Image by: Gattyimage

ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වීමට නියමිත, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵල කුමක් වෙතත් ජාතික ආණ්ඩුව හෙවත් සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි, රජයේ සම-මාධ්‍ය ප‍්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පසුගිය දා උදක්ම කියා සිටියේය. මාධ්‍ය හමුවකදී පැන නැගුණු ප‍්‍රශ්නවලට තදින් පිළිතුරු දෙමින් අමාත්‍යාවරයා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩගැගුණු සම්මුතිවාදී ආණ්ඩුව විසින් සනිටුහන් කරනු ලබන්නේ නිදහසින් පසු මේ රටේ පැවති ආණ්ඩුකරණ ක‍්‍රියාවලිය තුළ පළමු වරට දැක ගත හැකි ඓතිහාසික සන්ධානයක් වන බවයි.

ජාතික සමගි ආණ්ඩුව වෙනුවෙන් සහ තිරසාර, පරිසර-හිතකාමී සහ සාරාර්ථ සංවර්ධනයක් සඳහා එම ආණ්ඩුවෙන් එළිදැක්වුණු ‘‘2025 දක්වා දැක්ම’’ සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ කැප වී සිටින බව ඔහු අවධාරණය කෙළේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සමීප සබඳතාවක් සහ අන්‍යොන්‍ය විශ්වාසයක් පවතින හෙයින්, 2015 පෙබරවාරියේ සිට 2016 මාර්තු දක්වා නිකුත් කළ මහ බැංකු බැඳුම්කර පිළිබඳ සොයා බැලීම අරභයා පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව මත පදනම්ව දෙපාර්ශ්වය අතර හටගෙන ඇති මතභේද කොතෙක් තිබියේ වී මුත්, ඇතැම් ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම් කොතෙක් තිබියේ වී මුත්, මේ සමගි ආණ්ඩුව 2020 දක්වා හෝ සමහර විට 2025 දක්වා පවා ඉදිරියට යා හැකි බවට ඔහු විශ්වාසය පළ කෙළේය.

‘පික්පොකට් ජනාධිපතිවරයෙකු’ පිළිබඳව එක් මන්ත‍්‍රීවරයෙකු කළ සඳහනක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා, රටට පික්පොකට් ගසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අන්තේවාසියකයන් බව කියා සිටියේය.

ඇමිණුම් සහ නිර්දේශ ඇතුළත්, පිටු 1400 කින් යුත් බැඳුම්කර කොමිෂන් වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. එම වාර්තාව සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි සාකච්ඡුා කිරීම සඳහා කතානායකවරයා විසින් පක්ෂ නායකයන්ව කැඳවා ඇතැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව, මේ ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය බදාදා විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවන ලදි. එහෙත් ඒ වන විට කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නොතිබුණු නිසා ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කිරීමට අගමැතිවරයාට කතානායකවරයාගේ අනුමැතිය ලැබුණි.

එය මහත් කලබැගෑනියකට හේතු විය. එය පාර්ලිමේන්තුවේ ඉතාම නින්දා සහගත දවසක් වශයෙන් සටහන් වුණි. මේ ජනාධිපති කොමිසමට කලින් පත් කරන ලද තවත් ජනාධිපති කොමිසමක් මගින් ඉතා බරපතල ගණයේ වංචා, දූෂණ සහ වෙනත් දේශපාලනික අපරාධ සම්බන්ධ සිදුවීම් 32 අරභයා සිදු කරන ලද විමර්ශනවලට අදාළ වාර්තා තමා වෙත ඉදිරිපත් කොට ඇති බව, මේ අතර ජනාධිපතිවරයා සඳහන් කරයි. එම සිදුවීම් සම්බන්ධ වාර්තාවන් සහ බැඳුම්කර සිදුවීම සම්බන්ධ වාර්තාව, අවශ්‍ය නීතිමය කටයුතු කිරීම සඳහා මේ වන විට නීතිපතිවරයා වෙතත්, පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙතත් ඉදිරිපත් කොට ඇත.

මෙසේ දේශපාලනික දූෂණ පිළිබඳ සොයා බැලීම් සමාජයේ ප‍්‍රධාන මාතෘකාවක් බවට අද පත්ව තිබියදී, ඒවායින් වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව, ඔවුන් අයත් පක්ෂ කුමක්දැ යි නොසළකා, ඔවුන්ගේ තරාතිරම් නොසළකා නීතිමය පියවර ගන්නා බවට ජනාධිපතිවරයා සපථ කරමින් සිටියදී, ඒ හා සමානම වැදගත් කමක් දරණ තවත් ප‍්‍රශ්නයක් රට හමුවේ තිබේ. එනම්, 26 අවුරුදු යුද්ධයක විනාශයකින් පසුව, වාර්ගික සහජීවනය ඇති කර ගැනීමේ ගැටළුවයි.

කල් පවත්නා සහජීවනයක් උදෙසා කටයුතු කරන දෙමළ ජාතික සන්ධාන ඉදිරි පෙළ මන්ත‍්‍රීවරයෙකු වන එම්. ඒ. සුමන්දිරන් පසුගිය අඟහරුවාදා අයි.ටී.එන්, රූපවාහිනී නාලිකාවට සිංහලෙන් පැය දෙකක සම්මුඛ සාකච්ඡුාවක් ලබා දුන්නේය. අතලොස්සක් දෙනා තවමත් බෙදුම්වාදී ප‍්‍රවණතා හිස දරාගෙන කතා කරතත්, දෙමළ ජාතික සන්ධානය එක්සත් ශ‍්‍රී ලංකාවක් සඳහා ඇපකැප වන බවත්, සත්‍ය සෙවීම සඳහා වන වර්තමාන ආණ්ඩුවේ ආයාසයන් සහ සහජීවනය සඳහා වන ප‍්‍රයත්නයන් සමග තම පක්ෂය එකට සිටින බවත් සුමන්දිරන් කියා සිටියේය. ඒ අරභයා වන ප‍්‍රගතිය මන්දගාමී බව ඇත්ත. එහෙත් මේ ආශ‍්‍රයෙන් මතුවන කරුණු අතිශය සංකීරණ වන හෙයින් තවත් වාර්ගික හෝ ආගමික ගැටුම් උසි නොගැන්වෙන ආකාරයෙන් එම ප‍්‍රශ්නවලට විසඳුම් සොයා ගත යුතුව ඇති බව දෙමළ ජනතාව අවබෝධ කර ගත යුතුව ඇති බව ද ඔහු එහිදී කීවේය.

මේ සම්බන්ධයෙන් ප‍්‍රධාන ගැටළු තුනක් සුමන්දිරන් ගෙනහැර පෑවේය. ඒවා නම්, දෙමළ සිවිල් ජනතාවගෙන් හමුදාව පවරාගෙන ඇති ඉඩම් යළිත් එම ජනතාවට පවරා දීම, අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට පිහිටුවන ලද ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ වහා ක‍්‍රියාන්විත කිරීම සහ ඊනියා ‘දේශපාලනික සිරකරුවන්’ පිළිබඳ ප‍්‍රශ්නය නිරාකරණය කිරීම ය. දෙමළ සිවිල් ජනතාවගෙන් හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම්වලින් සියයට 50 ක පමණ ප‍්‍රමාණයක් මේ වන විටමත් ආපසු ඔවුන්ට පවරා තිබීම ගැන සුමන්දිරන් ආණ්ඩුවට සිය ස්තුතිය පළ කෙළේය. එසේම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයත් නොපමාව ක‍්‍රියාත්මක වෙනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළ කෙළේය. අතුරුදහන් වූ තමන්ගේ සමීපතමයන්ගේ වියෝවෙන් විඳවන ජනතාව ඒ සඳහා යම් විසඳුමක් ඔවුහූ අපේක්ෂා කරති.

දේශපාලනික සිරකරුවන් සම්බන්ධයෙන් ගත් විට, ඇතැම් සිරකරුවන්ට එරෙහිව චෝදනා ගොනු නොකර අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සේ සිරගෙවල් තුළ රඳවාගෙන සිටීම බරපතල ප‍්‍රශ්නයකි. ඒ නිසා, චෝදනා ඇත්නම් ඒවා ගොනු කොට එම පුද්ගලයන්ව අධිකරණයක් ඉදිරියට පැමිණවීම හෝ චෝදනා ගොනු නොකරන්නේ නම් ඔවුන්ව හිර භාරයන් නිදහස් කිරීම හෝ වහා කළ යුතුව ඇති බව, ඉතා හොඳින් සිංහල භාෂාව වහරන සුමන්දිරන්, ඉහත කී සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

පළමු වරට, ලංකාවේ ප‍්‍රධාන දෙමළ ජාතික ජාතික සන්ධානය ජාතික ආණ්ඩුවට තම සහයෝගය පළ කර සිටී. මේ සම්මුතිවාදී ක‍්‍රියාවලිය එක දිගටම ගෙන ගියහොත් ඒ තුළින් රටේ තිරසාර ආර්ථික සංවර්ධනය පමණක් නොව, රටේ දැනට පවතින විවිධත්වය තුළ, ජාතික සහ ආගමික ඒකාග‍්‍රතාව ඇති කර ගත හැකි වන බවත්, බොහෝ විචාරකයන්ගේ විශ්වාසයයි.

*2018 ජනවාරි 18 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Political Stability & National Unity නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි