Image By: Shehan Gunasekara

ස්වභාවික ආපදා යනු නොවැළැක්විය හැකි තත්වයන් විය හැකි බවට කිසිඳු තර්කයක් නැත. බංගලාදේශය වැනි නොදියුණු රටක් මෙන් ම ඇමරිකාව වැනි දියුණු රටක් ද ‘ගංවතුර‘ වැනි ස්වභාවික ආපදාවකට ලක් විය හැකි ය. එහෙත් වෙනස්කමකට ඇත්තේ, දියුණු රටක් නොදියුණු රටකට සාපේක්ෂව අදාළ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම ය.

Manthri.lk හි මෙම ලිපිය, ඉකුත් දා රට මුහුණ දුන් ජාතික ආපදා තත්වය හා එය කළමනාකරණය සම්බන්ධයෙන් පසුවිපරමක් ලෙස ගැනීම වැදගත් වන අතර, එය ඉකුත් දෙවසරක කාලයක් මුලුල්ලේ ව්‍යවස්ථාදායකය විසින් ආපදා කළමනාකරණය සඳහා කරන ලද මූලික ප්‍ර‍තිපත්තිමය කාර්යයභාරය පිළිබඳ මනා දත්ත විග්‍ර‍හයක් වනු ඇත. එමෙන් ම ඉන් ඉදිරියට අදාළ ප්‍ර‍තිපත්ති ක්‍රියාත්මක නොවීම, නිසි ලෙස මඟ පෙන්වීම් නොවීම සහ අදාළ ආයතනගත අකාර්යක්ෂමතා හේතුවෙන් කටයුතු පමා වීම වැනි නොවක් හේතු මත ඉකුත් දෙවසරක් තිස්සේ ම ආපදා කළමනාකරණය සම්බන්ධ රජයේ වැඩපිළිවෙලවල් අපේක්ෂිත මට්ටමින් ක්‍රියාත්මක නොවීම ම, ඉකුත් දා ඇති වූ ආපදා තත්වය කළමනාකරණය අසමත් වීමට බලපෑ ප්‍ර‍ධානත ම හේතුව වන්නට ද ඉඩ ඇත.

කෙසේ වෙතත්, ඉකුත් තුන් අවුරුද්දට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන රාජ්‍ය අයවැය ප්‍ර‍තිපාදන, පරිපූරක ඇස්තමේන්තු හා ආපදා කළමණාකරණ විෂයට අදාළව පාර්ලිමේන්තුවේ ප්‍ර‍ධාන සභා ගැබේ වූ විවාදයන්, ප්‍ර‍ශ්න-පිළිතුරු ආදිය පරීක්ෂා කිරීමෙන් පහත සඳහන් කෙරෙන දත්ත සපයා ගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම ලිපිය සඳහා අවශ්‍ය තරමින්, ආපදා කළමණාකරණය සම්බන්ධ ව්‍යවස්ථාදායක කාර්යභාරය විග්‍ර‍හ කරගැනීමට හැකි වූ අතර, එම විෂය යටතේ වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම් දෙස බලන විට නිරීක්ෂණය වන අසමබරතා ද ඉස්මතු කර දැක්වීමට හැකියාව ලැබිණ.

ඉකුත් ආපදා තත්වය කළමණාකරණය සම්බන්ධයෙන් පැන නැඟුණු ගැටළුකාරීත්වය අරබයා ජනතාව, ඇතැම් සංවිධාන හුදෙක් ‘දේශපාලන අධිකාරියට‘ පමණක් දොස් තැබීම කෙතෙක් දුරට සාධාරණ ද යන්න නැවත හිතා බැලීමට ද මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනු ලබන සාධක කිසියම් ඉවහලක් වේ යැයි අපේක්ෂා කළ හැකිය. බොහෝ වැරදි සිදු වී ඇතැයි අනුමාන කළ හැක්කේ, රාජ්‍ය-නිලධාරිතන්ත්‍ර‍යේ අකාර්යක්ෂමතාව, දේශපාලන අධිකාරිය – පරිපාලනය සමඟ පවත්වන අන්‍යෝන්‍ය සහසම්බන්ධයේ අඩුපාඩුව, කිසියම් නිශ්චිත ක්‍රියාවලියක්/ව්‍යාපෘතියක් මෙහෙයවීමට වගකිවයුතු ආයතන අනවශ්‍ය තරමට එකිනෙකින් දුරස්ව තිබීමේ ප්‍රායෝගික ගැටළුකාරීත්වය වැනි දේ ය.

අයවැය වෙන්කිරීම් හා පරිපූරක ඇස්තමේන්තු

වාර්ෂික අයවැය වෙන්කිරීම් දෙස බලන විට, ආපදා කළමනාකරණ විෂයට 2015, 2016, 2017 යන වසර තුනේදී පිළිවෙලින් රු.බිලියන 2.8, 4.9, 4.6 ආදී වශයෙන් වෙන් කරනු ලැබ තිබේ. ඒ අනුව 2015 ට සාපේක්ෂව 2016 – 17 වසර දෙකේ දී ම ආපදා කළමනාකරණයට වෙන් කර තිබෙන ප්‍ර‍තිපාදන දෙගුණයට ආසන්න වශයෙන් වැඩි වි ඇති බව පෙන්වා දිය හැකි අතර, 2017 සමස්ත අයවැයෙන් ප්‍ර‍තිශතයක් ලෙස ආපදා කළමනාකරණයට වෙන් කළ මුදල 3.5% ක් වේ. එය සැලකිය යුතු සහ සතුටුදායක අයවැය ප්‍ර‍තිපාදනයක් වන බව අවිවාදිත ය.

මේ අතර 2016-17 දෙවසර තුළ පරිපූරක ඇස්තමේන්තු 6 කින් ද, ප්‍රාග්ධන හා පුනරාවර්තන වෙන් කිරීම් සිදු කර ඇත. ඒ අනුව එහි දී විපතට පත්වූවන් වෙනුවෙන් ගෙවනු ලබන සහනාධාර පියවීම අරබයා අවස්ථා තුනක දී, රුපියල් මිලියන 328 ක් පමණ වෙන් කර ඇති අතර, ආපදා තත්වයන්ට මුහුණ දීමේදී වන භෞතික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මිලියන 800 ක් වෙන් කර ඇත. මේ අතර තවත් රුපියල් මිලියන 63 ක් වෙන් කරවාගෙන ඇත්තේ අමාත්‍යතුමාට හා නියෝජ්‍ය අමාත්‍යතුමාට වාහන මිල දී ගැනීමට යි.

අහඹු ලෙස ඉහත සඳහන් වැය ශීර්ෂ දෙකක් එකිනෙක සන්සන්දනය කිරීමක් ලෙස, පළමු සහ අවසාන වැය ශීර්ෂ දෙක සන්සන්දනය කරන විට, ආපදා සහනාධාර වෙනුවෙන් රුපියල් මිලියන 50 ක් වෙන් කරන විට – අමාත්‍ය/නියෝජ්‍ය අමාත්‍ය වාහන මිළදීගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 63 ක් වෙන් කිරීමට සිදු වී තිබීම, යන කාරණය වැය ශීර්ෂ ලැයිස්තුව කියවන අයෙකුගේ මනසට පමණක් නොව රටේ ආර්ථිකයට ද දරාගත හැකි තත්වයක් නොවනු ඇති බව විශ්වාසය.


විශේෂ ව්‍යාපෘති සහ වැඩ සැලසුම්

‘ආපදා කළමනාකරණය‘ සම්බන්ධව ගනු ලැබ තිබෙන කැබිනට් මණ්ඩල තීරණ අනුව, විශේෂයෙන් ම ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ද සහිතව, පාර්ලිමේන්තු අනුමැතියෙන්, තවත් විශේෂ ව්‍යාපෘති කිහිපයක් ම දියත් කර ඇති බව නිරීක්ෂණය වන අතර ඒවා පහත ආකාර වේ.

මුදල් අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ආපදා රක්ෂණ ක්‍ර‍මයක් ආරම්භ කිරීම.

– මරණයක දී රු. ලක්ෂයක් සහ අර්ධ නිවාස හානියක දී රු. ලක්ෂයක් සහ පූර්ණ නිවාස හානියක දී රු. ලක්ෂ 25 ක උපරිමයකට යටත් වන මුදලක් ලබා දීම. (2016 මැයි 20 හැන්සාඩ් වාර්තාව / පිටු අංක 22)


ව්‍යසන කළමනාකරණ සභාව පිහිටුවීම.

– එම කාර්යසාධක බලකාය සති 2 කට වරක් රැස් ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. (2016 මැයි 25 හැන්සාඩ් වාර්තාව / පිටු අංක 49)

දිස්ත්‍රික් ලේකම් කාර්යයාල වෙත ආපදා සම්බන්ධ සහකාර අධ්‍යක්ෂවරයෙකු යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක පිහිටුවීම හා සෑම ප්‍රා.ලේ. කාර්යයාලයකට ම ආපදා සහන සේවා නිලධාරීන් අනුයුක්ත කිරීම. (2016 අගෝස්තු 09 හැන්සාඩ් වාර්තාව / පිටු අංක 41)

පූර්ව ආපදා සූදානම්/අනතුරු ඇඟවීම්/ පෙරහුරු පැවැත්වීම ආදී ප්‍ර‍ජා මූල කටයුතු කිිරීමේ ක්‍ර‍මවේදයක් ආරම්භ කිරීම.
(2016 අගෝස්තු 09 හැන්සාඩ් වාර්තාව / පිටු අංක 41)

මෙම කරුණු කාරණා සියල්ල ම ‘ආපදා කළමනාකරණ‘ විෂයෙහි ව්‍යවස්ථාදායකයේ මෙන් ම විධායකයේ දායකත්වය පැහැදිලි කරන අතර ම ප්‍රා.ලේ. මට්ටම තෙක් ම වගකීම් බෙදා ඇති අයුර ද පැහැදිලි කරයි.

