Image by:www.pmdnews.lk

මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්‍රිෆ් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්‍රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා ලැබා ඇති අත්දැකීම් ද විසිතර කරයි. පශ්චාත්- යුද්ධ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් ඇති කළ තුවාල සුවපත් කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ සංක්‍රමණීය යුක්තිය, එහි ප්‍රධාන කුළුණු හතර සමඟින් ක්‍රියාවට නැංවීමයි. මෙම කතාව අප රටෙහි තත්වයන්ට අදාළ කර ගනිමින් කියැවීම මගින් අදට අදාළ වටිනා පාඩම් ගණනාවක් ලබා ගත හැකිය.

පැබ්ලෝ ඩි ග්‍රිෆ්. (සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයන් පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත.)

පළමුවැනුව කිව යුත්තේ සංක්‍රමණීය යුක්ති ක්ෂේත්‍රයෙහි සතුටු වියහැකි බොහෝ ජයග්‍රණයන් ඇති බවයි. මා සංක්‍රමණීය යුක්තිය යන පදය පාවිච්චි කරන්නේ මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුශීය නීතිය දැවැන්ත ලෙස කෙළෙසී ඇති තත්වයන්ගෙන් පසු සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ නිර්-පුනර්වර්තනය ක්‍රියාවට නැගීම යන තේරුමිනි. සතුටු විය හැකි ප්‍රධාන කාරණය නම් ඉතා කෙටි කළක් තුළදී එකී කුළුණු හතර සම්බන්ධයෙන් රාජ්‍යයන්හි වගකීම නිර්වචනය කරන ප්‍රාමාණික රාමුවක් ගොඩ නැගී තිබීමයි. තිස් වසරක කාලයක් තුළදී සංක්‍රමණීය යුක්තිය, මානව හිමිකම් කෙළසීම් සිදුව ඇති රටවල් විසින් ක්‍රියාවට නැගිය යුතු යැයි අපේක්ෂා කැරෙන එක් ප්‍රතිපත්තියක් බවට දැන් පත්ව තිබේ. මෙය නිසැකයෙන්ම ජයග්‍රහණයකි.

අපරාධ යුක්තිය පමණක් ප්‍රමාණවත් නොවේ.

දෙවැනුව සංක්‍රමණීය යුක්තිය විසින් කරන ලද වැදගත් දායකත්වය නම්, යුක්තිය සඳහා වින්දිතයින්ගේ ඉල්ලීම් සපරනු පිනිස අපරාධ යුක්තිය පමණක් ප්‍රමාණවත් නොවේය යන්න පිළිගැනීමයි. එමෙන්ම සත්‍යය, අපරාධ නඩු විභාග, හානිපූර්ණය සහ නිර්-පුනර්වර්ථනය සහතික කිරීම යන අත්‍යවශය සහ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සවිමත් කරන කාණ්ඩ හතරට යුක්තිය යන සංකල්පය බෙදා දැක්වීම යි.

තෙවැනුව සියළුම කලාපයන්හි රටවල් තමන්ට අදාළ සංක්‍රමණීය යුක්ති පියවර ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් වටිනා අත්දැකීම් එක්කරගෙන සිටින බව සදහන් කිරීම ද වැදගත් ය. සමහර කලාපයන්හි දී එය කලින් ආරම්භ වූ අතර විවිධ කලාප අතර කැපී පෙනෙන වෙනස්කම් ද තිබේ. එසේ නමුත් සිය රටට අදාළ සංක්‍රමණිය යුක්ති පියවර ක්‍රියාවට නැගීමේ අත්දැකීම් නොලබන ලද එකද කලාපයක් හෝ අද ලෝකයහි නැත. එම අත්දැකීම්හි විවිධත්වය සහ ඉන් උකහා ගත හැකි පාඩම් ඒ පිළිබඳ කෙරී ඇති අධ්‍යනයන්ට වඩා විශාල යැයි මම විශ්වාස කරමි.

වින්දිතයෝ ද අයිතීන්හි අයිතිකරුවෝය.

සඳහන් කළ යුතු කරුණක් නම් මේ වනාහී වැදගත් ප්‍රගතියක් ලබා ඇති ක්ෂේත්‍රයක් බවයි.

එම ප්‍රගතීන් යම්යම් තත්වයන්ට බැදී අතරම කලින් කී සංක්‍රමණීය යුක්ති කුළුනු හතරට ද අදාළය. විවිධාකාරයෙන් වින්දියින් දෘෂ්‍යමාන කිරීම, කලින් ඔවුන්ට නොතිබූ ස්ථානයක් පොදු අවකාශයෙහි ලබා ගැනීම යනාදිය මෙම ප්‍රගතියට ඇතුළත් වෙයි. මේ වනාහී වින්දිතයින් යනු අයිතීන් හිමි පිරිසක්ය යන අදහස බරපතල ලෙස සැළකිල්ලට ගන්නා සංක්‍රමණීය යුක්තියෙහි මෙන්ම සාර්ථක සමාජ අන්තර්ග්‍රහයන්හි පැති මානයකි.

ස්ත්‍රී- පුරුෂභාවී සංවේදිතාවය සහ අන්තර්ග්‍රහණය.

සියලු ක්ෂෙත්‍රයන්ට අදාළ තවත් ප්‍රගතියක් නම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදිතාවය සහ අන්තර්ග්‍රහණයයි. එසේ වුවද විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීමේ තලයෙහිදී තව බොහෝ දේ කිරීමට ඉතිරිව තිබේ. එසේ නමුත් ස්ත්‍රීන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ ලැදියාවන් ඉටු කිරීමෙහිලා සත්‍යය, යුක්තිය, හානිපූර්ණය නිර්-පුනර්වර්ථනය සහතික කිරීම කොතෙක් ප්‍රයෝජනවත්දැයි අප පැහැදිළවම ඉගෙන ගෙන තිබේ. දඩුවම් පැමිණවිය හැකි ස්ත්‍රී – පුරුෂ සමාජභාවී අපරාධයන් ඉහළ ගොස් තිබේ. පේරුවියානු සත්‍යය සහ සංහිදියා කොමිසන් සභාවෙන් පටන් ගෙන තවත් සත්‍යය කොමිසන් සභා එක්කෝ සුවිශේෂ ස්ත්‍රී- පුරුෂ සමාජභාවී එකකයක් පිහිටුවා ගෙන ඇත. නැත්නම් හෝ සිය කටයුතු වලදී ස්ත්‍රී- පුරුෂ සමාජභාවී කාරණා පැහැදිළි කැරෙන වෙනත් පියවරයන් ගෙන තිබේ. එමෙන්ම මොරෙක්කෝවේදී යොදාගෙන ඇති සමහර පියවරයන්ගෙන් ද පෙනී යන පරිදි, හානිපූර්ණ වැඩසටහන්, එන්න එන්නම ස්ත්‍රී- පුරුෂ සමාජභාවී සවේදී වී තිබේ.
සමාව දීමේ ප්‍රශ්ණය.

අවසාන වශයෙන් අදාළ කරුණූ ගවේෂනයේ සහ ලේඛනගත කිරීමෙහි ලා ද කිරීමේ ලා ද සංක්‍රමණීය යුක්තිය අතිවිශාල ප්‍රගතියක් ලබා තිබේ. මෙම ප්‍රගතිය සියළු සංක්‍රමණිය යුක්ති පියවරයන්ට වාසිදායක ය . උදාහණයක් වශයෙන් ලියැවිලි කළමණාකරණය පවා බොහෝ ඉහළ ගොස් ඇති අතර තොරතුරු වඩා වඩා මහජනයාට විවෘතවෙමින් තිබේ.

සෑම ක්ෂෙත්‍රයකටම මෙම ප්‍රගතීන් සමඟම සංක්‍රමණිය යුක්ති ක්‍රියාදාමයේ ඒ ඒ කුළුණු සම්බන්ධයෙන්ද ලබා ගත් ප්‍රගතීන් ද තිබේ.

සමාව දීම සම්බන්ධයෙන් විවිධාකාර මාවත් ඉදිරිපත් කරමින් නඩු විභාග පවත්වාගෙන යෑම සඳහා වැදගත් ප්‍රවිශ්ඨයන් සංක්‍රමණීය යුක්තිය විසින් ලබා දී ඇත. සමාව දීමේ නීති, එක්කෝ වස්ථාමය හේතූන් උඩ නැත්නම් අන්තර් ජාතික වගකීම් සමඟ එවායේ ඇති නොගැලපීම මත අවලංගු කැරෙන තර්ක වර්ධනය කරනු ලැබ ඇත. අවලංගු නොකැරෙන්නේ නම් එවැනි නීතිවලින් ඇතිවිය හැකි නරකම විපාක අවම කිරීම සඳහා විවිධ ප්‍රවේශයන්ද වර්ධනය කර තිබේ. මෙම ප්‍රවිශ්ඨයන්ට සමාව දීමේ නීති නිසි ලෙස ක්‍රියාවට නැගීම ද ඇතුළත් ය. එනම් දඩුවම් ලැබීමෙන් මුක්තිය ලැබිය හැකි වුවත් පරීක්ෂනයන් පැවැත්වීම නතර නොකිරීම, ‘එකදිගටම කරන ලද අපරාධ’ සමාව දීමේ නීති පරිමණ්ඩලයෙන් ඉවත් කිරීම යනාදිය යි.

බොහෝ විට අප්‍රමාණවත් පරීක්ෂණ සහ නඩු පැවැරීමේ සම්පත් වඩා කාර්යක්ෂම සහ හේතු යුත්ත ලෙස මූලිකත්වයට ගෙන ඒමට සහ නඩු පැවැරීමේ උපායමාර්ග අරභයා ද වැදගත් පාඩම් සංක්‍රමණීය යුක්තිය විසින් ලබා ගෙන තිබේ.

සත්‍යයට ඇති අයිතිය.

සත්‍යය සෙවීමේ පරිමණ්ඩලයෙහි දී සංක්‍රමණීය යුක්තිය විසින් සත්‍යයට ඇති අයිතිය මුල් බැස්සවීම සඳහා කරන ලද දායකත්වය කෙරෙන් පටන්ගත හැකිය. එමෙන්ම සත්‍යය සෙවීමේ කොමිසන් සභා හරහා මෙම අයිතිය ක්‍රියාත්මක බවට පත් කීරීමෙහිලා ලබා දෙන ලද දායකත්වය මෙම ක්ෂේත්‍රයෙහි දැකිය හැකි සිත් කාවදින සුළු ප්‍රගතිය වේ. සත්‍යය සෙවීමේ සහ කීමේ අනෙක් යාන්ත්‍රණයන් ද සඳහන් කිරීමට තරම් වටී. ඒවා නම් අන්තර් ජාතික පරීක්ෂනයන්, විවිධ නැගෙනහිර යූරෝපීය රටවල ඔත්තු සේවාවන්හි ලේඛන ද ඇතුලුව ලියැවිලි ආරක්ෂා කිරීම සහ ඒවා සඳහා මහජනයාට පිවිසුම් ඇති කිරීම, ජර්මනියේ සහ අනෙක් රටවල අතීත අපචාරයන් හෙළිදරව් කිරීම සඳහා ඉතිහාසයඥයින් සහ පර්යේෂකයින් විසින් කරන ලද තීරණාත්මක කටයුතු යනාදිය යි.

හානිපූර්ණය සම්බන්ධයෙන් ද සංක්‍රමණීය යුක්තිය එය මුල් බැසගැන්වීම සදහා මෙන්ම එය ක්‍රියාවට නැංවීම සඳහාත් දායක වී තිබේ. ඒ දස දහස් ගණනාවක් වින්දිතයිනගේ ඉල්ලීම් සම්බධයෙන් කාර්යක්ෂමව කටයුතු කළ හැකි විශාල පරිමාණයේ පරිපාලන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම මගිනි.

පසුගිය තිස්වසර පුරා අපට වැදගත් අත්දැකීම් ඉගෙන ගැනීමට හැකිව තිබේ. සංක්‍රමණීය යුක්ති වැඩ සටහනක් සැළසුම් කිරීමේ සංකීර්ණතාවයේ වැදගත්කම චිලි රටේ ඉතාම සාර්ථක වැඩසටහනින් ලබාගත හැකි අත්දැකීම් අතර වේ. ඉන් කියැවෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සාධකයන් ඌණපූරණය කරන ප්‍රතිලාභයන් ලබා ගැනීම යි.

අභියෝග.

වින්දිතයිනට මෙන්ම සංක්‍රමණීය යුක්තිය සැබැවින්ම ක්‍රියාවට නැංවූ රටවලට ද එය විසින් ‍වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එනමුත් එය හමුවේ අභියෝග නැතැයි ඉන් අදහස් නොවේ. අනෙක් සෑම මානව හිමිකම් සහ යුක්තියට අදාළ ක්ෂෙත්‍රයන්හිදී මෙන්ම සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ද ප්‍රවණතා තුනක් විසින් බාදා පමුණුවනු ලබයි. එම ප්‍රවණතාවයන් පරාජය කිරීම අවශ්‍ය ය.

ඉන් පළමුවැන්න නම් විශ්වමය නීතියට ඇති බැදීම් ක්‍රියාත්මක කිරීමෙහිලා දිගින් දිගටම තෝරාගත් ඒවා පමණක් ක්‍රියාවට නැවීමේ ප්‍රවණතාවය යි. දෙවැන්න නම් යම් යම් කාරණා ‘ආරක්ෂකකරණය’ කිරීම යි. එනම් සෑම තත්වයක් යටතේදීම, මානව හිමිකම් සම්බන්ධයෙන් පවා, ආරක්ෂක හේතූන් විසින් අනෙක් සියල්ල යටපත් කිරීමයි. තෙවැන්න නම් සිවිල් අවකාශය වසා දැමීමට කැරෙන අනවරත ප්‍රවණතාවයයි.

සන්දර්භ සංවේදී භාවිතය.

සංක්‍රමණීය යුක්තිය අදේශ කරනු ලැබෙන්නේ සංදර්භයට සංවේදීව යැයි කියනු ලබන මුත් මගේ අදහස නම් විශේෂයෙන්ම පශ්චාත්-ඒකාධිපති සහ පශ්චාත්-ගැටුම් යන එකිනෙකට වෙනස් තත්වයන් යටතේ වඩා සංවේදී වීමට තවත් අවකාශය ඇති බවයි.

එමෙන්ම වෙනත් රටවලින් ආයතන එවායේ සන්දර්භය මෙන්ම අරමුණද නොසළකා පිටපත් කර ගැනීම ද දක්නට ලැබෙන දුර්වලකමකි. එවැනි උදාහණයක් නම් මුල් රටවල දී වින්දිතයිනට සහ සමාජයට සත්‍යය දැන ගැනීමට ඉවහල් වූ සත්‍යය කොමිසම සංක්‍රමණීය යුක්තිය සඳහා සෑම රටකම වාගේ පිහිටුවා තිබීම යි.

තව ද දක්නට හැකි දුබලතාවයක් වන්නේ තාක්ෂනික ප්‍රතිචාර පමණට වඩා අවධාරණය කිරීම යි. එමගින් සංක්‍රමණීය යුක්තිය නිපුන ආයතනික ඉංජිනේරු ක්‍රියාවලියක් බවට ලුහු කරනු ලැබේ. ඉන් සිදුවන්නේ ක්ෂෙත්‍රෙයහි ඇති අනෙක් පැතිමානයන්ට උදාහරණයක් වශයෙන් සංස්කෘතික මැදිහත්වීම් සහ පුද්ගල මනෝභාවයන් වෙනස් කිරීම අරමුණු කිරීම වැනි අවශ්‍යතාවයන්ට වැනි අඩු වැදගත්කමක් ලැබීමයි

එබැවින් සංක්‍රමණීය යුක්ති ක්ෂෙත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් සම්බන්ධයෙන් සතුටු වියහැකි සහ එය නොනැවත කරගෙන යෑම අත්‍යවශ්‍ය වන්නේ වී නමුත් කිසිවකු සංතෘප්තියට පත් නොවිය යුතු ය. මන්ද යත් සෑම තැනට ම ගැලපෙන ‘විශ්වමය ප්‍රතිපත්ති කට්ටලය’ කියා දෙයක් නැති බැවිනි.

පශ්චාත් – ගැටුම් සමාජයන්හි සංක්‍රමණීය යුක්තිය.

වත්මනෙහි පෙරට වඩා අතිශයින් වෙනස් සන්දර්භයන්හි සංක්‍රමණීය යුක්තිය ක්‍රියාවට නංවනු ලැබේ. එනම් ආයතනික වශයෙන් දුර්වල පශ්චාත්- ගැටුම් සමාජයන්හි ය. ප්‍රථමයෙන් මෙම රටවල්/තත්වයන් වඩා පුලුල් ආරක්ෂක සහ සංවර්ධන ඌණතාවයන්ගෙන් යුතුය. එමෙන්ම පශ්චාත්-ගැටුම් රාජ්‍යයන් ආයතනික වශයෙන් බොහෝ දුබල ය. තවද ඔවුන් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරන හිමිකම් කෙළෙසීම් ප්‍රමාණයෙන් බරපතල වනවා පමණක් නොව පරාසය අතින් ද පුළුල්ය. එම කෙළෙසීම්හි වගකීම දරණ ප්‍රචන්ඩත්වයේ කෘත්‍යකයන් ගණනින් වැඩිය. පශ්චාත්-එකාධිපති තත්වයන්හි දී අතිබහුතරයක් හිමිකම් කෙළෙසීම් වලට වගකිවයුතු වන්නේ රාජ්‍යයයි. නමුත් පශ්චාත-ගැටුම් තත්වයන්හිදී එම කෘත්‍යකයින් විවිධය.

දෙවැනිව කී තත්වයන්හි දී සංක්‍රමණීය යුක්තිය ප්‍රතිපල ලබා ගැනීමෙහි ලා වැඩි අභියෝගයන්ට මුහුණ දෙයි. ඇත්ත වශයෙන් ම නම් එය අදාළ වන්නේ සංක්‍රමණීය යුක්තියට පමණක් ම නොවේ.

ආයතන- ගොඩනැගීමේ සංක්‍රමණීය යුක්ති න්‍යාය පත්‍රය.

සංක්‍රමණීය යුක්ති න්‍යාය පත්‍රය ආයතන ගොඩ නැගීම සහ ආයතන ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් සමඟ සම්බන්ධ කිරීම වැදගත් බව මම යෝජනා කරමි. එසේ වුවත් අප සියළු දෙනා දන්නා දෙයක් නම් ආයතන-ගොඩනැගීම කල් ගන්නා බවයි. අප සිතනවාට වඩා කාලයක් ඒ සඳහා අවශ්‍ය ය. මෙහිදී වැදගත් වන්නේ වෙනත් රටවලින් පිටපත් කරගන්නවා වෙනුවට සුවිශේෂ අරමුණූ ඉටු කර ගැනීම පිනිස වඩාම කාර්යක්ෂම ක්‍රමෝපා යොදා ගැනීම යි. දුබල ආයතනික රටාවක් ඇති පශ්චා-ගැටුම් තත්වයක දී වින්දිත සහභාගිත්වය සහ දේශීය සම්පත් ඉතාම වැදගත් වෙයි.

එමෙන්ම මුලිකත්වය දිය යුතු ආකාරයන් තෝරා ගැනීම ද වැදගත් ය. වැළැක්වීම සහ විසදුම් සැපයීම එකම අවස්ථාවෙහි කළ නොහැකි නම් ගත හැකි ප්‍රයත්නයන් යුක්ති සහගත කර ගත හැකි ක්‍රම තිබේ. ඒ එකී ද්විත්ව අරමුණූ කල්යත්ම මුදුන් පමුණුවා ගත හැකිවන පරිද්දෙන් වැඩ සටහන් ගොඩ නැගීම මගිනි. එනයින් කෙළෙසීම්වලට භාජනය විය හැකි දුබල ප්‍රජාවන්හි අවශ්‍යතාවයන් ඉක්මණින් ආමන්ත්‍රණය කරමින් අතුරුදහන්වූවනට අවධානය යොමු කිරීම, පරිපූර්ණ හානි-පූර්ණ සහන ලබාදිය නොහැකි තත්වයන්හි දී වින්දිතයිනට සහාය දීමේ වැඩසටහන් ගැන අවධානය යොමු කිරීම සහ වින්දිතයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධ නිරන්තර අවධානය සහ අවසානයේදී සමස්ත හානිපූර්ණය ක්‍රියාවට නැංවිය හැකි ආයතන ගොඩ නැගීමේ අවකාශය ලබා දීම යනාදිය වේ.

අවසාන වශයෙන් සෑම තත්වයක දී ම මෙන්ම විශේෂයෙන් ආයතන කැපී පෙනෙන ලෙස දුර්වල තත්වයන්හි දී සිවිල් සමාජය ශක්තිමත් කිරීම ද වැදගත් ය. මන්ද යත් සිවිල් සමාජයෙන් ලබන දායකත්වය මත මහත් සේ රඳා නොපැවති සාර්ථක සංක්‍රමණීය යුක්ති උදාහරණයක් නැති නිසාය.

අනුවාදය සුනන්ද දේශප්‍රිය

(පසුගිය සැප්තැම්බර් මාසයෙහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මහාචාර්ය පැබ්ලෝ ඩි ග්‍රිෆ් විසින් ඉදිරියෙහි කරන ලද කථාව අසුරින් සකස් කරන ලදී. ඍජු පරිවර්ථනයක් නොවේ.)