මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු ඔවුන් සියල්ලන් මේ ක්ෂේත‍්‍රය තුළින් පළවා හරින බවට සපථ කරයි. කෙසේ වෙතත්, මෙතරම් හොර දොස්තරවරුන් සංඛ්‍යාවක් රටේ සිටීමෙන් පෙනී යන්නේ, රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, රටේ ජනගහනය වියපත් වන තරමට සෞඛ්‍ය පහසුකම්වලට ඇති ඉල්ලූම වැඩි වන බවත් ය. මේ අතර, හොර දොස්තරවරුන් ගැන සැලකිලිමත් වෙනවා සේම, සැබෑ වෛද්‍යවරුන්ගේ දැනුම සහ නිපුණතාව යාවත්කාලීන වන්නේද යන්න සොයා බැලීමටත් ක‍්‍රමයක් තිබිය යුතුය.

රටක ජනතාවකගේ ආයු කාලය වැඩි වීමත්, බෝ නොවෙන රෝගවල වර්ධනයත් සමග වෛද්‍යවරුන් සඳහා වන ඉල්ලූම වැඩි වෙයි. 2016 ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 60 වැඩි ජනගහනයේ ප‍්‍රතිශතය සියයට 10 කි. මෙය, අවුරුදු පහකින් සියයට 17 දක්වා වැඩි වනු ඇත. 2051 වන විට එම ප‍්‍රමාණය මුළු ජනගහනයෙන් සියයට 29 ක් වනු ඇත.

මීට දශක තුනකට කලින්, ලංකාවේ ජනගහනයෙන් සෑම 6000 කටම එක් වෛද්‍යවරයෙකු බැගින් සිටියේය. 2015 වන විට එම තත්වය තරමක් දියුණු වෙමින්, ජනගහනයෙන් 1100 කට එක් වෛද්‍යවරයෙකු සිටියේය. එහෙත් ‘ෆිෂ් වර්ගීකරණයට’ අනුව, ලෝකයේ දැනට පවතින සාමාන්‍ය අනුපාතිකය වන ජනගහනයෙන් 670 කට එක් වෛද්‍යවරයෙකු සිටීමේ මට්ටමට වඩා මෙය බෙහෙවින් බාල තත්වයකි. මීට අමතරව, උසස් ප‍්‍රගුණත්වයක් ඇති වෛද්‍යවරුන් බොහොමයක් කේන්ද්‍රගතව සිටින්නේ නගරවල ය. ග‍්‍රාමීය ප‍්‍රදේශවල එවැනි දක්ෂ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර, ඊට අමතරව වෛද්‍ය පහසුකම්වල හිඟයකුත් තිබේ. මෙවැනි තත්වයක් තුළ, හොර දොස්තරලා වැඩ පටන් ගැනීම ස්වභාවික ය. සමහර අවස්ථාවල එවැනි හොර දොස්තරලාගෙන් රෝගීන්ට යම් සහනයක් නොලැබෙනවා ද නොවේ.

ගම්මුන් අසනීප වූ විට යන්නේ ගමේ ‘දොස්තර මහත්තයා’ ලඟට ය. මොවුන්, පොදුවේ පවතින උණ, පාචනය, මැලේරියා, පාණ්ඩුව, අධික රුධිර පීඩනය සහ මූත‍්‍ර අමාරුකම් වැනි රෝගවලට ප‍්‍රතිකාර කිරීමට තරම් දැනුවත් බවකින් යුක්ත බව පෙනේ. එබැවින් ගම්මු එම වෛද්‍යවරයාව විශ්වාස කරති. මහ ?කට ගියත් ප‍්‍රතිකාර කරන ඔවුන්, රෝගීන්ගෙන් අය කරන්නේ ද ඉතා අඩු මුදලකි. සමහර විට, සල්ලි නැත්නම් ඒ වෙනුවට වෙනත් ද්‍රව්‍යයකින් ඔහුගේ සේවාවට ගෙවීමේ හැකියාවත් රෝගීන්ට තිබේ. මේ නිසා, එම වෛද්‍යවරයාගෙන් තමන්ට සේවාවක් සැපයෙන බවට ඔවුහූ විශ්වාස කරති. එහෙත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ, ඇතැම් අවස්ථාවක බරපතල රෝගී ලක්ෂණයක් හඳුනා ගැනීමට අසමත් වීම හේතුවෙන් අවසානයේදී තමන්ට අත්විඳින්ට සිදුවිය හැකි අන්තරාවයි. ගම්මුන් සමග එවැනි වෛද්‍යවරුන් ඇති කරගෙන තිබෙන යහපත් සමාජ සම්බන්ධතා හරහා තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමටත් මෙවැනි වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබේ.

කරුණු මෙසේ වුව ද, සුදුසුකම් සහිත ප‍්‍රගුණ වෛද්‍යවරුන් අතින් සිදුවන වැරදි සොයා බලා දඬුවම් කිරීමේ ක‍්‍රමයක් ලංකාවේ නැත. රෝගීන්ව ආරක්ෂා කර ගැනීමේ වගකීම මොන තරම් බරපතලව තිබුණත්, ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත් භාවයක් හෝ අකාර්යක්ෂම භාවයක් පිළිබඳව කරුණු විභාග කොට ඊට වැරදිකරු වන්නේ නම් එම වෘත්තියේ යෙදීමෙන් එවැනි පුද්ගලයෙකුව වළක්වාලීමට හැකියාවක් ලංකාවේ නැත. ඊට හේතුව, බලගතු වෘත්තීය සමිති එවැනි පුද්ගලයන්ව ආරක්ෂා කිරීමයි. වෛද්‍ය සේවාවේ යෙදී සිටින සියලූම වෛද්‍යවරුන්ව ප‍්‍රමිතිගත කෙරෙන, මහජනතාවටත් පෙනෙන පොදු ක‍්‍රම වේදයකින් ඔවුන්ව නියාමනය කෙරෙන සැලැස්මක් සකස් කර ගැනීමෙන් මෙවැනි අක‍්‍රමිකතා වළක්වා ගත හැකි වනු ඇත.

එංගලන්තයේ, ඇමරිකාවේ සහ තවත් නොයෙක් රටවල, නියමිත කාලයකට වරක්, වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් යාවත්කාලීනව තිබේදැ යි සොයා බැලෙන ක‍්‍රමවේද සකස් කරගෙන තිබේ. එංගලන්තයේ සෑම වසර පහකටම වරක් සැම වෛද්‍යවරයෙකුම තමන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කරගත යුතුය. වෛද්‍යවරුන්ගේ එවැනි යාවත්කාලීන වීමක්, රෝගීන් තුළත්, සේව්‍යයන් සහ ආයෝජකයන් තුළත් ඔහු කෙරෙහි විශ්වාසය දැනවීමට හේතුකාරක වෙයි. ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන කිසිවෙකු එසේ යළි ඇගැයීමේ ක‍්‍රමයක් ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට’ නැත. ඒ නිසා මොවුන් සම්බන්ධයෙන් කිසි නියාමනයක් සිදුවන්නේම නැත.

ඉන්දියාවේ ග‍්‍රාමීය පෙදෙස්වල බලපත‍්‍ර නැතිව සේවයේ යෙදී සිටින හොර දොස්තරලාට විධිමත් පුහුණුවක් ලබා දීමට එරට එක් සංවිධානයක් දැනටමත් පියවර ගෙන තිබේ. කිසි සෞඛ්‍ය රැුකවරණයක් නැති දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම සංවිධානය මේ වන විට කටයුතු කරමින් සිටී. මේ සංවිධානයේ වසර දෙකක සාර්ථකත්වය පිළිබඳව බලවත්ව පැහැදුණු ඉන්දියාවේ බටහිර බෙංගාල ප‍්‍රාන්ත ආණ්ඩුව, එම ව්‍යාපෘතිය තවත් වර්ධනය කිරීමට කෙලින්ම මැදිහත් වී උර දුන්නේය. බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ සිටින 170,000 ක් වන හොර දොස්තරලාව විධිමත්ව පුහුණු කිරීමට මේ මගින් අපේක්ෂා කෙරේ. පුහුණුවෙන් පසු එවැන්නන් ග‍්‍රාමීය සෞඛ්‍ය සේවකයන් වශයෙන් ප‍්‍රධාන සෞඛ්‍ය ප‍්‍රවාහයට අනුයුක්ත කර ගැනෙනු ඇත. ඒ සමගම, දිළිඳු ජනතාවට දැඩි හිඟයක්ව පවතින වෙනත් මූලික සෞඛ්‍ය පහසුකම් ද මේ ව්‍යාපෘතිය මගින් සැපයෙනු ඇත.

මේ නිසා, ශී‍්‍ර ලංකාවේ වෛද්‍ය තත්වය නගා සිටුවීම සඳහා දැනට සිටින හොර දොස්තරලාව තහනම් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන්නේය. ඊට සමගාමීව, ගුණාත්මක අතින් උසස්, පහසු මිලකට කාටත් පහසුවෙන් ලබා ගත හැකි සෞඛ්‍ය සේවාවක් සඳහා රට තුළ පවතින ඉල්ලූම සැලකිල්ලට ගෙන ඊට ආමන්ත‍්‍රණය කළ යුතුව ඇත.

*2017 දෙසැම්බර් 19 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Doctoring the System නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි