රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර් මාසයට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා මැතිවරණයන්ද දෙවසරකින් කල් දැමීමටය.

පළාත් පාලන මැතිවරණ මෙම දෙසැම්බරයේදී පැවැත්වෙන බවට ආරංචි ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත වචනයක් දී නැත. ආණ්ඩුව මේ වන විට අවස්ථා ගණනාවකදීම පළාත් පාලන ජන්දය පවත්වන බවට දෙන ලද දින වකවානු කල් දමා තිබේ.

මැතිවරණ කල් දැමීම යනු ආණ්ඩුවක සොහොන් ළකුණූ පහළ වීමය. ඊට හොඳම උදාහරණය නම් ස්වකීය ‘සමාජවාදී‘ පාලනය දීර්ඝ කර ගැනීම පිණිස 1975 සිට 1977 දක්වා දෙවසරකින් පාර්ලිමේන්තුවෙහි කාලය දික්කර ගත් සිරිමා බණ්ඩරනායකගේ ආණ්ඩුවට අත් වූ ඉතිහාසගත පරාජයයි.

මැතිවරණ යනු රටක ජනතාවට රටෙහි පාලනය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට ලැබෙන ප්‍රධානතම අවස්ථාවය. එය පැහැර ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් කෙළෙසීමයි. මෙරට යළි ‍ප්‍රජාතන්ත්‍රවාදයේ මාවතට ගැනීමේ පොරොන්දුව පිට බලයට පැමිණි රනිල් – සිරිසේන ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ තීරණාත්මක හැරවුම් ලක්ෂණයක් බවට පත්වීමට මෙළෙස මැතිවරණ කල්දැමීමට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නම් සීමා නිර්ණ ගැටළු නොතිබූ සියයකට අධික පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට ඉඩ තිබුණි. එසේ නමුත් ආණ්ඩුව කළේ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් සහ එකක් හැර එකක් නව සංසෝධන අවශ්‍ය යැයි කියමින් සියලු පළාත් පාලන ආයතන මැතිවරණ කල් දැමීමය.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී විසුරුවා හැරීමට නියමිත පළාත් සභා මැතිවරණ කල් දැමීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන එන ලද යෝජනාව 20වන සංසෝධන කෙටුම්පත ලෙස දැන් ගැසට් කර තිබේ.

මෙම කල් දැමීමට හේතුව ලෙස ඉදිරිපත් කර ඇත්තේ සියලු පළාත් සභා ජන්ද එක දිනයක පැවැත්වීමට ඇති අවශ්‍යතාවයයි. එය හොඳ අදහසකි. එය ආණ්ඩුව ගෙන එන බවට පොරොන්දු වී ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ඉඩ තබා මෙම පළාත් සභා ජන්ද තුන පැවැත්විය යුතුව තිබුණි.

දැන් ඉදිරිපත් කර ඇති සංසෝධනය සම්මත වුවහොත් ඉහත කී පළාත් සභා තුනෙහි කාලය ඉබේම දෙවසරකින්ද උතුරු පළාත් සභාවෙහි කාලය වසරකින්ද වැඩි වී සියලු පළාත් සභා මැතිවරණ 2019 නොවැම්බර් දක්වා කල් යනවා පමණක් නොවේ.

මෙම සංසෝධනයෙහි බලය බෙදීම පිළිබඳ සංකල්පය අහෝසි කැරෙන වගන්තියක් ද තිබේ.

ඉන් කියැවෙන්නේ කුමන හේතුවක් නිසා හෝ නියමිත කාලයට පෙර පළාත් සභාවක් විසුරුවා හැරීමට සිදු වුවහොත් අවසානයට මැතිවරණය පැවැත්වූ පළාත් සභාව විසුරුවා හැරෙන තුරු එම පළාත් සභාවෙහි බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවයි.

උදාහරණයක් වශයෙන් ජන්ද පෙත්සමක් හෝ විශ්වාස භංග යෝජනාවක් නිසා හෝ පළාත් සභාවක පාලන කාලය අහෝසි වුව හොත් එහි බලය පාර්ලිමේන්තුවට පැවැරෙන බවයි. මෙම තත්වය ඇතිවූයේ උතුරු හෝ නැගෙනහිර පළාත් සභාවකට අදාළව නම් ඉන් පසු එම පළාත් සභා පාලනය කැරෙනු ඇත්තේ කොළඹ පාර්ලිමේන්තුව විසිනි.

මෙම 20වන ආණ්ඩුක්‍රම සංසෝධනය සම්මත වී නව ව්‍යවස්ථා සංසෝධනය ඇති නොවුවහොත් මෙකී බලය බෙදීමට අවලංගු කැරෙන නීතිය සදාකාලික වනවා ඇත. නව ව්‍යවස්ථාවක් ඇති වන්නේද නැත්ද යන්න දැන් පවත්නනේ දෙකට දෙවාරනයේය.

මෙම සංසෝධනය පිළිබඳ පැවැති සාකච්ජාවන්හිදී ආණ්ඩුවට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ ඊට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම වර්ධනය සම්බන්ධයෙන් වඩාම ප්‍රසාදයට පත්ව සිටින්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයයි. තමන් මෙම සංසෝධනයට විරුද්ධව ශේෂ්ඨාධිකරණය හමුවට යන බව දැනටමත් රාජපක්ෂ පාර්ශවය ප්‍රකාශ කර තිබේ.

එසේ නමුත් 1998 වසරෙහි පළාත් සභා තුනක මැතිවරණ කල දමන ලද්දේ රාජපක්ෂ මහතාද ඇමැතිවරයකු වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසිනි.

1998 ජූනි මාසයේදී මධ්‍යම, ඌව, බටහිර සහ සබරගමුව යන පළාත් සභාවන්හි ධූර කාලය අවසන් විය. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජූලි 05වන දින නාමයෝජනා සඳහා දින නියම කළේය. මැතිවරණය සඳහා අගොස්තු 28 දිනය නියම කෙරැණි. ජනාපතිනි කුමාරතුංග අගොස්තු 04වන දින හදිසි නීති රෙගුලාසි භාවිත කරමින් එම ජන්ද විමසීම් දින නියමයක් නොමැතිව කළ දමන ලදී. මැතිවරණ පැවැත්වුව හොත් තමන් පරාජය වනු ඇතැයි කුමාරතුංග බියවිය.

මෙම නියෝගයට එරෙහිව එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ව සිටි වරුණ කරුණාතිලක සහ මා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි පෙත්සමක් ගොනු කළෙමු. කුමාරතුංගගේ නියෝගය අවලංඟු කරමින් තීන්දුව දුන් ශ්‍රෙිෂ්ඨාධිකරණය කියා සිිටියේ පුළුල් අර්ථයෙන් ප්‍රකාශනයේ නිදහසට ජන්දය දීමේ අයිතිය ද ඇතුළත් වන බවයි. අද ආණ්ඩුවට පළාත් සභා ජන්ද කල් දැමීමට ව්‍යවස්ථා සංසෝධනයක් ගෙන ඒමට සිදුව ඇති එම ශ්‍රේෂ්ඨාධිකරන නඩු තීන්දුව නොපිට පෙරළනු පිනිසය. මේ අතින් නම් රනිල් වික්‍රමසිංහ යනු ජේ. ආර්. ජයවර්ධනගේ නියම ගෝලයෙකි.

එකළ මහින්ද රාජපක්ෂ මහතාද පෙනී සිටියේ පළාත් සභා මැතිවරණ දේශපාලන උවමනාව උඩ කල් දැමීම වෙනුවෙනි. අනතුරුව 1999 පෙබරවාරියේදී සිදුකළ කුප්‍රසිද්ධ වයඹ පළාත් සභා මැතිවරණ මංකොල්ලය ඇයගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයේ හැරවම් ලක්ෂයක් බවට පත් විය. එම මැතිවරණ කොල්ලයේහිදී මහින්ද රාජපක්ෂ මහතා මැර කල්ලියක් සමඟ මැතිවරණ දිනයෙහි පුත්තලම ජන්ද ව්‍යාපාරයේ යෙදෙන ජායාරූපයක් කුප්‍රසිද්ධියට පත්විය. ඔහු පමණක් නොව මෙම ආණ්ඩුවේ ඇමැතිකම් දරන බොහෝ අය කුප්‍රසිද්ධ වයඹ මැතිවරණ කොල්ලයේ සූරයන්ය.

වන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන ව්‍යාපෘතියේ සුජාතබව අහෝසි වී යෑමට එළෙස මැතිවරණ කල්දැමීම සහ ජන්ද මංකොල්ල බලපෑවේය. ඇය විසින් ඉදිරිපත් කරන ලද 2000 ව්‍යවස්ථා කෙටුම්පත පරාජය වූයේ ද ඒ වන විට ඇය දේශපාලන වශයෙන් විශ්වාස කළ නොහැකි වරිතයක් බවට පත්ව සිටි නිසාය.

වත්මන් ආණ්ඩුවට මහා ජනයාගේ කැමැත්තෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අවශ්‍ය නම් දෙන ලද යහ පාලන පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය බවට දැන් පොදු දේශපාලන පිළිගැනීමක් ඇතිව තිබේ. පළාත් සභා තුනක මැතිවරණයන්ට මුහුණදීමට බිය වන ආණ්ඩුවක් නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යනු ඇතැයි සිතිය හැක්කේ කාටද?

එබැවින් මේ වනාහී රනිල් – මෛත්‍රී ආණ්ඩුවෙහි ගමන් මඟ තීරණාත්මක ලෙස ආපස්සට යවන පියවරක් ලෙස හැදින්වීමේ වරදක් නැත.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya