නොවැම්බර් මාසයේ 15 සහ 17 යන දෙදින පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී රටවල් ගණනාවක්ම විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් නිර්දේශ ශ්‍රී ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. ලංකාණ්ඩුව ඒවා සඳහන් කරන ලද්දේ ‘සටහන් කර ගන්නා ලදී’ යන රාජ්‍ය තාන්ත්‍රික යෙදුමෙනි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති ගණනාවක්ම අපරානුමත කරන ලෙස කරන ලද නිර්දේශ ලංකාණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මෙම ප්‍රඥාප්ති අපරානුමත කරනු ලැබුවහොත් නම් අප රට ජනයාට එම අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට පවා අවස්ථාව සැළසෙයි.

කවර හෝ ගිවිසුමක් හෝ ප්‍රඥප්තියක් හෝ අපරානුමත කිරීමට නම් එරට ව්‍යවස්ථාදායකය විසින් එය සම්මත කොට එය ක්‍රියාවට නැගීම සඳහා නීති පැනවිය යුතුය. ඉන් පසු එම ප්‍රඥප්තියට නීතිමය බලයක් ලැබේ. එමෙන්ම අපරානුමත කරන ලද මානව හිමිකම් ප්‍රඥප්තියක් අන්තර් ජාතික බැදිමක් බවටද පත්වෙයි.

ජනාධිපති සිරිසේන විසින් වධහිංසා පැමිණවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවෙහි සාකච්ජා කොට සම්මත කිරීම වළක්වන ලද්දේ එම ප්‍රඥප්තිය නීතිමය බලයක් ලබා ගැනීම වැලැක්වීම පිනිසය.. ඔහු ඊට බිය වූයේ ජාතිවාදී පිරිස් විසින් එම පනත යටතේ යුද සමයෙහි මානව හිමිකම් කෙළෙසූ ආරක්ෂක හමුදා පිරිස් අන්තර් ජාතික දඩුවම්වලට යටත් වනු ඇතැයි ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරයට සිය අනුමැතිය ලබාදීමක් වශයෙනි. එම පනත තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ බහා තබනු ලැබ ඇත.

අන්තර් ජාතික පනතකට හෝ ප්‍රඥප්තියකට හෝ අත්සන් කිරීම මගින් එය එම රටෙහි බලාත්මක වන්නේ නැත. අත්සන් කිරීම මගින් අදහස් කැරෙන්නේ එකී අත්සන් කරන රට ප්‍රඥප්තියෙහි සඳහන් මානව හිමිකම් නොකෙළෙසනු ඇතැයි යන පිළිගැනීම පමණි. ඇත්ත වශයෙන්ම රටක් සිය ජනයාගේ මානව හිමිකම්වලට නිසි රැකවරණය ලබා දීමට කැපව ඇත්තේ නම් එය විසින් කළ යුත්තේ අදාළ ප්‍රඥප්ත්ති අපරානුමත කිරීමය.

ශ්‍රී ලංකාව පිළිබඳ 2017 නොවැම්බර් කාලාන්තරීය විශ්ව සමාලෝචනයෙහි දී ලංකාණ්ඩුව වැඩිපුරම ප්‍රතික්ෂේප කළේ මානව හිමිකම් ප්‍රඥප්ති අපරානුමත කරන ලෙස අන්තර් ජාතික ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම් ය. මෙමගින් අපට පෙනෙන්නේ ශ්‍රී ලංකාවෙහි බොහෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම නීතිමය වශයෙන් බලාත්මක කිරීමට සහ අන්තර් ජාතික බැදීමක් බබවට පත් කිරීමට ආණ්ඩුවේ ඇති නොකැමැත්තයි.

එවැනි නිර්දේශ වැඩි පුරම කරන ලද්දේ දරුණූ යුරෝපීය සහ ඒකාධිපතිත්වයන් පරදවා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්නා ලද ලතින් ඇමෙරිකානු රටවල් විසිනි.

තවත් කැපී පෙනෙන ප්‍රතික්ෂේප කිරීමක් වූයේ සංක්‍රමණීය යාන්ත්‍රණන් පිහිටුවීම පිනිස කාල රාමුවක් ඉදිරිපත් කරන ලෙස වූ නිර්දේශයයි. අඩුම වශයෙන් පුළුල් කාල රාමුවක් ලබාදීමටවත් ලංකාණ්ඩුව මෙම කලාන්තරීය විශ්ව සමාලෝචනයෙහිදී කටයුතු කළේ නැත.

