[පසුගිය මස(ජූලි) කොළඹදී පැවැති 2017 ජාතික චිත‍්‍ර හා මූර්ති උළෙලෙහිදී, ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙකු, ගුරුවරයෙකු හා ජාතික මුද්දර 9ක නිර්මාණකරුවෙකු වන අසායි රාසයියා (70), ජීවිත කාලය පුරාවටම එක් වතාවක් පමණක් ලැබෙන්නා වු සම්මානයකින් (තවත් ප‍්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකුත් සමඟින්) පිදුම් ලැබුවේය.]

මේ අසායි රාසයියා ගැන සම්පූර්ණ නොවූ සටහනකි

මට රාසයියා මහතා හමුවුයේ 2010දී යාපනයේදීය. මෘදු කථනයකින් යුතු, මෘදු මිනිසෙකු වන ඔහුට, 1983 කෝලහාලයන්හි සෘජු වින්දිතයෙකු ලෙස, මානව වර්ගයාගේ නරකම තත්ත්වයන් දැක බලාගෙන, විඳ දරා සිටීමට සිදු විය. මේ සියල්ල එසේ තිබියදීත්, ඔහු මගේ ජීවිතයේ මුණගැසුණු ඒ පිළිබඳව අවම වශයෙන් අප‍්‍රසන්න හා කෝපසහගත හැඟීමෙන් සිටින්නා වු අයෙකි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ චිත‍්‍ර ගුරුවරයෙකු ලෙස ගත කළ කාලය, ඔහුගේ සිංහල ඉඩම් හිමියා සහ බිරිඳ, රාජකීය විද්‍යාලයේ සිංහල විදුහල්පති සහ බොහොමයක් වු ඔහුගේ සිංහල සඟයින් හා සහෝදර කලාකරුවන් ආදරයෙන් සිහිපත් කරයි. මම ඔවුන්ගේ ජනවාර්ගිකත්වය විශේෂයෙන් සඳහන් කරන්නේ, ඔහුගේ කථාන්දර ඔහු කියන්නේ ඒ ආකාරයෙන් නිසාවෙනි. ඔව්, ඔහු කළු ජූලියේ සෘජු වින්දිතයෙක් විය. ඔව්, ඔවුහු සිංහල බහුතර ආණ්ඩුවෙහි ආශීර්වාදය සහිතව, සිංහල මැර කණ්ඩායම් විසින් නායකත්වය දෙනු ලැබු අය වුහ. එහෙත්, එදා සිටම ඒ කිසිවක් කිසිදු ආකාරයකින් ඔහුගේ කථාවන්ට හෝ අන්තර් කි‍්‍රයාකාරිත්වයන්ට බලපෑවේ නැත. ඔහුගේ භයානක ජීවිත අත්දැකීම් සහ ඔහුට සිදුවු අසාධාරණයන්, ඔහුව නිරූපනය කිරීමට හෝ ඔහුගේ ජීවිතය ගත කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට හෝ ඉඩ නොදීම පිළිබඳව ඔහුගේ විස්මිත හැකියාව, මා දිනපතාම මවිතයට පත් කරවන්නකි.

’83 කැරලි කෝලාහල ඇතිවන අවස්ථාවේ රාසයියා මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සේවය කළේය. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පිහිටුවා තිබු තාවකාලික අවතැන්වූවන්ගේ කඳවුරේ දහස් ගණනක් වු තවත් දමිළ ජාතිකයින්ට එක්වී, ඔවුහු සියලූ දෙනා නැව් මඟින් යාපනයට යවනතුරුම එහි රැඳී සිටියේය. ඔහුට පවුලේ අය සමඟ සම්බන්ධවීමට නොහැකි වූ නිසා, ඔහුගේ මුළු පවුලම ඔහු මියගොස් ඇතැයි සිතූහ. ඔහු එනතෙක් දින 14ක් තිස්සේ නින්දක් නැතිව බලා සිටි ඔහුගේ මව, ඔහු නිවසට ඒමට එක් දිනකට පෙර කනස්සල්ලෙන් හා වෙහෙස මහන්සිය නිසාවෙන් මිය ගියාය. ඇයගේ මරණයෙන් ඔහු යළි කිසිදා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්නොවු අතර, චිත‍්‍ර ඉගැන්වීම සඳහා නැවත කිසිදා කොළඹට පැමිණියේද නැත.

කැරලි කෝලාහලවලට පසුව, ’83 කෝලාහලයන්ගෙන් විපතට පත්වූ සියලූම රජයේ සේවකයන්ට නිසි විශ‍්‍රාම වැටුප් ආදිය සහිතව, කලින් විශ‍්‍රාම ගැනීමේ හිමිකමක් රජය විසින් විශේෂ චක‍්‍රලේඛණයක් හරහා ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් විඳදරා ගනිමින් තිබු දැඩි කම්පනය හා වේදනාව හේතුවෙන්, මෙම චක‍්‍රලේඛණයට අනුව කලින් විශ‍්‍රාම ගැනීම සඳහා අයදුම් කිරීමට ඔහු තීරණය කළේය. එතැන් සිට අද දක්වා, බහුතරයක් රජයේ ලිපි ලේඛණ සිංහලෙන් එවීම නිසාවෙන් ඔහු අසීමිත ලෙස රස්තියාදු වී ඇත. (එනම් ඒවා ඔහුට පරිවර්තනය කිරීමට සිංහල භාෂාව කියවීමට හැකි පුද්ගලයන් නිරන්තරයෙන්ම සොයා ගැනීමට ඔහුට සිදුවිය.) වසර ගණනාවක් තිස්සේ ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන පෙත්සම් කමිටුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පරිපාලන කටයුතු සඳහා පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්), ජනාධිපති ලේකම් කාර්යාලය, විවිධ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළුව, විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු ගණනාවකට ලිපි ලේඛණ සහ පෙත්සම් සිය ගණනක් යවනු ලැබුවද, කිසිදු ප‍්‍රතිඵලයක් නොමැත. සියලූම හිඟ මුදල් හා පසුගිය දශක 3ට අධික කාලයක් පුරා ඔහුගේ නඩු කටයුතු වෙනුවෙන් සිදු කරන ලද වියදම් (වියදම පමණක් අවම වශයෙන් රුපියල් මිලියනයක් පමණ) ඇතුළුව, බොහෝ කාලයක් ප‍්‍රමාදවී ඇති ඔහුගේ විශ‍්‍රාම වැටුප සකස්කර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප‍්‍රකාශ කරමින්, ඔම්බුඞ්ස්මන් (2001දී) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (2012දී සහ 2017දී) යන ආයතන දෙකම, අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අදාල බලධාරීන්ට ප‍්‍රබල නිර්දේශ ඉදිරිපත් කර ඇත.

වර්තමානයේදී ඔහු බෙල්ල ප‍්‍රදේශයෙහි ආතරයිටිස් තත්ත්වයක්, අධික රුධිර පීඩනය, පුරස්ථිනය විශාල වීම, අත් හා පාදවල හිරිවැටීම් (දිගු වේලාවක් සිටගෙන සිටීමට නොහැකිවීම) සහ බරපතල රූමැටික් ප‍්‍රදාහය ඇතුළු රෝග තත්ත්වයන් ගණනාවකින්ද පීඩා විඳින්නේය. මෙයින් පැහැදිලි වන්නේ ඔහුට තවදුරටත් චිත‍්‍ර ඇඳීමට නොහැකි බවයි. ඒ නිසා ඔහු වසර ගණනාවක් තිස්සේ කරන ලද කුඩා ඉතිරි කිරීම්වලින් වියදම් කරන්නට සිදුවී ඇත. තම විශ‍්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ ඉතිරි කිරීම් බොහෝමයක් වියදම් කළ හෙයින්, ඔහු දැන් ඔහු සහ පවුලේ අය ජීවත් කරවීම සඳහා අරගල කරමින් සිටියි.

රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සුඛෝපභෝගී වාහන, නිවාස මෙන්ම, අතිශය වියදම් සහිත විදේශ චාරිකා පවා අමාත්‍යවරුන්ට සපයන කාල වකවානුවකදී, සිය රටෙහි කලාව හා සංස්කෘතියට මෙතරම් වැදගත් දායකත්වයක් දක්වා ඇති රාසයියා මහතා වැනි ජාතික වස්තුවකට, ඔහුගේ නීත්‍යානුකූල හිමිකම් ලබා ගැනීමට දශක තුනකට වැඩි කාලයක් බලා සිටීමට සිදු කිරීම පිළිකුල් සහගත නොවන්නේද?

මෙම ලිපිය මුලින්ම පළ වූයේ ඉංග්‍රීසි බසිනි. එම ඉංග්‍රීසි ලිපිය සදහා පිවිසෙන්න

මරීසා ද සිල්වා | Marisa De Silva