“මහින්ද රජයේ ජනමාධ්‍ය මර්ධනයට විරුද්ධව කතා කරපු සියලු දෙනා දැන් දෑස් නිරුවත් කරගන්න” කියල මාතර ගඟේ කිඹුලෙක් කඳුලු සලමින් කියල තිබුනා. කිඹුලා කට ඇරියාම ඇස් පෙනෙන්නේ නැහැ කියල කතාවක් තියෙනව​. ඉතින් මට හිතුනේ මේ කිඹුල් කඳුළු හෙලපු ඩලස් මන්ත්‍රීතුමාගෙත් කට ඇරුනාම​ ඇස් වැහෙනව ඇති කියල.

හැබැයි ඩලස් උන්නැහේට බොහොම කාලයක ඉඳල මාධ්‍යට නෑකම් තියෙනව​. මා දන්නා විදියට “ලක්මිණ” පත්තරෙන් තමයි ඔහුගේ මාධ්‍ය ජීවිතය ඇරඹෙන්නේ. එතැනින් “ලක්දිව” හා “හිරු” පත්තරේට ගියා​. විමල් වීරවංශ විමලසිරි ගම්ලත් නමින් භෞතීස්ම ලබන්නෙත් මේ පත්තර හරහා තමයි. කොල්ලුපිටියෙ අංක 17 තමයි ඒ දිනවල හිරු පත්තරේ කාර්යාලය තිබුනේ. ජ​.වි.පෙ.නැවැත ගොඩ නැගීම වෙනුවෙන් හිරු පත්තරේ කාර්යාලයේදී ගන්නා ලද තීන්දුවක් අනුව තමයි ඩලස් “මනුෂ්‍යත්වය” අරගෙන​ 1994 පොදු පෙරමුණෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදුනේ. එයින් ජය ගන්නා ඔහු පසු කාලයකදී ශ්‍රී.ල.නි.ප​. කඹුරුපිටියේ ආසන සංවිධායක වුනා. ඊට​ පස්සේ මේ ඩලස් අලහප්පෙරුම නම් වූ අපූරු මිනිසා තමයි ජ​.වි.පෙ.ප්‍රධානම හතුරා බවට පත් වුනේ. අන්න එහෙම තමයි අපේ රටේ මනුස්සකම කොළොම් තොටෙන් ඇමෙරිකාවට නැව් නැග්ගේ​. ඊට පස්සේ ගොඩ බැස්සේ මොකක්ද කියල අපි කවුරුත් දන්නව​. ඒ නිසා සෙස්ස පස්සට​..

පසුගිය දිනක ජෝන් අමරතුංග ඇමැතිවරයා මාධ්‍යකරුවෙකුට තර්ජනය කලා. ඒක මුල් කරගෙන තමයි ඩලස් උන්නැහේ පත්තරේකට ලොකු කතාවක් කියල තිබුනේ. හැබැයි ජෝන් උන්නැහේලාත් රාජපක්‍ෂගේ ආණ්ඩුවෙ මුල්කාලේ පිටි කොටමින් තමයි හිටියේ. ජෝන්ලා මහින්දලා අතර ප්‍ර්‍රේමනීය මිතුදමක් තිබුනා කියලත් කියැවෙනව​. කොහොම වුනත් මහින්ද රෙජීමයට විරුද්ධව කල අරගලයේදී එකා පිට එකා මැරී වැටෙද්දීත් පෙරට​ ගිය​ අරගලය නිසා තමයි ජෝන්ලා අද ඇමැතිකම් කරන්නේ කියල අමතක වෙලා තියෙන්නේ. එහෙම නොවන්න අද සිරිකොත “නිල් බලකායේ” මූලස්ථානය​ක් වෙන්න බොහෝ ඉඩකඩ තිබුනා. මහින්ද රෙජීමයට විරුද්ධව දකුණේ පළමු වෙඩි මුරය පත්තු කලේ ජනමාධ්‍යවේදීන් කියන එක යහපාලන ආණ්ඩුවේ කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි කියලයි මට කියන්න තියන්නේ. හැබැයි එදා ඒ අරගලයන්වලට කිසියම්ම විදියකින් සම්මාදම් නොවුනු මාධ්‍යකරුවන් පිරිසක්,දේශපාලනඥයන් හා තවත් පුද්ගලයන් ජෝන්ට විරුද්ධව මාධ්‍ය නිදහස වෙනුවෙන් කෑ ගහන එකත් ජුගුස්සා ජනක වැඩක්. කොහොම වුනත් ඩලස් උන්නැහේ කියල තිබුනා එ.ජා.ප​.ආණ්ඩුවක් ආපු හැම වෙලාවෙම ජනමාධ්‍යට දරුණු පීඩනයක්,ඉතාම ප්‍රචන්ඩ තත්වයක් එල්ල වුනා කියල​. ඒ කියන්නේ ශ්‍රී.ලං.නි.ප. ප්‍රමුඛ සංධාන රජයන් යටතේ කිරෙන් කා තෙලෙන් අත හෝදාගෙන තමයි මාධ්‍යකරුවන් හිටියේ.

මේ ආණ්ඩු දෙකෙන්ම ජනමාධ්‍යවේදීන් මරා දැම්මා කියල ඩලස් උන්නැහේ කොතැකදීවත් කියන්නේ නැහැ. පහරදීම්, තර්ජන හා රිදවීම් පමණක්ලු තිබුනේ. එතැනදි ඩලස් එ.ජා.ප​.යත් බේරා ගන්නව​. ඩලස්… මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා කෝ..?

මරාදැමූවන් ගැන කියන්න ගියොත් ඩලස් ලොකු අමරුවක වැටෙන්නේ. මොකද 1994 සිට නෙමේ 2004 සිට 2010 දක්වා පමණක් ඩලස් ඇමැතිකම් දරපු ශ්‍රී.ලං.නි.ප. ප්‍රමුඛ සංධාන රජය යටතේ ජනමාධ්‍යවේදීන් ද ඇතුළත් එකී ක්‍ෂේත්‍රයේ පමණක් මරා දැමූවන් ගණන 44ක්. අවශ්‍ය නම් සියලු තොරතුරු JDS වෙබ් අඩවියෙන් බලා ගන්නට පුලුවන්. නිමලරාජන්,රෝහණ කුමාර යන​ මාධ්‍යවේදින් ​මෙයට ඇතුළත් නෑ. ක්ලේමෝ ගහල​,වෙඩි තියල​, ගිණි තියල විනාශ කරපු මාධ්‍ය ආයථන ගැන හෝ පැහැර ගෙන ගිහින් හෝ අතර මඟකදී හෝ පහරදී අතපය කඩාදාපු, අතුරුදහන් කරවපු ඒව අපි කතා නොකර ඉමු. එහෙමද ආස​?

ඇමැති ජෝන් “දෙරණ​” මාධ්‍යකරුවාට තර්ජනය කරද්දී ඔහුත් ලස්සන කතාවක් කීවා.”ඇමැතිතුමා මම මේ කිව්වේ මිනිස්සු කියන ඒවා”.මිනිස්සු කියන ඒවා අහගෙන ඉදල ඊට පස්සේ අන්න ඔබතුමාට මිනිස්සු මෙහෙම කිව්වා, මොකද ඒගැන කියන්නේ කියලා අහන කෙනාට මාධ්‍යවේදියා හෝ මාධ්‍යවේදිනිය කියල කියන්න පුලුවන් ද? අපේ ගම්වලනම් ඒ අයට කියන්නේ “කේළමා” කියල​. මෙවැනි “ජනමාධ්‍යවේදියෙක්”කෝපි කඩේ” ටෙලි නාට්‍යයෙත් ඉන්නව​. අද තිබෙන මාධ්‍ය භාවිතාව පිළිබඳව​ මේ සිදුවීම හොඳ නිදර්ශණයක්. මාධ්‍ය ආයතනයන්ට ඕන විදියට තමයි මාධ්‍ය කරුවන් නිර්මාණය කර ගන්නේ. ඒ අය විසින් තමයි ප්‍රවෘත්ති නිෂ්පාදනය කරන්නේ.මේ පිළිබඳව ඕන තරම් සාක්‍ෂි මාළඟ තියෙනවා.ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීකෙනෙක් ලෙස හිටිය පහුගිය කාලෙ තිබුනු ප්‍රවෘත්ති සාකච්ඡාවකදි තමයි මේක වුනේ. කිරිඇල්ලගේ කතාවෙන් පසු ප්‍රශ්ණ සඳහා සභාව​ විවෘතකල වෙලාවෙ සිය ජංගම දුරකථයට ආපු පනිවුඩයක් කියවපු එක් තරුණ ගැහැණු ළමයෙක් මන්ත්‍රීවරයාගෙන් ඇහුව “ඔබතුමා ෆෙඩරල්වලට එකඟද නැද්ද” කියල​. කිරිඇල්ල මන්ත්‍රීවරයා ක්‍ෂණයෙන් අර ළමයාගෙන් පෙරළා ප්‍රශ්ණයක් ඇහුවා “ඔබතුමිය අහන්නේ මොන ෆෙඞරල් ද” කියල​. ඒ දැරිවිට උත්තර දීගන්න බැරිවුනා. විපක්‍ෂයේ ඉන්නකාලෙ කවුරුත් මාධ්‍ය එක්ක මිත්‍රශීලිව තමයි කටයුතු කරන්නේ. අන්තිමට මන්ත්‍රීවරයා මහා හයියෙන් හිනාවෙලා “හරියට අහන්න ප්‍රශ්ණේ, එතකොට උත්තර දෙන්න පුලුවන්” කියල නැගිටල යන්න ගියා.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මේ ලෙස රැකියාව කරන්නෙකුට මාසික වැටුප රු.6,000 ක් 10,000ක් අතර මුදලක් තමයි ලැබෙන්නේ. කාන්තා පාර්ශවයේ අයට ස්ථිර පත්වීම් හෝ උසස්වීම් සඳහා බොහෝවිට විවිධ පරිත්‍යාගයන් කරන්න සිදුවෙනවා. මේ පිරිස් අවම වශයෙන් ප්‍රවෘත්තියක තිබිය යුතු මූලධාර්මික කරුණු පිළිබඳවවත් නිසි අවබෝධයක් තිබේද යන්න සැකයක්. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන​ ඉන්න කාලේ මසකට වරක් හෝ දෙකක් එම අමත්‍යාංශය මගින් සිදුකරන මාධ්‍ය වැඩ සටහනක් තිබුනා. ඒක වාර්තා කරන්න බොහෝ මාධ්‍ය පිරිස් එනව​. දේශණය ඉවර වෙද්දී බත් පැකට් එක හා මුදල් සහිත ලියුම් කවරය ගන්න තිබුන පෝළිම සෞඛ්‍ය ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකාරක චමුදිත සමරවික්‍රම මටත් වඩා හොඳින් දන්නවා. හවස හතරෙන් පස්සේ තිබෙන බොහෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේ මධු සාදයකුත් තිබෙනවාම තමයි. ප්‍රවෘත්ති සාකච්ඡාව ඉවරවෙද්දී මී මැස්සො වගේ තමයි කෂ්ටිය එන්නේ. මන්ත්‍රී දයා ගමගේට අයිතිව තිබූ සීනි කම්හල මහින්ද රෙජීමයෙන් පැය 24ක් ඇතුළත පවරා ගත්තා. එදා හවස මන්ත්‍රී දයා ගමගේ මේ පිළිබඳව කොල්ලුපිටියේ හෝටලයක තිබුනු මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ රු.1,000ක තෑගි වවුචර් එකක් මාධ්‍ය කරුවන්ට පිරි නැමුවේ මධු සාදයට අමතරව​. ප්‍රමාද වෙලා ආපු අයට​ තෑගි වවුචර් මදිවෙලා පොඩි අලකලංචියකුත් වුනා. මේ අය අතර ජේෂ්ඨ​,පරිණත​,සම්මානලාභී මාධ්‍යවේදීන් හා වේදිනියනුත් ඉන්නවා. ඒ බොහෝ අයගේ විවාහ උත්සව වලට මැති ඇමැතීන් ගෙන් ලක්‍ෂ ගණන් ලැබෙන්නේ.

දකුණු අධිවේගී මාර්ගය විවෘත කරපු දවසේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍යකරුවන් රැගත් බස් දෙකක් ගියා. වැඩේ ඉවර වෙලා ආපසු කොළඹ බලා එද්දී බස් දෙකම නැවතුනේ අලුත්ගම සුව පහසු හෝටලයක​. අවශ්‍ය ඕනෑම වර්ගයේ බයිට් කකා විස්කි,ජින් බිබී තමයි ප්‍රවෘත්ති නිෂ්පාදනය වුනේ.”ආසියාවේ ආශ්චර්ය” ලියැවෙන්නේ එහෙමයි. වෙරි හිඳුනාම,ගංවතුර ගැලුවාම තමයි මතක් වුනේ වතුර බැහැල යන තැන්වල “අධිවේගී වේලි” ඉදිකරල නේද කියල. රනිල් විපක්‍ෂනායකයා ලෙස හිටිය කාලෙ බෝධි පූජාවක් කරන්න ගිහින් අකරතැබ්බයක් වුනා කියල පින්තූරයක් තිබුනා. මාධ්‍ය සාකච්ඡාව පටන් ගත්ත ගමන් සියලුම දෙනා ඉදිරියේ “සඳුන් කෝ අර පින්තූරෙ දෙන්නකෝ” කියල ඩලස් ඒක අරගෙන ප්‍රචාරය කලා. පසුව ආරංචි වුනා “ඩේලි මිරර්”කැමරාකරුවෙකුගේ ඒ ඡායාරූපය පළ නොකිරීමට පුවත්පත තීන්දු කරල තිබෙද්දී සඳුන් ලවා ඒක කොම්පියුටරයෙන් හොරෙන් ගෙන්වා ගෙන තිබෙන්නේ ඩලස්ලා කියල.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡා ඉවර වුනාම (මහින්ද රෙජීමය කාලෙ) උදේ වරුවෙනම් කේක් කෑල්ලක්,රෝල්ස් එකක් එක්ක ටී එකක් ලැබෙනවා. ප්‍රවෘත්ති සාකච්ඡාව ඉවරවුනු ගමන් බොහෝ දෙනෙක් ඊළඟට දුවන්නේ එතැනට​. ​ඇතැම් විට තමන් ගෙනා මාධ්‍ය ආම්පන්න අමතක වෙලා දුවන්න තරම් හේතුව හොයල බැලුව​. ප්‍රවෘත්ති සාකච්ඡාවට එන හැමෝම අත්සන් කරල ආවත්,කිසිසේත්ම​ මේ තේ බොන්න නොයනන් සිටියදීත් ඒ ප්‍රමාණයට කේක් සහ රෝල්ස් නොතිබීම තමයි එක හේතුවක්. අනෙක බොහෝ දෙනෙකුගේ උදේ ආහාර වේල පිරිමහ ගන්නේ ඒකෙන්. වෘත්තීය සමිතියක් නැති ලංකවේ ප්‍රධානතම වෘත්තීයක් තමයි ජනමාධ්‍ය වෘත්තීය. මේ තත්වය අනෙක් මාධ්‍ය ආයතනයන්ට සාපේක්‍ෂව බැලුවොත් එෆ්.එම් නාළිකා තුළ ඉතාම දරුණුයි. ඒවා නූතන වහල් කඳවුරු. කාක්කා හැම එකාගෙම මාලු කෑවත් කාක්කාගේ මාලු එකෙක්වත් කන්නේ නැහැ කියන්නා වාගේ ජනමාධ්‍යය හැමෝම ප්‍රශ්ණ කලත්, ජනමාධ්‍ය​ ප්‍රශ්ණ කරන්න කවුද ඉන්නේ ? අද බොහෝ මාධ්‍යකරුවෝ ප්‍රාග්ධන හිමියා අත නැටවෙන රූකඩ.

ඩලස් මන්ත්‍රීවරයා ප්‍රශ්ණකරන මාධ්‍යකරුවාත් එකතැනකදි අහනව​ “මේ රටේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් කතාකල සිවිල් සංවිධාන ඇතුළු පිරිස් මුනිවත රකිනවා නේද” කියල.”හඬක් නැති ජනතාවගේ හඬ” කියල නේද මාධ්‍යකරුවාට කියන්නේ. ඉතින් සිවිල් සංවිධාන ඇතුළු පිරිස් මුනිවත රකිනවා නම් එතැනදි මාධ්‍යකරුවාගේ භූමිකාව කුමක්ද ? මරාදැමුණු, අසාධාරණයට ලක්වුනු, වධ වේදනාවන්ට ලක්වුනු මිනිස්සුන්ට යුක්තිය සාධාරණය ඉටුවනතුරු ඒ සිදුවීම් යටපත් වන්නට ඉඩනොදී කතාකිරීම මාධ්‍යකරුවාගේ වගකීමක් නේද​? දැන් ඊළඟට ඩලස්ගේ චෝදනාවන්ට ලක්වුනු ඇමැති කෙනෙක් හෝ වෙනත් නියෝජිතයෙක් හමුවෙලා මේ මාධ්‍යකරුවන් අහනවා ඩලස් මන්ත්‍රීතුමා ඔබට කරපු චෝදනාව ගැන මොකද කියන්නේ කියල​. ඉතින් මෙවැනි අය ජනමාධ්‍යවේදියා හෝ ජනමාධ්‍යවේදිනියන්ද​? නැතිනම් මයික්වේදියා හෝ මයික්වේදිනයන් ද​? කුළියට ලියන ලියනප්පුලාද​?

ජනමාධ්‍යකරුවා ඉහත අසන ලද ප්‍රශ්ණයට පිළිතුරක් ලෙස තමයි මන්ත්‍රී ඩලස් කියලා තිබුනේ “ඒ සියලු දෙනාට මම කියන්නේ ඔබේ දෑස නිරුවත් කරගන්න” කියල​.

අද විධායකය යනු සිය පක්‍ෂයට පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ලබා ගැනීම සඳහාත් සිය පවුලේ සුඛ විහරණය වෙනුවෙනුත් සිතැඟි පරිදි ඕනෑම දෙයක් අර්ථකතනය කිරීමේ බලය සහිත ආයථනයක්. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව යනු දණ්ඩ නීති සංග්‍රහයේ සියලුම නීති කඩකර ඒත් දඩුවම් නොලබා සිටීමේ හා කිසිඳු සුදුසුකමින් තොරව රැකියාව කලහැකි ලාබ ලබන ව්‍යාපාරයක්. විශ්‍රාමික වයස් සීමාවකින් තොර එම වැටුපටත් හිමිකම් කියන​,රට රටවල පිනා සවාරි ලැබෙන, ස්වර්ග රාජ්‍යක්. අධිකරණය යනු ඉහත ආයතන දෙකේ අවශ්‍යතාවය මත අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දණ්ඩ නීති සංග්‍රහයත් අපට නිර්වචනය කරදෙන ආයතනයක්. 78 දී ඇරැඹුනු මේ තත්වය කූඨප්‍රාප්තියට ගෙනාවේ මහින්ද රෙජීමය. පිළිකාවක් සේ තවමත් ඒවා සමාජ දේහය විනාශ කරමින් පවතින්නේ. එවැනි පසුබිමක් තුළ ජනමාධ්‍යයේ පමණක් සුපිරි මාධ්‍ය භාවිතාවක් බලාපොරොත්තුවීම හවස පහෙන් පස්සේ අතරමඟදි බස් එකකට නැඟල වාඩිවෙන්න ආසනයක් හොයනව වගේ වැඩක්. යකඩ මල්ලට​ත් ගුල්ලො විද්දනම් පන්මල්ල නොබලාම විසි කරපන් කිව්වලු.

ඒත් ආදරණීය ඩලස් මැතිතුමණි, ඒ සියල්ල එසේ වුවද​ මේවා පිළිබඳව තවමත් නිරුවත් දෑසින් බලා ඉන්න බොහෝ පිරිසක් ඉතිරි වී ඉන්නවා. ඒ නිසා තමයි ඇමැති ජෝන්ලාගේත්, මාධ්‍ය ජෝන්ලාගේත්, මන්ත්‍රී ඩලස්ලාගේත් නිරුවත හොඳට පෙනෙන්නේ.

ඥානසිරි කොත්තිගොඩ​