යුද සමයෙහි සිදුකරන ලද බවට කියැවෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයිනට යුක්තිය ලබාදීම පිනිස නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලද්දේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් (ජර්මනිය, මෙසඩොනියාව, දකුණු කොරියාව, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, කැනඩාව යනාදී) විසින් පමණක් නොවේ. දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානද මෙම සමාලෝචනයට ඉදිරිපත් කළ සිය වාර්තාවන්හි එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

ලංකාණ්ඩුව පිළිනොගන්නා ලද නිර්දේශයන් අතර අන්තර් ජාතික අධිකරණයට අදාළ රෝම ප්‍රඥාප්තිය අපරානුමත කරන ලෙස කරන ලද නිර්දේශය කැපි පෙනේ. මෙම නිර්දේශය ඉදිරිපත් කරන ලද රටවල් අතර දැනටමත් ශ්‍රී ලංකා යුදහමුදා ජෙනරල්වරයකුට එරෙහිව සිවිල් සමාජ කණ්ඩායම් විසින් යුද අපරාධ නඩුවක් පවරා ඇති ලතින් ඇමෙරිකානු රටවල් ද විය.

මරණ දඩුවම අහෝසි කිරීම ද අතුළුව ජත්‍යාන්තර සිවිල් සහ දේශපාලන ප්‍රඥප්තියේ වෛකල්පික ප්‍රටෝකෝලය අපරානුමත කරන ලෙස ලෙස ස්පාඥය, මොන්ටෙනීග්රෝ, පෝලන්තය, නවසීලන්තය සහ තවත් රටවල් විසින් කරන ලද නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.

එමෙන්ම ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ වෛකල්පික ප්‍රටෝකෝලය අපරානුමත කරන ලෙස වූ නිර්දේශයද ප්‍රතික්ෂේප කරන ලදී. ආදිවාසී ජනයාගේ අයිතීන් පිළබඳ පනත අපරානුමත කිරීමද ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශ අතර වෙයි.
මීට අමතරව සරණාගත අයිතීන් පිළිබද 1951 ප්‍රඥප්තියට අත්සන් කරන ලෙස කරන ලද කෝර් ඩි වා විසින් කරන ලද නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත. 1948 මානව හිමිකම් ප්‍රඥප්තියෙහි 14වන වගන්තිය මත පදනම් වන මෙම ප්‍රඥප්තිය විසින් සිය රටෙහිදී නීති විරෝධීව දඩුවමට බදුන් විය හැකි පුද්ගලයින්ට රැකවරණය පැතීමට අවස්ථාව සළසා දෙයි.

තවමත් අප කිසිවකු දැක නැති එනමුත් අන්තර් ජාතික ප්‍රජාව දැක ඇති බව පෙනෙන 2016- 2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීම පිනිස වෙනම අමාත්‍යාංශයක් පිහිටුවන ලෙස වූ නිර්දේශයද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.
ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශ අතර පහත සඳහන් ඒවා ද වේ.

ව්‍යවස්ථා සංසෝධනය විසින් කිසිදු වෙනසකින් තොරව සියලු පුද්ගලයින්ට සමාන ආරක්ෂාව, අයිතීන් සහ සැළකීම් ලබාදීම;

සිය කැමැත්ත මත සමරිසි ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් ලෙස නොසැළකීම; ඒ සඳහා අපරාධ නීති සංග්‍රහයෙහි 365 සහ 365 ඒ වගන්ති අහෝසි කිරීම; ( ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, බ්‍රසීලය, කැනඩාව, ස්වීඩනය, උරුගුවේ, හොන්දුරාස්)
වෛරය සහ ප්‍රචන්ඩත්වය උසිගන්වන වරදකරුවන් සම්බන්ධයෙන් පවත්නා දුර්විපාක නොලැබීම අහෝසි කොට අන්තර් ජාතික නීතියට අනුකූළව නීතිය ඉදිරියට පැමිනවීම;

අත්අඩංඟුවට ගැනෙන සියල්ලන්ගේම මූලික අයිතීන් මුලසිටම සුරැකෙන බවට නීතියෙන් සහ භාවිතයෙන් සහතික කිරීම;

ලංකාණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙරට ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් දැනගත යුතු නිර්දේශයක්ද විය. එනම් ඔස්ට්‍රියාව විසින් ඉදිරිපත් කරන ලද ‘බියවැද්දවීම් සහ ප්‍රචන්ඩත්වයන්ට මුහුණ දීම පිනිස සහ එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් සක්‍රීය පරීක්ෂනයන් සහ නඩු පැවැරීම් සහතික කරනු පිනිස, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ රැකවරණය පිනිස ජාතික පිළිවෙතක් සම්මත කර ගන්න’ යන නිර්දේශයයි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාත්මක වන කේන්ද්‍රීය රට ඔස්ට්‍රියාවයි. එබැවින් එරට ජිනීවා දූත පිරිස මාධ්‍ය නිදහස පිළිබඳ විශේෂඥ දැනුමකින් ක්‍රියා කරයි. ලංකාණ්ඩුව මෙම නිර්දේශය ප්‍රතික්ෂේප කලා පමණක් නොව සිය ස්වේච්ජක පොරොන්දු වලදී හෝ මේ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

ස්ත්‍රී අයිතිවාසිකම් පුළුල් කිරීමේ අදහසින් ඉදිරිපත් වූ නිර්දේශ ගණනනාවක්ද ලංකාණ්ඩුව පිළිගත්තේ නැත.

ඉහතකී බොහෝ ප්‍රතික්ෂේප කිරීම් සමනය කිරීමට සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාණ්ඩුව ඉදිරිපත් කළ පොරොන්දුහිදී යම් දුරකට පියවර ගෙන තිබුණි.

නිදසුන් කිහිපයක් මෙසේය:

සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ගේ ද අතුළුව සියලු පුද්ගලයින්ගේ මුලික අයිතින් ශක්තිමත් කිරීම සහ ගරුකිරීම;

මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරණ යෝජනාවෙහි අඩංගු පොරොන්දු සම්පූර්ණ කිරීම;අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රීය කිරීම, සත්‍ය සෙවීමේ කොමිසමක්, හානිපූර්ණ කාර්යාලයක් සහ විශේෂ අභියෝජකයකු ඇතිව අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීම;

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්තවාද විරෝධී පනතක් ගෙන ඒම;
අබාධිත පුද්ගලයින්ගේ අයිතීන් පිළබඳ පනතෙහි අඩංඟු වගන්ති දේශීය නීතියට ඇතුලත් කිරීම;

දැන් අප හමුවේ ඇති අභියෝගය ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ 2017 නොවැම්බර් කලාන්තරීය විශ්ව සමාලොචනයෙහිදී දෙන ලද මෙම පොරොන්දු සමාජ ගත කරන්නේ සහ ඒවා බල ගන්වන්නේ කෙසේද යන්නයි. අඩුම වශයෙන් මෙම සමාලෝචනයට එවන ලද සිවිල් සමාජ වාර්තාවන්ට දායක වූ රාජ්‍ය නොව සංවිධාන සිය සාමාජික සහ අනුග්‍රාහක පිරිස් සමඟවත් තමන් ලියා එවූයේ මොනවාද කියා හෝ ඊට ලද ප්‍රතිවාර මොනවාද කියා හෝ සාකච්ජා කරන්නේ නැත. තිත්ත වුවත් කිව යුතු ඇත්ත නම් මෙම බොහෝ සංවිධානවලට මෙකී සමාලෝචන සැසිවාරයක් හුදෙක් තවත් ව්‍යාපෘතියක් පමණක් බවයි. මෙම සමාලෝචනයට පැමිණි දුසිමකට වැඩි ක්‍රියාධරයින්ගේ එක් ගුවන් ටිකට් පතක මිලෙන් ඊට අදාළ වාර්තා සිංහල බවට පෙරළන්නට හැකිය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ව්‍යාපාරයේ එක් දුබලතාවයක් එය ඉංග්‍රිසි කතා කරන කුඩා ප්‍රජාවක බුද්ධිමය අභ්‍යාසයකින් එහාට නොයෑම නම් දෙවන දුබලතාවය වන්නේ එය ව්‍යාපෘති මානසිකත්වයෙන් පිටතට ගෙන යාහැකි බිම් මට්ටමේ ප්‍රවේශයක් හෝ ව්‍යාපාරයක් නැති කමයි.

මෙම ලිපියෙහි සහ පසුගිය ලිපියෙහි සඳහන් කරුණූ මගින් යම් දුරකට හෝ 2017 ශ්‍රී ලංකාව පිළිබඳ කලාන්තරීය විශ්ව සමාලෝචනය පිළබද අවබෝධයක් ලබා දීමට උත්සාහ කලේ එම අඩුව බිඳකින් හෝ සපුරා උන්දුමත් පිරිස් අතර කතාබහකට මුල පිරෙනු පිනිසය.

සබැදි සටහන්

කාලාන්තරීය විශ්ව සමාලෝචනය[UPR] 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු!(1)

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya