මිනිස් හෝ සත්ව රූප විකෘත කර, දෙවිවරුන් වශයෙන් උසස් කර වන්දනාමාන කරණ ලෝකයක, ගෝටාබය රාජපක්ෂ බලවත්, නීතියට ඉහලින්වන පුද්ගලයෙක් ලෙස හදුනාගනීම පුදුමයක් නොවේ. ගෝටාබය ද මවුකුසින් විත්, අප මෙන්ම හුස්ම ගන්නා පුද්ගලයෙක් බව මේ ආණ්ඩුවට මතක් කර දීමේ අරමුණින් මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි.

නන්දසේන ගෝටාබය රාජපක්ෂ , 1949 ජුනි 20 වැනිදා මාතර දී උපත ලබා ඇත (https://en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa). එසේනම් ඔහු, දෙවියන් විසින් මවා නොමැත. පියා ඩී. ඒ, රාජපක්ෂ වූ අතර, ඔහු, විජයානන්ද දහනයකගේ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත සහ ඉඩම් කැබිනට් ධුරය හොබවා ඇත. නන්දසේන , මුලික සහ ද්විතික අධ්‍යාපනය ආනන්ද පාසලෙන් ලැබු අතර, ඉන්දියාව, පාකිස්ථානය සහ එක්සත් ජනපදයෙන්, හමුදා පුහුණු වීම් ලබා, පසුකාලීනව කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ඇත(https://web.archive.org/web/20120626203858/http://www.defence.lk/new.asp?fname=a_legend_of_our_times_20120620_04).

1971 දී ශ්‍රී ලංකා යුධ හමුදාවට එකතුවන,නන්දසේන මහතා, 1989- 1990 කාලය තුල ගජබා රෙජිමේන්තුවේ, මාතලේ දිසාව බාරව කටයුතු කර ඇත. 1991 දී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපති ලෙස පත්වන හෙතෙම, 1992 න් පසු, යුද්ධය මෙරට පවතින මොහොතක, ඇමරිකා එක්සත් ජනපදය වෙත, සංක්‍රමණය විය (http://www.siww.com.sg/speakers-participants/gotabaya-rajapaksa). ඉනික්බිතිව හෙතෙම ලොස්ඇන්ජලීස් නුවර ලොයාලා නීති පාසලේ, පරිඝනක මෙහෙයුම්කරුවෙකු විය. මෙකි තොරතුරු සියල්ල, මෙරට මුදල්-මුලිකව ජිවත්වන නන්දසේන වෙනුවෙන් එලි බසින චීවරදාරින්, උපාධිධාරීන්ට සහ පවතින හවුල් ආණ්ඩුවට වැදගත් කරුණක් මතක් කර දෙයි. එනම්, නන්දසේන ගෝටාබය රාජපක්ෂ යනු, අසීමිත බලයක් සහිත පුද්ගලයෙක් නොවන බවයි. ඔහු ද, සාමාන්‍ය මනුෂ්‍යකු බවත්, හෙතෙම, සංක්‍රමණික සේවකයෙක් ව සිටි බවත්ය. එසේ සංක්‍රමණික සේවකයකු, 64 ලක්ෂ ජනයාගේ බලය ද ඉක්මවා යන පුද්ගලයෙක් බවට පත්වන්නේ 2005 න් පසුවය. වෙනත් වචනයෙන් පවසන්නේ නම්, නන්දසේන මහතාගේ, සාමාන්‍ය දේශපාලනික රූපය විකෘති වන්නේ 2005 න් පසුවය.
2005 දී, ජනතා විමුක්ති පෙරමුණ සහ මංගල සමරවීර මැතිතුමා ප්‍රධාන ලෙස මෙහෙයවන , ජනාධිපතිවරණයේ දී, තම සොහොයුරාගේ දේශපාලන සංග්‍රාමය වෙත සහයෝගය ලබා දීම සඳහා, නන්දසේන මහතා, එක්සත් ජනපදයේ සිට මෙරටට නැවත පැමිණ ඇත. තම සොහොයුරා, ජනාධිපති වන ආණ්ඩුවක, නන්දසේන වෙත ආරක්ෂක ලේකම් තනතුර, ජනාධිපති අයියා විසින් ලබා දුනි.

මෙම පත්කිරීම, ප්‍රජාතාන්තික ආණ්ඩුකරණයක් තුල කිසිවිටක සාධාරණීකරණය කළ නොහැක. මන්දයත් මෙම පත්වීම, ඥාති සංග්‍රහය, රාජ්‍ය බලය මගින් අශිෂ්ට ලෙස පිළිගැනීමක් වීමය. අනෙක් අතට එය හුවමාරු , වැඩවසම් යුගයක් ප්‍රදර්ශනය කරයි. එසේ තම ජනාධිපති අයියා හේතුවෙන්, අමාත්‍යංශ නිලධාරියකු වන, නන්දසේන, පසුකාලීනව, රටේ සියලු ජනයාම, තම අතවැසියන් කරගැනීමටත්, ඔවුන්ව හුවමාරු- වැඩවසම් ක්‍රමයක් වෙත හුරු කිරීමටත් උත්සුක විය. මෙහිදී පෙනී යන අනෙක් කරුණ නම්, පවතින ආණ්ඩුව බිය වන්නේ, ඥාති සංග්‍රහයේ ප්‍රතිපලයක් වූ කෙටි මාර්ගයකින් බලයේ ඉහලට නැගී පුද්ගලයකුට වීමය.

නන්දසේන රාජපක්ෂ දෙරණ නාලිකාවේ දී ප්‍රකාශ කළේ, තමන්වෙත පැවරුණු රාජකාරිය තමන් ඉටු කළා මිස, වැරදි නොකල බවයි. එසේම, තමන්ගේ රාජකාරිය 100ට 500 කින් ඉතා ඉහලින් ඉටු කර ඇති බවත් හෙතෙම පැවසිය. අවිචාර ප්‍රශ්න අසන, දෙරණේ සංඛ අමරජිත්, නන්දසේන මහතා අත්අඩංගුවට ගැනීම, 2006 දී ඔහුට එල්ලවන මරාගෙන මැරෙන ප්‍රහාරයට සමකර, අසන්නේ, අත්අඩංගුවට පත්වූ පසු, නන්දසේන මහතා හිරේ යාමට සුදානම් ද කියාය. අමරජිත්ට පිළිතුරු දෙන නන්දසේන මහතා පවසන්නේ, අත්අඩංගුවට ගතහොත්, හිරේ යා යුතු බවය (https://www.youtube.com/watch?v=EblGAbwo6dY). එසේම, නන්දසේන මහතා ඉල්ලා සිටින්නේ ද, තමාට විරුද්ධව වන චෝදනා වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමය. එය මේ ආණ්ඩුවට නොඇසීම ගැටළුකාරිය. අනෙක් කරුණ නම්, නන්දසේන මහතාම, පරීක්ෂණයක් වෙනුවෙන් සුදානම් වනවිට, ඔහුව උසාවි ගෙන යාමට විරුද්ධව ජනාධිපති සිරිසේන, හඬ තලන්නේ ඇයි ? එය හොරාට කලින් කෙසෙල් කැන පැනීමක් නොවේද? (https://www.youtube.com/watch?v=L98sZXVlXyA/).

නන්දසේන මහතා වෙත වන චෝදනා කිහිපයක් මෙහි ලා සදහන් කළ යුතුය. BBC වෙත ලබා දුන්, සම්මුඛ සාකච්ඡාවේ දී, නන්දසේන මහතා, විලිලජ්ජාවක් නොමැතිව , පවසන්නේ, ආණ්ඩුවට මඩ ගසන්නන්, මහපාරේ මරා දැමීම සාධාරණ බවය. එසේම, රාජපක්ෂ පවුල බලයට පත්වීම මිනිස්සුන්ගේ ආශාවක් බවය. තදුරටත්, සමස්ත මුදල් ප්‍රමාණයෙන්, 75% විසර්ජන පනතෙන් තම පවුලේ අමත්‍යංශ අතර බෙදා ගැනීම ද ඔහු සාධාරණීකරණය කරයි. නන්දසේන මහතා , තමා වෙත, යුධ අපරාධ චෝදනා කළ, සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා, අත්තනෝමතිකව සිර බාරයට ගැනීමත්, යුධ අපරාධ ඔහුගේන් එළිදරව් වේනම්, ඔහුව එල්ලීම ද පිළිගණු ලබයි (https://www.youtube.com/watch?v=rouIimgl-Wc).

නන්දසේන මහතා ඉහත කී සාකච්චාවේ දී නිරන්තරයෙන්ම මතු කළ කරුණකි. එනම්, රාජපක්ෂ පවුල ජනතා ජන්දයෙන් බලයට පැමිණි බවත්, ජනතා ජන්දය අනුව පාලනය ගෙන යා යුතුබවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී ව නිවැරදි බවත්ය. එසේනම්, වර්තමාන ආණ්ඩුව දැන් සිදුකරනුයේ, ජනතා ජන්දයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකි. එනම්, ජනතා ජන්දයේ දී පැරදී ගෙදර යැවු, ජනාධිපති අයියා සහ එම පවුල සමඟ නැවත එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමය. ජනතාව විසින්, රාජපක්ෂ පාලනයට විරුද්ධව ජන්දය දෙමින්, නන්දසේන මහතා මෙන් වන සියලු ආකාර ඥාති සංග්‍රහ, බලය ඒකරාශී කරගැනීම් සහ පීඩනයන්, මුල්‍ය අවභාවිතා ප්‍රතික්‍ෂේප කරණ ලදී. එසේ වනවිට, ජනාධිපති සිරිසේන මැතිතුමන්, නන්දසේන මහතා උසාවි ගෙන යාමට ඔයතරම් ම රිදවා ගත යුතු නොවේ.

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී රවිරාජ් මහතා මහපාරේ දී මරා දැමිය. එය සිය දිවි නසා ගැනීමක් නොවිය. නන්දසේන ගෝටබය විසින්, කරුණා පාර්ශවය වෙත මිලියන 50 ක මුදලක්, රවිරාජ් ඝාතනය කිරීමට ලබා දුන් බවට හෙළිදරව් විය.(https://www.colombotelegraph.com/index.php/gota-paid-karuna-faction-5-million-to-kill-raviraj/).

නමුත් අධිකරණයේ දී , චුදිතයන් නිදහස් විය. නන්දසේන මහතා, ආරක්ෂක ලේකම් වරයකු ලෙස මිලියන 50ක් සොයා ගත්තේ කෙසේ ද සහ එම චෝදනා ව පිලිබඳ විමර්ශනය වියැකී යාම සිදු වුයේ කෙසේ ද? සුදු වෑන් සංස්කෘතික් මෙරට දේශපාලනයට හදුන්වා දෙනු ලැබුවේ ද නන්දසේන ගෝටබය විසින් බව පැවසේ. විරුද්ධ මත දැරීම සහ එම මත මාධ්‍ය මගින් ප්‍රචාරණය, වෙත නන්දසේන මැතිතුමා රාජ්‍ය බලය සහිතව ප්‍රතිචාර දැක්වීමට සුදු වෑන් සංස්කෘතිය හදුන්වා දී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වන බණ්ඩාර බුලත්වත්ත හට, තායිලන්තය වෙත රාජ්‍යතාන්ත්‍රික සේවාවක් ලබා දී තිබුනේ ද, නන්දසේන ගෝටාබය මැතිදුන්ය. ඔහුගේ ජනාධිපති අයියා විසින් එම පත්වීම අවලංගු කළ ද, මෙහි වන දේශපාලනය ප්‍රකාශ කරණුයේ, මිනීමරු මෝරුන් පමණක් නොව, මිනීමරු මිලේච්ඡයන් සුරතල් කිරීම ද නන්දසේන මහතාගේ විනෝදාස්වාදයක් වූ බවය (http://www.economynext.com/Key_suspect_in_Sri_Lanka_editor_killing_given_diplomatic_post_by_Gotabhaya-3-7814-10.html).

නන්දසේන මහතාට අද්භූත බලයන් සමඟද ගනුදෙනු කිරීමේ හැකියාවක් වූ බව පෙනී ගියේ, මිග් ප්‍රහාරක යානා මිලිදී ගැනීමේ දී, Bellimissa නම්, නොපවතින ආයතනයක් වෙනුවෙන් ඇමරිකානු ඩෝලර් මිලියන 10ක් ගෙවීමෙනි (https://www.colombotelegraph.com/index.php/mig-deal-rajapaksas-paid-us-10-million-to-a-ghost-company-no-company-called-bellimissa-interpol-confirmed/).

එනයින්, සිරිසෙන ජනාධිපතිවරයා මෙන්ම, වික්‍රමසිංහ අගමැති ඇතුළු ආණ්ඩුව නනදසේන ගෝටාබයට බිය වන්නේ , නොපෙනෙන බලවේග සමඟ ගනදෙනු කිරීමට ඔහු සතු හැකියා ව හේතුවෙන් විය හැකිය.

කෙසේ වෙතත්, නන්දසේන ගෝටාබය, බලය, ධනය සහ කාමය යන සාමන්‍ය ජනයා මෙහෙය වන ආශාවන්ගෙන් සමන්විත එක් සාමාන්‍ය වැසියෙකු පමණි. ඔහු වෙත, මහා බලයක් ආරෝපණය කරමින්, ජනතාව ගෝනාට අන්දවා, ඔහු වගකිව යුතු බවට සැලකෙන අපරාධ විමර්ශනය නොකර සිටීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය.

මන්දයත්, ආණ්ඩුව අවසානයේ දී වගකිව යුත්තේ, පුරවැසියාට මිස, පවුලකට නොවේ. පවුල් සම්ප්‍රධාය වෙනස් කරමින් පවතින මොහොතක, ඒ වෙනුවෙන් පෙනී සිටීමට උත්සහ කිරීම කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ආණ්ඩුවේ ප්‍රධානින්ට තරම් නොවේ. මිනීමරුවන්, අශිෂ්ට සමාජ නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටීමම අපරාධයක් වන හෙයිනි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon