ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ ඓතිහාසික හා සංස්කෘතිකමය විස්මිත ආඛ්‍යානමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතික වැනි හෙජමොනික කරුණුත් එක්ක මේ සතුන් ගැටගැසීම ඒකට හේතුවක් වෙනව. ඒ නිසා ඇතෙකු දිහා සමාජය බලන්නේ කුඩා කාලයේ අපට ඉගැන්වූ මහාමායා දේවියගේ කුසට ඇතුල් වූ සුදු ඇත් පැටවා, එලාර එක්ක සටනට ගිය දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ඇතා වගේ පාඩම් එක්ක කුඩා කාලයේ සිට අපේ මනස්වල බැදිල තිබෙන අරුමැසි හා ගෞරවපූර්වකව හැගීමකින්. ඊටත් එහා යන භක්තියකින්.

මෑතදී ලෝකයේ හමුවූ විශාලතම ඇතා, සාටාඕ (Satao) නයිජර් දඩයක්කරුවන් මරාදමා වරද සාධාරණීකරණය කළේ ‘we have killed Satao legally’ කියාය. සාටාඕට නයිජීරියාවත් එක්ක බැදුණු නීතිමය වටිනාකමක් තබා සංස්කෘතික හෝ හෙජමොනික වටිනාකමක් ද තිබුණේ නැත. ඒ සතාගේ මරණය ගැන ඇතුන් දඩයම් කිරීම නීතිගත කළ දුප්පත්කමින් මිරිකී සිටින නයිජීරියානු සාමාන්‍ය සමාජයට ප්‍රශ්ණයක් නොවීය. එරට සතුන් ගැන සංවේදී භාෂාවකින් ලියන එක්තරා සමාජ කොටසකට පමණක් ‘ඇකඩමික දුකක්’(Academic Pain) දුන්නේය. එහෙත් සාටාඕට නොතිබුණු ඓතිහාසික හා සංස්කෘතිකමය අධිවටිනාකමක් ගල්ගමුවේ දළ පූට්ටුවගෙ මරණයට එකතු වෙනව. මේ සතාගේ මරණය සමජයේ ඉහළ සිට පහළට විද්දවන්නේ හිස්ටරීක දුකකි. ඒ නිසා කීවේ ‘මරපු උන්ට හෙන ගහපන්’ කියාය. මෙය එක්තරා ආකාරයකට ඓතිහාසික හා සංස්කෘතික කාරණා එක්ක මතුවුනු භාවතිශය ප්‍රකාශණයක්.

අනෙක් අතට අපේ රටේ දළදා කරඩුව වැඩවවීම වැනි පූජනීය වගකීමක් භාරවුණු ඇත් රජුන්ට පමණක් නෙවෙයි ජන ජීවිතයට අභියෝග කළ ප්‍රත්‍යන්ත දේශවල ඇතුන්ගේ පවා “මරණය” (කෘතීම හෝ ස්වභාවික) යන කාරණය පවා අවසානයේ “මතු බුදුවීමට පෙරුම් පුරන ඇත් රජෙක්” යන ආගමික ස්ලෝගනයට සූත්‍රණය වන්නේ අර කියූ සංස්කෘතික හා ඓතිහාසික කාරණාවල අඩු වැඩි බලපෑම නිසයි. මීට අමතරව ලංකාවේ දළ ඇතුන් ඉන්නේ මුළු වන අලි ගහණයෙන් 4% ක් වගේ ඉතා සීමිත ප්‍රමාණයක් නිසා දුර්ලභ බව කියන සාධකය ආගමික හා සංස්කෘතික කරුණුත් එක්ක එකට එකතු වෙනකොට ඇතෙකුට ලැබෙන සමාජ, සංස්කෘතික හා වානිජ වෙළද වටිනාකම ස්වභාවයෙන්ම ඉතා ඉහළ අගයක් ගන්නව. ඒ අනුව ලංකාවේ සමාජයේ ඇතෙකුට මේ කියන වටිනාකම් සමඟ තුලනය කීරීමෙන් ලැබෙන වටිනාකම මිල කළ නොහැකි සේම කුමන හෝ පරමාරථයකින් වුවද ඇතෙකු මරාදැමීම යනු ඇතෙකු සමඟ බැදෙන සමාජ, සංස්කෘතික හා ඓතිහාසික සාධකවලට පිස්තෝලය දිගු කිරීමක් තරමට බරපතලයි.

පරිසරවේදි ලේඛක ග්‍රෙගරි වරනර් (Gregory Warner) No One Country Can Stop Elephant Poaching කියන ඉතා කෙටි ලිපියේදී පැහැදිළි කරනව ලෝකෙයෙන් ඇතුන් දඩයම් කිරීමේ අමානුෂික ජාවාරම මුලිනුපුටා දැමීමට නොහැකිවන මූලික හේතු දෙකක්. පළමුවැන්න ත්‍රස්ත කණ්ඩායම් හා ආණ්ඩු විරෝධී කැරලිකරුවන් දළ, ගජ මුතුවලින් ලැබෙන ආදායමින් තම සංවිධාන ශක්තිමත් කිරීම, ඇත් දළ හා ගජ මුතු සමඟ බැදී තිබෙන සමාජ, සංස්කDතික හා ආගමික දෘෂ්ටිවාදයන් පරාජය කිරීමට ඇති අසමත්කම ඉන් දෙවැන්නයි. ලෝකයේ වැඩිපුරම ඇතුන් ඝාතනය වෙන්නේ අප්‍රිකානු කලාපයේ. 2011/14 වසර තුනක කාලයක පමණක් ඇතුන් ලක්ෂයකට වඩා ඝාතනය කරනව දළ ලබාගැනීමට. ඇත් දළ වැඩිපුරම භාවිත කරන්නේ ලෝකයේ පොහොසත්ම රටවල් දෙක වන ඇමරිකාව හා චීනය. ඇමරිකාවෙ ඇත් දළ කියන්නේ කෙනෙක්ගේ සමාජ තත්වය උලුප්පල පෙන්නන පංති උපකරණයක්.

ලංකාවේ ඇතෙක් සන්තකයේ තබාගැනීම පංති ආභරණයක් වෙනව වගේ.ලෝකයේ වැඩිපුරම ඇතුන් ඝාතනය වෙන ටැන්සානියාව, සිම්බාබ්වේ හා නයිජීරියාවෙ ඇතුන් දඩයම් කිරීම නීතිගත කරන්නෙ ඇමරිකන්, ජරමන්, ස්ලෝවැකියන් ජාතිකයන්ට ඔවුන්ගේ රටවල දඩයම්කරන්න ඉඩදීමට. එයින් විදේශ විනිමය උපයාගැනීමට අමතර මාරගයක් සොයාගැනීමට.

පසුගිය ඔක්තෝබර් මාසයේ පරිසර සංවිධාන දැඩිව විරුද්ධ වෙනකොට පවා ඇමරිකන් ඉසුරුමතුන්ගේ රුචි අරුචිකම්වලට ගැළපෙන ට්‍රම්ප් පාලනය අපි%කාවේදී මරන ඇතුන්ගේ දළ ඇමරිකාවට ගෙනාඒම පහසුකිරීමට නීති සකස් කරනව.

චීනයේ තත්වය මීට වඩා මදක් වෙනස්වන අතර චීන ආර්ථිකයේ මහ පොදු සාධකයක් වන කැසිනෝ ව්‍යාපාරයට බිලියට් පන්දු හැදීමටත්, පියානෝ යතුරු හා මිලාදික ගෘහභාණ්ඩ නිරමාණය කිරීම වැනි ආර්ථික උපයෝගීතාවයක් ඇති දේ නිපදවීමට අප්‍රිකානු කලාපයෙන් ඇත් දළ මිළදී ගන්නව. ආර්ථික සාධකවලට අමතරව ආගමික හා මිත්‍යාමය අරමුණු වෙනුවෙන් ඉතා විශාල වශයෙන් අප්‍රිකාවෙන් ඇත් දළ මිළදීගැනීම් කරනව. ඉංග්‍රීසි බ්ලොග් රචක මාරක් මෙමෝට් චීනයේ ඇත් දළවලට අධි ඉල්ලුම තිබෙන තාක් අප්‍රිකානු ඇත් සංහාරය මුලිනුපුටා දැමීම මිත්‍යාවක් (Slaughtering of elephant is soaring because of Chaina’s demand for ivory) බව ලීවේ මේ නිසා. මින් පැහැදිළි වන්නේ ලෝක පරිමාණයෙන් ඇතුන් ලක්ෂගණනින් වාර්ෂිකව දඩයම් කරන්නේ මිනිසුන් කර තියාගෙන යන ආගමික,මිත්‍යාමය හා සමාජ අවශ්‍යතා ප්‍රදර්ශනකාරීව පවත්වාගැනීමට.
ඉහත වරනර් සදහන් කරන දෙවැනි හෙතුව ලංකාවේ ඇතුන් ඝාතනය වීම හා සDජුව බැදෙනව.

ලංකාවේ සැළකියයුතු කාලයක සිට අලි මිනිස් ගැටුමක් තිබුනත් ඊට මදක් වෙනස්ව ඇතෙක් මැරීම කියන කරුණ මෙරට ජනමනස්වල පැළපදියම් වී ඇති සමාජ, සංස්කතික හා ආගමික දෂ්ටිවාදයන් පරාජය කිරීමට අසමත්කමේ පමාණය සමඟ සම්බන්ධයි. ඉතා මෑතදී දඩයක්කරුවන්ගේ ගොදුර වූ ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය වන්නේ ඇත් දළ හා ගජමුතු ලබාගැනීම අරමුණු දෙක පදනම් කරගෙන. ලංකවේ ඇත්දළ කියන්නේ චීනයේ මෙන් ආර්ථික උපයෝගීතාවයන්ට අනුව වෙළදපොළ වටිනාකම තීරණය වන භාණ්ඩයක් නොවන අතර එහි මිළ තීරණය කරනු ලබන්නේ අතාර්කික සංස්කෘතික හා මිත්‍යාමය දෘෂ්ටිවාද විසිනි. උදාහරණයකට තවමත් මළ ගෙයකදී ඇත් දළ (කෘතීම හෝ ඇත්ත) යුවලක් මුග්ධ සංස්තිකෘතික හිස් අවකාශයක් පුරවනවා. පෙරහැර සංස්කෘතිය තුළ පවා සෙරමොනිකව නිරූපනය කරන්නේ ඇතෙකුට හා ඇත් දළවලට ඇති සංස්කෘතික වටිනාකමයි. ඇතැම් ඇතුන් පෙරහැර වතාවත්වලින් ප්‍රතික්ෂේප වීමට පවා නියමිත ආකාරයෙන් දළ නොපිහිටා තිබීම බලපානව. ඊට අමතරව, මෙරට සිටින ලුම්පන් සල්ලිකාරය පැලැන්තිය තමා ඉදිරිපස වැටී තිබෙන ආර්ථික හා සමාජ පාවාටය හොරරහසේ ලෝකයාට ප්‍රදර්ශණය කරන්නේ ගජමුතු හරහා. එසේ වන්නේ ගජමුතුවලට ඇති වටිනාකම නියමාකාරව තක්සේරු කිරීමට නොහැකිවන නිසා. මිළ කළනොහැකි නොයෙක් වටිනාවස්තු තමන්ගේ සිහිවටන කාමරයේ රාක්කවල (ගජ මුතු පවා) තැම්පත් කිරීමට සල්ලිකාරයන් පෙළඹෙන්නේ ආසාව නිසා. අනික නිරුත්සාහකව ඒ හරහා ඔවුන්ට ලැබෙන සමාජ බලය නිසා. ඒ අනුව ගල්ගමුවේ දළ පූට්ටුවා, විල්පත්තුවේ ඇතා, මින්නේරියේ ඇතා ද තවත් නම් නොළත් ඇතුන් ප්‍රමාණයක්ද දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ ඇත් දළ හා ගජ මුතු සමඟ බැදී ඇති මනෝමය දෘෂ්ටිවාදයන්ගේ බලවත්කම නිසයි.

මිනිසුන්ගේ මනස්වල බැදී තිබෙන සමාජ, සංස්කෘතික හා මිත්‍යාමය දෘෂ්ටිවාදයන් සන්තර්පනය උදෙසා ඇතුන් ඝාතනය කිරීම කොතරම් ගෝත්‍රික ද යන්න ලෝක පරිමාණයෙන් පරිසරවේදීන් හා පරිසර සංවිධාන මතුකරන තර්කයයි. වන අලින් ලෝක රතු දත්ත පොතට එකතු වී හමාරයි. එනම් ලෝකයේ වදවීයාමේ තරජනයට මුහුණ දී සිටින සත්ව ඛාන්ඩයක් ලෙස. යම් ජීවී කොටසක් ප්‍රමාණාත්මකව අල්ප වනවිට මිනිසුන් උත්සහ කළ යුත්තේ ඔවුන් රැකගැනීමට වුවත් අලි ඇතුන් ප්‍රමාණය සීග්‍රයෙන් පහළ වැටීම(දුර්ලභකම) එම සතුන් හරහා මිනිසුන් ලබන සමාජ, සංස්කෘතික, හා මිත්‍යාමය‍ කරුණුවලට ලැබෙන වටිනාකම ඉහළ යෑමට හේතුකාරක වී තිබේ. අලි ඇතුන් රැකගැනීම ගෝලීය මට්ටමේ අවශතාවයක්.

ඒ සදහා මේ වනවිට අලි ඇතුන් වෙතට එල්ලවී තිබෙන අවි ආයුධ ඉහත කියූ දෘෂ්ටිවාදයන්ට එල්ල කිරීම අවශ්‍යයි. එසේ නොමැතිව හනමිටි හා අතාර්කික, සංස්කෘතික, ආගමික හා මිත්‍යාමය හිස් අදහස් වලට ජීවමාන වෙන්න ඉඩදීලා ඇත් සංහාරය ගැන සංවේදී වීම ඵලකට නැති වැඩක්.

ධනුෂ්ක සිල්වා | Dhanushka Silva