ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් සහිත ලංකා ඊ නිව්ස් ‘යහපාලන’ ආණ්ඩුව විසින් තහනම් කිරීම දැන් මාධ්‍ය නිදහස සඳහා සටන් කරන මෙරට මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැක තිබේ. දැන් වාරණයට සතියකට වැඩිය. මෙම වාරණය හුදෙක් ආණ්ඩුවේ ටෙලිකොම් අන්තර් ජාලය විසින් පමණක් නොව මෙරට අනෙක් සියළුම අන්තර් ජාල සැපයුම්කරුවන්ද විසින් පවත්වා ගෙන යන සමස්ත වාරණයකි.

මෙම වාරණය සඳහා නියෝගය දී ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බව අන්තර් ජාතික පුවත් සේවාවක්වන වන ප්‍රංශ පුවත් සේවාව වාර්තා කරන ලදී. එම ප්‍රකාශය ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප කර නැත. මෙම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වන ජනාධිපති සිරිසේනගේ සහෝදරයා කුමාරසිංහ සිරිසේනගේ අනුදැනුමක් නොමැතිව මෙම තහනම ක්‍රියවට නැංවිය නොහැකිය. එමෙන්ම ජනාධිපති සිරිසේනගේ අනුදැනුමක් නොමැතිව කුමාරසිංහ සිරිසේන මෙවැනි තහනමක් පනවනු ඇතැයි සිතිය නොහැක.

ලංඩනයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කරන ලද්දේ නොවැම්බර් 08වන දාය. ඊට පෙර සතිය පුරා ලංකා ඊ නිව්ස් අඩවිය පලකළ පුවත්වලින් ජනාධිපති සිරිසේන දරුණූ ලෙස විවේචනය කර තිබුණි. පසුගිය කාලය පුරාම එම වෙබ් අඩවිය ජනාධිපති සිරිසේන දැඩි ලෙස විවේචනය කරන පිළිවෙතක් අනුගමනය කළේ අගමැති වික්‍රමසිංහ සහ එජාප දේශපාලනඥයින් ඔසවා තබමිනි.

ඉන් එක පුවතක සඳහන් වූයේ විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට රුසියාවෙන් යුද නැවක් මිලදි ගැනීමට ජනාධිපතිවරයා දරන ලද තැත අසාර්ථක වී ඇති බවයි. දින කිහිපයක් පැවැති පෙට්‍ර්ල් හිඟය ජනාධිපතිගේ කලු සල්ලි ජාවාරමට වාසියක් කරගන්නට යන්නේ යැයි තවත් පුවතක් පළවිය. දෙමසකින් පසු ඉවත් කරන ලද නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියාට මඩ ගැසීමට ජනාධිපති මාධ්‍ය ඒකකය රහසිගතව පවත්වා ගෙන යන වෙබ් අඩවි යොදා ගන්නේ යැයි තවත් පුවතක් විය. රූපවාහිනී නාලිකා සඳහා විද්‍යුත් සංඛ්‍යාත ජනාධිපති සිය හෙංචයියන්ට දී ඇතැයි ද පුවතක් විය. ජනාධිපතිවරයාට පක්ෂපාත මහාරාජා මාධ්‍ය ජාලයටද ලංකාඊනිව්ස් දරුණූ ප්‍රහාරයන් එල්ල කරයි. ජනාධිපති විසින් පත් කරන ලද බැදුම්කර කොමිසමට ලංකාඊනිව්ස් ප්‍රහාරයන් එල්ල කළේ රවි කරුණානායක ආරක්ෂා කරමිනි. එහි නිර්දය ප්‍රහාරයට ලක්වන එකම මුල්පෙළ එජාප ඇමැතිවරයා මංගල සමරවීරය.

මේ ජනාධිපති සිරිසේනට එල්ල කරන ලද විවේචන අතුරින් කිහිපයක් පමණි. මෙරට පුවත් වෙබ් අඩවි බොහොමයක් සිය පුවත් සඳහා මූලාශ්‍ර ඉදිරිපත් නොකරන බැවින් ද අනෙක් පාර්ශවයේ අදහස් සඳහා අවස්ථාවක් නොදෙන බැවින්ද මේ විවේචන සත්‍ය ද නැත්ද යන්න තීරණය කිරීම දුෂ්කරය. නමුත් එම පුවත්හි ඉදිරිපත් කරන ලද කරුණූ සහමුලින්ම අසත්‍යයැයි කීම ද දුෂ්කරය.
පසුගිය කාලය පුරා ලංකාඊනිව්ස් විසින් රනිල් වික්‍රමසිංහ ඔසවා තැබීම පිනිස පළ කරන ලද පුවත් දෙස බලන විට එම අඩවිය තහනම් කිරීමට වික්‍රමසිංහට හෝ එජාපයට අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැක‍. එබැවින් මෙම තහනම පිටුපස ජනාධිපති සිරිසේන සිටින්නේයැයි අපට බොහෝ දුරටම අනුමාන කළ හැකිය. සතියක් ගතවීමෙන් පසුත් එම තහනම ඉවත් නොකර තිබීමෙන් පෙනෙන්නේ රාජපක්ෂ අවතාරය ජනාධිපති සිරිසේනට වැහීගෙන එන බවයි. (කළක් ලංකාඊනිව්ස් සිරිසේන ඔසවා තැබීම සිය පිළිවෙත කරගෙන තිබුණි.)

ලංකාඊනිව්ස් විසින් ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් පළ කරන ලද පුවත් අසත්‍ය නම් ඊට මුහුණ දීමට ජනාධිපතිවරයාට ඇති තරම් මුදල්ද වෙබ් අඩවි පමණක් නොව ඇති තරම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ද තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකදී නම් කළ යුත්තේ එයයි. මාධ්‍යට වාරණයෙන් නොව මාධ්‍යයෙන් පිළිතුරු දීමය‍. වාරණය යනු ස්වකීය මාධ්‍ය සහ ප්‍රචාරණ හැකියාව අසාර්ථක බව ව්‍යංගයෙන් පිළිගැනීමයි. ජනාධිපති සිරිසේන, සමස්ත දේශපාලන චිත්‍රය තුළ පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්ණය එයයි. එනම් තමාට සාර්ථක ප්‍රචාරක යාන්ත්‍රණයක් නැත්තේ ඇයිද යන්නයි. ඊට පිළිතුරක් නැති ඔහු අන්තිමේදී තනි මිනිසකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියකට බිය වී මර්දනය අතට ගත්තේය.

නමුත් මාධ්‍ය මර්දනය කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ සිරසේනට පමණක් නොවේ. වික්‍රමසිංහටද අවශ්‍ය වන්නේ ගැති මාධ්‍ය සංස්කෘතියකි. ඊට හොදම නිදසුන අද රාජ්‍ය මාධ්‍ය පවත්වා ගෙන යන පක්ෂග්‍රාහී පිළිවෙතයි. රජයේ ලේක්හවුස් පුවත්පත් කිසිවක ( මා කියවන්නේ අන්තර් ජාල සංස්කරනයන්ය) මෙම තහනම හෝ එම තහනම හෙළා දකිමින් මෙරට ජනමාධ්‍ය සංවිධාන පහක් විසින් වෙන වෙනම නිකුත් කරන ලද එකදු නිවේදනයක් හෝ වාර්තා කළේ නැත. මාධ්‍ය නිදහස ගරු කරන්නේ නම් මෙම තහනම පිළිබඳව රාජ්‍ය පාලිත පුවත්පත්හි, ගුවන් විදුලියෙහි සහ රූපවාහිනියෙහි දැනුවත් සංවාද ගොඩ නැගිය යුතුව තිබුණි.

නමුත් සේ සියලු ආයතන දැන් ගලේ පැහැරූ බළලාගේ තත්වයට පත්ව තිබේ. සිය ගන්දස්කාරය වසා ගැනීමට ඒවාට නොහැක.
තමන් යටතේ පාලනය වන දැවැන්ත මාධ්‍ය ජාලය අගතිගාමී ලෙස ගැති මාධ්‍ය බවට පත්කර ගන්නා රජයකින් මාධ්‍ය නිදහස සුරැකෙනු ඇතැයි කල්පනා කිරීම පසුගිය දශක පහම පුරා මෙරට ජනමාධ්‍ය මුහුණ දුන් අත්දැකීම අමතක කිරීමකි. මෙරට කවර ආණ්ඩුවක් යටතේ වුව ජනමාධ්‍ය නිදහසේ ප්‍රධානතම දර්ශකයකයක් වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් දක්වන පිළිවෙතයි. රාජ්‍ය්‍ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය නොකරන ආණ්ඩුවක් ජනමාධ්‍ය පාලනයේ සහ මර්දනයේ ආණ්ඩුවක් බවට නිතැනින්ම පත්වෙයි.

ලංකාඊනිව්ස් තහනම ගැන මුනිවත රකින රජයේ නොවන ජනමාධ්‍ය ද වෙති. මුස්ලිම් සහ දෙමළ ජනමාධ්‍ය සංවිධානද තවම නිහඬය. මෙම සියලු දෙනාම මතක තබා ගත යුත්තේ ලබ්බට තැබූ අත පුහුලට තැබීම සුලු දෙයක් බවයි. රාජපක්ෂ සමයේද ලංකාඊනිව්ස් මෙන්ම ලංඩනයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි ගණනාවක් ද තහනම් කර තිබුණි. එනමුත් එම තහනම් නොතකා එම වෙබ් අඩවි වලට යෑමට මෙරට පාඨකයා ඉක්මනින්ම පුරුදු වූහ.

වෙබ් වාරණයක ඇත්ත බලපෑම වන්නේ පුවත් පැතිරයාම වැළකීමට වඩා බිය ගැන්වීමයි. එනම් අන් සියල්ලන්ටම පාඩමක් ඉගැන්වීමය. විවේචනය දුර්මුඛ කිරීමටය. එමෙන්ම එයට ලැබෙන වෙළද දැන්වීම් නතර කර එය ආර්ථික වශයෙන් දුර්මුඛ කිරීමය. වාරණයේ භයංකාරත්වය නම් එය විසින් ඇතිකරන මෙකී බිය ජනක වටපිටාවයි.

ලංකාඊනිව්ස් තහනම හෙළා දුටු මෙරට මාධ්‍ය සංවිධාන සහ මාධ්‍ය ක්‍රියාකාරීහු බොහොමයක් එම වෙබ් අඩවිය මාධ්‍ය ආචාර ධර්ම නොසළකන බවද සදහන් කිරීමට වගබලා ගත්හ. ඒ හරියට ඒ වෙබ් අඩවියේ වැරදිවලට අප අල්ලාගන්න එපා කියන්නා සේය.

රජයේ හිටපු පුවත් අධ්‍යක්ෂක කියා තිබුනේ ලංකාඊනිව්ස් මාධ්‍යක්දැයි කීමට තමන් නොදන්නා බවයි. තවත් එවැනි ට්විටර් සඳහනක වූයේ එය ඕපාදූප වෙබ් අඩවියක් බවයි.

මාධ්‍ය සදාචාරයේ අංක එක මාධ්‍ය නිදහසය. බොරු නොකියන, මඩ නොගසන, ඕපාදූප නොපතුරුවන, විශමාචාරයේ නොයෙදෙන මාධ්‍ය නැති රටක් ලෝකයේ තිබී හෝ ඇත්තේ හෝ නැත. නමුත් ඒ නිසා අප මාධ්‍ය නිදහස එපා යැයි නොකියමු. එබැවින් මා සිතන්නේ ලංකාඊනිව්ස් තහනම හෙළා දැකීම ආචාර ධර්මවලට සම්බන්ධ නොකළ යුතු බවය. එය තහනම් කර ඇත්තේ ආචාර ධර්ම කඩ කරන නිසා නොව ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කරන නිසාය. ලංකාවේ ප්‍රධාන පුවත්පත් කීයක් ඕපාදූප නමින්ම පිටු පවත්වාගන්නේද? ආණ්ඩුවේ මාධ්‍ය ජාලාවල ඕපදූප නැත්ද? දිවයින පත්තරය කොතරම් දුරාචාරවත්ද? ඒ නිසා එය තහනම් කල යුතුද? ඊටත් වඩා ඕපාදූප අඩවි බවට පත්වන්නේ සිංහල මාධ්‍ය පමනද? ඉංග්‍රිසි බසින් අවලාද සහ ව්‍යාජ කතා පැතුරුවන වෙබ් අඩවි කීයක් නම් ඇත්ද?

මාධ්‍ය අද මෙරට මෙන්ම ලොව පුරාද මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වන්නේ අන්තර් ජාලය විසින් ඇති කරන ලද අවකාශයෙහි පැතිරෙන අතේ රොල් මාධ්‍ය දුරාචාරයයි. එය සමඟ සටන්කළ හැක්කේ මර්දනයට සහාය දීමෙන් නොව යහපත් ජනමාධ්‍ය ඇති කිරීමෙන් සහ එවැනි මාධ්‍යන්ට සහාය දීමෙන් පමණි.

ලංකාඊනිව්ස් ගැන පමණක් නොව සමස්තයක් වශයෙන්ම මාධ්‍ය සදාචාරය ගැඹුරු සාකච්ජාවකට ලක් කළ යුතු බවට විවාදයක් නැත. නමුත් මාධ්‍ය ආයතනයක් මර්දනයට ලක්වන කළ අප බැලිය යුත්තේ මාධ්‍ය නිදහස මූලික කරගෙනය. සමාජ වගකීම මූලික කර නිදහස දෙවැනි තැනට දැමීම යනු වක්‍රාකාරයෙන් මර්දනයට සහය වීමකි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya