යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි.

උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී එදින උදෑසන සිහිකිරීම් වැඩසටහනක් පැවැත් වූ අතර එයට විපක්ෂනායක ආර්. සම්බන්ධන් ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ සහ සංවිධානවල නියෝජිතයන් සමග මියගිය මිනිසුන්ගේ ආදරණියන් විශාල පිරිසක් සහභාගී වී සිටියේ ය.

මේ දැක්වෙන්නේ එහි ඡායාරූප සටහනයි.

බලපෑම් සහ යහපාලනයේ වාරණ නියෝග මැද සිහිකිරීමක්

එදිනම සවස 3ට මුල්ලිවෛක්කාල් දේවස්ථානයේ පූජාවක් සහ ඝාතනය කළ මිනිසුන් සිහි කරමින් සිහිකිරීමේ ඵලක සහිත වැඩසටහනක් සිවිල් සංවිධාන සහ මරා දැමූවන්ගේ ආදරණියන් එක්ව සංවිධානය කර තිබූ අතර එදිනට පෙර දින එනම් 17වන දින පොලීසිය විසින් එම වැඩසටහන වලක්වාලමින් මුලතිව් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.

කෙසේ නමුත් 18වන දින මුලතිව් අධිකරණයේදී එම වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, පැය ගණනාවක විභාගයකින් පසු දේවස්ථානයේ පූජාව සිදුකිරීමට පමණක් අධිකරණය විසින් අවසර ලබා දෙන ලද්දේ ‘යහපාලන‘ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය යටතේ පත් කළ ‘සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය‘ හි නිකුත් කළ වාර්තාවේ සදහන් වන එක් නිර්දේශයක මෙසේ සටහන් වන සහ එය ජාත්‍යන්තරයේ ද සාකච්ඡාවට ලක්කරමින් අැති විටක දීය.

‘තම ආදරණීයන්ගේ මරණය හෝ අතුරුදන් වීම ස්මරණය කිරීමට හෝ ඒ වෙනුවෙන් දුක් වීමට වින්දිතයන්ට ඇති අයිතිය රජය විසින් පිළිගත යුතුය.’

(CTFsl)

මෙම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු නිළ ප්‍රකාශයක් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පවසා නැතත් දැන් මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කළ යුතුය. නමුත් මුල්ලිවෛක්කාල් ස්මරණය ට එරෙහිව ලබා ගත් වාරණ නියෝගය විසින් අපට නැවතත් මතක් කර දෙනු ලබන්නේ රාජපක්ෂ රෙජීමයේ අවතාරයන් ගේ සැරිසැරීමය. එය මැයි 17 දා මනාවට ප්‍රත්‍යක්ෂ විය.

කෙසේ නමුත් වාරණ නියෝගය සාධාරණයට ලක්කරමින් ‘අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයක් සළකා මේ වාරණ නියෝගය අපි ලබා ගත්තා‘ යැයි ශ්‍රී ලංකා පොලීසිය අපූරු අදහසක් අධිකරණයේදී කීවේය. තවත් විශේෂ දෙයක් පොලීසිය කීවේය. ‘සිංහල නම් සිංහල, දෙමළ නම් දෙමළ, ඉංග්‍රීසි…හම්‘ මේක ශ්‍රී ලංකාව‘ යැයි භාෂා ත්‍රිත්වයෙන්ම අධිකරණය තුළ දී අදාල සිදුවීම සාකච්ඡා කිරීමේදී පොලීසිය කිවේ ය. (ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තු වන්න)

පසුව එම දේවස්ථානයේදී මරා දැමූවන් සිහි කිරීමත්, දේව පූජාවත්, දේවස්ථානය තුළම පැවැත් වූ අතර, ඒ වන විට සිවිල් ඇදුමිනි සැරසුණු පොලිස් සහ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් අවට සැරිසරමින්, ඡායාරූප ගනිමින් සිටිනු දක්නට ලැබීය.

පහත පළවන්නේ එහි ඡායාරූප සටහනයි.

සුවිශේෂී කාරණය වන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයා සහ විපක්ෂ නායකවරයා සහභාගී වූ සිහිකිරීම් වැඩසටහනට පොලීසිය විසින් කිසිදු වාරණ නියෝගයක් නොගෙන අනෙක් සිහි කිරීම් වැඩසටහනට පමණක් වාරණ නියෝගයක් ගෙන තිබීමයි. මේ පිළිබදව විපක්ෂ නායකවරයාගෙන් විමසීමට මුල්ලිවෛක්කාල් හී දී අප කිහිපවිටක් ම උත්සහ දරුවද එය ව්‍යර්ත විය.

මේ අතර එදින මුලතිව් නගරය පුරා හර්තාලයක් ක්‍රියාත්මක වූ අතර මුලතිව් වෙළද සංගමයේ නියෝජිතයෙක් පවසා සිටියේ, මරා දැමූවන් වෙනුවෙන් ඔවුන් සිහි කිරමින්, ඔවුන්ට සිදුකරන ගෞරවයක් ලෙස මෙළෙස හර්තාල් ව්‍යාපාරයක් සිදු කරන බවයි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon
(මුලතිව් සිට..)