රනිල් – සිරිසේන ආණ්ඩුව බලයට ගෙ ඒමෙහි ලා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටු කළේය. ඉන් සමහර රාජ්‍ය නොවන සිවිල් සමාජ කණ්ඩායම් මුදල් ලබා ගත්තේ ද මෙම දෙපාර්ශවයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගෙනි.

රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව නිදා සිටි සහ මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ භීෂණයේ කොටස්කරුවකුව සිටි කාලයේදීත් මෙරට ජනයාගේ අයිතින් වෙනුවෙන් දේශීයව සහ විදේශීයව එම කණ්ඩායම් අනවරත අරගලයක් ගෙන ගියේ ය.

ජනවාරි පෙරළියට මඟපෑදූ මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සමාජ සාධාරණත්වය සඳහා ව්‍යාපාරයේහි ද රාජ්‍ය නොව සංවිධාන සහ පිරිස් වැදගත් වැඩ කොටසක් ඉටු කලහ.

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වූ ජනාධිපතිවරණය මෙහෙය වූ තිඹිරිගස්යාය කාර්යාලයේ රාජ්‍ය නොව සංවිධානයන් සම්බන්ධිකරණය සඳහා ඒකකයක්ද පිහිටුවා තිබුණි.

මහා මැතිවරණ සමයෙහි සමගි බලය නමින් රාජ්‍ය නොවන සංවිධාන එකතුවක් ගොඩ නගා එය සම්බන්ධිකරණය කිරීමට අද විජේදාස රාජපක්ෂ නියෝජනය කරන යූඇන්පිය සිය ප්‍රධානියකු පවා පත් කර තිබුණි.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ පැවැති ජිනීවා මානව හිමිකම් කවුන්සිලටයේ ආණ්ඩුවේ නියෝජිත පිරිසට ප්‍රබල රාජ්‍ය නොව සංවිධානයක ප්‍රධානයකු වන ජෙහාන් පෙරේරා ඇතුළක් වි තිබුණි. එමෙන්ම මෙම ජූනි 12 -13 දිනයන්හි පැවැති ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් විමර්ශණය කිරිමේ එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගි වූ ආණ්ඩුවේ නියෝජිත පිරිසට කොළඹ ප්‍රභූ රාජ්‍ය නොව සංවිධානයක පර්යේෂකයකු වන ගෙහාන් ගුණතිලක ඇතුළත් වී තිබුණි.

මහින්ද රාජපක්ෂ සමයෙහිදී ද මෙළෙසම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සිය දූත පිරිස්වලට ඇතුළත් කර තිබූ නමුත් රටතුළ රාජ්‍ය නොවන සංවිධාන විරෝධී ප්‍රචාරයක් ගෙන යන ලදී. රනිල් – සිරිසේන ආණ්ඩුවද දැන් ඊට වෙනස් නැත.

ආණ්ඩුවේ සංක්‍රමණිය යුක්ති ක්‍රියාදාමය සම්බන්ධ මහජන උපදේශනය බාර දුන්නේ ද රාජ්‍ය නොවන සංවිධාන ජාලයකටය. එහි ප්‍රධානියා වූයේ ද මෙරට රාජ්‍ය නොවන ක්ෂේත්‍රයේ ප්‍රධානියකු වන පී. සරවනමුත්තුයටය‍. ආණ්ඩුවේ ගුවන් විදුලි සංස්ථාව දැන් බාර දී ඇත්තේද රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වන සුදර්ශන ගුණවර්ධනටය.

අගමැතිධූරයට පත් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ සමයෙහි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය ඉන් ඉවත් කොට ජාතික සංහිදියාව බාර අමාත්‍යාංශයට බාර දුන්නේය. එපමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් පිළිවෙතක් සකස් කිරීම පිනිස කමිටුවක් ද පත් කරන ලදී, එහි සභාපතිනිය වූයේ සියළු ආකාරයේ විශම සැළකීම්වලට විරුද්ධ අන්තර්ජාතික ව්‍යාපාරය (ඉමෙඩා) හි සභාපතිනිය ද වන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දුය. සුදර්ශන ගුණවර්ධන එහි ලේකම් විය.

මේ අතර එළඹෙන ඔක්තෝබරයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යූපීආර් සාකච්ජාව සඳහා අදහස් ලබා ගැනීමට මෙරට රාජ්‍ය නොවන සංවිධානයන්ට ආණ්ඩුව දැන් ආරාධනය කර තිබේ. රාජ්‍ය නොවන ක්ෂෙත්‍රය සමඟ තමන් ඉතා ළගින් කටයුතු කරන්නේය යන්න ආණ්ඩුව ජිනීවාහිදී කියන්නේ ආඩම්බරයෙනි.

එසේ තිබියදීත් දැන් යූන්පීයේ ප්‍රධානියකු වන අධිකරණ සහ බුද්ධ සාසන ඇමැති වන විජේදාස රාජපක්ෂ මෙරට පොදුවේ රාජ්‍ය නොවන සංවිධානවලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර තිබේ. ඔහු කියන්නේ මෙකී සංවිධානවල ප්‍රධානීන් සිටිය යුත්තේ අංගොඩ කියාය. ඔහු පුරවැසි බලය සහ සමාජ සාධාරණය සඳහා වූ ව්‍යාපාරය නමින්ම සඳහන් කර ඒවායේ ප්‍රධානීන් සිය මොළය පරීක්ෂා කරගත යුතුයැයි රෑපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කළේය.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට නව නීති ගෙන ආ යුතුය කියාය.

ඇත්ත වශයෙන්ම නම් මෙම ප්‍රහාරය ආරම්භ කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසින් යාපනයේ දී යුද හමුදා පිරිස් අමතාකරන ලද කතාවකදීය. රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ලෙස රට පාලනය කිරීමට තමන් සූදානම් නැතැයි කී ඔහු කිසිදු රණවිරුවකු උසාවි ගෙන යෑමට ඉඩ නොදෙන බව කියා සිටියේ ය.

ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් දැන් ඇමැති රාජපක්ෂ කියා ඇත්තේ “රාජ්‍ය නොවන අරමුදල් මගින් යැපෙන මානව හිමිකම් ආරක්ෂා කරන්නේයැයි කියන සංවිධාන තිබේ. ඒවා අප රටෙහි ජනයා අතර සාමය විනාශ කිරීමට කැස කවති. මේ රට ගිනි ගොඩක් බවට පත් කිරීමට වලිකති. එවැනි පුද්ගලයන් කිහිප දෙනෙක්ද වෙති,” කියාය.

යූඇන්පිය යටතේ පාලනය වන ආණ්ඩුවේ දිනමිණ මෙසේ වාර්තා කර තිබේ: “මෙරට ආගමික සංහිඳියාව නැති කිරීමට නො‍යකුත් බලවේග ක්‍රියා කරන බවත්, ඩොලර් මත යැපෙන උදවිය එම සංහිඳියාව නැති කිරීමට ක්‍රියා කරන බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.”

එමෙන්ම එම සාකච්ජාවේදීම ඔහු පුනරුච්චාරණය කරන්නේ සුලුතර ආගමික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන මානව හිමිකම් නීතිවේදියකු වන ලක්ෂාන් ඩයස් ද්‍රෝහියකු බවත් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමට තමන් ඉදිරි සති කිහිපය තුලදී පියවර ගන්නා බවත්ය‍.

විජේදාස රාජපක්ෂ මෙළෙස තර්ජනය කරන්නේ මානව හිමිකම් නීතිවේදී ලක්ෂන් ඩයස්ට විරුද්ධව ඔහු විසින් ප්‍රථමයෙන් කරන ලද ප්‍රකාශය දේශීය සහ විදේශීයව තදබල විවේචනයකට හසු වීමෙන් පසුය.

මෙම වාර්තාව පළකළ දිනමිණ පුවත්පත මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් නීති වෘත්තියෙන් ඉවත් කරන බවට ඇමැති රාජපක්ෂ කළ ප්‍රකාශයට විරුද්ධව දේශීයව සහ අන්තර් ජාතිකව නැගී ආ කිසිදු විරෝධතාවයක් වාර්තා කළේ නැත. අද රාජ්‍ය මාධ්‍ය යනු ඒවයේ කවරකු සේවය කළද රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ හොරනෑ පමණි.

චීවරධාරී ඥණසාර හිමි ආරක්ෂා කරමින් අස්ගිරි පාර්ශවය විසින් කරන ලද ප්‍රකාශය පසසමින් ඉරිදා ලංකාදීප පුවත්පත සිය මෙසේ කියයි: ‘අස්ගිරියේ සංඝ සභාවේ මේ මැදිහත්වීම ආණ්ඩුව භාරගත යුත්තේ එන්.ජී. ඕ. කාරයන් ඉදිරියට දමා නොව යම් වැදගත්කමක් සහිතවය. විවිධ විදේශීය සංවිධානවලින් යැපෙන සමහරුන් රූපවාහිනි නාලිකාවල බොරු බේගල් ඇදබාමින් හාමුදුරුවරුන් පල්ලි කඩනවා වැනි ප‍්‍රකාශ කරන්නේ එවැනි අපහාසය….’

ජනාධිපති සිරිසේන විසින් ද කිහිප වතාවකදීම මෙරට රාජ්‍ය නොව සංවිධානයන්ට ප්‍රසිද්ධියේ බැන වැදී තිබේ. මෑතදී ළමා ආරක්ෂක අධිකාරියෙහි වැරදි පෙන්වා දෙමින් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ නිලධාරීන් දෙදෙනෙකු ඉවත් කරමින් සිරිසේන නියෝග කර ඇත්තේ ඔවුන් එළෙස ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ගැනීමටදැයි සොයා බලන ලෙසය‍.

එසේ නමුත් තමාගේ මාධ්‍ය අංශයේ ප්‍රධානින් දෙදෙනෙකු මහාරාජා ආයතනයෙන් විශාල වැටුප් ලබා ගන්නා බවට ඇති චෝදනාව සිරිසේනට ප්‍රශ්ණයක් නොවේ.

තමන් බලයට පත් වූයේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන විසින්ද කරන ලද මහඟු දායකත්වය නිසා බව දැන් ජනාධිපති සිරිසේනට මතක නැත‍. ඒ වෙනුවට ඔහු ‘අඩි හයක් යට වැලලීමට’ රාජපක්ෂ සමඟ එක්ව ජන්දය කල පිරිස් ද දැන් ඔහුගේ අන්තේවාසිකයින් වි සිටී.

දැන් සහජීවනයේ නාමයෙන් මෙරට විශාලතම සහ නාස්තිකාර රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන්නේ ද ජනාධිපති සිරිසේන විසින්ම පත් කරන ලද හිටපු ජනාධිපතිනි කුමාරතුංගය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙකු සමාජ සේවා සංවිධාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලබා බදු නොගෙවන රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගෙන යති.

අප තේරුම් ගත යුත්තේ ආණ්ඩුවේ මෙම රාජ්‍ය නොවන සංවිධාන විරෝධී ප්‍රහාරය එල්ල වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් කණ්ඩායම්වලට පමණක් බවයි. ඒවා විදේශීය මුදල් ගන්නේ ද දේශීයව මුදල් ගන්නේ ද මුදල් නොගන්නේ ද යන්න මෙම ප්‍රහාරයට අදාළ නැත. ඇත්ත වශයෙන්ම නම් මෙම ප්‍රහාරය එල්ල වන්නේ ආණ්ඩුවේ අතකොළු බවට පත් නොවූ සිවිල් සමාජ සංවිධානයන්ටය. ස්වාධීන සිවිල් සමාජ සංවිධාන විනාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය යටින් බිඳ දැමීමේ පළමු පියවරකි.

මෙම ප්‍රහාරයන් හමුවෙහි රාජපක්ෂ භීෂනය පරදවා තමන් බලයට ගෙන ඒමට දායක වූ මානව හිමිකම් රාජ්‍ය නොවන ක්ෂෙත්‍රය වෙනුවෙන් වචනයක් හෝ කීමට ආණ්ඩුවේ කිසිදු ප්‍රධානියකු තවමත් ඉදිරිපත් වී නැති බවද අප මතකයේ තබා ගත යුතුය.

කණගාටුවකට මෙන් චන්ද්‍රිකා බණ්ඩරනායක යුගයේ දී මෙන් බොහෝ රාජ්‍ය නොවන ප්‍රධානින් මෙම ආණ්ඩුව විසින් අවශෝෂනය කරගෙන තිබීම නිසා මෙම තත්වයේ මහත්ම ඛේදවාචකය බවට පත්ව ඇත්තේ එවැනි සිවිල් ප්‍රධානීන්ද මෙම ප්‍රහාරයන් හමුවේ නෑසූ කන්ව සිටීමයි.

මේ වනාහී ආණ්ඩුවක හැරවුම් ළකුණුය.


සුනන්ද දේශප්‍රිය
| Sunanda Dehapriya