Image by: PMDNews

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී ඇත්තේය. ප්‍රතිඵල ආවේ ඉබිගමනින් වුව මැතිවරණ කොමිෂන් සභාවේ විශ්වාසනීයත්වය පළුදු වී නැත්තේය. එකී මැතිවරණ ප්‍රතිඵල මඟින් ජනිත කළ අර්බුද දෙකක් නුදුරේදී පුපුරා යැමට නියමිතය.

එකක් රටේ බල තුලනයයි. අනෙක කාන්තා නියෝජනය සපුරාලන්නේ කවර ලෙසකදැයි යන උභතෝකෝටිකයයි.

මෙරටේ සිටින බහුතරයක් නීති විශාරදයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෝ මතු නොව දේශපාලන පක්ෂ නායකයෝ ද හරිම වෙනස් ප්‍රාණීන් සමූහයකි. නව පළාත් පාලන සංශෝධන පනත පිළිබඳ කතා බහ කරලියට ආවේ අද ඊයේ නොවේ. වසර 2010 ටත් පෙරදීය. එතැන් පටන් අප දැක්වූ කරුණු කිහිපයක සාරාංශය මෙසේය.

1.නව සංශෝධන හරහා පක්ෂ නායකයා / ලේකම්වරයා අසහාය බලැති ඒකාධිපතියෙක් වන්නේය.
2.ද්විත්ව ඡන්ද පත්‍රිකාවක් නොමැති මිශ්‍ර සභික නියෝජන මැතිවරණ ක්‍රමයක් යනු හිස නැති කවන්ධයකි.
3.නව මැතිවරණ ක්‍රමයේ විපුල ඵල නෙලාගත හැකි වන්නේ ඊට සමගාමීව ගෙනෙන මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමේ නීති පැනවුවහොත් පමණි.
4.කාන්තා නියෝජනයේ වැඩි බර දරන්නට සිදු වන්නේ පරාජිත පක්ෂයටය. එය යම්තාක් පාලනය කරගත හැක්කේ කොට්ඨාස මට්ටමේ කාන්තාවන් ජය ගතහොත්ය.

එබැව් නෑසූ කන්ව සිටි ඉහත සඳහන් ප්‍රාණීන් සමූහය දැන් දැන් හඬනංවන්නේය. පොළොවේ හැපෙන්නේය. මතු දින වලදී මාධ්‍ය ද අරක් ගතහොත් පුදුමයට පත් නොවිය යුතු වන්නේය. NGO කාරයෝ කරන දේ පිළිගන්නට තරම් ඔවුහු අඥානයන් නොවන්නෝ යැයි සිතා අපි ද අපගේ හිත් හදාගත්තෙමු.

එහෙත් හොඳ හොඳ නැටුම් පෙනෙන්නේ එළිවෙන ජාමෙටය. මැතිවරණ ප්‍රකාශය හා සමඟින් මෙරටේ සිදු වූ විශ්මය ජනක පෙරළියක් ඇත්තේය. එනම් එක රැයින් දේශපාලන විචාරකයන් රොත්තක් බිහිවීමයි. එකෙක් මැතිවරණ ක්‍රමය පරසක්වල ගසන්නේය. අනෙකා කාන්තා සංහතියට ම දෙස් දෙවොල් දෙන්නේය. තම පාතරාසය නිම වුවද, දෑත් දෝවනයට තබා, ආම වාතයක් යැවීමට හෝ වැදහොත් අසුනෙන් යලිදු නොනැගිටින කුසීත පිරීමින්ගේ ඒකායන අපේක්ෂාව තම දෑත් දෝවනයට ජල බඳුනක් ඇඹේනිය ලවා ම ගෙන්වා ගැනීම මිස වෙන අන් කෙංගෙඩියක් නොවේ. එවන් කාන්තාවෝ කවුන්සිලේ වක්කලං ගැයීම එවැනි පිරිමින්ගේ ඇසේ කටු ඇනෙන්නා සේ යැයි දැක්වීමේ කවර වරද ද? එවන් පිරිමින්ට අනුව නම් කාන්තා නියෝජනය යනු NGO කෙමනකි.

එපමණක්ද, ප්‍රතිඵල ලේඛනය බැලූ ඇත්තන් හට තරු විසි වී ඇත්තේ දැන්ය. කාන්තා නියෝජනයේ වැඩි බර දරන්නේ UNP ලු. අපිට අසන්නට ඇත්තේ ඉතිං මොකද කියාය. මැතිවරණ ප්‍රතිඵල මගින් ජනිත කර ඇත්තේ නරක කලදසාවකි. එක්සත් ජාතික පක්ෂය දිනෙන් දින අර්බුද පැටව් ගසන්නේය. අගමැතිවරයාගේ අසුන ගැනද ඇත්තේ අවිනිශ්චිත බවකි. එකී මැතිසඳ රැක ගැනීමට පෙරට නොඑනා ඇත්තෝ කාන්තා නියෝජනයේ බර දරන UNP ගැන ඉමහත් ළතැවුලෙන් පසු වන්නේය.

පරාජිත පක්ෂය මෙහි දරන බර එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා වී නැත්තේය. දික්වැල්ලේදී බර දරන්නේ එ.ජා.ප යයි. මීගමුවේදී බර දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඉදිං දැන් කළ හැක්කේ කුමක් ද? නව මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්‍රතිබද්ධ වෛරයෙන් පසුවන්නෝ නොකියන කථාවක් මෙහි ඇත්තේය. ඒ මෙලෙසය.

පුරවැසියා ප්‍රචණ්ඩත්වය අඩු මැතිවරණ ක්‍රමයක් ඉල්ලු අතර නව මැතිවරණ ක්‍රමය එකී ඉල්ලීමට සාධාරණය ඉටු කර ඇත්තේය. පුරවැසියා ඡන්ද භාවිතයට පහසු ක්‍රමවේදයක් ඉල්ලූ අතර මෙවර එයද ලැබුනේය. සංඛ්‍යාත්මකව සුළු පක්ෂ සඳහා නියෝජනයක් අපේක්ෂා කරන ලදී. එයද ලැබී ඇත්තේය. කාන්තා නියෝජනයක් ද ඉල්ලුවේය. එයනම් මදි නොකියන්නටම ලැබී ඇත්තේය. අසීමිත බලයක් නොගන්නා පක්ෂ ක්‍රමයක් සහිත කොට්ඨාශ ක්‍රමයක් එපා කීවේය. ඒ අනුව මිශ්‍ර ක්‍රමයක් ලැබී ඇත.

ඉතිං මීට ප්‍රතිපක්ෂ වන්නේ කවර සුභවාදී ක්‍රමයක් යැයි පිරිමි විචාරකයන් දැක්විය යුත්තේය. මැතිවරණ ප්‍රතිඵල මගින් ජනිත කර ඇති අවුල ගැන අප හට සංවේදීව නොසිටිය හැක්කේය. එ.ජා.පාක්ෂිකයන්ට අනුව බහුතරයක් පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වීමට නියමිත කාන්තාවන් බහුතරයක් නම් කළ යුතු වන්නේ එ.ජා.ප යයි. “තම පක්ෂය ඉතා අඩු නියෝජනයක් ලබාගෙන ඇති විටෙක සටනක් දීම සඳහා පිරිමි සභිකයන් යැවීම අත්‍යාවශ්‍යය. එවන් විටෙක කාන්තාවන් යැවීම පක්ෂය තවත් දුර්වල වන්නේය.”

මෙවන් පූර්ව නිගමනයකට එළඹීමට නම් එකක් ඔවුන් දැන් සිටිය යුත්තේය. එනම්, එ.ජා.ප තරඟයට යොමු කර ඇති කාන්තාවන් නිරායාසයෙන්ම දුබල ඇත්තියන් බවය. අපි නම් එලෙස නොසිතන්නෙමු. මෙය අභියෝගයක් ලෙස දක්නිනට හැකිනම් සිව් වසරක ඇවෑමෙන් ඔවුන් හට ශක්තිමත් කාන්තා නියෝජිතයන් පිරිසක් බිහිවන්නේය. අනෙක් පක්ෂ වලටද මෙය පොදුය. කවර පක්ෂයක් පසුබෑවද එක්සත් ජාතික පක්ෂයට මින් පැන යා හැකියැයි අපි නොසිතන්නෙමු. එදිරියේදී පඳුරකට ගලක් ගැසුවද සභිකයෙක් හට වැදීමේ ඉඩ කඩක් ඇත්තේය. එලෙස 8700ක් දක්වා සභික ප්‍රමාණය ඉහළ නැංගේ කාන්තාවන්ගේ නියෝජනයට තැනක් දීමටය.

කාන්තා නියෝජනය දියාරු කළහොත් මුලින් තෝරා ගත් 6619ක් පිරිමි සංඛ්‍යාව තවත් ඉහලට නගින්නේය. අදෝමැයි!! කාන්තාව ගැන අපේ ඇත්තෝ හෙලා ඇත්තේ කිඹුල් කඳුළු වත්ද?

කරුණු එසේ වුවද 25% කාන්තා නියෝජන‍ය සාක්ෂාත් කළ නොහෙනා ලෙස ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵල ගැනද අප සංවේදී විය යුතුය. එවන් විටෙක මැතිවරණ කොමිෂන් සභාව අසහාය තීරකයා යැයි අප සිතා සිටියෙමු. එබැව්, නොවලහා පුරවැසියා වෙතද දැනුම් දුන්නෙමු. තවමත් එලෙස සිතා සිටින්නෙමු. මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් එකී සුවහසක් කාන්තා ප්‍රජාවේ සිහින බොඳ නොකරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි !!

මංජුල ගජනායක | Manjula Gajanaka