Image:Vikalpa[2017]

‘ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී මේ වසරේ, එනම් 2017 අගෝස්තුවට වසර 150ක් සපිරෙනු ඇති. 1867 දී ජේම්ස් ටේලර් විසින් 1867 දී මහනුවර ‘ලූල්කදුර‘ වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ තේ කර්මාන්තයේ උපත සිදු විය.

ලූල්කඳුර හි මුල් තේ වගාව අක්කර 19 ක් විය. 1872 දී ටේලර් ‘ලූල්කඳුර‘ වතුයායේ සම්පූර්ණයෙන්ම සකසන ලද තේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය අතර, එම අවුරුද්දේ ‘ලූල්කඳුර තේ‘(Loolecondra Tea) විකිණීම ප්‍රථමවරට මහනුවරදී සිදු කරන ලදී. ඉන්පසු 1873 දී ලංකා තේ කිලෝග්‍රෑම් 10ක් ලන්ඩන් වෙත යවනු ලැබීය. එය ලංකාවෙන් විදේශයකට යවනු ලැබූ පළමු ‘ලංකා තේ‘ (Ceylon Tea) තොගය ලෙස ඉතිහාසයේ සළකුනු විය.

පසුව ආතර් කොනන් ඩොයිල් නම් බ්‍රිතාන්‍ය ජාතික ඉහළපරිපාලන නිළධාරියා තේ තේ වගාව ස්ථාපිත කිරීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසූ බව වාර්තාවල සදහන් වෙයි. “…the tea fields of Ceylon are as true a monument to courage as is the lion at Waterloo”.

ඒ සියල්ල සිදුවුනේ මහනුවර ආශ්‍රිතව වසර 150කට පෙරය.

2017 මුල් කාර්තුවේදී පමණක් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල තේ කිලෝග්‍රෑම් 8103796ක් නිශ්පාදනය කර ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි. එසේම සමස්ථ ලංකාවේ නිශ්පාදනය 66556328ක් බව එම වාර්තාව වැඩිදුරටත් පවසයි.(All Report here)

නමුත් එපමණ නිශ්පාදනයක් වර්තමානයේද සිදුකරමින්, තේ වගාවට සිය ලේ, දහඩිය, කදුලින් දායකත්වය දැක්වන වතු දෙමළ(මලෛග තමිල්) මිනිසුන්, ගැහැණුන් ගේ ජීවිතය යහපත් වෙලාද? දියුණු වෙලාද?

නැත!

තවමත් ඔවුන්ට නිවසක් නැත. සේවයට සරිලන වැටුපක් නැත. පෝෂ්‍යදායී ආහාර වේලක් සදහා පහසුකම් නැත. ඉක්මනින් ළගා විය හැකි රෝහල් නැත. අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව නැත.

එපමණක් නොවේ ලංකාවේ අනෙක් මිනිසුන්ට සාපේක්ෂව බහුතරයක් මිනිසුන්ට ලිපිනයක් ද නැත. අනෙක් මිනිසුන් ලබන බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට ලැබෙන්නේ නැත.

ඇත්තටම ඔවුන්ට ‘ජීවිතයක්‘ ‘ගෞරවයක්‘ හිමිකර දීමට මේ වසර 150 තුළ කිසිදු පාලනයක් හෝ කිසිදු වතුසමාගමක් සාධනීය අයුරින් මැදිහිත් වී නැත.

මේ එයට එක් උදාහරණයක් පමණි.

මේ එදා මහනුවරින් ඇරඹි විසල් කර්මාන්තය තුළ මහනුවරට කිලෝමීටර 25ක් ආසන්නයේ මාතලේ නගරයට ආසන්න, ඇල්කඩුව වතු සමාගමට අයත්, රත්වත්ත වතුයායේ මිනිසුන් ගේ ඛේදවාකයයි. අවම වශයෙන් ඔවුන්ගේ ආසන්නම ගම්වල මිනිසුන්ට සුවපහසුවෙන් ගමන් බිමන් යාමට මාර්ගයක් ලැබෙන විට ඒ අයිතිය වත්තේ මිනිසුන්ට අහිමි කරන ‘සංවර්ධනයක‘ ඔවුන් ගිල්වා ඇත. එකම රටක, ඒ රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන වතුකරයේ මිනිසුන්ගේ ‘සංවර්ධන අයිතිය‘ ඔවුන්ට අහිමිකරන්නේ මෙළෙසය.

වසර 150කට පසුවත් ‘වෙනස්කොට සැලකීමේ‘ මහා ඛේදවාචකයට ඔවුන් බිලි දෙමින් ඇත්තේ එළෙසය.

බලන්න පහත වීඩියෝව, ඒ ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණි.

ඉතින් අපි තේවල රස තොලගාමින්, ඒ තේ දල්ලට ජීවය දෙන මිනිසුන්ගේ ‘ජීවිතය‘ අමතක කර වසර 150 උත්කර්ෂවත් ලෙස කොළඹදී සමරමු ද? එසේත් නැතිනම් වසර 150 දී වත්, තේ නිශ්පාදනයට තම ජීවිතයම කැපකරමින් සිටින මිනිසුන්ගේ ‘ජීවිතය‘, ඔවුන්ගේ අයිතිවාසිකම් සමග ඔවුන්ටත් සංවර්ධනයට ඇති අවස්ථා හිමිකර දෙමින්, ගෞරවනීය මිනිසුන්, ගැහැණුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට සමාගම් සහ ආණ්ඩුව මැදිහත් වීම නොවේ ද කළ යුතු වන්නේ?

ඒ ‘ජීවිතය‘ සහ ‘ගෞරවය‘ වෙනුවෙනි….