Image Credit: lapatilla


ආණ්ඩුවේ සමාජ ජාල සටන

අන්තර් ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණූ පොත හරහා පතුරුවා හැරෙන අතේ රෝල් පුවත් මෙන්ම අසත්‍ය මත පදනම් වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ දුර්මත පැරදවීම දැන් ආණ්ඩුවේ ද අභියෝගයක් බවට පත්ව තිබෙන බව පෙනේ.

ජලගැල්ම අවස්ථාවෙහි ගංගා හරහා බැද ඇති බැමි පුපුරුවා හැරීමට යන බවට මුහුණූ පොත හරහා ප්‍රචාරයක් දියත් විය. ජනයා බිය ගැන්වීම හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම එහි අරමුණ විය. එමෙන්ම (මුස්ලිම් රටක් වන) පකිස්ථානයෙන් ආනයනය කරන ලද බාසුමතී සහල් ප්ලාස්ටික්වලින් නිපදවා ඇති බවට මුහුණු පොත හරහා ගෙන ගිය ප්‍රචාරය කොතරම් බලපෑවේ ද යත් එම සහල් විකිණීම තාවතාලික නතර කළ බවට ප්‍රකාශයක් කිරීමට පවා සතොස බලධාරීන්ට සිදු විය. තවත් එවැනි වාර්ගික අගතීන්ගෙන් යුත් තවත් අතේ රෝලක් වූයේ යම් යම් පිරිස් විසින් ජලගැල්මෙන් අනාථ වූ පිරිස් වෙත ලබා දෙන ආහාර පාර්සල්වලට වඳ බෙහෙත් කවා ඇති බවයි.

මෙවැනි දුර්මත සහ වාර්ගික අගතීන්ගෙන් යුතු බියජනක පුවත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රතිචාරය බවට පත්ව තිබෙන්නේ එවැනි කතා ගොතන සහ පළ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කිරීමය.

මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණයෙහි අපුර්වතම මෙවළමක් වන අන්තර් ජාලයෙහි ඇති එක් නපුරක් නම් කිසිදු වගකීමකින් තොරව ඕනෑම බොරුවක් ලියා රහසිගතව එහි පළ කිරීමට ඇති හැකියාවයි. එවැනි ව්‍යාජ පුවත්හි මූලය සෙවීම බොහෝ විට ඉතා අසීරුය. එමෙන් ගඳ සුවඳට වඩා වේගයෙන් පැතිරෙයි. ශ්‍රී ලංකාවේ වැඩිම පාඨක සංඛ්‍යාවක් සිටින්නේ ඕපාදූප සහ අනුන්ගේ පුද්ගලික ජීවිත ගැන ලියන වෙබ් අඩවිවලටය. ජනමාධ්‍යවේදයේ ‘අ’ යන්න ‘ආ’ යන්න වන මූලාශ්‍ර මගින් තහවුරු කර ගත් කරුණ පමණක් පළ අන්තර් ජාල ඕපාදූප වෙබ් අඩවි සහ මුහුණු පොත්වලට අදාළ නැත.

ආණ්ඩුව සතුව දැවැන්ත ජනමාධ්‍ය ආයතන ගණනාවක්ම තිබේ. එමෙන්ම බොහෝ ජනපති, අගමැති සහ ඇමැතිවරුන් වෙනුවෙන් පවත්වා ගෙන යන වෙබ් අඩවි සහ මුහුණු පොත් අඩවි ද තිබේ. ආණ්ඩුවේ පුවත් සඳහාම ඇරුණු වෙබ් අඩවිද ගණනාවක්ම තිබේ.

ඊටත් උඩින් ආණ්ඩුවේ මතය සන්නිවේදනය කරනු පිණිස ජනපති, අගමැති මාධ්‍ය ඒකක හැරුණු විට ඇමැති මාධ්‍ය ඒකක මෙන්ම තොරතුරු දෙපාර්ථමේන්තුවක්ද තවත් විශේෂ මාධ්‍ය ඒකකයක් ද තිබේ.

මේ සියල්ල තිබියදී ප්ලාස්ටික් සහල් ඇතැයි යනාදී වශයෙන් බොරුකාර මුහුණූ පොත්කරුවන් පතුරුවන දුර්මත හමුවේ ආණ්ඩුව සසළ වෙයි. පරදියි.

ඇයි?

ඊට පිළිතුර ද මාධ්‍යවේදයේ ‘අ’ යනු ‘ආ’ යනු අතර තිබේ. එනම් විශ්වසනීයත්වයයි. ආණ්ඩුවේ හොඳ පමණක් පුවත් වශයෙන් බෙදා හරින කිසිදු මාධ්‍යයකට විශ්වසනීයත්වයක් ඇතිකර ගත නොහැක. විශ්වසනීය මාධ්‍ය භාවිතයක් ඇති කිරීමට නම් රාජ්‍ය මාධ්‍ය සියල්ල එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අන්තර්ජාල මාධ්‍ය ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රීය මෙන්ම නූතන සහ තරඟකාරීද කළ යුතුය.

එසේ නොවන තාක් කල් ආණ්ඩුවට කෑමට සිදු වනු ඇත්තේ මුහුණූ පොතෙහි බෙදා හරින ප්ලාස්ටික් හාල්ය.

අගමැති අසනීපය

අගමැති වික්‍රමසිංහ හදිසියේම ඇමෙරිකාවට ගියේය. ඒ ජලගැල්මෙන් ලක්ෂ හයක් අවතැන් වී සිය ගණනාවක් මරණයට පත්ව විපත ඒ වන විටත් දිග්ගැස්සෙමින් පැවැති අවස්ථාවකදීය.

වික්‍රමසිංහ ඇමෙරිකාවට යන්නේ කුමක් සඳහාදැයි අගමැති කාර්යාලය කිසිදු නිවේදනයක් නිකුත් කළේ නැත. එක් ඉංග්‍රිසි පුවත්පතක පමණක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගිය බව කියා තිබුණි. තවත් පුවතකක කියා තිබුණේ අගමැති වික්‍රමසිංහගේ ගමන පුද්ගලික එකක් බවයි.

ඇමෙරිකාවට ගිය වික්‍රමසිංහ කළ ප්‍රථම සහ මූලික කාරිය වූයේ රෝහල් ගතවීමයි. ඒ හිසේ සිට පාදන්තය දක්වා අංග සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ය. ඒ අතර ලංකවෙහිදී අගමැතිවරයාට සෙත් පතා ඉහළ පෙළේ බෝධි පූජාවක් පවත්වන ලද අතර ඊට ජනාධිපති සිරිසේන ද සහභාගි විය. හුදෙක් වෛද්‍ය පරීක්ෂණ සඳහා කවරකු හෝ රෝහල්ගත වූ විට සෙත්පතා බෝධිපූජා පවත්වනු අප අසා නැත. තමා විදේශ විශ්වවිද්‍යාලයකට නොගොස් කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් බව ආඩම්බරයට කියන වික්‍රමසිංහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගියේ මන්දැයි කිසිවකු කියා නැත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි ව්‍යවහාරය වන්නේ අගමැතිවරයකු විදේශ ගත වන විට ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමයි. එමෙන්ම ඔවුන්ගේ සෞඛය තත්වයෙහි වෙනසක් ඇතොත් ඒ පිළිබඳවද නිල නිවේදනයක් නිකුත් කිරීමයි. ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු ද වාර්තා කරන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට අනුව අගමැති ඇමෙරිකාවට ගියේ අසනීපයකට බෙහෙත් ගැනීමටය.

තමා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තමා ඇමෙරිකාවට ආ බව අගමැති සිය ට්වීට් සමාජ ජාල අඩවිය මගින් කියා සිටියේ එම පරීක්ෂණය අවසන් වූ පසු ජූනි 05දාය. අනතුරුව තමා එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි සාගර සමුළුව අමතන බව ජූනි 07 දා තවත් ට්වීට් පණිවිඩයක් මගින් කියා සිටියේ ය. විශේෂ හේතුවක් නැතොත් සාමන්‍යයෙන් අගමැතිවරු එවැනි සමුළු ඇමැතීමට යන්නේ නැත.

සමාජ ජාල ඕපදූප තටු ලබා පැතිර යෑමට එක් හේතුවක් නම් පාරදෘශ්‍යභාවයක් නැති ක්‍රියාකමය.

කෙසේ වෙතත් අගමැති වික්‍රමසිංහගේ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇමෙරිකාවට ගිය ගමන් වියදම් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව ඇමැතීම මගින් ආවරණය වන්නට ඇතැයි කවරකු හෝ කීමට පෙර ඇත්ත කියා සිටීම වැදගත්ය.


ඒකාධිපතියා සමඟ සටනෙහි වීනා වාදකයා!

ජනයා කරකාස්හි ජෝසේ මාර්ටි චතුරශ්‍රයට පොදි කති. වා තලය දුමාරයෙන් කිලිටු වෙයි. කඳුළු ගෑස් කැනිස්ටරයක් පදික වේදිකාවෙහි වැදී පුපුරා යයි. මේ වනාහී පසුගිය මාස කිහිපය පුරා වෙනිසියුලා අගනගරයේ සුලභ දසුනකි. හිමිහිට නමුත් ස්ථිරවම ඒකාධිපතිත්වයක් බවට පත් වන්නේ යැයි එහි ජනයා විශ්වාස කරන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට ජනයා රැස්කන ජනයා සහ එම ජනයා මත භීෂනය මුදා හරින රාජ්‍ය හමුදා බලය උරගා බලන එක් පොර පිටියක් වන්නේ මේ චතුරශ්‍රයයි.

පුපරා යන කඳුළු ගෑස් කැනිස්ටර සහ වාතලය පුරා පැතිරෙන ඔක්කාරය කරවන දුමාරය පරයා චතුරශ්‍රයේ තවත් අපූරු මානව සංස්කෘතික කතිකාවතක් සිදුවෙයි.

එකම එක වයලීනයක තත් බිදෙන හඬට සවන් පිබිදෙයි. සිය රටෙහි ධජය පින්තාරු කළ හෙල්මටයක් පැළඳ සිය නිකට යටින් වයලීනය හිරකරගෙන සිටින යෞවනයා තත් හරහා උපවීනය අද්දවන්නේ අපූරු විශ්වාසයකිනි.

විරෝධතාකරුවන්ගේ මිහිරි සංකේතයක් බවට පත්ව ඇති ඔහු වටා විරෝධාකරුවෝ එක්රැස්ව සිටින්නේ රැකවල්ලෑමට මෙන්ය. ඉන් අයකු ඔහු ආවරණය කරන්නට මෙන් තමාම සදාගත් පළිහක් අල්ලාගෙන සිටී.

ආසන්යේම තවත් විරෝධතාකරුවන් පිරිසක් ආණ්ඩුවේ හමුදා වෙත මොලටෝව් කොක්ටේල් නම් ගිනි බෝම්බ දමා ගසති. යෞවන සංගීතඥයා අවටින් නැගෙන බියකරු හඩට නෑසු කන්ව වයලීනය වයත්. ඔහුට ඇසෙන්නේ සිය වයලීනයෙහි තත් බිදෙන හඩ පමණි.

මේ වනාහී විලි අර්තේගාය. විටෙක ඔහු තනිව නැගී සිට සිය වයලීනයෙන් වෙනිසියුලානු ජාතික ගීය වයන්නේ ගෙරහැඩි මිලිටරි බලකා ඉදිරියෙහිය. ඔහු කියන්නේ තමා වයලීනයෙන් සාමයේ පණිවිඩය ගෙන එන බවයි.

සිය වයලීනය වයමින් විරෝධතාවයන්ට එක්වූ මෙවැනිම යෞවන සංගීතවේදියකු වූ දහ අට හැවිරිදි අර්මන්දෝ කැනිසලාස්ගේ ගෙල පසා කරගෙන හමුදා වෙඩි උණ්ඩයක් ගමන්කළේ ‍‍‍ මසකට පෙරය.

ඒ මාරක වෙඩි උණ්ඩය අර්මන්දෝ කරා ඒමට ටිකකට පෙර ‘දැන් යමු, තත්වය හොඳ නැහැ’ යැයි කී මිතුරියකට ඔහු කියා තිබුණේ ‘මා යන්නේ නැහැ! දිගටම රට වෙනුවෙන් වාදනය කරනවා’ කියාය. මෙහොතකට පසු ඔහු මරා දැමුණි. පසුගිය මාර්තුවෙහි සිට විරෝධතාකරුවන් 42දෙනෙකු රට හමුදා විසින් ඝාතනය කර තිබේ.

දැන් අර්මන්දෝගේ තැන ගෙන ඇත්තේ විලී අර්තේගාය. පසුදාක හමුදා ප්‍රහාරයකින් ඔහුගේ වයලීනය කඩා බිඳ දැමුණි. අර්තේගා ප්‍රසිද්ධියේ හඬා වැටුනි. ඔහුගේ සගයෝ නව වයලීනයක් ඔහුට පුද කළහ. ඔහු දැන් ඒ වයලීනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි අරක් ගන්නා ජනයාට සංගීතය පුද කරයි.

ඒ වනාහී සංගීත ලැදි සංගීතය සිය ජීවිතයේ කොටසක් බවට පත් කරගත් දකුණු ඇමෙරිකානු සමාජය අරගල භූමියද සිය ජීවිතයේ කොටසක් බවට පත් කර ගත් හැටියකි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya