බලයට එන සෑම පක්ෂයකටම එකතු වී ආණ්ඩුවේ ලොකු තනතුරක් ලබා ගැනීමේ කලාව ප්‍රගුණ කර ඇති දැන් ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියකු රාජපක්ෂවරුන් සමඟ හවුලකට මෛත්‍රීගේ නාමයෙන් අත වනමින් සිටී.

ඒ රාජපක්ෂ සමයෙහි ආණ්ඩුව විවේචනය කළ එකළ ලංකාදීප ලියුම්කරුවකු වූ උපුල් ජෝෂප් ප්‍රනාන්දුට එරෙහිව එම ලිපිය පළවීමටත් පෙර තමාට ගෙන්වාගෙන රාජපක්ෂ වෙනුවෙන් පිළිතුරු ලියූ වසන්ත ප්‍රිය රාමනායකය.

රාමනායක 2002 – 2004 අවධියේ එජාප ආණ්ඩුවට දේශපාලනිකව සේවය කළේය. 2005 සිට රාජපක්ෂට සේවය කර 2015 ජනාධිපතිවරණයෙන් පසු සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියකු බවට පත්විය.

පසුගිය 07 දා ලංකාදීප පුවත්පතට ලිපියක් ලියන රාමනායක රාජපක්ෂ අහස උසට වර්ණනා කරයි. එම ලිපියට අනුව සිරිසේන විසින් ජනාධිපතිවරණ වේදිකාවෙහි පට්ටා ගැසූ රාජපක්ෂ දැන් සුදෝ සුදු දේශපාලන නායකයෙකි.

රාමනායක සිරිසේනද අහස උසට නංවයි. ඔහු අපට කියන්නේ සිරිසේන තවදුරටත් එජාපය සමඟ ගමන් නොකරන බවත් ශ්‍රීලනිපය ගොඩ නඟා වෙනම ගමන් කරන බවත්ය.

ඔහු සිරිසේන සහ රාජපක්ෂ දේශපාලන වශයෙන් සමාන කරන්නේ රාජපක්ෂ සමයෙහි සිදූවූ දූෂණ භීෂණ නොදන්නා ගානටය. ලිපියෙහි කිසි තැනක රාජපක්ෂ සමයෙහි සිදුවූ දූෂණ භීෂණ ගැන වචනයක්වත් නැත.

ප්‍රශ්ණය මෙයයි: මේ වනාහී සිරිසේනගේ උවමනාවද? නොඑසේව ඔහුගේ මාධ්‍ය ප්‍රධානියකුට මෙවැනි ලිපියක් ලිවිය හැකිද?

පසුගියදා බැසිල් රාජපක්ෂට දුරකථනයෙන් කතා කොට ‘‘ ඇයි දැන් මට කතා නොකරන්නේ” යැයි අසා මැතිවරණ හවුලක් ගොඩ නඟා ගැනීමට විරුද්ධ වන්නේ ඇයිදැයි සිරිසේන ඇසු බවට පළවු සති අන්ත මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රතික්ෂේප කර නැත.

ඒ අනුබ බලන විට සිරිසේන, රාජපක්ෂවරුන් පසු පස බඩඟා යන බවට ඇති කතා ඇත්ත බව පෙනේ. ඔහුගේ මාධ්‍ය ප්‍රධානියකු විසින් ලියා ඇති මෙම ලිපියෙන් පෙන්වන්නේ ද එම ලැජ්ජා නැති පිළිවෙතයි.

එම ලිපියේ එන මේ කරුණු දෙස බලන්න.

‘‘ අදාළ කණ්ඩායම් දෙක මේ දිනවල ලහිලහියේ සූදානම් වන්නේ ‘බුලත් කොළය’ යටතේ හා ‘පොහොට්ටුවෙන්’ තරග වැදීමටය. බුලත් කොළයට නායකත්‍වය දෙන්නේ ජනාධිපති මෛතී‍්‍රය. පොහොට්ටුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේය. මේ දෙදෙනාම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි එම පක්ෂයේ හොඳම නිෂ්පාදන දෙකකි.

ජනාධිපති මාධ්‍ය ප්‍රධානී රාමනායකට අනුව සම්මුති ආණ්ඩුව ජනාධිපතිවරණයේ පොරොන්දුවක් නොව සිරිසේනගේ නිශ්පාදනයකි. එම සම්ප්‍රදාය අරඹා ඇත්තේ සිරිසේනය.

‘‘මෙදා සිදුවූයේ ජනාධිපති මෛතී‍්‍රගේ නායකත්වයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකේම සහායෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවීමයි. මෙය අපේ රටේ දේශපාලනයට මෙන්ම යූ.ඇන්.පී. ශී‍්‍ර ලංකා පසමිතුරු දේශපාලනයට ද පටහැනිය. එහෙත් ජනාධිපතිවරයා නව අත්හදා බැලීමක් හා නව දේශපාලන සම්ප‍්‍රදායක් ඇරඹූ බව පෙනේ. එය මේ වන විට කොතරම් සාර්ථක දැයි වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.

‘‘පළාත් පාලන මැතිවරණය (යෙහිදී) ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එම ආණ්ඩුවේම ප‍්‍රධාන කණ්ඩායම වන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ මැතිවරණයේදී තරග වැදීමට සූදානමින් සිටි.

ජනාධිපති මාධ්‍ය ප්‍රධානී රාමනායක රාජපක්ෂලාගේ තර්කය බලවත් කරන්නේ ඇඟට නොදැනේනටය‍.

‘‘නුඹලා ආණ්ඩුවේ සිටිමින්ම තරග කරන්නේ නම් අප එකතුවන්නේ කෙසේදැයි එම සගයෝ (පොහොට්ටුවේ) ආණ්ඩුවේ තම මිතුරන්ගෙන් ප‍්‍රශ්න කරති. අප ආණ්ඩුවේ කොටසක් වුණත් යූ.ඇන්.පී. ප‍්‍රතිපත්තිවලට අකැමැති නිසා මෙසේ ඔවුන්ට එරෙහිව තරඟ කිරීමට සූදානම් වනබව තොපට තේරෙන්නේ නැද්දැයි ශී‍්‍ර.ල.නි.ප.ය ඒකාබද්ධයෙන් ප‍්‍රශ්න කරයි. යූ.ඇන්.පී.යේ ප‍්‍රතිපත්ති පිළිගන්නේ නැත්නම් උන් සමඟ ආණ්ඩු කරන්නේ අහවල් රෙද්දකට දැයි නැවත පොහොට්ටු කාරයෝ බුලත්කොළ කාරයන්ගෙන් විමසති. ”

ජනාධිපති මාධ්‍ය ප්‍රධානී රාමනායකට අනුව දැන් ආණ්ඩුව චකබලාස් වී තිබේ.

‘‘ඇසෙන්නේ රට විකිණීම වැනි කාරණා යැයි සමහරු තර්ක කරති. පොදු එකඟතාවකින් වැඩ නොකිරීම, ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න එළිපිට සංවාද කිරීම, බැඳුම්කර හොරකම ඇතුළු දුෂිත හා නාස්තිකාර කි‍්‍රයා පැරණි පාලනයට බැණ වදිමින් මේ පාලනය යටතේ සිදුවීම ආණ්ඩුවේ යහපාලනය ‘චකබ්ලාස්’ වීමට හේතු වී තිබෙනවා වාගේය.”

එපමණක් නොවේ. මේ ජනාධිපති මාධ්‍ය ප්‍රධානියාට අනුව යහපාලන ආණ්ඩුව හොර හරක් ලොරියකි.

‘‘ඒකාබද්ධ විපක්ෂය සමස්තයක් වශයෙන් යහපාලනය ”බුදුසරණ වේවා” යනුවෙන් බැනරයක් ගැසූ හොර හරක් ලොරියකට සමාන කරති.”

දැන් සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියා කළ යුත්තේ කුමක්දැයි කෙලින්ම කියයි.

‘‘මේ වනවිට ජනාධිපති මෛතී‍්‍ර මේ ආණ්ඩුව තුළ සිටින ජනපි‍්‍රයම චරිතය බවට පත්ව ඇත. එය හෙට අනිද්දා වන විට තවත් වැඩිවීමට ඉඩතිබේ. ඔහුගේ උත්සාහය කණ්ඩායම් දෙකම එකතු කරගෙන මෙම මැතිවරණයට ඉදිරිපත් වීමය.”

රාජපක්ෂ ජාතිවාදය වපුරන දේශපාලනඥයකු නොව ශ්‍රීලනිප පිළිවෙත් රැකගත් නායකයෙකි. ඒ අතරම සිරිසේනගේ මේ මාධ්‍ය ප්‍රධානියා සිරිසේන ජනාධිපති කරවීමට මූලික වූ චන්ද්‍රිකා කුමාරතුංගටද පහරක් එල්ල කරයි.

‘‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, බණ්ඩාරනායකලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැරදා වෙනත් පක්ෂ පිහිටුවා ගන්නා විටද, එක්සත් ජාතික පක්ෂයට එක්වන විටද ශී‍්‍ර.ල.නි.ප. යේ රැඳී සිටිමින් එම පක්ෂය රැකගත් නායකයෙකි. ජනාධිපති මෛතී‍්‍ර ද ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලයේ පත්තර පිටු මත සැතපී අතේ පිච්චිය නොමැතිව පාගමන්වල යෙදෙමින් පක්ෂය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වූ නායකයෙකි.”

‘‘පසුගිය ජනාධිපතිවරණයට තරග වැදීමට වුවද ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ නැත. ඒ නිසා මේ දෙදෙනාම පක්ෂය වෙනුවෙන් සංවේදීය. මේ නිසා දෙදෙනාටම වෙන් වී තරග කරමින් කණ්ඩායම් දෙකක් මෙහෙයවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු නැත.”

මතක තියා ගන්න මෙළෙස රාජපක්ෂ ගුණ වයන්නේ 2015 රාජපක්ෂ විරෝධී ජනබලයෙන් ජනාධිපති ධූරයට පත් සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකි. අවසානයේදී සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියා කතාව කෙලින්ම කියන්නේ දෙපාර්ශවය උපුටා දක්වමිනි:

”මම ඉතා වගකීමෙන් කියනවා. මොවුන් දෙදෙනාම (මෛතී‍්‍ර හා මහින්ද) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ දැනට ඉතිරි වී සිටින ශක්තිමත්ම නායකයන් දෙපළයි. මේ දෙදෙනා තුළ ගැබ්ව පවතින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියයි. ( සී.බී. රත්නායක).

‘‘ආණ්ඩුව සමඟ දිගට ඉන්න ඕන කියන තැනක අපි නැහැ. (ජෝන් සෙනවිරත්න)’’

‘‘දෙපාර්ශ්වයටම එකතුවීමට ප‍්‍රතිවිරුද්ධ සේ පෙනෙන විෂයමූල කාරණා නැතිනම් ප‍්‍රතිපත්තිමය කාරණා ඇති බවක් නොපෙනේ”

‘‘අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ (මස් රාත්තලම ඉල්ලීම) එකතු වීමට ඒක කොන්දේසියක් කරගන්න එපා කියලාය. ඉන් අනියමින් සඳහන් කරන්නේ මස් රාත්තලින් කොටසක් දැනට ගෙන ඉතිරි ටික පසුව ගනිමු කියලා වාගේය. මේ සඳහා ක‍්‍රමානුකූල කාල සටහනක් අවැසි බව පෙනේ. මෛතී‍්‍ර වෙනුවෙන් ඊට සවන් දීමට ඒකාබද්ධ සූදනම් ද?”

‘‘එහෙත් ඔහු ( එනම් සිරිසේන) නැවතත් හංසයන් පස්සේ යෑමට නම් සූදානම් නැත මෙමගින් ඔහු ක‍්‍රමයෙන් සමීප වෙමින් සිටින්නේ යූ.ඇන්.පී. විරෝධී ඉසව්වටය. ”

සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියා අවසන් වශයෙන් කියන්නේ සිරිසේන 2020 දක්වා සම්මුති ආණ්ඩුවේ නොසිටින බවයි. ඒ මෙසේය:

‘‘මේ සියලූ තත්ත්වයන් යටතේ ආණ්ඩුව සමඟ 2020 දක්වා ගමන්කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ”සිරිකොතේ” ඩාලිරෝඩ් ශාඛාව කර ගැනීමට කාට අවශ්‍ය වුවද ජනාධිපතිවරයාට නම් අවශ්‍යතාවක් ඇතිබවක් නොපෙනේ. ඒ නිසා ඔහු කිසිවකු නොහිතන තීන්දු තීරණ ගැනීමටද ඉඩ තිබේ.”

මේ අනුව සිරිසේන කල්බලන්නේ රාජපක්ෂ සමඟ හවුල් වී තමන්ගේ බලය දිගටම පවත්වා ගත හැකිවන ලෙස බලය බෙදා ගැනීමටයි. එසේ නමුත් ලේ රස දැනුනු මිනී මොරුන්සේ විකල්ව ගොස් සිටින රාජපක්ෂ කඳවුර සිරිසේනට ඉඩක් දෙනු ඇතැයි සිතීම දුෂ්කරය.

තමන් වෙනුවෙන් මාධ්‍ය අධක්ෂවරයෙක් ලවා කියවනවාට වඩා කොලේ ඉරා ගෙන රෙද්දේ හලා ගෙන රෙද්දෙන් මුහුණ වසාගෙන හෝ මෙරට ජනයාට තමන්ගේ මතය කිව්වොත්, ජනාධිපති වරයකුට මීට වඩා වටිනවා නේද?

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya