සාමකාමී එහෙත් පාලකයන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් සිදුකළ සාමකාමී විරෝධතාවයන් මැඩලීම සදහා රාජපක්ෂ ආණ්ඩුව තරම් සාහසිකත්වයක් පෙන්නුම් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය.

රාජපක්ෂ මුග්ධ පාලනය විසින් එම විරෝධයන් මැඩලීම සදහා භාවිතා කල එක් මර්දන උපකරණයක් වූයේ පොලීසිය ලවා අධිකරණ නියෝග ලබා ගැනීමයි. තවත් විටෙක අදාල විරෝධතාවය පවත්වන්නට නියමිත ස්ථානයට වෙනත් පිරිසක් කැදවා විරෝධතා සංවිධානය කිරීමයි. එවිට මුලින් විරෝධතා දක්වන පිරිසට පොලීසිය පවසන්නේ ‘අදාල ස්ථානයේ වෙනත් විරෝධතාවයක් පවත්වන බැවින්, එම ස්ථානයේ අදාළ විරෝධතාවයත් පැවැත් වුවහොත් ගැටුමක් ඇතිවිය හැකි බැවින් එය නොපවත්වන ලෙසය. මේ අකාරයෙන් විවිද උප්පරවැට්ටි යොදා ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී විරෝධතා මර්දනය කිරීමට ගත් උතසහයන් පිළිබද අනේකවාරයක් ලියුම්කරුට අත්දැකීම් තිබේ.

දැන් ‘යහපාලයනත්‘ රාජපක්ෂ ආණ්ඩුවේ විරෝධතා මර්දනය කළ ක්‍රමයන් අත්හදා බලමින් සිටී.

එහි ආසන්න ම උදාහරණය ඊයේ(23) ලිප්ටන් වටරවුම අසලින් ‘යහාපාලන‘ ආණ්ඩුව ලොව හමුවේ තැබුවේ නිර්ලජ්ජිත ලෙසය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ‘සයිටම්‘ විරෝධී විරෝධතාවය ආරම්භ කළේ ‘නොනිදන අරගලය‘ යන තේමාවෙනි.
ඔවුන් රාත්‍රිය පුරාත්, දහවලේත් එම ස්ථානයේ වාඩිලාගෙන සිටියේ ය.

ඔවුන්ගේ එම විරෝධතාවයෙන් මාර්ගය අවහිර වූයේ නැත. පදික වේදිකාව අවහිර වී මහජනයාට පීඩාවක් ගෙන දුන්නේ නැත. රාජ්‍ය දේපලවලට ආලාභානියත් වූයේ නැත.

සත්‍ය ලෙසම කිසිදු නීතිවිරෝධී දෙයක් සිදු වූයේ නැත.

නමුත් හදිසියේම ඊයේ සවස එම ස්ථානයට කඩා වැදුනු පොලීසිය අධිකරණ නියෝගයක් කියවාගෙන ගියේ ය. එහි වූයේ මහජන පීඩාවක් ඇති වන හෙයින් සහ…………….ව තවත් බෙහෝ දේ ඔවුන් කියවාගෙන ගියේ. අවසන ඉන් කියවුනේ විරෝධතාවය නීතිවිරෝධි බැවින් ඉන් වහාම ඉවත්වන ලෙසය.

මෙය අමුවෙන්ම රාජපක්ෂලා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම සදහා භාවිතා කළ අශිලාචාර ක්‍රමයකි.

මිනිසුන් ‘බබාලා‘ නොවේ.

අධිකරණ නියෝගයක් ගනු ලබන්නේ පොලීසිය විසිනි. පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වු පසු එහි වපසරිය සලකා බලා අධිකරණය ඒ පිළිබද තීරණයක් දෙනු ලබයි. මේ සිදු වූයේත් එවැනි දෙයකි.

සත්‍ය ලෙසම පොලීසියේ නිර්වචනය මෙය නීතිවිරෝධී බවය. සත්‍ය එය ද නොවේ. එය පොලීසියේ නිර්වචනය ද නොවේ ‘යහපාලන‘ ආණ්ඩුවේ නිර්වචනයි.

සාමකාමී වුවත් අදාල විරෝධතාවයට හේතුව ආණ්ඩුවට ඇගට අල්ලන්නේ නැති නිසා පොලීසිය දමා අධිකරණ නියෝගයක් ගෙන ‘ඔන්න අපි නීත්‍යානූකූලව තමයි මේවා කරන්නේ‘ වැනි බයිලාවක් ගසයි.

මෙවැනි ‘බයිලා‘ සිට මිනිසුන් ඝාතනය කිරීමේ තැනට පවා තල්ලු වුනු රාජපක්ෂ රෙජීමයේ කෙරුවාව අපට අමතක නැත.

එම නිසා ‘යහපාලන‘ආණ්ඩුව සාමකාමී විරෝධතාවයන් පිළිතුරු දෙන්නේ මෙවැනි නින්දිත ලෙස ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස නම් ‘රාජපක්ෂලාට‘ අත් වුනු ඉරණම ම ‘යහපාලනයට‘ත් අත්විදීමට සිදු නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?

නමුත් යහපාලනයට අමතක වෙමින් යන්නේ තමන් බලයට පත් වූයේ මෙවැනි ලෙස මිනිසුන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට කෛරාටික උත්සහයන් ගැනීමට නොවන බවයි.

අනෙක නම් විරුද්ධ මත දේශාපාලනිකව ඉවසීමටත්, ඒවාට ශීලාචාර දේශපාලන තත්ත්වයක සිට පිළිතුරු සෙවීමට ත් ‘යහපාලනයද‘ අපොහොසත් වී ඇති බව පසුගිය මාස කිහිපය තුළ සිදුකල දේවල්වලින් මනාවට ඔප්පු වෙමින් තිබේ.

අවසානයට කිව යුතු වන්නේ ලංකාවේ පුරවැසියන් ‘බබාලා‘ නොවන බවය.