එහෙත් ඉන්පසුවට අධීක්ෂණ සැලසුම් සකස් කර තිබුණාද නැද්ද යන්න ගැටළුවක් වන අතර, ඇතැම් විට පවරන වැඩ අධීක්ෂණය කරනු ලබන සාමාන්‍ය යන්ත්‍ර‍ණයක් ක්‍රියාත්මක වූවා වන්නට ඉඩ ඇත.

කෙසේ වෙතත්, සැබැවින් ම මෙම ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාත්මක වූවා ද නැද්ද යන්න යන්න ප්‍ර‍ශ්නාර්ථයකි. මක්නිසාද යත් එම ක්‍රියාවලීන් එලෙස සිදුවී නම්, ආපදා තත්වය මෙතරම් දරුණු විපත් ඇති කළේ ඇයි ද යන්න ගැන නැවත පරීක්ෂා කළ යුතු ය. එකී පසු විපරම් කාර්යය ජනමාමාධ්‍යය හෝ වෙනත් ‘මුරපලු කණ්ඩායමක‘ට පවරා තවත් සුවිශේෂී අනාවරණයකට යොමුවීම වැදගත් ය.

ආයතන – අන්තර් ක්‍රියාකාරීත්වයේ අකාර්යක්ෂමතාව

අමාත්‍ය විෂය බෙදීමේ දී, රටක් හැටියට, වසර කිහිපයක සිට අප මුහුණ දෙන ප්‍ර‍ධානම ගැටළුවක්, ආපදා කළමනාකරණයෙහි දී ද දැඩිව බලපවත්වන බව පෙනේ. එනම්, කිසියම් එක් නිශ්චිත කටයුත්තකට අමාත්‍ය විෂය කිහිපයක් යටතේ වන විවිධ ආයතන වලට කඩ කළ වැඩ කොටස් සහ වගකීම් පැවරී තිබීමයි.

ආපදා කළමනාකරණයට අදාලව මෙකී ආයතන-අන්තර් ක්‍රියාකාරිත්වයේ අකාර්යක්ෂමතාව හොඳින් පැහැදිලි කරන ප්‍ර‍කාශයක් 2016 මැයි 25 හැන්සාඩ් වාර්තාවේ පිටු අංක 51 න් උපුටා දැක්විය හැකි ය. ප්‍ර‍කාශය කරනු ලබන්නේ විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශ යාපා ය.

‘‘අපි ගංවතුරක් ගැන අනතුරු අඟවන්නේ මෙහෙමයි. අපේ ඉහළ ජල ධාරා වලට වැටෙන වැස්සේ ප්‍ර‍මාණය අනුව, නාගලගම් විදියේ ජල මාපකයේ ජලමට්ටම කොච්චර වැඩි වෙයි ද කියන එක අප කියන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. ඒ දත්ත අරගෙන තමයි අපි කාලගුණ නිවේදනයක් හැටියට ගංවතුර තත්වයක් ඇතිවෙනවා කියලා කියන්නේ…‘‘

ඉහත ප්‍ර‍කාශයෙන් පැහැදිලි වන්නේ, ‘ගංවතුර තත්වයක් ප්‍ර‍කාශයට පත් කිරීම‘ අමාත්‍යංශ දෙකකට අදාළ දෙපාර්තමේන්තු දෙකක බෙදුණු වගකීමට යටත් වූ කාර්යයක් බවත්, තවදුරටත් ඒ ඒ දෙපාර්තමේන්තු වල අනු ශාඛා ඔස්සේ නිළධාරීන් දක්වා වගකීම් බෙදී ගිය විට ඉතා සංකීර්ණ විය හැකි සන්නිවේදන පථයක් නිර්මාණය කරන්නක් වන බවයි. තවද ආපදා පෙර සූදානම් කටයුතු සහ හදිසි මෙහෙයුම් නැවත, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි ඉතා සංකීර්ණ ලෙස වගකීම් බෙදුණු ආයතන කිහිපයක් ඔස්සේ කඩ වී ගිය වැඩ පිළිවෙලක් බවට පත් වීම නැවතත්, ආපදා කළමනාකරණ ක්‍රියාන්විතය ‘අකාර්යක්ෂම කරන‘ ඓන්ද්‍රීය තත්වයක් බවට පත් කරන්නක් ද විය හැකි ය.

කෙසේ වෙතත්, ‘ආපදා තත්වය සම්බන්ධ පසුවිපරමක්‘ වශයෙන්, පසුගිය(7 වැනිදා) ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එළඹෙන සිකුරාදා (9 වැනිදා) මේ සම්බන්ධ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී Manthri.lk හි ඉහත පසු විපරම මඟින් ඉස්මතු කර තිබෙන කාරණා කෙරෙහි මැති ඇමතිවරුන්ගේ අවධානය යොමු වීම වැදගත් බව හැඟේ.

@manthri.lk | Sureka Samarasena