“ව්‍යවස්ථාවක් තැනීමට වඩා දුෂ්කර කාර්ය නම් ව්‍යවස්ථාවක් පවත්වා ගැනීමය” (Woodraw Wilson, 1887: The Study of Public Administration in Political Science Quarterly)

ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථානුකූල පාලනයක් පවතවා ගැනීම, ශ්‍රී ලංකාව වැනි රාජ්‍ය වෙත වන ප්‍රධාන ආණ්ඩුකරණ අභියෝගයකි. අවම වශයෙන්, ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවක් වත් සාර්ථක කර ගැනුමට නොහැකි බව මේ මොහොතේ සනාථ වෙමින් පවතී. තමන්ගේ පක්ෂයේ ආණ්ඩු පිහිටවීම ප්‍රධාන අභිලාශය කරගත් දේශපාලකයන් සිටින රටක, ව්‍යවස්ථාවට ගරුකරන ආණ්ඩුකරණයක් ගොඩ නගා ගත හැකිවේද යන්න දැඩිව සිතිය යුතු කරුණකි. මෙම ලිපියේ අරමුණ නම් නව ව්‍යවස්ථාව පිළිබඳ දේශපාලන පළඟැටියන් (Arundhati Roy ගේන් උපුටා ගත්තකි) වන ජනතාවගේ හඬ වාර්තා කිරීමය.

“නෝනා ඔහොම අද මෙතන හිටගෙන ඉන්නේ, අපේ කොල්ලෝ මේ භුමිය බේරා ගත් නිසයි. අප්පේ එදා මමනේ දැක්කේ කරපොළ අපේ කොල්ලෝ මරලා දාලා හිටිය විදිහ. මේක මායින් ගමක්. ඒ මිනිස්සු (දෙමළ) එදා කදවුරට ගෙනාවා. එත් අර මිනිහා (ප්‍රභාකරන්) මරුණා කීව ගමන්, ඒ මිනිස්සු කකා හිටිය බත් පිගන් විසි කරා. එත් මම කියන්නේ ඒගොල්ලෝත් ඉන්න ඕනේ. අපිත් ඉන්න ඕනේ. අපි හැමෝගෙම අන්‍යතාව රැකෙන විදිහට ව්‍යවස්ථා හදන්න ඕනේ. මේවා ලොකු තැන් වලට කියන්න. දැන් බලන්න අර මංතීරු හතරේ පාරක් හදනවා මෙහේ. ඒවගේ යන්න මෙහේ මිනිස්සු නෑ. අලි විතරයි ඉන්නේ. උන්ට යන්ට පුළුවනි ඒ හදන මංතීරු වල. මම ජාති වාදී නෑ. මම කියන්නේ ඇත්ත. මේ ගමේ සිංහල, දෙමළ සහ මුස්ලිම් හැමෝම හිටියේ රෑ වෙන්න එපා කියන බයෙන්. අපි විදපු දුක, මේ පොලව පෑගුන, අද ඉන්න ලොකු තැනට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ මිනිස්සු දිහා බලන්න. මොනතරම් දුක් විදලා තියනවද. ඇයි මේ මිනිස්සුන්ගේ මුලික ප්‍රශ්න ටිකවත් විසදන්නේ නැත්තේ”- යැයි මගෙන් ඇසුවේ වැලිකන්ද බෞද්ධ මධ්‍යාස්ථානෙයේ ප්‍රධාන පැවදි හිමි විසිනි. කුඩා කළ දීඹුලාගල විහාරස්ථානයේන් දී පැවදි ජීවිතය ඇරඹී, මෙතුමා අද විදුහල්පති වරයෙකි. සිනිබෝල ව්‍යවස්ථාවක් එපා යැයි ප්‍රකාශ කළ මෙතුමා, ව්‍යවස්ථාවේ නාමයෙන් හෝ වැලිකන්ද මිනිස්සුන්ගේ ගැටළු විසදන ලෙස පාලකයන්ගේන් ඉල්ලා සිටියේය.
“මගේ ගම මුතුගල. මම තමයි මුතුගල ප්‍රධාන හින්දු පුජක. මේ තියෙන්නේ අමාත්‍යංශයෙන් දුන්න හැදුනුම් පත. මහවැලි ව්‍යාපාරය යටතේ තමයි මම මෙහේ පදිංචියට ආවේ. මගේ ගමේ මිනිස්සු 80කට වැඩිය අතුරුදහන් කලා යුද්දේ කාලේදී. මගේ නෝනාගේ අයියා army එකෙන් අරන් ගියා. අද වනතුරුත් එයා ආපහු ආවේ නෑ. අතුරුදහන්කළ අය වෙනුවෙන් අපි මොනවා කරන්නද? ඒ මිනිස්සුන්ගේ පවුල් කවුද බලා ගන්නේ. මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචි කලත් අපිට ඔප්පු නෑ. අපි දෙපැත්තෙන්ම යුද්දේන් බැට කකා තමයි මේ ඉඩම් වලට කැඹුරුවේ. හිතන්න නෝනා. හාමුදුරුවෝ කියනවා මේ බිම බේරාගත්තේ ‘අපේ කොල්ලෝ’ කියලා. එතකොට අපි!!!. අපිත් මේ බිම අතහැර නොයා හිටියානේ. දැන් වුන දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. අපි හැමෝම දුක් වින්දා. දැන් අපිට අනාගතය ගැන හිතලා, හොදක් කරන්න කියලා ඉල්ලන්නේ. කුඹුරු කරන්න වතුර ටික ඕනේ.අලි ප්‍රශ්නේ විසදන්න ඕනේ. ගමේ ඉන්න කොල්ලන්ට රස්සා ඕනේ. ඉඩම් වලට ඔප්පු ඕනේ. මේ ප්‍රශ්න සිංහල, දෙමළ සහ මුස්ලිම් හැමෝටම තියනවා. ඕවා ඔය ව්‍යවස්ථාවෙන් විසදේවිද?” යන ප්‍රශ්නයෙන් කතාව අවසන් කලේ, වැලිකන්ද මුතුගල පදිංචි සෙල්වරාසා දේවරාජාය.

“අපි පක්ෂය වෙනුවෙන් මිදුල් අතුගෑවා. පක්ෂය වෙනුවෙන් මොනවාද නොකළේ. 2002 දී මගේ ගෙදර ගිනි තිබ්බා. අපියි ජන්දය දුන්නේ මෛත්‍රී මහත්තයාට. අද එතුමා ළඟ ඉන්න කිසිම කෙනෙක් එදා එතුමාට හිටියේ නෑ. මේ දුප්පත් අපියි හිටියේ. පෙළොන්නරුව එතුමා දිනුවේ අපි නිසා. එත් දැන් එතුමා කරන වැඩ හොද නෑ. අපිට කිසිම කරුණාවක් නෑ එතුමාගේ. එතුමා මහවැලි ඇමති. එත් අදටත් අපේ මහවැලි ඉඩම් ප්‍රශ්නේ විසදන්න බැරි වුනා. වැලිකන්දේ මුස්ලිම් ගම්මාන 49ක් තියනවා. මුස්ලිම් කොංග්‍රසය උතුරු- නැගෙනහිරට පෙනී සිටියාට, අපි ජන්දේ දෙන්න ඕනේ ප්‍රධාන පක්ෂ දෙකට. අපිට නියෝජනයක් නෑ. ප්‍රධාන පක්ෂ දෙක අපිව තකන්නේත් නෑ. පස් වලින් හදපු හංසයාව අපි තමා කරත්තේ ගෙනගියේ. ඒක මෛත්‍රී මහත්තයා අමතක කරන්න හොඳ නෑ”- වැලිකන්දේ හිටපු නාගරික මන්ත්‍රී වරයකු වූ සුල්තාන් මහතා පැවසීය.

නව ව්‍යවස්ථාවක් තැනීම පිළිබද වන ජනතා දැනුවත් කිරීම වැලිකන්දේදී අවසන් වුයේ හවස පහ වැදුණු පසුවය. වැඩසටහන වෙනුවෙන් අසුන් ගෙනා ලොරි රථයට ගොඩවී පොළොන්නරුව නගරය වෙත යාමට මා සුදානම් වනවිට, එහි සිටි A.A. තිලකාවතී පැවසුවේ, “අලියා දැන් පිට්ටනිය ළඟ ඇති” කියාය. 2015ට කළින්, අලියෙක් මුණ ගසුනත් තමන් අලි නොවේ කියා පවසන බව මගේ අලි මිතුරකු පැවසූ කතාව මට සිහිපත් විය. එහෙත් තිලකාවතී පවසන්නේ එම අලි ගැන නොව ‘වන අලි’ බව මම හොදාකාරවම දැන සිටියෙමි.

ඉහත කී දේශපාලන පළගැටියන්ගේ හඬහි පොදු මාතෘකා කිහියක් හදුනා ගත හැක. එහි වන ප්‍රථම සහ මුලිකම විෂය නම්, ජනතාව ‘සාධාරණ’ පාලන ක්‍රමයක් බලාපොරොත්තු වන බවය. එහිදී සාධාරණය යනු , බහුවිධ අනන්‍යතාව පිළිගනිම සහ සම්පත් සාධාරණව බෙදීයාමය. බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැදි හිමි භුමිය ලෙයින් තේමා හෝ බේරා ගැනුම යහපතක් ලෙස දකී. මම එම මතයට තදබල ලෙස විරුද්ධ වෙමි. මක් නිසාද යත්, ජීවිතය, භුමියට වඩා වටින හෙයිනි. කවුරුන් මිය ගියද, එය ඔහුගේ හෝ ඇයගේ ආදරණියයන්ට වේදනාවකි. හමුදා ශ්‍රමිකයන් මෙන්ම විමුක්ති කොටින්ද කාගේ හෝ ආදරණීය ජිවිතයකි. යුද්ධයෙන් මිය ගිය සියලුම පොදු ජනයා ද එසේමය. නමුත් මේ හිමිව මා උපුටා දැක්වුයේ වැදගත් කරුණක් ඔහුගේ හඬ තුළ වන හෙයිනි. ඔහු මේ ප්‍රකාශය සිදු කළේ ඔහු මෙන්ම යුද්ධයෙන් බැට කෑ දෙමළ සහ මුස්ලිම් අනෙකා ඉදිරියේ සමව සිටගනිමිනි. එහි දෙමළා සහ මුසේල්මානුවා ද තම ආදරණියයන් අහිමිව වේදනාවෙන් එහිසිටි අතර, ඔවුන් ද ඒ වෙනුවෙන් හඬ නැගීය. එකී හඬට බෞද්ධ පැවදි තෙම ඉවසිලිවන්තව සවන් දුනි. එය බුදුන්ගේ නාමයෙන් මහල් තනා ගනිමින්, සොරු රැකීමට, සර්පයා පිණ්ඩපාතයට බෙදා ගන්නා, චීවර මුදලාලින් වෙත වන අනර්ඝ ආදර්ශයකි. ‘සාධාරණ’ සමාජයක් ඇතිවන්නේ, සැමගේ හඬට සමාන අවකාශයක් හිමිවීමෙනි. එසේම මෙයින් ගම්‍ය වන්නේ, යුද්ධයෙන් මිනිස්සු මැරුණ සහ මාරුව බවත එය පිළිගත යුතු බවත්, මිනිස්සු අතුරුදහන් කළා සහ ඔවුන් වෙත සාධාරණයක් ඉටු කළ යුතු බවත්ය. යුද්ධය අමානුෂික බවත්, එය සැමරිය යුතු විජයග්‍රහණයක් නොවන බවත් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත යුතුය.

මෙහිදී පැවැදි හිමි මතුකරණ ප්‍රජාතන්ත්‍රවාදී කරුණ නම්, ‘අප සියළු දෙනාගේ අනන්‍යතාව රැකෙන පරිදි’ ව්‍යවස්ථාව තැනිය යුතු බවය. මැතිවරණයෙන් පසුව පලතුරු වට්ටි හෝ අටපිරිකර රැගෙන දේශපාලකයන් වැලිකන්දේ නොයන හෙයින්, මෙකි හිමිනමට ස්වාධීනව අදහස් ප්‍රකශ කිරීමේ හැකියාවක් විය. ඔහු කිසි තැනක, බුදු දහම අනෙක් ආගම්වලට වඩා ඉහලින් තැබිය යුතු යැයි යෝජනා නොකරණ ලදී. හෙතෙම පැවසුවේ, අනෙකාට ද ඉඩ දෙන ව්‍යවස්ථාවක් තනන ලෙසය. එහි සිටි අනෙක් ආගම් නියෝජිතයන්ට තමන්ගේ ආගම ව්‍යවස්ථාව තුළ නියෝජනය කිරීම වෙනුවෙන් පොර බදනවාට වඩා, තම මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරගැනීමට ව්‍යවස්ථාවේ සහයෝගයක් වේද යන්න දැනගැනීම වැදගත්විය.

Roy ගේ “The algebra of infinite justice” (2002) හි ඉන්දියාව විසින් ලෝකයට ණය වී ඉදිකරනු ලබන මහා පරිමාණ ජලාශ, ජනතා සංවර්ධන ව්‍යාපෘති නම් කර, කෘෂිකර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් යොදා ගත හැකි බව පෙන්වා දෙයි. නමුත් යථාර්ථය නම්, මෙම ව්‍යාපෘති හරහා කෘෂි නිෂ්පාදන වර්ධනය වුව ද , ඒවා ගබඩා කිරීමේ පහසුකම් ඉන්දීය රජයට නොමැත වීමය. මේ නයින්, ලෙවට ණය ව සිදු කළ සංවර්ධන ව්‍යාපෘතින් ගේ ප්‍රථිපල පරිභෝජනය ‘මියන්’ විසින් සිදු කරයි. Roy අවඥාවෙන් පවසන්නේ, ‘මියන්ට කෑම ’සැපයීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරණ එකම රට ඉන්දියාව විය හැකි බවය. Roy ගේම කතාවේ දිගුවක්, වැලිකන්දේ ජනතා පළගැටියන් ප්‍රකාශ කරයි. එනම් “ණය වී ඉදි කරණ මංතීරු හතරේ පොළොන්නරු වට රවුම් පාර වන අලින්ට පරිහරණය කළ හැකි බවය”. සාධාරණ සමාජය තුළ ජනතාවගේ මුලික අවශ්‍යතා පරිපුර්ණකළ යුතුය. වැලිකන්ද ජනතාවගේ අවශ්‍යතා ලයිස්තුවේ පෙරමුණේ ඇති කාරණය, මංතීරු හතරේ පාරක් නොවේ. එයට පෙර ඔවුන්ට වන අලි ගැටලුව විසදා ගත යුතුය. උතුරේ ප්‍රශනය විසදීමට, ප්‍රභාකරන් මරා දැමු වා සේ, වන අලි නායකයන් හෝ සහය අලියන් සහ අනෙක් සියලුම අලියන් මරා දැමීමෙන් මෙම ගැටලුව ට පිළියම් සෙවිය නොහැකිය. “මෛත්‍රී මහත්තයා වගා සංග්‍රාමය පටන් ගන්න කලින් අලි සංග්‍රාමයට විසදුමක් ගෙනා යුතු” බව, වැලිකන්දේ ගොවියකු වන, බණ්ඩාර මහතාගේ අදහස විය. වප්මගුල්ට T- කමිසයෙන් සැරසී, කුඹුරට බසින, ජනාධිපතිවරයා, මිනිස්- අලි ගැටුම වෙනුවෙන් ,රාජ්‍ය සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍ය බව නොදන්නේ ද? වැලිකන්ද ජනතාවගේ යෝජනාවක් වුයේ, අලින්ට වෙන්ව තිබී දැනට වසා දමා ඇති මින්නේරිය- පොළොන්නරුව කොට්ටාශයේ වන, අලි- කොරිඩෝව නැවත විවරකිරීමය. වර්තමාන ජනාධිපති වරයා , කැබිනට් ඇමතිධුරයක් දරු පසුගිය රජය විසින්, මෙම අලි කොරිඩෝව වසා දමා, එය සුජාතභාවයකින් තොරව, රාජපක්ෂ හිතැති පුද්ගලයන් වෙත පවරා දී ඇත. මේ හේතුවෙන් වන අලි මෙන්ම, මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචි වූ කෘෂිකාර්මික ජනයාට ද අවැඩක් සිදු ව ඇත. මංතීරු හතරේ පාර සැදීම සහ වගා සංග්‍රාම ඇරඹුට ප්‍රථම අලින්ගෙන් ගොවිතැනට සහ ජනයාට වන හානි වැළැක්වීමට රජය ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.

වැලිකන්ද ජනයාගේ අනෙක් ඉල්ලීමක් වුයේ, තමන් ද ආණ්ඩුකරනයේ හිමිකමක් සහිත කණ්ඩායමක් බව පිළිගන්නා ලෙසය. ඔවුන් පෙන්වා දුන්නේ, යහපාලනය පක්ෂක්ග්‍රාහී බවය. “දැන් බලන්න, Milco කර්මාන්ත ශාලාව තියෙන්නේ පොළොන්නරුවේ. හැබැයි බහුතර ශ්‍රමිකයන් අනුරාධපුරේ ජන්දදායකයින්. හැරිසන් ඇමතිතුමා පුලිවන් විදිහට තමන්ගේ අනුරාධපුරේ ජන්ද දායකයන්ට සලකනවා. හැබැයි අපි සමස්ථ රට වෙනුවෙන් පත්කරපු ජනධිපතිතුමා නිහඬයි. හේතුව අපි UNP නේ”-ජයසිංහ මහත්මිය එලෙස සඳහන් කළේ පවතින හවුල් ආණ්ඩුව වෙත තම අපුල පෙන්වාදෙමිනි. රාජ්‍ය ආයතනවෙත වන දේශපාලන පත්වීම් ලත්තැනම ලොප් කළ යුතුය. රාජ්‍ය ආයතන පාරිභෝගික දේශපාලනයේ (Consumerism) වහලුන් නොකළයුතුය.

සිංහලයාට මෙන්ම එහි අනෙකාට ද රාජ්‍ය යාන්ත්‍රණයේ හිමිකම සුරක්ෂණය වන ලෙස බඳවා ගැනීම් විය යුතුය. එසේම, ජාතික ආණ්ඩුව වටහා ගත යුතු වන්නේ, පැවති රාජපක්ෂ පවුල් පාලනය ජනතාව පෙරලා දැමුවේ, එකී පාලනේයෙන් සිදු වූ අසාධාරණ තව දුරටත් ඉවසා සිටිය නොහැකි වූ හෙයිනි. එහිදී රාජපක්ෂ විරෝධී කණ්ඩායම්, මෛත්‍රී වෙනුවෙන් පෙළ ගැසුනේ තම ජීවිතාරක්ෂාව ද නොසලකමිනි. එසේ වූ ජනයාට අසාධාරණ ලෙස සැලකීම බ්‍රා එක ගලවා විසිකිරීමට මඩු වල්ගයෙන් තැලීමටත් වඩා වැඩි අපරාධයක් නොවේද?

මහවැලි ව්‍යාපාරය යටතේ පදිංචි කළ වැලිකන්ද ජනයාට, ඉඩම් ඔප්පු ලබාගැනීම අද වනවිට ගැටළුකාරී ව ඇත. 1989 සිට අද දක්වාම වන මහවැලි ඉඩම් ඔප්පු ගැටලුව විසදීමට කිසිදු රජයකට මැදිහත් වී නොමැත. සිංහල, දෙමළ සහ මුස්ලිම් සියළු මහවැලි ජානපධිකයන් මෙම ගැටළුව විසදීම වෙනුවෙන් බලා සිට ඇත. මුතුගල හින්දු කුරුක්කල්තුමා කී ලෙස, “මේ බිමේ අයතිය සියලු දෙනා සතුය”. එවැනි අයිතියක් අහිමිකිරීමට රජයට හැකියාවක් නොමැත.

නව ව්‍යවස්ථාව වැලිකන්ද දේශපාලන පළගටියන්ට වැදගත් ද? උත්තරය පැහැදිලියි. ඔවු. මන්ද ඔවුන් ද ව්‍යවස්ථානුකුල පාලනයට යටත් ශ්‍රී ලාංකියන් වන හෙයිනි.පවතින ව්‍යවස්ථාව මගින් රාජ්‍ය යාන්ත්‍රනය දෛනික ජිවිතයේ ගැටළු විසදීම සඳහා යොදාගත යුතු බලය සහ කාර්යභාරය එක් පුද්ගලයකු වෙත ගෙන එනු ලබයි. නිදසුනක් ලෙස, ජානාධිපතිවරයා, පළාත්සභා පරිපාලනයට ආණ්ඩුකාරවරයා මගින් මැදිහත් වන්නේ, බලය විමධ්‍යගත කිරීම 13වනව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මකකරණ අවධියකය. එනම්, ජනාධිපතිවරයා හැර වෙනත් ආයතනයක් දෛනික ජිවිතයේ ගැටළු වෙනුවෙන් මැදිහත්වීමට හැකියාවක් නොමැති බවක් සහිත ව්‍යවස්ථාව වෙනස් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් සිදු කළ යුතුමය. නමුත් සැබෑ ගැටලුව නම්, අලුතෙන් තනන ව්‍යවස්ථාවත් පවත්වා ගෙන යාමට ශක්‍යතාවක් ඇති රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කරගන්නේ කෙසේ ද යන්න ය?

අරුණි සමරකෝන් | Aruni Samarakoon