ලෝක සිරකරු දිනය වෙනුවෙන් ඊයේ(12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. එතනට පැමිණියේ කුඩා පිරිසක් වුවද වර්තමාන තත්ත්වය තුළ එය ඉතා වැදගත් මෙන්ම පුරවැසි ක්‍රියාවළියක්. එහි දී ඉල්ලීම් සහ බලපෑම් ගණනාවක් තිබුණ ද ඉන් ප්‍රධාන වූයේ බන්ධනාගාර පනතේ සදහන් අයිතිවාසිකම්වත් රැදවියන්ට ලබා දිය යුතු බවත්, විශේෂයෙන් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ලැයිස්තුවක් අනුව තෝරාගෙන ඝාතනය කරමින් සිදුකල සංහාරයට
වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණ විමට ‘යහපාලනයට’ නැවතත් බලකිරීමය.

කෙසේ නමුත් වැඩසටහන පවත්වන අතරතුර රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ද එතනට පැමිණියේ ය. විරෝධතාවය යන අතර තුරම මාධ්‍ය සංදර්ශනය ද ආරම්භ විය. එතනට පැමිණ සිටි සියලු කැමරා ශිල්පීන්ට අදාළ මුඛ්‍ය අරමුණ අමතක වූවා
වැනි සේයකි. එකවරම රංජන් රාමණායක ඇමතිවරයා වටේ ගොනු විය.(එය ඇමතිවරයාගේ ප්‍රශ්ණයක් නොව ලංකාවේ මාධ්‍ය හි ඇති දෘෂ්ඨිවාදී අවුලකි)


රංජන් ඇමතිවරයාද සිය අභිනයන් මනා ලෙස භාවිතා කරමින් සිල් රෙදි හොරුන්ට සුරසැප දීම ප්‍රශ්ණ කලේය. සිල් රෙදි හොරුන් ගේ දඩමුදල් හොයන් නේ ‘BMW’සංඝයා බවත්, ඔවුන් සියලු දෙනා හොරු රකින් බවත් ආදී ලෙස සිය සුපුරුදු වාග් සංග්‍රාමය කර ගෙන ගියේ ය. ඒවා හොද ප්‍රකාශණයන්ය. ගුවන්විදුලි, රූපවාහිණී මාධ්‍යන්ට ඕනෑ තැනකින් කපා කොට විකිණිය හැකි ප්‍රවෘත්තිය. අනෙක යහපාලනයේ ම ඇමතිවරයෙක් එසේ කීමද හොදය.

එය එසේම විය. නමුත් එම විරෝධතාවයට එතනට පැමිණි බොහෝ දෙනෙක් ගේ මුඛ්‍ය ඉල්ලීම/බලපෑම වූයේ වැලිකඩ සංහාරයට යුක්තිය ඉටු කරවා ගැනීමට බලකිරීමයි.

නමුත් රංජන් ඇමතිවරයා එම ප්‍රධාන ප්‍රශ්ණය වේදිකාවෙන් මතුවීම වැලක්වූවාද? සුදු රෙද්දෙන් එය වැසුවාද? ආදී බොහෝ මතුවීම් මෙහිදී මතු කිරීම වැදගත්ය. එය එසේ වන්නේ වර්තමානය වන විට ආණ්ඩුවට බලපෑම්කරන පුරවැසි ක්‍රියාවලීන්ට යහපාලනයේම ඇමතිවරුන් පැමිණ ඔවුන් සමග එක්වී පුරවැසි සටන් පාඨ ඔවුන්ට ම කියා ගැනීමේ විලාසිතාවක් ආරම්භ වී ඇත. එවිට වගකිවයුත්තන් සහ බලපෑම්කරුවන් සිටින්නේ එකම වේදිකාවේය. එතනින් කා බී, සිනා සි සිසි සභාතමෝ සතුටින් විසිර යති. අනෙක ජල ප්‍රහාරද, බැටන් පොලු ගුටිද, පොලිස් තගද එන්නේ නැත. ඇත්තේ සංදර්ශණයකි. වැඩේ එතනින් අවසන්ය. එය ඉතා භයානක විලාසිතාවකි.

එබැවින් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිරකරු දිනයේදී කොඩි පළදගන්නා විට, එහිම ඇමතිවරයෙක් වන රංජන් රාමණායක් සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වන විරෝධතාවයකට පැමිණීම වැදගත් ය, එසේම පැමිණ යම් සාධාරණ ප්‍රශ්නයකට මැදිහත්වීමද වැදගත් වන්නකි. නමුත් ඇමතිවරයාගේ කාර්ය එතැනින් එපිට ගිය ප්‍රමුඛ කාර්යයකි. එනම් පාර්ලිමේන්තුව තුළ ගැටලුවලට ප්‍රතිපත්ථිමය තීන්දු ගැනීමට බලකිරීමය. ජනතාව ඔවුන් පාර්ලිමේන්තුවට යවන්නේ ඒ සදහාය.එම කාර්යය ඇමතිවරයෙක්ට වඩා ප්‍රමුඛ බව තේරුම් ගැනීමත් ඉතා වැදගත්ය.

නමුත්, දැන් මේ ගැටලුවේදී රංජන් රාමණායක නියෝජ්‍ය ඇමතිවරයා වීදියට පැමිණ ප්‍රශ්ණයේ බලපෑම්කරණයේ කොටස්කාරයෙක් වන්නට උත්සහා කිරීම නිසා ඔබේ පැත්තෙන් මේ අභියෝග 2ක බාර ගන්න.

1. මීට වසර 2කකට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බාරදුන් වැලිකඩ සංහාරය පිළිබද කොමිෂන් සභාවේ වාර්තාව ලබා ගෙන ප්‍රසිද්ධ කරන්න.

2. 2012 වැලිකඩ සංහාරයට යුක්තිය ඉටුනොවීම සහ අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටීම පිළිබද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර ප්‍රතිපත්තිමය තීන්දුවක් ජනතාවට ඉදිරිපත් කරන්න.

අවම තරමින් මේ අභියෝග දෙක ඉටු නොකර නැවතත් වැලිකඩ පවත්වන එවැනි විරෝධතාවයන් වලට පැමිණ සිය සායම සෝදා නොගන්න. එය එසේ කියනු ලබන්නේ ඇතැම් අවස්ථාවල ඔබගේ ප්‍රකාශයන් වල යම් වැදගත්කමක් ඇති බැවිනි. එබැවින් හැකිනම් මේ අභියෝගය එළබෙන එවැනි විරෝධතාවයකට පෙර ඉෂ්ඨ කරන්න. එවිට ඊයේ(12) ඔබ කල සමහර අදහස් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් පිළිගනීවී.

නැතිනම් ඔබත්, මේ පිළිබද සිදුකරන ඔබේ ප්‍රකාශත් ඉතිහාසයේ කුණු බක්කියේම නතර වේවි.