Image: GattyImage


මා මිත‍්‍ර මෛත‍්‍රී,

රටක් පාලනය කිරීමේ කර්තව්‍යයේ මෙන්ම, අලූත් ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ හමුදා ප‍්‍රධානීන් පත් කිරීම වැනි දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ ඔබ ඉමහත් කාර්ය බහුල පුද්ගලයෙකු බව දන්නා මුත් මෙය ඔබට ලිවිය යුතු යැයි මට සිත් විය. එසේම ගිය සතියේ ඔබ කී යම් ප‍්‍රකාශයක් ද ඊට හේතු විය. එය මා වැරදියට තේරුම් ගෙන ඇත්නම් මට සමාවන්න. රූපවාහිනී බලන කෙනෙකු වෙතොත් දැන් මේ රටේ ආණ්ඩුවක් නැතැ යි සිතීමට ඉඩ ඇතැ යි ඔබ කී බවක් වාර්තා විය. රූපවාහිනී බැලීමෙන් ඔබ ඒ නිගමනයට පැමිණියේ කෙසේදැ යි මම නොදනිමි. එහෙත් අපි රූපවාහිනී නොබලා පවා ඒ තීන්දුවට පැමිණ සිටිමු.

කරුණාකර මට එය පැහැදිළි කිරීමට අවසර දෙන්න. උදාහරණයක් වශයෙන්, කුණු ඉවත් කිරීම තරම් ඉතා සරළ දෙයක් ඉටු කිරීම මහ කජ්ජක් නොවන බව කවුරුත් දනිති. එහෙත් දැන් හැමෝම කියන්නේ, එය වෙනත් කෙනෙකුගේ රාජකාරියක් බව ය. එහි වගකීම භාර ගැනීමට කවුරුවත් නැත. ඒ අනුව, කලින් උද්‍යාන පුරවරයක් වශයෙන් තිබු කොළඹ දැන් කුණු කන්දල් නගරයක් බවට පත්ව ඇත.

කුණු ඉවත් කිරීම අධීක්ෂණය කරන්නැයි මහ ඇමතිවරයාට භාර දී ඇති බව ඇතැමෙක් කියති. තවත් සමහරුන් කියන්නේ චම්පිකට එය භාර දී ඇති බවකි. ඒ අතර ඇතැම් තැන්වල කුණු ගෙන ගොස් ගොඩ ගැසීම අධිකරණයෙන් තහනම් කොට ඇත. අධිකරණයේ මේ තීන්දුව නිසා ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වන බව කොළ පාට පක්ෂයේ මනුස්සයා කියයි. කවුරු කුමක් කරන්නේදැ යි කාටවත් නිනව්වක් නැත.

ඩෙංගු උවදුර සම්බන්ධයෙනුත් තත්වය එයම නොවේද? එය මදුරුවන්ගේ වරදක් මිස ආණ්ඩුවේ වරදක් නොවේ යැයි සමහර විට ඔබ කියාවි. ඒත් ආණ්ඩුවට කරන්ට පුළුවන් තරමවත් ආණ්ඩුව කර තිබේද? රාජිත කතා කරන හැම විටකට ඕනෑම ප‍්‍රශ්නයකට පිළිතුරක් ඔහුට තිබේ. එහෙත් ඉතිහාසයේ නොවූ විරූ මේ ඩෙංගු උවදුරට ඔහුට පිළිතුරක් ඇති බවක් නොපෙනේ.

ආණ්ඩුවක් නැති කම පෙන්වන තවත් කාරණයක් වන්නේ, තමන් ආණ්ඩුව යැයි සිතන තවත් කණ්ඩායමක් සිටීමයි. එනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඩෙංගු තිබුණත් නැතත්, ඔවුන්ට සිතෙන ඕනෑම මොහොතක ඔවුහූ වැඩ වරති. මන්ද යත්, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ වීමෙන් තමන් ‘අසරණ රෝගීන්ගේ අනාගත පරපුර’ ආරක්ෂා කරතියි ඔවුන් සිතන බැවිනි.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම ‘ඉසෙඞ්’ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් නිසා හොඳම මොළකාරයන් තමන් යැයි සිතන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කිරීමේදී ඩෙංගු උවදුරක් රටේ ඇති බව අමතක වන්ට ඇති. එය ඔවුන්ට මතක් කර දුන්නේ යහපත් කාදිනල් අගරදගුරුතුමා ය. ඒ අනුව එම අඛණ්ඩ වැඩ වර්ජනය අතහැර දැමුණි.

මෛත‍්‍රී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔබ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය අවිධිමත් හෝ ‘හොර’ සාකච්ඡාවක් යැයි රාජිත ඇමතිවරයා කීම හාස්‍යජනක නොවේද? ඔවුන් ඔබ සමග සාකච්ඡා කොට තිබියදීත්, ඔබේ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසු තමන් වැඩ වර්ජනය කරන බව ඔවුහූ ප‍්‍රකාශයට පත්කළහ. වාසනාවට එය වැළැකුණේ අගරදගුරුතුමාගේ මැදිහත් වීමෙනි. ඉතිං, ආණ්ඩුවක් කියා දෙයක් නැතැයි අපට සිතීම පුදුමයක් ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෑකෝ ගසන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ය. රාජිත, එස්.බී. සහ කිරිඇල්ල වැනි ඇමතිවරුන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ය. චම්පික, දයාසිරි සහ සුසිල් වැන්නන්නට ඒවා අවශ්‍ය නැත. තව බොහෝ දෙනා ඒ ගැන කිසිවක් නොකියති. ඉතිං, ආණ්ඩුවක් කියා දෙයක් නැතැයි අපට සිතීම පුදුමයක් ද?

මෛත‍්‍රී, මීට සති කිහිපයක් වන තෙක් අපට අස්ගිරිය ගැන ඇසුණේ එම ස්ථානයේ ක‍්‍රිකට් තරගයක් පවතින අවස්ථාවකදී ය. හිටිහැටියේම ඔවුන්ගේ අනුශාසනා දැන් අපට අසන්ට ලැබී තිබේ. ඥානසාර හාමුදුරුවන් කියන ශෛලියේ වරදක් තිබුණත්, ඔහු කියන දේවල්වල ඇත්තක් ඇතැයි ඔවුහු අපට දේශනා කරති.

ඒ අනුව, ඔහු කී දේවල් අප දැන් විශ්වාස කළ යුතුද? එනම්, ඇතැම් ප‍්‍රජාවන් මේ රටේ දෙවන පංතික පුරවැසියන් බවත්, ඔවුන්ට අප ඒ ආකාරයෙන් සැළකිය යුතු බවත් අප පිළිගත යුතුද? මා වැරදි නම් කරුණාකර මාව නිවැරදි කරන්න. මා දන්නා පරිදි, බුද්ධාගමේ හැටියට කෙනෙකු වසලයෙකු හෝ බ‍්‍රාහ්මණයෙකු වන්නේ ක‍්‍රියාවෙන් මිස ජන්මයෙන් නොවේ.

ඒ අතරේ, අත්අඩංගුවට ගැනීමේ අධිකරණ වරෙන්තුවක් යටතේ සැඟවී සිටි, ජීවිත තර්ජනයක් ඇතැයි කියා අධිකරණය මගහරිමින් සිටි හාමුදුරුවන් වහන්සේ එකම දිනයක් ඇතුළත අධිකරණ දෙකක් ඉදිරියට පැමිණි අතර ඒ අධිකරණ දෙක මගින්ම එදාම ඔහුට ඇප දී නිදහස් කෙළේය. ආණ්ඩුවක් කියා දෙයක් නැතැයි අපට සිතීම පුදුමයක් ද?

ඒ මදිවාට දැන් දින කිහිපයකට කලින් අපට තවත් දෙයක් අසන්ට ලැබුණි. එනම්, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය නැති බවට නුවරින් තීන්දු කිරීමයි. එසේම පාර්ලිමේන්තුව ඉදිරියේ දැනට තිබෙන ඇතැම් අණපනත් ද ඉල්ලා අස්කර ගත යුතු බවට නුවරින්ම තීන්දු කෙරුණි. ඉතිං, ආණ්ඩුවක් කියා දෙයක් නැතැයි අපට සිතීම පුදුමයක් ද?

මං වැරදි නං මාව නිවැරදි කරන්න, මෛත‍්‍රී.

මා සිතුවේ හැට දෙලක්ෂයක් ජනතාව ඔබට ඡන්දය දුන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට බවයි. එසේ තිබියදී, නුවරින් දැන් නියෝග කෙරී ඇති නිසා අප ඒ සියල්ල අමතක කර දැමිය යුතුද? මා සිතුවේ පාර්ලිමේන්තුව තියෙන්නේ කෝට්ටේ කියා ය. එය තියෙන්නේ නුවර බව මම දැන නොසිටියෙමි. මේ අතර, යම් එකඟත්වයක් ඇති කර ගැනීම සඳහා ඔබ හදිසියේම නුවර ගිය බව සැළ විය. එවැනි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වෙතොත්, ඔබත් ඔබේ ඇමතිවරුත් ආණ්ඩුව නුවරට භාර කිරීම යෙහෙකි. රට කරවන්නේ කෙසේදැ යි ඔවුන් දන්නා බවට කිසි සැකයක් නැත. ඩෙංගු වේවා, කුණු ප‍්‍රශ්නය වේවා. ඥානසාර හාමුදුරුවන් වේවා, ඒ සියල්ල පාලනය කිරීමට ඔවුන් දන්නවා සිකුරුයි.

ඔබේ හිතෛශී,
පුංචි පුතා

පසුව ලියමි:

මෛත‍්‍රී, ඔබ බලයට ආවේ ‘යහපාලනය’ ගෙන ඒමේ පොරොන්දුව දෙමිනි. ආණ්ඩුවක් නැති බවක් හැෙඟතැයි දැන් ඔබම කියයි. මම ඊට එකඟ වෙමි. මන්ද යත්, දැන් ඇත්තේ ‘යහ පාලනයක්’ නොව, ‘හය පාලනයක්’ වන බැවිනි. ඔබ, කොළ පාට මනුස්සයා, ඔබේ ඇමතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අධිකරණය සහ නුවර ඇත්තන් ආදි වශයෙන් හය දිසාවක අදින පාර්ශ්ව හයක්.


*2017 ජුලි 09 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ‘ෆිෆ්ත් කොලම්’ නැමැති තීරුව යටතේ පළවූ, Over To You නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි