍රකාශ කළේ ය. තවත් ශ්‍රීලංනිප ඇමැතිවරු ඔහුට හූ මිටි තැබූහ. ඇමැති රාජිත ද ඇරියේ නැත. ඔහු මැයි දින වේදිකාවෙහි ඇමැති ජෝන්ට දෙහි කැපුවේ ඔහු එක කකුලක් රාජපක්ෂ ඔඩොක්කුවේ ද අනෙක් කකුළ සිරිසේන ඔඩොක්කුවේ ද තබා ගෙන සිටින දෙපත් නයෙකු ලෙස හදුන්වා දෙමිනි.

ඇමැති ජෝන් සෙනවිරත්න රාජපක්ෂවාදියකු බව රහසක් නොවේ. ගෝඨාභය ශ්‍රීලනිපයේ ඊළඟ නායකයා කළ යුතු බව ඔහු ප්‍රසිද්ධියේ කියයි. එපමණක් නොව මහනුවර පැවැති ශ්‍රීලනිප මැයි දිනයෙහි ජනපති සිරිසේන හමුවෙහි ඔහු කියා සිටියේ මීළඟ මහා මැතිවරණය ශ්‍රීලනිපය තරඟ කළ යුත්තේ රාජපක්ෂ කණ්ඩායම සමඟ එක්ව බවයි.

අගමැති සමීපතමයකු වන ඇමැති මලික් සමරවික්‍රම ඇමැති ජෝන්ට ඇමැති රාජිත වෙනුවෙන් සමාව ප්‍රකාශ කළේය. ශ්‍රීලනිප ප්‍රබලයන් විසින් කරන්නට ගිය අමාත්‍ය මණ්ඩල වර්ජනයක් වැළකී ගියේ ඒ නිසා යැයි කියති.

ඇමැති ජෝන් අතහරින්නේද නැත. ඔහු ඇමැති ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල යනාදීන් ද එක් කරගෙන දැන් ඇමැති රාජිතගේ අමාත්‍ය මණ්ඩ‍ල ප්‍රකාශක පට්ටම ගැලවිය යුතුයැයි කියා සිටී.

ඇමැති රාජිත කියන්නේ සිරිසේන ජනාධිපති කළේ තමන් ඇතුළු පිරිස් විසින් බැවින් ඇමැති ජෝන් සෙනවිරත්න, ජොන් බාස්ට ගියත් කමක් නැති බවත් සිය පට්ටම ගැලවීමට රාජපක්ෂ හෙංචයියන්ට බැරි බවත්ය.

ඊට පිළිතුරු වශයෙන් ඇමැති ඩිලාන් කියන්නේ ඒකත් එහෙම නම් නව ව්‍යවස්ථාවකට 2/3ක ජන්දයක් ගන්නේ කොහොමදැයි දවල් හීන දකින ලෙසයි.

සටන ඉවර නැත. දැන් ජනපති සිරිසේනගේ තීරණය වී ඇත්තේ ශ්‍රීලනිප ඇමැතිවරයකු ද ඇමැති මණ්ඩල ප්‍රකාශක ලෙස පත් කිරීමයි. එවිට ඇමැති මණ්ඩල ප්‍රකාශකවරු තිදෙනෙකි. ඉන් පෙනෙන්නේ තිබෙන ආරවුල්හි තරමය.

මණ්ඩලයේ මෙවැනි තවත් කචල්ද අවසානයක් නැත. ඇමැති අර්ජුන හම්බන්තොට ගිවිසුම ගැන යකා නැගපු ගමන්ය. ඇමැති දයා ගමගේ අම්පාරේ මුස්ලිම් ඇමැතිවරු තුට්ටු දෙකට දමා තිබේ. ඇමැති ස්වාමිනාදන් හුදෙක් තම තීරණය උඩ දෙමළ ජනයාට කොන්ක්‍රීට් ගෙවල් හදයි. විදේශ කටයුතු අමාත්‍යාංශය අගමැති රනිල් පවරා ගත් ගානය.

සිය පක්ෂයන්හි ආරවුල් කළමනාකරණය කර ගැනීමට උන්නදුවක් නැති දේශපාලන නායකත්වයකට රටක යහපාලනයක් පිහිටුවිය හැකිද?

තමා ආණ්ඩුවේ ආයතනය රටාවත් හැඩරුවත් දෙසතියක් තුල සුද්ධ කරන බව ජනපති සිරිසේන කීවේ තෙසතියකට පෙරය. සති දෙක ඉවරය. සුද්දයක් නැත. සුද්දය ද අලුතින් හදන මිත්‍යා දෘෂ්ඨික නිවාස ඉදිරියේ ඇති බෝඩ් ලැලිවල පරිදි (බාලගිරි යකා ආ යුත්තේ) ‘අද නොවේ හෙටය’.

එපමණක් නොවේ. ‘ඔහේ ඕනේ නම් ඔහේගේ කාමරය සුද්ද කර ගන්න, අපේ කෑල්ලට අත තියන්න එන්න එපා!’ යැයි අගමැති වික්‍රමසිංහ ජනපති සිරිසේනට පොල්ලක් දමා තිබේ. ජනපතිට, රවි කරුණානායක පේන්න බැරිය. එනමුත් අමාරු කාලයේ එජාපයට තෙල්ගැසූ ඇමැති රවි කරුණානායක දැන් තෙල් බවුසර පිටින් ගිල්ලත් මොකදැයි අහන අයත් සිටිති.

අගමැති වික්‍රමසිංහට තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්ණයක් නම් සජිත් ප්‍රේමදාස තොලොන්ජි කිරීමය. ඒ සඳහා සරත් ෆොන්සේකාට එජාපයේ ලොකු තැනක් දීමට ප්ලෑනක් ගැහුවේය. ඒ ප්ලෑනේම කොටසක් ලෙස සිය ඥාති සහ නිශ්ෂබ්ද විලියම් කෙනෙකු වන රුවන් විජේවර්ධනද උඩට ඇඳ ගැනීමට සැලසුමක් තිබෙන්නේලු! අන්තිමේදී සජිත් පාර්ශවය ගෙරෙව්වේය. ඇමැති විජේදාස රාජපක්ෂ ද නියෙව්වේය. දැන් අගමැති වික්‍රමසිංහගේ ප්ලෑනත් අද නොවේ හෙටය!

ඇමැතිවරුවන ජෝන්, සුසිල්, ඩිලාන් යනාදීන් රාජපක්ෂ සමඟ හාද වී ශ්‍රීලනිපය තනිව බලයට එන බවට අගමැති රනිල්ට ඔච්චම් කරන අතර අගමැති රනිල් තමා ජන්දයකට යන බවට ගර්ජනය කරන්නට පටන් ගෙන තිබේ. ශ්‍රීලනිප දෙපාර්ශවය හවුල් වීමට පෙර ජන්දයකට යෑමට ඇත්නම් තමාට මඟුල් කෑ හැකි බව ඔහු දනී.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු එකිනෙකාට එරෙහිව පත්තර පිටු පුරා වමාරන කතන්තර එකතු කලොත් යුද්ධයකට ගෙන යන්නට තරම් පතුරම් සහ බෝම්බ ඒවායේ තිබේ. ඇමැති දයාසිරි ජයසේකර පසුගියදා ඇමැති සජිත් ගැන මයික්‍රෙපෝනයක් ඉදිරියෙහි කියා තිබුණේ සිය වචන දෙක තුනකට බයේ ‘ඌ පණ කඩා ගෙන දිව්වා’ කියාය. ඇමැති චම්පික රනවක සහ මහ ඇමැති ඉසුර දේවප්‍රිය අතර ද මහ කසළ සටනක් ප්‍රසිද්ධියේ ඇතිවුණි.

මෙපමණක්ම නොවේ. ආණ්ඩුව දැන් දැන් මර්දනකාරී පියවරවලට පෙම් බදින්නට පටන් ගෙන තිබේ.

ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මානව හිමිකම්වලට අනුකූළ පනතක් මගින් විස්ථාපනය කරන බවට කන්දක් විලිලා දැන් වඳා ඇත්තේ විසකරු සර්පයෙකි. පසුගියදා අමැති මණ්ඩලය මගින් අනුමත කරන ලද එම පනත යුද්ධය සඳහා සම්මත කරන ගන්නා ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේම පළුවක් හා සමානය.

දෙමළ ජාතික සන්ධානය කියන්නේ මෙම පනත සම්බන්ධයෙන් ආණ්ඩුව තමන් රවටවන ලද බවයි. අවසන් කෙටුම්පත පොරොන්දු වී තිබී ඇති පරිදි, අඩුම වශයෙන් විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට පෙන්වීමටවත් ආණ්ඩුව යහපාලන වී නැත. හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයකු වන මහාචාර්ය නිහාල් ජයවික්‍රම කියන්නේ මෙම පනත භයංකාර එකක් බවත් එය කියවීමෙන් පසු තමාගේ බඩ දැඟලීමට පටන් ගත් බවත්ය. එය ජනමාධ්‍ය නිදහස අවුරන අත්අඩංඟුවට ගැනෙන සැකකරුවන්ගේ හිමිකම් පොලීසියටම බාර දෙන දුෂ්ඨ පනතකි.

දැන් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය මෙරට ජනමාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙන ඒමට ලහි ලහියේ වැඩ කරගෙන යයි. ඇමැති කරුණාරත්න පරණවිතාන කියන්නේ ජූනි මාසය වන විට එය පිහිටුවන බවයි. දැනටමත් මේ සඳහා පනත් කෙටුම්පතක් තොරතුරු දෙපාර්ථමේන්තුව විසින් සකස් කරවා තිබේ. නමුත් එහි හරියාකාර සිංහල පරිවර්ථනයක් හෝ දෙමළ පරිවර්ථනයක් කොහොමටවත් නැත.

එය රට පුරා ගෙන යාමට බාර දී ඇත්තේ තොරතුරු දෙපාර්ථමේන්තුවේ දැන් සිටින ප්‍රධානියා කලින් වැඩ කළ ඩෙන්මාර්කයේ රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානයකටය. මෙම මාධ්‍ය නියාමන පනතට තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය පෙනී නැත. එනම් අත්‍යන්තයෙන්ම අගතිගාමී සහ දේශපාලනඥන් විසින් හුදු දේපොලක් ලෙස අවභාවිත කරන රාජ්‍ය මාධ්‍ය කන්දරාවයි!

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් පසු ද ආණ්ඩුව මහජන අවබෝධය ඇති කරනු වෙනුවට හේත්තු වුයේ මර්දනකාරී අත්‍යවශ්‍ය නියෝග මතය‍. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මර්දන බලතල ලබා දීමේ යෝජනාව ද අප තැබිය යුත්තේ මෙම පසුබිමෙහිය‍.

කිසිදු ප්‍රසිද්ධ සාකච්ජාවකින් තොරව මර්දනකාරී අණපනත් ගෙනෙන ආණ්ඩුවකට මෙරටට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ලබා දීමට හැකිවනු ඇත්ද? මේ හැසිරීම යහපාලනය නම් නොවේ.

ඉහත කී කෙටි උදාහරණවලින් පෙන්නුම් කැරෙන එක් කරුණක් තිබේ. එනම් ආණ්ඩුවට මෙරටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දී එය ජයග්‍රහණය කරවීමට අවංක උවමනාවක් ඇතොත් දැන් එය බැලිය යුත්තේ රාජපක්ෂ දෙස නොව තමන් දෙස බවය. පසුගිය අමාත්‍ය මංඩල රැස්වීමකදී අත්පොලසන් මැද ඇමති මංගල සමරවීර කී බව වාර්තා වූ පරිදි කළ යුතු වැඩ හරියට කිරීමය. ඊට පෙර ස්වකීය දේශපාලන සෙන්පතිවරු ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා එක පෙළට සිටුවා ගැනීමට ජනාධිපතිට සහ අගමැතිට හැකියාවක් තිබිය යුතුය. එය අද තීරණාත්මක අවශ්‍යතාවකි.

යහ පාලනයට විවිධ තේරුම් තියෙන්නට පුලුවන. ඒ කෙසේ වෙතත් යහපාලනයේ හරිමැද තිබිය යුත්තේ යහපත් ආදර්ශයයි. මන්ද යත් අප යමක් පිළි ගන්නේ හුදෙක් ඇසීමෙන් නොව දැකීමෙන් සහ විදීමෙන්ද නිසාය.

අප කැමැති වුවත් නැති වුවත්, එසේ අද කළ යුතු කාරිය ආණ්ඩුවට එකාවන්ව කළ නොහැකි නම් 2015 ජනවාරිය විසින් ගෙන එන ලද ‘ඉතිහාසීය අවස්ථාව’, දෙවසරක් සඳහා වූ එජාප- ශ්‍රීලනිප දෙපාර්ශවීය එකඟතා ගිවිසුම අවසානයකට පැමිණෙන ලබන සැප්තැම්බරය වන විට කොහු වී තිබෙන්නට බැරි කමක් නැත.

බොහෝ දුරට රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහද කුරුමාණම් අල්ලන්නේ එම සැප්තැම්බර ගිනි විජ්ජුම්බරය දෙසට වන්නට පුලුවන.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya