Image Credit: constitutionnet

ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමනට එක දිගටම මහා බාධකය වී ඇත්තේ දෙපැත්ත කැපෙන වසංගතය වන, ජාතිවාදය සහ ආගමික අන්තවාදයයි. ලංකාවේ මෑත ඉතිහාසය ගැන සළකතොත්, ගිය සියවසේ මුල් භාගයේ සිට වරින්වර ඉස්මතුව ඇති මේ ප‍්‍රපංචය, විවිධ මාත‍්‍රාවන්ගෙන් අද දක්වා පැවත විත් තිබේ.

1948 නිදහස ලබන අවස්ථාවේ මෙන්ම, අනතුරුව කොරියානු යුද්ධයට ස්තුතිවන්ත වන්නට අප ලද ආර්ථික ගැම්ම සහ චීනය සමග ඇති කරගත් රබර්-සහල් ගිවිසුමත් නිසා ලද ආර්ථික ප‍්‍රගතියත් හේතුවෙන් සාපේක්ෂ අර්ථයකින් එදා එම ජාතිවාදී ප‍්‍රපංචය ප‍්‍රචණ්ඩකාරී නොවුණත්, පසුව සිංහල-බෞද්ධ අධිකාරීවාදයේ හිස එසැවීමත් සමග තත්වය සීග‍්‍රයෙන් උග‍්‍ර අතට හැරිණ. කවුරුත් හොඳින් දන්නා පරිදි, 1956 මැතිවරණය ළඟාවෙත්ම, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශ්වයම, සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීම සඳහා හරි හරියට තරග කෙළේය.

1956 මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී යාපනේ සංචාරයක නිරත වූ එවක අගමැති සර් ජෝන් කොතලාවල, රාජ්‍ය භාෂා තත්වය දෙමළ භාෂාවටත් පිරිනැමීමට ප‍්‍රතිඥාවක් දුන්නේය. අනතුරුව එම ප‍්‍රකාශයට එරෙහිව දකුණේ මහා විරෝධයක් මතු විය. එම අනතුර දුටු එක්සත් ජාතික පක්ෂය, ස්වකීය ස්ථාවරය වහා වෙනස් කරමින්, එකම රාජ්‍ය භාෂාව සිංහල කරන බවට දකුණට පොරොන්දු විය. ඊට දෙවැනි නොවීමට ඉටාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, 1951 එම පක්ෂය පිහිටුවීමේ දී සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීමට දී තිබූ පොරොන්දුව ඉවතලමින්, තමා බලයට පත්වීමෙන් පැය 24 ක් ඇතුළත සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට සපථ කොට සිටියේය.

ලංකා සමසමාජ පක්ෂය ඓතිහාසික ප‍්‍රකාශයක් නිකුත් කෙළේ එවිටයි. ‘භාෂා දෙකක් නම් එක රටක්.. එක භාෂාවක් නම් රටවල් දෙකක්.’ කොල්වින් ආර්. ද සිල්වා එදා කල්තියා දුටු පරිදි, නිකම්ම ජාතීන් දෙකක් නොව, ලේ හලන ජාතීන් දෙකක් ඒ අනුසාරයෙන් බිහි වනු ඇත. එපමණක් නොව, ඒ මගින් වෙනම රාජ්‍යයක් ඉල්ලීම සඳහා දෙමළ ජාතිකයන්ව යම් දවසක තල්ලූ කරනු ඇත. විය යුතු පරිද්දෙන්ම දෙමළ නායකයෝ ‘සිංහල පමණයි’ පනතට විරෝධය පෑහ. දෙමළ භාෂාව මෙසේ පැත්තකට දැමීම යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්මයට අවැඩක් කරනවා පමණක් නොව, එවක රටේ ක‍්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 29 වැනි වගන්තියේ අර්ථයත් විකෘති කෙළේය. එහෙත් බණ්ඩාරනායක තමාගේ අවස්ථාවාදී මැතිවරණ අභිලාෂයන් පෙරදැරිව සිටිමින් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

එහි ප‍්‍රතිඵලය වුණේ, ඊට එරෙහිව ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් සත්‍යග‍්‍රහයක් කැඳවීමයි. කෙසේ වෙතත්, එවැනි තත්වයක් වළක්වාලීම සඳහා බණ්ඩාරනායක, ෆෙඩරල් පක්ෂ නායකයා සමග සාකච්ඡා කොට 1957 ජුලි 26 වැනිදා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට අත්සන් කෙළේය. අනතුරුව එවැනි ගිවිසුමක ඇති අවශ්‍යතාව රටට පැහැදිළි කරමින් සැබෑ බෞද්ධයෙකු වශයෙන් බණ්ඩාරනායක එම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ වෙතත්, මේ වනාහී දෙමළුන්ට රට පාවාදීමක් වශයෙන් අර්ථගැන්වූ විපක්ෂ කොටස් ඊට එරෙහිව විශාල විරෝධතාවක් ගොඩනැගූහ. එම විරෝධතාවයේ එක් අංගයක් වුණේ, එක්සත් ජාතික පක්ෂයේ බල කණුවක් වූ ජේ.ආර්. ජයවර්ධන කොළඹ සිට නුවරට පා ගමනක් සංවිධානය කිරීමයි. මේ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මේ ගිවිසුමට විරෝධය දැක්වූ අතර 1958 අපේ‍්‍රල් 9 වැනිදා රොස්මීඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවස ඉදිරිපස ඔවුන් වාඩි ලා ගත් විට බණ්ඩාරනායක ඒ බලපෑමට යටත්ව, ද්වි-පාර්ශ්වික ගිවිසුම ඒක පාර්ශ්විකව ඉරා දැම්මේය.

මේ කියන බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ ඇත්තෙන්ම අන්තර්ගත වුණේ මොනවාද ? ඒ අහලකවත් ෆෙඩරල් ක‍්‍රමයක් ගැන අදහසක් තිබුණේ නැත. එසේම, සිංහල පමණයි පනත කිසි ආකාරයකින් සංශෝධනය කිරීමක් ඇතුළත් වුණේ ද නැත. එහි අන්තර්ගත වුණේ, (1) උතුරු පළාත සඳහා ප‍්‍රාදේශීය සභාවක් ස්ථාපිත කිරීම සහ නැගෙනහිර පළාත සඳහා එවැනි ඒකක එකක් හෝ දෙකක් යටතේ, ‘කෘෂිකර්මය, සමූපකාරය, ඉඩම් සහ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය, ජනපදකරණය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජල ව්‍යාපෘති සහ මහා මාර්ග’ වැනි විෂයයන් අරභයා බලතල පැවරීමත්, (2) ජනපද ව්‍යාපාර ක‍්‍රම යටතේ ප‍්‍රාදේශීය සභා බලතල යටතට ඉඩම්ලාභීන් තෝරා ගැනීම සහ එවැනි ව්‍යාපාරවල වැඩ කරන පිරිස් තෝරා ගැනීමේ බලය පැවරීමත්, (3) ප‍්‍රාදේශීය සභාවන් සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් ප‍්‍රතිපාදන සැලසීම සහ බදු අය කිරීම සහ ණය ලබා ගැනීමේ බලය එම ප‍්‍රාදේශීය සභාවන්ට පැවරීමත්ය.

මෙහි දළ සැකස්මකට එකඟ වූ ෆෙඩරල් පක්ෂ නායකයා, යො ්ජිත සත්‍යග‍්‍රහය අත්හිටුවීමට එකඟ විය. එහෙත් සිදු වූයේ කුමක් ද ? දෙමළ-විරෝධී ජාතිවාදී බලවේග මුදාහැරිණ. එදා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ කීර්තිමත් මාධ්‍යවේදියෙකු වූ ටාසි විට්ටච්චි මෙය හැඳින්වූයේ, ‘මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුස්සකම’ වශයෙනි. ඇති වූ ජාතිවාදී කලකෝලාහල ඉදිරියේ, බොහෝ වැදගත් පුරවැසියන් උදක්ම ඉල්ලා සිටියත්, හදිසි නීතිය පැනවීම ප‍්‍රතික්ෂේප කළ බණ්ඩාරනායක ජාතිය ඇමතීය. ටාසි විට්ටච්චි හැඳින්වූ පරිදි, මේ ජාතිය ඇමතීම වනාහී, ‘ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක්’ විය. 1958 මැයි 22 වැනිදා කලකෝලාහල හටගැනුණි. මැයි 26 වැනිදා ජාතිය අමතමින් බණ්ඩාරනායක ජාතිය නොමග යැව්වේය. ජුනි 25 වැනිදා, නුවරඑළිය හිටපු නගරාධිපති ඩී.ඒ. සෙනෙවිරත්න (ඇතුළු තවත් කිහිප දෙනෙකු) මඩකලපුවේදී ඝාතනය කරනු ලැබීම මේ කෝලාහලවලට තුඩුදුන්නේ යැයි ඔහු කීය. එහෙත් සෙනෙවිරත්න ඝාතනය සිදු වුණේ පෞද්ගලික ආරාවුලක් නිසා බව පාර්ලිමේන්තුවේ දී ෆෙඩරල් පක්ෂ නායකයා පෙන්වා දුනි. එම හේතු දැක්වීම එදා කිසිවෙකු අභියෝගයට ලක්කෙළේ නැත.

ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම

ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් සහ අගමැති ඩඞ්ලි සේනානායක අතර පැවති ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් 1965 මාර්තු මාසයේ දී ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් අත්සන් කෙරුණි. මෙය බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම තරම් බරපතල කාරණා අඩංගු කර නොගත් සම්මුතියක් වුවත්, ඊට ද එරෙහිව පෙර මෙන්ම ජාතිවාදී සහ ආගමික අන්තවාදී විරෝධතා පැනනැංගේය. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ඒ විරෝධතාවන්ට යට විය. ඒ අනුව, (1) උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව වශයෙන් දෙමළ භාෂාව භාවිත කිරීම, (2) උතුරු සහ නැගෙනහිර පළාත්වල අධිකරණමය කටයුතු දෙමළ භාෂාවෙන් කරගෙන යාම සහ ඒවා දෙමළ භාෂාවෙන් වාර්තා තැබීම, (3) නායකයන් දෙන්නා අතරේ ඇති වන එකඟතාවන් මත රට පුරා ‘දිස්ත‍්‍රික් සභා’ ඇති කිරීම යන කරුණු අඩංගු එම ගිවිසුමත් අහෝසි කර දැමුණි. මේ ගිවිසුම යටතේ, ‘ජාතික අවශ්‍යතා මත මෙකී දිස්ත‍්‍රික් සභාවලට මාර්ගෝපදේශනය සැපයීමේ බලය ආණ්ඩුවට තිබිය යුතු බවට’ එකඟව තිබුණි. එසේම ජනපද ක‍්‍රමය යටතේ පැවරෙන ඉඩම් උතුරු නැගෙනහිර පළාත්වලදී පහත සඳහන් පරිදි සිදු කෙරෙන බවටත් අගමැතිවරයා එකඟ විය: (1) මේ දෙපළාතේ ඉඩම් මුලින්ම ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ අදාළ දිස්ත‍්‍රික්කයේ වෙසෙන ඉඩම් නැති ජනතාවටයි. (2) දෙවැනුව, අදාළ දෙපළාතේ වෙසෙන දෙමළ ජනතාවටයි. (3) තෙවැනුව රටේ වෙනත් පළාත්වල වෙසෙන ජනතාවටයි. එහිදී දෙමළ ජනතාවට ප‍්‍රමුඛතාව දැක්විය යුතුය.

ඉතිං, ඉහත කී ගිවිසුම් දෙකෙන් එකක් හෝ සාර්ථකව ක‍්‍රියාත්මක කෙළේ නම්, වාස්තවික හේතු මත පැනනැගුණු දෙමළ සන්නද්ධ අරගලය ඇති නොවන්ට හොඳටම ඉඩ තිබුණි. විසි හය අවුරුදු යුද්ධයකට හේතු ඉතිරි නොවන්ට තිබුණි. 1983 කලු ජූලියක් ඇති නොවන්ට ඉඩ තිබුණි.

උගත් පාඩම් හා සංහිඳියා කොමිසම

හිටපු නීතිපතිවරයෙකු වූ, නැසීගිය සී.ආර්. ද සිල්වාගේ සභාපතිත්වය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 දී පිහිටුවන ලද මෙම කොමිසම සඳහන් කොට සිටියේ, නිදහසේ පටන් බලයට පත් කිසි ආණ්ඩුවක් දෙමළ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා නිසි පියවර නොගැනීම නිසා විටින් විට දෙමළ-විරෝධී ප‍්‍රහාර දියත්ව ඇති බවත්, අවසානයේ එම තත්වය යුද්ධයක් කරා වර්ධනය වූ බවත් ය. ඒ අනුව, නිශ්චිත විසඳුම් වහා සොයා ගත යුතුව ඇති බවට කොමිසම නිර්දේශ කෙළේය.

ඇතැම් විචාරකයන්ගේ නොගැඹුරු විශ්ලේෂණ

බොහෝ දෙනා යුද්ධයේ හේතුකාරකය වශයෙන් දකින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. එම සංවිධානය බිහි වුණේ කෙසේද යන්න කෙරෙහි ඔවුන් අවධානය යොමු කරන්නේ නැත. එසේම තවත් සමහරු දෙමළ ඩයස්පෝරාවට පහර දෙති. එම දෙමළ වැසියන් 1983 න් පසු රට හැර ගියේ මන්ද යන්න ඔවුහු නොසළකති. ඇති වූ යුද තත්වය තුළ අපට අත්වූ සන්නද්ධ හමුදා මෙන්ම සිවිල් වැසියන් සම්බන්ධයෙන්ද වන මිනිස් විනාශය අති විශාලය. එසේම, ශ‍්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්වරයෙකු වන ෂිව් ශංකර් මෙනන් විසින් කරන ලද
අධ්‍යයනයකට අනුව, යුද්ධයේ මූල්‍යමය වියදම ඩොලර් බිලියන 200 කටත් අධිකය.

එසේ හෙයින්, 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම එම වසරේ අගෝස්තුවේ පැවති මහ මැතිවරණයේදීත් පක්ෂ දෙක විසින්ම පොරොන්දු වූ පරිදි, අලූත් ව්‍යවස්ථාවක් තුළ දෙමළ ජාතික ප‍්‍රශ්නයට තිරසාර විසඳුමක් සපයා දීම සම්බන්ධයෙන්, මොළේ කළඳක් ඇති කිසිවෙකු විරුද්ධ විය යුතු නැත. මේ රටේ ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව සංඛ්‍යාත්මක වශයෙන් අඩු වුවත් ඔවුන්ද මෙරට ස්වෛරී ප‍්‍රජාවේම කොටසක් බව අමතක නොකළ යුතුය. ඔවුන් තමන් සඳහා විශේෂ වරප‍්‍රසාදයක් හෝ පරිත්‍යාගයක් ඉල්ලා සිටින්නේ නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ, තමන්ගෙන් අහිමි කළ නොහැකි, බලතල බෙදාහදා ගැනීමේ අයිතියයි.

මේ අනුව, ලංකාව මේ මොහොතේ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගනිමින් අලුත් මාර්ගයකට අවතීර්ණ විය යුතුව තිබේ.

වී. තිරුනාවුකරසු (කොළඹ හිටපු නගර සභා මන්ත‍්‍රී)


*2017 ජුලි 18 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ, වී. තිරුනාවුකරසු ලියූ ‘New Constitution: A Dire Need’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.