Image BY: AdaDerana

යුක්තිය ගරු කරන බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති කරදරකාරීම බාධාව නම් පටු දේශපාලනික බළල් අත් බවට පත් වූ ඊනියා චීවරධාරීන් බව අද, ඊයේ.. සිට දැනෙන යථාර්ථයක් නොවේ. මේ අය බොහෝ විට සිදු කරන දෙයක් වන්නේ බුද්ධ චීවරය ප්‍රදර්ශනය කරමින් ඊට මුවා වී සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් බොරුව පතුරුවා හැරීමයි.

නීතියේ ආධිපත්‍යය පවා හෑල්ලු කළ හැකි තත්ත්වයට වාර්ගික(අබෞද්ධකම) ඔඩුදුවා ඇති සන්දර්භයක් තුළ තමන්ගේ පහත් අරමුණු වෙනුවෙන් අවශ්‍ය පුරවැසි එකඟතාව ලබා ගැනීමට එය කදිම උපක්‍රමයක් බව ඔවුන් දනී. විචාරාත්මකව බලන කල ඕනෑම කෙනෙකුට පෙනී යා යුත්තේ මේ සිවුරු හොරුන් නියෝජනය කරන්නේ සහමුලින්ම ‘බෞද්ධ’ යැයි ලෝකයා පොදුවේ පිළිගන්නා හර පද්ධතීන්ට ඉඳුරාම පටහැනි අබෞද්ධ භාවිතයක් බවයි.

කරුණු කාරණා සහිතව ද අධිකරණය විසින් මහජන මුදල් වංචා කිරීමක් ලෙස තීන්දු කරන ලද සිල් රෙදි මංකොල්ලය සම්බන්ධයෙන් තම ස්වාමියා රැක ගනු වස් ඉල්ලංකෑමේ ක්‍රමවේදයට අනුව වරද පටවාගත් දූෂිත නිලධාරීන් දෙදෙනෙකු සිරගත කොට දඩ හා වන්දි නියම කිරීමෙන් අනතුරුව එය ගෙවීම සඳහාද මහජනතාවගේ මුදල් ගසා කෑමේ අරමුණින් ‘පිණ්ඩපාතේ’ වඩින හොර සිවුරුකාරයින් දකින විට ඇත්තටම උපදින්නේ බලවත් ජුගුප්සාවකි. මේ පශ්චාත් මහජන මුදල් ගසාකෑමේ ජාවාරමේ පළමු අදියර අද දිනයේ කොළඹින් ආරම්භ කරන ලද බව දැනගන්නට ලැබේ. මෙය හරියට අපේ ගෙදර මංකොල්ල කෑ හොරෙකු අධිකරණය මගින් දඬුවම් නියම වීමෙන් පසුව අප වෙත වන්දි ගෙවීම සඳහා නැවත වරක් අපේ ගෙදරම මංකොල්ල කෑමට හැම අතින්ම සමාන සිදුවීමකි. අප ජීවත් වන්නේ මේ සා තුච්ඡ දේශයකද?

පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂගේ දූෂිත මැතිවරණ ව්‍යාපාරයට වාසි ලබා ගැනීමේ අරමුණින් දියත් කෙරුණු සිල් රෙදි ජාවාරමේ සුලමුලත්, ඒ සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන රාජපක්ෂගේ කීකරු ගෝලයින් දෙදෙනාට දඬුවම් නියම වූ ඓතිහාසික නඩු තීන්දුවත් ගැන සම්පූර්ණ අදහසක් පිටු 60 කින් සමන්විත ඊට අදාළ නඩු තීන්දුව කියවීමෙන් ඕනෑම කෙනෙකුට ලබාගත හැකිය. දැන් දැන් රාජපක්ෂගේ වහලුන් තැන තැන කියමින් ඇවිදිනවා සේ මෙරට අධිකරණය විසින් බෞද්ධයින් අතර සිල් රෙදි බෙදීමට විරුද්ධව අබමල් රේණුවකින් හෝ බාධාවක් පනවා නැති එය කියවීමේ තේරුම් යා යුතුය.

සාමාන්‍ය සම්ප්‍රදායයට අනුව වෙසක්, පොසොන් වැනි පුණ්‍යෝත්සව පැවැත්වන වකවානු ඉලක්ක කරගෙන එවැනි ක්‍රියා සිදු කෙරුණත් මැතිවරණයක් අත ළඟ තබාගෙන, විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස් පවා මැතිවරණ වාසි තකා ඡන්දදායකයින් වෙත අල්ලස් ලබා දීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබූ පසුබිමක සිල් රෙදි බෙදා දීමකට මේ තරම් කලබලයක් ඇති වුණේ ඇයි දැයි එම නඩු තීන්දුව මගින්ම ප්‍රශ්න කර ඇත. එපමණක්ද නොව, මේ සිල් රෙදි බෙදා දීම හුදෙක්ම හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික ලාභය ඉලක්ක කරගත් අල්ලස් ලබා දීමක් බවද එහි පැහැදිලිවම ගම්‍ය කර ඇත. විදුලි සංදේශ නියාමන කොමිසමේ ආයතනික සමාජ වගකීම්(CSR) වැඩසටහන් සඳහා වෙන්කර තිබූ රු. මිලියන 100 ක මුදල අවසන්ව තිබිය දී පවා තවත් මිලියන 600 ක් මහජන මුදලින් මංකොල්ල කමින් සිදු කරන ලද ජාවාරම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබා දී ඇත්තේ ආවාට ගියාට නොව ඉතා සුපරීක්ෂාකාරීව කරුණු කාරණා සලකා බැලීමෙන්, විශේෂයෙන්ම විත්තිකාරයින්ගේ කෝණයෙන් අදාළ සිද්ධිය විශ්ලේෂණය කිරීමෙන් බව පෙනී යයි. මේ නිසා, මෙම නඩු තීන්දුව අසාධාරණ එකකැයි කියන්නට කිසිදු හේතුවක් නැත (යමෙක් එසේ සිතන්නේ නම් අදාළ නඩු තීන්දුව පරිස්සමට කියවා බැලිය හැකිය).

ලලිත් සහ අනූෂ දෙදෙනා සිදු කළේ පැහැදිලිවම ලොක්කා බේරන්නට ගොස් ඉල්ලං කෑමක් බඳු දෙයකි. නඩු විභාගය අතරවාරයේදී මහින්ද රාජපක්ෂ බේරීමේ අරමුණින් ඔවුන් කරුණු පළ කර ඇති බව තීන්දු වාර්තාවේ කිහිප තැනකම සඳහන් වේ. ඒ අනුව ඔවුන් ගම්‍ය කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මහින්ද මේ සිද්ධියට සකලාර්ථයෙන්ම ‘බබා’ බවයි. කෙසේ වෙතත්, මේ දෙදෙනාට බන්ධනාගාර රෝහල වෙත අදිසි ‘ප්‍රොමෝෂන් එකක්’ ලැබීමෙන් අනතුරුව ඔවුන් නරඹන්නට ගිය හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ ඔවුන්ට මෙම සිල්රෙදි බෙදා දීමට ඔවුන්ට නියම කළේ තමන් බවයි. අධිකරණය විසින් මහජන මුදල් වංචාවක් ලෙස තීන්දු කිරීම සම්බන්ධයෙන්ද ඔහු කියා සිටියේ සිල් රෙදි බෙදා දීමක් හෙයින් මෙය කිසිසේත්ම වරදක් නොවන බවයි. මහින්දට අනුව දැන් අප පිළිගත යුත්තේ අධිකරණ තීන්දුව නොව ඔහුගේ කෙප්ප බව ඔහු සිතන සෙයකි. මේ අතර, තමන්ගේ රුව හෝ වෙනත් කිසිදු දේශපාලනික පණිවුඩයක් එම සිල් රෙදි අසුරනවලට බහාලීමක් සිදු නොකළ බවද ඔහු කියයි. එහෙත්, එවැනි පණිවුඩ ඇතුළත් කළ බවට අධිකරණයේදී කරුණු හෙළිදරවු වී ඇති බවද ඉහත නඩු තීන්දුව කියවීමෙන් ඔප්පු වෙයි. ලලිත් හා අනූෂ දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඇප ඉල්ලීම සලකා බැලෙන මේ මොහොතේදී අදාළ අපරාධයට අණ දුන්නේ තමන් බවට වගකීම භාරගත් මහින්දගෙන්ද ප්‍රශ්න කරන්නට හේතු ඕනෑතරම් ඇත.

සිල්රෙදි මගඩියෙන් පසුව දැන් අප හමුවේ දිග හැරෙන්නේ පිණ්ඩපාත මගඩියයි. නැතිබැරි මිනිස්සුන්ට පිනට යමක් ලබා දීමෙන් මෙලොවත් පරලොවත් දෙලොවම වැඩ සැලසෙන බව ගෞතම බුදුන් දේශනා කර ඇත. එහෙත්, අනුන්ගේ මුදල් හා දේපල මංකොල්ල කමින් සොරකම් කොට දන් දෙන්න යැයි උන්වහන්සේ සඳහන් කළ තැනක් වේ නම් කරුණාකර අපට කියාදෙන්න!

බුදුන්වහන්සේ භික්ෂූන්ට පිණ්ඩපාතේ වඩින්නට නියම කළේද හොරුන්ට කඩේ යාමටවත්, අහිංසක මිනිසුන් මහන්සි වී හරිහම්බ කරන තුට්ටු දෙකට කෙලින්නටවත් නොවන බවද අපි දනිමු. බුදුදහමේ දැක්වෙන්නේ තමන්ගේ කර්ම තමන් විසින්ම දරාගත යුතු බවයි. බුදු දහමට අනුව බැලූ කල ලලිත් හා අනූෂ දෙදෙනා එදා මහින්ද රාජපක්ෂ ඇතුළු හොර කල්ලියට අවශ්‍ය පරිදි මහජනතාවගේ මුදල් හොරකම් කරන්නට උඩගෙඩි නොදුන්නා නම් අද මෙහෙම හිරේ ලගින්නේ නැත.

බුදුදහම සහ වාර්ගිකාගමික(බොරු) බෞද්ධකම යනු එකිනෙකට පරස්පර ප්‍රපංච දෙකක් බව අප දිගින් දිගටම මතු කරන අදහසකි. අප කුඩා කල සිට අසා ඇති බුදුදහම හා වත්මන් සමාජයේ සිටින දේශපාලනික සිවුරුකාරයින් හැසිරෙන ආකාරය අතර ඇති පරස්පරයම ඊට දෙස් දෙයි. බුද්ධාගම යනු හොරකම් සාධාරණීකරණය කළ ආගමක් නොව හොරකම් කිරීමේ ආදීනව පෙන්වා දී එසේ නොකරන ලෙස හොරුන්ටත්, අන් අයටත් අවවාද කළ ආගමකි. එහෙවු පසුබිමක් තුළ නැවත වරක් මහජනතාවගේ මුදල් ගසා කෑමේ අරමුණින් මහපාරේ ඇවිදින බෞද්ධ වේශධාරී මුදලාලිලාගේ ගොදුරු බවට පත් වන්නේ නම් ඛේදයකි.

සෑම ජනවර්ගයකටම එකා මෙන් සහයෝගයෙන් ජීවිත් වීමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ලොකුම බාධාව බවට පත්ව සිටින මේ කරදරකාරයින් මර්ධනය කිරීම පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ වගකීමකි. අන් කිසිවකටත් වඩා පදනම් විරහිත ලෙස විකෘති කර සමාජය නොමග යවන හොරුන් හෙළා දැකීම සැබෑ බෞද්ධ භික්ෂු සමාජයක් වේ නම් එහිද වගකීමක් වන්නේය.

එහෙත්, ඊට පෙර මහපාරේ ඇවිදින බෞද්ධයිනි, පොකට් එක පරිස්සම් කරගන්න!

අශාන් වීරසිංහ | Ashan Weerasinghe