ස්ථීර රැකියාවක් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ජීවත්වෙන්න ඒ ඒ කාලයට එක එක දේ කරනවා.රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා.පොකිරිස්සො කාලෙට ඒවා. පෙරහැර කාලෙට කඩල හෝ රට කජු. දූරියන් කාලෙට ඒවා විකුණනවා.මේ හැම දෙයක්ම කරන්නේ කාගෙවත් යහපත උදෙසානම් නෙමේ. එකම පරමාර්ථය තමාගෙන් යැපෙනවුන් ජීවත් කරවීම හා සිය බඩවියත රැකගැනීම.

ලංකාවේ බොහොමයක් ජනමාධ්‍ය වැඩ කරන්නෙත් ඒ වගේ. ඒ කාලේ දෙමළ ජනඝාතක යුද්දේ. දැන් ගංවතුර කාලෙට ආධාර එකතු කරනවා,බෙදනවා.නාය ගියාම උදේ ඉඳලා හැන්දෑ වෙනකං ඒ ගැන​. ඒ අතරේ මෛත්‍රී – මහින්ද සාම කතා ආරම්බ කලොත් ඒ ඔක්කොම ඉවරයි. දැන් මේ දවස්වල විකුණන්නේ ගල්ගමුවේ දළ පූට්ටුවා.විශේෂයෙන් “අද දෙරණ” හා “දිවයින” පත්තරේ දළ පූට්ටුවා මරා දාපු අය හඳුන්වන්නේ “පාපතරයා, කාළකන්නියා,මස් වැද්දා” වාගේ විශේෂණ​ එක්ක​. ඒත් නිරායුද මිනිසුන් මරාදාපු ගෝඨා හරි මහින්ද හරි නැතිනම් මහින්ද රෙජීමයේ කුමන හෝ පාපතරයෙක් හෙට නීතිය හමුවට ගෙනාවොත් ගල් ගමුවේ ඇතාගේ දළ පූට්ටුවුනා වාගේ මුන් ඔක්කොගෙම මුඛ පූට්ටුවෙනවා. බුදුන්ටත් එහා ගිය මහා කරුණාව අංශක තුන්සිය හැටකින් අනෙක් පැත්තට කැරකැවෙනවා. ඊට පස්සේ පාපතරයන්, දේශ ද්‍රෝහීන් වෙන්නේ මැරුම් කෑ එවුන්,පහර දීම්වලට,පැහැර ගැනීම්වලට හෝ අතුරුදහන් කිරීම්වලට ලක්වූවන්. ඉතින් මේ මාධ්‍ය උන්නැහේලයි,එවුන් ගේ මාධ්‍ය ආයතනයි, ජීවත්වීම සඳහා අර එක එක කාලෙට මොනවා හරි කරන දුගියගෙයි අරමුණු හා පරමාර්ථ අතර කිසිඳු වෙනසක් නැහැ. එකම වෙනස​ අත්දිග කමීසෙ ඇඳලා,ටයි එක දාගත්තාම හතරවෙනි රාජ්‍යය​.

මේ හතරවෙනි රාජ්‍ය දිහා බලලා අගමැති රනිල් බොහෝම තදින් ජනමාධ්‍යට දෝෂාරෝපණය කරලා තිබුනා. එහෙම කරලා තිබුනේ “මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුව” කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය හතරවැනිදා ආරම්භ කරමින්. මාධ්‍යකරුවන් හෝ එකී ආයතන හිමියන් නොපැමිනීම රනිල් ගේ කෝපයට හේතු වී තිබුනා. නොපැමිණියේ ඇයිද යන්න විමසමින් අගමැතිවරයා ප්‍රශ්ණ ගණනාවක් අසා තිබුනා. මාධ්‍ය නිදහස අවශ්‍ය නැතිද ? රාජපක්‍ෂ රෙජීමය නැවතත් අවශ්‍යද ? එසේ කොට නැවැතත් මාධ්‍යවේදීන් මරා දමන්නට ඉඩ දෙමුද ? නැතිනම් ඔවුන් කියන්නේ මොනවාද ? එයින් කීපයක්. එක මකුණෙක් කෑවාම ඔක්කෝම මකුණො මරණවා වාගේ රාජපක්‍ෂවාදී මාධ්‍යත්, ජනමාධ්‍යත් එක ගොඩකට දාලා තළපු එක ගැන පළමුවෙන්ම විරෝධය පළකරනවා.එවගේම අගමැතිවරයාගේ ඒ කතාව​ ඉතා පිළිකුලෙන් හෙළා දකිනවා. මොකද ලබන ජනවාරි අට වෙනිදාට අවුරුදු තුනක් සපිරෙන සම්මුතික ආණ්ඩුව මහින්දලාගේ මර්දනයට ලක්වුනු ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටුකල යුක්තිය ප්‍රමාණවත්ද ? නෑ..කොහෙත්ම නෑ…අගමැතිවරයා ගේ මේ අන්තර් ජාතික බජව්ව වර්ජනය කලේ එකී ප්‍රතිපත්තිය මත පිහිටලානම් ඒ අයට මගේ හදබැති ප්‍රණාමය​.

අන්තර් ජාතික බජව්ව ඇමතූ ආණ්ඩුවේ අගමැති,ජනමාධ්‍ය ඇමැති, නීතිය හා සාමය පිළිබඳ​ ඇමැති කියන මේ තුන් කට්ටුවට පුලුවන් උනාද (අඩුවකට තිබුනේ අධිකරණ ඇමැති ගේ කතාවක් )​ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ එක අපරාධයක් පිළිබඳව පරීක්‍ෂන පවත්වලා අපරාධකාරයන්ට අපේ ආණ්ඩුව දඞුවම් කලා කියන්න​. බෑ..අපරාධකාරයන්ට දඞුවම් නොලබා සිටීමේ මුක්තිය අපි අහෝසිකරා කියන්න​. බෑ..තාමත් කරන්නේ මහින්දලා කරපු අපරාධ අපට මතක් කර කර ඉන්න එක​. එහෙම වෙනකොට අපටත් මේ අයගේ වැඩිහිටියන් මතක් වෙන්නේ නිරායාසයෙන්. නිදාගන්නේ නැති,බත් කන්නේ නැති ළමයි බය කරන ආච්චීලා,සීයලා නම් තවදුරටත් මේ කතා කිව්වාට කමක් නෑ. .මොකද විශාල අරගලයක් කරලා මිනිස්සු ආණ්ඩු හැදුවේ එක එකාගෙ කයිවාරු අහගෙන ඉන්න නෙමේ. දැන් අවශ්‍ය වැඩ​. කරගෙන යන්නා වූ වැඩවල ප්‍රගතිය​. ප්‍රතිඵල​. අවුරුදු තුනක් ගිහිල්ලත් තාම විසිල් විතරයි. බල්ටි නෑ. හැබැයි මයික් එකක් ඉස්සරහ හිට ගත්තොත් ලස්සන උදාන වාක්‍ය​. උපදේශන.නැතිනම් අනෙකාට බැණුම්. කියලා වැඩක් නෑ..

ඒ අතර රනිල් අහලා තිබුනා “මාධ්‍යයේ කරඞුව ගෙනිච්ච ඇතා මැරුවාම මේ අය මොකද කලේ “කියලා.මට හිතුනේ මේ කියන්න ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගැන වෙන්න ඇති කියලා. මරා දැමුණු ජනමාධ්‍යවේදීන් අතරින් අඩුම තරමේ පරීක්‍ෂණයක් හෝ සිදු වෙමින් පවතින්නේ ලසන්ත ගැන විතරයි. ඒ රනිල්ට අනුව ඉංග්‍රීසි භාෂාවෙන් වැඩකල මාධ්‍යයේ කරඞුව ගෙනිච්ච ඇතා ඔහු නිසා වෙන්න ඇති. මොකද දෙමළ භාෂාවෙන් වැඩකළ මරා දැමුණු ධර්මරත්නම් සිවරාම් (තරකී) ලසන්ත වාගේම ජාත්‍යන්තර කීර්තියට පත් ජනමාධ්‍යවේදියෙක්. ඔහු ඇතුළු දෙමළ භාෂාවෙන් වැඩකළ ජනමාධ්‍යවේදීන් එකොළොස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මරා දමා තිබෙනවා. හැබැයි මේවනතුරු ඒ එක මරා දැමීමක් ගැන හෝ පරීක්‍ෂණයක් ආරම්බ කරලා නැහැ. අඩුම තරමේ කතා කරන්නෙවත් නැහැ. රනිල්ට අනුව ඒ අය කොට අදින අලි වෙන්නැති. යාපනයේ බී.බී.සී.හිටපු වාර්තාකරු මාධ්‍යවේදී නිමලරාජන් ගේ නිවස තිබුනේ අධිආරක්‍ෂක කළාපයක් තුළ​. ඒ කාලේ චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවෙලා හිටියෙත් මංගල සමරවීර​. මරාදැමූ ඔහුට අදවන තුරු යුක්තිය ඉටු වුනේ නැහැ.​

සාගල පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල වාර්තාවක් අනුව 2006 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් ගණන 13 ක්. පහරදීම්වලට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 87 ක්. ජනමාධ්‍ය ආයතන පහක් ක්ලේමෝ ගසා,වෙඩි තබා හෝ ගිණි තබා විනාශ කර තිබෙනවා. පහරදීම්, මරා දැමීම්, පැහැර ගැනීම් මුළු ගණන 126 ක්. ඒත් J D S වාර්තා අනුව 2004 සිට 2009 දක්වා ඝාතනය කළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් ගණන 44 ක්. ප්‍රහාරයට ලක්වූ ජනමාධ්‍ය ආයතන ගණන 9 ක්. වසර තුනක් ගතවෙන මේ ආණ්ඩුව තවමත් අඩුම තරමින් පරීක්‍ෂණ හරි ආරම්භ කරලා තියෙන්නේ පහර කෑමට ලක්වූ ජනමාධ්‍යවේදීන් තුන් දෙනෙකු ගේ ප්‍රශ්ණය විතරයි. මරා දැමූවන් අතරින් ලසන්ත හා අතුරුදහන් කරණු ලැබූ එක්නැලිගොඩ මාධ්‍යවේදීන් පිළිබඳව විතරයි. එහෙව් ආණ්ඩුවක අගමැතිවරයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට මහින්දලා ගේ මාධ්‍ය මර්ධනයට එරෙහිව සටන්කල​, යුක්තිය ඉල්ලා සටන් වදින​ ජනමාධ්‍යවේදීන්ට බැන අඞගහන්න තියෙන්නේ මොන අයිතියක් ද ?

මෙයාල බලයට ගෙනා වේදිකාවල මේ මාතෘකා හොඳට අලෙවිකරපු ඒවා. මේ අපරාධ පිළිබඳව වහාම පරීක්‍ෂණ ආරම්භ කරන්න කියලා මේ රටේ මාධ්‍ය සංවිධාන කීයක් නම් කී වතාවක් ඉල්ලලා ඇද්ද ? ඒවා කාන්තාරයේ තියපු හූ හඞවල් වුනා පමණයි. කොළ අලීන්ට වීණා ගැහුවා වාගෙයි. මේ අපරාධකාරයන්ට නිදැල්ලේ ඉන්න ඉඩ හැරීම ගැන අගමැති රනිල්ට විශේෂයෙන්ම වග කියන්න වෙනවා. මොකද ජනමාධ්‍ය, නීතිය හා සාමය,අධිකරණ කියන මේ අමාත්‍යංශ තුනම තියෙන්නේ රනිල් ගේ එ.ජා.ප​.ය යටතේ නිසා.

කරුණු කාරණා මෙහෙම වුනත් මේවන විට ලංකාව තුළ “LANKA E NEWS” වාරණය කරලා තියෙනවා. පානදුරාවාදයට සම්බන්ධ වුනු පියතුමා ගැන ලියද්දී පාදිලිතුමාට ගූ ගියේ නැත කියලා ලිව්වා වාගේ, ආණ්ඩුවේ මැති ඇමැතීන් කියන්නේ ඒක නොකලේ ජනාධිපතිවරයා කියලා විතරයි. මේ යනවිදියට බැලුවාම ඒක කලේ රාජපක්‍ෂ කියලා කියන්නත් බැරි කමකුත් නැහැ. හැබැයි මේ අතර මාධ්‍යයට කරපු මේ අපරාධ සොයනවාට විරුද්ධ මාධ්‍ය උන්නැහේලාත්, මාධ්‍ය මුදලාලිත් ඉන්නවා.ඒ නිසා රනිල් හිතනවානම් ඒ ගිණුමට ඔක්කොම බැර කළාම තමන් ගේ ගේම් වහ ගන්න පුලුවන් කියලා ඒක ලොකු වැරදීමක්.රටේ කවුරුත් දන්නවා මේ අපරාධ කිසිවක් පෞද්ගලික කෝන්තර නෙමේ කියලා. මේවා ඔක්කෝම දේශපාලන අපරාධ​. ආරක්‍ෂක අංශ මේ හැම සිද්ධියක් පිටුපස්සේම ඉන්නවා කියලාත් හැම දෙනෙක්ම දන්නවා. ජනාධිපතිටත් අගමැතිටත් ප්‍රශ්ණය​ තිබෙන්නේ එතැනයි. මොකද ඒ සියල්ලේම කෙළවරේ ඉන්නේ ගෝඨා. ඇතැමුන්ට යාලු මිත්‍රකම්,ඉතිහාසයේ කරපු උදව් පදව්. ඇතැමුන්ට ඊළඟ නායකයා කිරීමේ සිහිනය​. ඇතැමුන්ට රට බේරාගත් රණවිරුවා.

ඒ අතර​ සිරිසේන ජනාධිපතිවරයාට දැන් ඕනෑ මේ අපරාධ ගැන හොයනවාට වඩා අපරාධකාරයන් එක්ක එකතුවෙලා හරි 2020 මහින්ද නැති ශ්‍රී.ල​.නි.ප​.ආණ්ඩුවක් හදා ගන්න​. මොකද ශ්‍රී.ල​.නි.ප​.ආණ්ඩුව කැඩුවේ තමන්‍ යැයි තිබෙන හදවතේ තියෙන​ වේදනාව නැතිකර ගන්න​. “පක්‍ෂ හැදුවොත් පාරේ ඇවිද්දනවා” කියපු ජනාධිපති සිරිසේන නැතිනම් කොන්දේසි විරහිතව මහින්ද රෙජීමය එක්ක සාකච්චාවලට සිය ගෝලයන්ට ඉඩ දෙන්නේ නෑ.. රනිල්ට ඕන ඒ වැඩේ අල කරන්න​. ඒ නිසා පාලකයන් ගේත්, පුරවැසියන් ගේත් පරමාර්ථ, අරමුණු හෝ අපේක්‍ෂාවන් සමපාත වෙන්නේ ආණ්ඩුවක් විසුරුවා හැරපු කාලේ සහ විරුද්ධ පක්‍ෂයේ ඉන්නකොට විතරයි. ගංවතුරේ දී නයි මුගටිත් එක කොටේ නැගල යනවා වාගේ. ඒක නිසා තමයි සිංහල බෞද්ධ මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්ණත් වුනත් යට යන්නේ. එහෙව් එකේ දෙමළ ජනමාධ්‍යවේදීන් ගේ ප්‍රශ්ණ ගැන කවර කතාද ? අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා කිව්වලු.

ඥානසිරි කොත්තිගොඩ​