යාපනය” කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ(5) දින සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී දියතම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කෝප්පායි පොලිසියේ රඳවා තබා ඇත.

පසුව අත්අඩංගුවට පත්වූ තරුණයන්ගේ දෙමව්පියන් කෝප්පායි පොලිසියට ගොස් එම තරුණයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඔවුන්ව තමන් වෙත භාර දෙන්නැයි ඉල්ලා සිටි නමුත්, ‘ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය බැවින් ඔවුන්ගේ අනුමැතියකින් තොරව තරුණයන්ව නිදහස් කිරීමට නොහැකි‘ බව පොලිසිය පවසා සිටි බවට දෙමව්පියන් පවසන බව ග්ලෝබල් ටැමිල් පුවත් සේවය වාර්තා කරයි.

නීතිය නැමීම

නීති විරෝධී ලෙස හැසිරෙන, නීතිවීරෝධී ක්‍රියාවන් සිදුකරන සහ එවැනි ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුරවැසියෙක් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන එකම ආයතනය ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි.

නීතිය ක්‍රියාත්මක කිරීම යන්නෙන් හදුන්වන්නේ ඔවුන් විසින් එසේ නීතිය උල්ලංඝනය කරනු ලබන අයව අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමය. එසේ නැතිව පොලීසියට දඩුවම් කිරීමේ හෙවත් දණ්ඩන බලයක් නැත.

නමුත් එදත් අදත් පොලීසිය හැසිරෙන්නේ එසේ නොවේ. සිය දේශපාලන, වාර්ගික, පුද්ගලික වැනි සේම හිතෙන හිතෙන ලෙස ක්‍රියාකරන පොලීසියක් ලංකාව තුළ තවමත් ක්‍රියාත්මක වෙයි. එය ‘යහපාලනය‘ යැයි කියන ආණ්ඩුව පැමිණියාට වෙනස් වී නැත. වෙනස් වන හෝ වෙනස් කිරීමට සූදානම් වන කිසිදු සේයාවක් දක්නට නැති වුවත් පූජිත ගේ නියෝගයෙන් භාවනා කරනු ලබන බව නම් පමණක් අසන්නට ලැබිණි.!

මේ සිදුවීමේ දී ද පෙනෙන්නේ උතුරේදී තවමත් පොලීසිය හැසිරෙන තුච්ච ආකාරයයි. නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ කාර්ය බලකායෙන් අවසර ගැනීමක් සදහන් වෙන්නේ කොහේද? පොලිස්පති, පොලිස් ඇමති උත්තර දිය යුතු ප්‍රශ්ණය එයයි!

උතුරේ දී මෙය අද පමණක් සිදු වූවක් නොවේ.

යුද්ධයෙන් පසුව උතුරේදී පොලීසියේ හැසිරීම හැමවිටම යුද මානසික තත්ත්වය මත පිහිටා බවත් කිසිදු ආකාරයකින් සංහිදියාව, සංක්‍රාන්ති යුක්තිය වැනි දේවල් දකුණේදී කතා කළත් උතුරේ සිවිල් පාලනය තවමත් පවතින්නේ දුප්පත්, අගතිකාමී තත්ත්වයක බව පසුගිය බොහොමයක් දේවල් වලින් පෙන්නුම් කරමින් තිබේ.

නමුත් ‘යහපාලන‘ නම් කියන ආණ්ඩුවට ඡන්දය දී උතුරේ මිනිසා බලාපොරොත්තු වූයේ මෙය නොවන බව දැන් යහපාලනයටත් වැඩක් ඇති දෙයක් නොවන බව මෙයින් සනාථ නොවන්නේද?

‘මානව හිමිකම් සංවිධාන කෝ? යහපාලනය කෝ? ඇයි තවමත් අපිව පීඩාවට පත් කරන්නේ? කෝ දකුණේ දී පුවත්පත් නිවේදන නිකුත් කරන මානව හිමිකම් සංවිධාන? යනුවෙන් උතුරේ සමාජ ක්‍රියාකාරිකයෙක් පවසා සිටියේ ආණ්ඩුව ගැන ඇති විවේචනයකට වඩා ලංකාවේ සිවිල් සංවිධානවල ධ්‍රවීකරණය පිළිබද ඇති දැඩි කණගාටුවකින්ය.

පූජිත තව තවත් භාවනා කරන්න!

සාගල ‘බබා‘ කතා කියන්න!