කමල් ගුණරත්න වෙත,

ඔබ 2017 ගම්පහ වියත්මගේ දී කළ කතාව ඇසුවෙමි. මම පුදුම වූ ප්‍රථම කරුණ නම්, ඔබ හදවතින් කතා කිරීමය. සමාන්‍ය ස්භාවික තත්වයක් යටතේ උපන් අප සියලු දෙනාම කටින් කතා කරණවිට, ඔබ එසේ නොවීම ආශ්චර්යකි. එසේම මා සිතා සිටියේ ඔබ පාසල් අධ්‍යාපනය හමාර කර ඇති බවය. ඔබම පවසන ලෙස වසර පනහක්ට අධිකව කැලැන්ඩර් දින ගෙවූ ඔබ අදටත් පාසල් කුරුසය කර තබාගෙන ජිවත් වේ. කුරුසයේ අධික පීඩනය, ඔබේ විඥානයේ වර්ධනය නොවීමට හේතු කාරක බව පෙනී යයි. ඔබේ පමනක් නොවේ, ඔබගේ දෙටු ගෝඨාබය සහ සමකාලින අචාර්ය නාලක ගොඩහේවා ගේ ද විඥාන වර්ධනය අඩාල වීමට පාසල් කුරුසය හේතු වී ඇති අයුරු පෙනීයයි. ඔබේ පාසල් කුරුසය විසින් මා වෙත උබතෝකොටිකයන් කිහිපයක් ඇතිකරණ ලදී. ප්‍රථම උබතෝකෝටිකය නම්, ඔබේ කතාවේ එන, ‘ලේ‘ හලා මේ මවුබිම වෙනුවෙන් දිවි පිදු සියලුම හමුදා ශ්‍රමිකයන් ඔබ පාසලේමද? ඔබ පාසලේ නොවී, රත්නපුර උස්බිම් ජනපද ප්‍රථමිකයේ වුයේ නම්, ඔබගේ කුලකය තුල නියෝජනයක් ඔවුන් වෙත ලබා දෙන්නේ ද? ඔබේ පාසලේ නොවන ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට, ඔබ කියන රට බේරාගැනීමේ ව්‍යාපෘතියේ හිමිකමක් වේද?

LTTE සාමාජිකයන් මරා දැමීම ඔබගේ වටහා ගැනීම මත ඔබ සාධාරණය කරයි. තුන්වේල මෛත්‍රී භාවනා කිරීමට ඉගැන්නු පාසලක ශිෂ්‍යයෙක් ලෙස, ජිවිතයක වටිනාකම තේරුම් නොගැනීම පාසලේ ද නැතිනම් ඔබේ ප්‍රශනයක් දැයි මට සිතාගත නොහැකිය. LTTE ය, සිංහල සහ සිංහල නොවන ජනතාවගේ පොදු සතුරා බවත්, එම සතුරා සමුහ ඝාතනය මගින් ජනතාවට සාමය සතුට ගෙනා බවත් අවනන්දනීය ලෙස ඔබ පවසයි. මෙයට වසර දෙකහමාරකට ප්‍රථම, මහින්ද රාජපක්ෂ සහ පැවති ආණ්ඩුව ජනතාව පරාජය කලේ සාමය සහ සතුට මෙරටින් පලාගොස් තිබු හෙයිනි.

ඔබ පැවති සහ පවතින සියලුම ආණ්ඩු ප්‍රසිද්ධ කළ තොරතුරු හි නිරවද්‍යතාවට සහ වගවීමට අහියෝග කරයි. සෑමවිටම රජයේ නිලධාරින් යුද්ධයේ වීකෘති තොරතුරු ලබා දී ජනයා නොමඟ යැවු බව පවසයි. එම තර්කයම, ඔබ සේවය කළ හමුදාව වෙත වන ස්ත්‍රී දුෂණ සහ අතුරුදහන් කිරීම් පිළබඳ චෝදනා විමසීම සම්බන්දව ද වැදගත් වේ. එනයින් ඔබේ දෙටු ගෝඨාබය සහ ඔබගේ සහෝදර ශ්‍රමික සරත් වීරසේකර යුධ අපරාධ ප්‍රතික්ෂේප කිරීම ද ජනතාව නොමඟ යවන, සත්‍ය විකෘති කිරීමකම දිගුවක් වේ. තවදුරටත් නිරායුධ දෙමළ ජනයා, යුධ මුක්ත කලාප තුලදී හමුදා ප්‍රහාරයන්ගෙන් ඝාතනය කිරීමද ඔබගේ කතාව මගින් ඔප්පු කර ඇත.

කමල්, ඔබගේ දුර්වල ඉතිහාස ඥානය ඔබේ වරදක් නොවේ. එය මේරට අධ්‍යාපනයේ ගැටලුවකි. ඔබ 1987 දී , යාපනයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ ලිවූ දැරියක් කියන කතාව කියවන්න. එවිට ඇයි LTTE ඇරඹුනේ කියන ගැටළුව යම් දුරකට හෝ වටහා ගනු ඇත. ඔබම හෙළිකළ ලෙස, ඔබ දියණියකගේ පියෙකි. ඔබේ දියණිය හා සමාන, එම දෙමළ දැරිය අසන්නේ පැහදිලි ප්‍රශ්නයකි. “ඇයි ලංකා ආණ්ඩුව, තමන් රැකිය යුතු පුරවැසියන් වෙත බෝම්බ හෙලන්නේ?” (Soysa, 2011, p. 43) කියවීම මිනිසා ශිෂ්ට කරන හෙයින්, Niromi de Soysa ගේ Tamil Tigress කියවා පුර්ණ මිනිසෙකු වීමට උත්සහ කරන්න. “ජෝසප් කන්‍යා සොහොයුරිය සැනසීමට පත්වුයේ, විභාග මාධ්‍යස්ථානය වෙත ආරක්ෂාව සැපයීම විමුක්ති කොටි බාරගත් හෙයිනි” (Soysa, 2011, p.47). මම අසන්නේ, ඇයි ශ්‍රී ලංකා ආණ්ඩුවට නොහැකිවුයේ, ඒ දරුවන් වෙත ආරක්ෂාකාරීව විභාගය ලිවීම සහතික කිරීමට? ඔබ කියන ඔය, සිංහලයාට නැති, දෙමළාට තියන ප්‍රශ්නේ ඕක. LTTE ය හැදුනේ, දකුණේ සිංහල- බෞද්ධ ආණ්ඩුවේ පක්ෂපාති දේශපාලනයේ ප්‍රතිපලයක් ලෙසය. ඔබ නොදන්න, නමුත් බහුතර ජනයා කියවා ඇති ලෙස, භාෂා ප්‍රතිපත්තිය, බලය මධ්‍යගත කිරීම, අධ්‍යාපන ප්‍රමිතිකරණය වැනි කරුණු දෙමළාගේ අයිතිය අහිමි කරන ලදී. දෙමළා ද මේ බිමට වාගේම ඔවුන්ගේ ජනතාවට පෙම් බැන්දෝය. ඒ හේතුවේ වෙන්ව ගොස්, වෙනම රාජ්‍යක් මගින්, දෙමළ ජනතා රැකීම විමුක්ති කොටින්ගේ අපේක්ෂාව විය.

ඔබ රාජ්‍යයේ සේවකයෙකි. ඔබව හමුදා ශ්‍රමිකයකු ලෙස නඩත්තු වුයේ, පාසල් සංවර්ධන අරමුදලෙන් නොව මහජනතාව ගෙවන බදු මුදලෙනි. හමුදාවේ කාර්යභාරය, ලේකම්ගේ නියමයෙන්, ජනතාව බියවැද්ද වීම, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම හෝ මරා දැමීම නොවේ. එය පුරවැසියන් රැකීමට පවතින, මහජන මුදලින් නඩත්තුවන ආයතනයකි. එම ආයතනයේ, ගිලන් රථ මගින්, ජනතාවට සේවා සැපයිම අනිවාර්ය වේ. ආහාර, ජලය සහ මුලික සේවා සැපයීමට එකී රාජ්‍ය ආයතන බැදී සිටි. එය අසරණ සරණ වීමක් නොව, එම ජනයාගේ අයිතිය භුක්ති විදිමකි. එම අයිතිය උල්ලංඝනයවන ලෙස යම් රාජ්‍ය ආයතනයක් හෝ පරිපාලකයෙක් හැසිරේ නම්, එයට විරුද්ධව ආණ්ඩුව කටයුතු කළ යුතුය.

ඔබ වන්නි ජනයාගේ හඳ ගැහෙන රාවය හදුනයි යැයි පැවසීම මා උපමා කරනුයේ, මැදගොඩ අබයතිස්ස වැනි චීවර මුදලාලින්, රෝහින්‍යා සරණාගත ගැටළුව හඳුනාගැනීම ලෙසය. වන්නි ජනයාගේ ගෙයක් ගානේ ඔබ ඇවිද ඇත්නම්, ඔබ කම්පා වනු ඇත. සෑම නිවසකම, මල් මාලයක් දැමු ආදරණියකුගේ පින්තුරයකි. ආණ්ඩුවේ මල්ටි බැරල් මගින් අත් පා අහිමි කළ ජනතාවකි. දරුවන් හමුදාව වෙත පැවරු පසු අතුරුදහන්කර ඇති හෙයින් පිඩා විදින දෙමාපියන් එහි සිටිති. බංකර තුළ ජීවත්වීම හේතුවෙන් පෞර්ෂත්වය මොටව ගිය ජනතාවකි. ඔබ ඒ අතර ගම්පහ ප්‍රජාවට නොමිලේ විහිළු සපයයි.

කනගාටුයි, ඔබේගේ මෑණියන්, නැන්දනියන්, දියණියන් සහ බිරිඳගේ විශ්වාසය අභියෝග කිරීමට සිදුවීම පිළිබඳව, ඔබ, ඔබේ ආදරණියයන්ට පමණක් නොව, මෙරට ජනයාට ද මුසාවාදා පවසයි. එය සිංහල- බෞද්ධ සංස්කෘතියේ නියෝජිතයා යැයි සිතන ඔබේ පාසලට ද අගරු කිරීමකි. ක්‍රිෂාන්ති කුමාරස්සාමි(1996) දුෂණ කිරීම සහ ඒ සමඟ සම්බන්ද ජන සංහාරය ගැන හමුදාවේ මැදිහත්වීම ඔබට ප්‍රතික්ෂප කළ හැකිද? (http://nation.lk/online/2016/09/10/the-krishanthi-rape-and-four-murders.html). මෙසේවන අතීතයක් ඇති හමුදාවක් සුජාතකිරීම, ඔබේ ආදරණීයයන්ට, පාසලට සහ වෘත්තීයට කරණු ලබන අගරුවකි.

ඔබ හරි. ඒ ඔබ දන්නා එකම විෂය, ඉවසිය නොහැකි නම් ඝාතනය කිරීමය. නව ව්‍යවස්ථාව සැදීම, ඒ පිලිබඳ සංවාද කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම මිනිසුන්ගේ අයිතියකි. එය නැසීමට ඔබට හෝ ඔබේ කුලකයේ කිසිවෙකුට අයිතියක් නොමැත.

ඔබේ කෘර බව සනාථ කරමින් ඔබ, දෙමළාට එසවූ අත, සිංහල එහෙත් ඔබේ කුලක අයත් නොවන්නාට ද ඔසවනු ඇත.

ඔබේ දෙමළා සහ නව ව්‍යවස්ථාව වෙනුවෙන් වන මනෝ භාවය මා විස්තර කරන්න උපුටා ගනු ලැබුවේ Paulo Coelho ගේ ‘The Spy’ හි එන, මාතාහාරි ගේ සහකරු වන, Rudolfගේ වදන්ය. “මට ,මාගරිතා (මාතාහාරි) ගැන බයයි. ඔබ දැක්කද අනෙක් නිලධාරින් ඇය දෙස බලන ආකාරය? ඇයට ඕනෑම වෙලාවක මා දමා යා හැකිය” (Coelho, 2016,p.25). Rudolf මෙන්ම ඔබත්, ඔබේ පාසලේ බොහෝ හමුදා ශ්‍රමිකයන් ද, කුරුණෑගල පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ මළබද්ධය හා සමවන ඒකාබධයද අනවර්ථ බියකින් පෙලේ. ඒ තමා ගේ මේ මොහොතේ වන කුමන හෝ බලය ද තමාට අහිමි වී යාවි යන අවිනිශ්චිතාවයි.

ගුණරත්න, මම නවතිමි.

පාසලේ දී ඔබට මනුෂ්‍යත්වය ඉගනීමට නොහැකිවීම පිලිබඳ මම අවංකවම කණගාටු වෙමි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon