ඉකුත් දිනක රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී බරපතළ ලෙස ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය කටයුතු කළ බව මාගේ අදහසයි. විශේෂයෙන්ම මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ක්‍රියා කරන මෙරට ජනමාධ්‍යවලට මෙම මීරිගම තරුණිය පිළිබඳ පුවත තවත් එක් සිදුවීමක් පමණක් වුවත් එලෙස ආචාර ධර්ම විරෝධීව කිසිදු ඉවක් බවක් නොමැතිව නිරන්තරයෙන් මාධ්‍ය කටයුතු කිරීම රටට මෙන්ම සමාජයටත් ඉතා අහිතකර ප්‍රතිඵල ඇති කරවන තත්ත්වයකි. එබැවින් එවැනි දෑ නිරන්තරයෙන් සිදුවෙමින් පවතින විට ඒ පිළිබඳව මෙසේ අන්තර්ජාල අවකාශය තුළ හෝ යම් කිසි හඬක් නැගීම වැදගත් වන්නේ ඒවාට එරෙහිව යම් තරමක හෝ සමාජ බලපෑමක් සිදු කිරීම තුළින් සමාජ වගකීමක් සහිත මාධ්‍ය භාවිතයක් මෙන්ම ජනතාවට වඩාත් හිතකර මාධ්‍ය භාවිතයක් සඳහා අවශ්‍ය සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති ඇති නිසාවෙනි. එබැවින් මේ ඒ වෙනුවෙන් තබන සටහනකි.

ඒ අනුව ජනමාධ්‍ය මඟින් මෙම මීරිගම තරුණියගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී ඇය පිළිබඳ සියලු තොරතුරු එනම් ඇගේ සියලු පෞද්ගලික තොරතුරු වාර්තා කිරීමට මෙරට බොහෝ මධ්‍ය කටයුතු කළේය. එහිදී ඇගේ නම, පදිංචි ප්‍රදේශය ආදී වූ විස්තර මෙන්ම මෙහීදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන එම තරුණියගේ ඡායාරූප මෙරට මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන්නට ද කටයුතු කර තිබුණි. එය ජනමාධ්‍ය විසින් නොකළ යුතු වූ අතිශය වැරදි සහගත ක්‍රියාවක් ලෙස පෙන්වා දිය හැකි අතර විශේෂයෙන්ම එම තරුණියගේ මරණය සම්බන්ධයෙන් යම් සැක සහිත තත්ත්වයක් උද්ගතව පැවතීමේ දී මාධ්‍ය විසින් එසේ කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බව පැවසිය යුතුය. මෙම සිදුවීම අපේ රටේ ජනමාධ්‍ය විසින් ආචාර ධර්ම පිළිබඳව සහ වගකීම් සහගතව මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානයක් නොදැක්වීම පිළිබඳව පැහැදිලි වන අවස්ථාවකි.

යම් කිසි සැක කටයුතු මරණයක් සම්බන්ධ සිදුවීමක දී එම මරණයට ලක්වූ තැනැත්තා විශේෂයෙන්ම කුඩා දරුවෙකු, තරුණියක් හෝ කාන්තාවක් වන විට ඔවුන්ගේ ඡායාරූපවලට මාධ්‍ය මඟින් ප්‍රචාරය ලබා දීම එක් අතකින් මරණයට ලක්වූ තැනැත්තාගේ පෞද්ගලිකත්වයට සිදුකරන හානියකි. එහිදී එම තැනැත්තා විසින් ගොඩනඟාගෙන තිබූ සමාජ තත්ත්වය ඇතුළු සමාජ වටිනාකම්වලට සිදුවන බලපෑම සුළුපටු නොවන අතර එසේ රූපවාහිනී නාලිකාවලට, වෙබ් අඩවිවලට සහ පුවත්පත්වලට යම් තැනැත්තෙකුගේ සමාජයීය තත්ත්වයට බලපෑම් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්නගත කළ යුතුය. ජනමාධ්‍ය සංඛ්‍යාත්මකව මෙරට තුළ වර්ධනය වුවත් එසේ වර්ධනය වීම සමාජයීය යහපතට හේතු නොවන බව අපේ රටේ ජනමාධ්‍ය මෙසේ සමාජ වගකීමකින් තොරව කටයුතු කිරීම තුළින් යළි යළිත් හෙළිදරව් වන කරුණයි.

ඒ අනුව ඉකුත් දා මියගිය මීරිගම තරුණියගේ ඡායාරූප මෙරට ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම එසේ ඇයට මෙන්ම විශේෂයෙන්ම ඇය සමඟ සමීපව කටයුතු කළ පාර්ශවවලට ද අහිතකර අන්දමට බලපාන බව පැවසිය හැකිය. එනම් ඇගේ පවුලේ සාමාජිකයින්ට ඒ ඔස්සේ ඇතිවන බලපෑම සුළු පටු නොවන අතර ඒ පිළිබඳව මෙරට මාධ්‍ය විසින් කිසිදු අවධානයක් යොමු කර තිබුණේ නැත. එය ඇගේ පවුලේ සාමාජිකයින් නියැලෙන රැකියා ආදියට ද අහිතකර අන්දමින් බලපෑම් සහගත විය හැකි තත්ත්ව නිර්මාණය වීමටද හේතු විය හැකිව තිබුණි. එසේම ඇගේ මිතුරු මිතුරියන් සහ වෘත්තීය ජීවිතය තුළ ඇය සමීපව කටයුතු කළ තැනැත්තන්ට ද ඒ ඔස්සේ ඇතිවිය හැකි වූ බලපෑම කිසිසේත් ලඝු කළ නොහැකිය.

මෙසේ අපේ රටේ විවිධ ජනමාධ්‍ය විසින් තමන් වටා වැඩි ග්‍රාහකයින් පිරිසක් ඒකාරාශී කර ගැනීම අරමුණු කර ගනිමින් සමාජ වගකීම සහ ආචාර ධර්ම පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි නිදසුන් ගණනාවකි. එබැවින් ඒ සම්බන්ධයෙන් වන සිදුවීම් දෙකක් පිළිබඳව පමණක් මෙසේ සඳහන් කිරීම ප්‍රමාණවත් බව සිතමි. එනම් සේයා සඳෙව්මි දැරිය සහ යාපනයේ විද්‍යා දැරිය සම්බන්ධ සිදුවීම්වලදී ද මෙරට මාධ්‍ය විසින් එම දැරියන්ගේ ඡායාරූප ප්‍රචාරය කිරීමට කටයුතු කළේ එසේ කටයුතු කිරීමෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි. අපේ රටේ ජනමාධ්‍ය එසේ කටයුතු කරනු ලැබුව ද “නිර්භයා” නමින් හැඳින්වූ ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය හා සම්බන්ධ සිදුවීමේ දී ඉන්දීය ජනමාධ්‍ය විසින් ඇගේ සැබෑ නම ප්‍රචාරය නොකරමින් “නිර්භයා” නැමැති අන්වර්ථ නාමයකින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කරන්නට කටයුතු කළේ එමඟින් ඇගේ පවුලේ සාමාජිකයින්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිමත් වෙමිනි.

ඉන්දීය මාධ්‍යවල එම හැසිරීම ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය දක්වන ඉතා ඉහළ මට්ටමේ නැඹුරුව නිරූපණය කරන්නක් වන අතර ඊට සාපේක්ෂව අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී දැකිය හැකි වන්නේ අතිශය ඛේදනීය තත්ත්වයක් වන බව මෙහිදී පැවසිය යුතුය.

පසුගිය වසර ගණනාව පුරා මෙරට ජනමාධ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට මට හැකිවූ බැවින් එහිදී මෙරට ජනමාධ්‍ය මෙසේ ආචාර ධර්ම විරෝධීව කටයුතු කිරීම සඳහා බලපාන හේතු සම්බන්ධයෙන් මා කළ නිරීක්ෂණයේ දී මූලික හේතු දෙකක් සම්බන්ධයෙන් මාගේ අවධානය යොමුවිය. එනම් ඉන් පළමු හේතුව වන්නේ ජනමාධ්‍ය අතර පවත්නා දැඩි තරඟකාරිත්වය හේතුවෙන් ග්‍රාහක සමීක්ෂණ අගයන්(Ratings) ඉහළ මට්ටමක පවත්වා ගැනීම පිළිබඳ පමණක් අවධානය යොමු කරමින් කටයුතු කිරීමයි. එහිදී වෙනත් ජනමාධ්‍ය ආයතන හා තරඟකාරීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනයක් විසින් යමක් ප්‍රචාරය කළහොත් අනෙකුත් ජනමාධ්‍ය ආයතන ද එසේ කටයුතු කරනු ලබන්නේ එසේ නොකළහොත් ග්‍රාහක ආකර්ෂණය තම ජනමාධ්‍ය ආයතනය වෙත අහිමි වෙතැයි යන බියෙනි. එසේ දැඩි තරඟකාරිත්වය හේතුවෙන් කිසිදු ඉවත් බවක් නොමැතිව ජනමාධ්‍ය ආයතන කටයුතු කිරීම තුළ ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම මිත්‍යාවක් බවට පත්වී තිබේ.

එසේම මා විසින් නිරීක්ෂණයට ලක්කළ අනෙක් හේතුව වන්නේ ප්‍රවෘත්ති රචනයේ, ප්‍රවෘත්ති සංස්කරණයේ සහ ප්‍රවෘත්ති කළමනාකරණයේ නියැලෙන පුද්ගලයින්ට ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති වීමය. එසේම මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රවෘත්තියකට අදාළව කවර තොරතුරු ජනමාධ්‍ය ආයතන වෙත ලබාදෙනු ලැබුව ද ඒවා ඉතා ප්‍රවේශම් සහගතව තෝරා බේරා ගනිමින් සමාජයට හිතකර දෑ පමණක් ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කිරීමට මෙවැනි වෘත්තිකයින් විසින් කටයුතු කළ යුතු වන බවයි. එනම් වාර්තාකරුවන්ට මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය නොහැකි වුවත් ජනමාධ්‍ය සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයින්ට ඒ සම්බන්ධයෙන් ඉතා ඉහළ මට්ටමේ දැනුමක් සහ අවබෝධයක් පැවතිය යුතු වන්නේ ඔවුන් විසින් තීරණය කරන දෑ මඟින් සමාජයට සිදුකළ හැකි බලපෑම අසීමිත වන නිසාය. එසේ සමාජයට ඉතා ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි මෙරටේ ජනමාධ්‍ය ආයතනවල වෘත්තීන්වල නියැලෙන තැනැත්තන් අතිමහත් බහුතරයක් ජනමාධ්‍ය පිළිබඳ විධිමත් සහ ප්‍රමිතිගත අධ්‍යාපනයක් නොලැබූ පුද්ගලයින් වීම ද මෙවැනි ආචාර ධර්ම කඩවීම් සඳහා බලපා ඇති මුඛ්‍යතම කරුණක් වන බව පැවසිය යුතුය. එබැවින් හුදු මාධ්‍ය භාණ්ඩයක් වශයෙන් පමණක් සලකා ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කටයුතු කරන තැනැත්තන් වෙනුවට ජනමාධ්‍ය සම්බන්ධ විධිමත් අධ්‍යාපනයක් සහිත වෘත්තිකයින් මෙරට මාධ්‍ය කර්මාන්තය තුළ කටයුතු කිරී‍මේ කාලීන අවශ්‍යතාවත් ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු පැතිකඩක් වශයෙන් සඳහන් කිරීම වැදගත්ය.

ඒ අනුව සලකන කල රූපලාවන්‍යාගාරයේ තරුණිය සම්බන්ධ සිදුවීම ඇතුළු තවත් බොහෝ සිදුවීම් වාර්තා කිරීමේ දී මෙරට ජනමාධ්‍ය විසින් ආචාර ධර්ම විරෝධීව කටයුතු කරන බව දැකිය හැකි වන අතර මේ පිළිබඳව ජනමාධ්‍ය සමබන්ධ ප්‍රතිපත්ති තීරකයින්, විද්වතුන් සහ ජනමාධ්‍ය වෘත්තිකයින් ඇතුළු සියලු පාර්ශවවල අවධානය යොමුවිය යුතු බව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ වඩාත් හිතකර ජනමාධ්‍ය භාවිතයක් බිහිවීම වර්තමානයේ දී ඉතා දැඩි සමාජ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බැවිනි.

සුරෝෂන ඉරංග | Suroshana Iranga