”භාෂාව අපිට අපේ කතාව කියන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒත් දැන් ඉගෙන ගන්න පුළුවන් මතකයක් නෑ. මෙහෙම ඉන්න ගියොත් කොහොමටත් නැතිවෙයි. D.S මේ දවස් 343 ටම මෙහෙ අවේ 1 පාරයි. G.S නම් 3 පාරක් ඇවිත් ගියා. හැමෝම හිතනවා අපිට අවුරුද්දක් වාඩිවෙලා ඉන්න පිස්සු කියල. ඒත් එහෙම නෑ. ආණ්ඩුව මාරු උනාට පස්සේ මොන හරි වෙයි කියලයි අපි හිතුවේ. ඒත් මෛත්‍රීයි මහින්දයි දෙන්නම එකයි,ඒගොල්ලෝ දෙන්න රහසින් එක එක්කෙනා කතා කරනවා ඇය කියාගෙන ගියාය.”

උතුරේ යුද්ධයෙන් පසුව අතුරුදහන් වූ දරුවන්ගේ, එම පවුල් වල ඥාතීන්ගේ ඉල්ලීම් ගැන කතා කිරීමත්,ඒවා ගැන සංවේදී වීමත් , ඒ ගැන ලිවීමත් NGO වැඩක් බවට මෙරට සමාජය විසින් මේවන විට හංවඩු ගසා හමාරය. ඔවුන් ගැන ලිවිම ඩොලර් ඉපැයීමක් බවට අර්ථ කථනය වී තිබේ. ඒ නිසාම මේ ගැටලූවේ ඇති මුලික ආමන්ත්‍රණයන් සියල්ල යටපත් වී තිබේ. ඒ අනුව පොදු ලාංකේය සංදර්භය තුල අතුරුදහන් වීම් කොතෙකුත් වී ඇතත් උතුරේ සිදු වූ සියලු අතුරුදහන් වීම් ලංකාවේ පොදු අතුරුදහන් කිරීමි යන විශ්විය කුලකයෙන් වියුක්ත කොට තැබීමට මෙරට පාලකයෝ ඇතුළු සියල්ලෝම වග බලා ගනීති.අනෙක් අතට රාජ්‍ය මඟින් කරන ළද අනෙක් සියලු අතුරුදහන් වීම් හෙළා දකින බොහෝ දෙනෙක් උතුර වෙනුවෙන් පෙනී සිටීමට බිය වෙති. ඇතැම් ප්‍රගතිශීලින් ලෙස පෙනීසිටින බොහෝ දෙනෙකුටත් උතුර බිල්ලෙකි. ඒ නිසාම ඒ විෂය අත පත ගෑම නුවණට හුරු දෙයක් නොවන බවට බොහෝ දෙනෙක්ගේ හැසිරීමෙන් පෙනීයයි. මෙවන් වතාවරණයක් තුළ කෙසේවෙතත් අතුරුදහන් වුවන්ගේ ඥාතින් විසින් ආරම්භ කරන ලද සියලු උපවාසයන්ට පිළිතුරු නොමැතිවම වසරක් පිරි තිබේ. කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය,මුලතිව් නගර ප්‍රධාන කොට පැවති දිවා රාත්‍රී දීර්ඝතම උපවාසයන්ට දැන් දින 366 ක් ඉක්මවා තිබේ. මෙසේ තිබියදී 2016 අංක 14 දරණ පනත මගින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය වෙත සභාපතිවරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ 2018 පෙබරවාරි මස 28 වන දිනය.එහි ආරම්භය සටහන් කරමින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ (OMP) සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් විසින් මාර්තු මස 13 වන දින තම ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කළේය.

ඊටත් වඩා දැන් යුද්ධය නිමා වී වසර 09 ක් ගෙවෙන්නට තවත් මාස 2 ක් පමණක් තිබියදීත්, යහපාලනයට ද වසර 3 ක් ගෙවී තිබියදීත් දින ගණන් කරමින් තවමත් මේ ජීවිත මහපාරේ ය.

ඒ අනුව අද දිනට ප්‍රධාන නගරයෙන් ඔබ්බෙහි වඩමාරච්චි නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් මරදන්කනි හි තම දරුවන් , සහෝදරයන් , සැමියන් බිරින්දෑ වරුන් ලෙස අතුරුදහන් ව ගිය 165 දෙනෙකුට ආසන්න පිරිසකගේ ඥාතීන් විසින් ගෙන යනු ලබන උපවාසයට දින 366කි. ඒ අනුව මරදන්කනි ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද දින ඔවුන්ගේ විරෝධතාවය පැවැත්වේ.

මා මේ ජයාරූප සටහන තබන්නේ ඔවුන්ගේ උපවාසයට දින 343 ක් පිරෙන දින ඔවුන් හමුවීමට ගොස් මා හා බෙදා හදා ගත් කරුණු මත පදනම්වය. මා එහි යනවිට දිවා කාලය එළඹ තිබු අතර නගරයෙන් ඉපිට හුදෙකලාව පිහිටි මරදන්කනි උපවාසය ක්‍රියාත්මක වුයේ මාර්ගයට ඔබ්බේ අයිනට වන්ව පිහිටා තිබු ගසක් යට පොල් අතු හෙවිලි කොට තිබු කුඩා මඩුවකය. පිවිසුම අසල සියලු දෙනා තම සෙරෙප්පු ගලවා තිබුණි.උතුරේ පොලවට අවේනික වැලි සහිත බිමක් එහි විය. සැවොම පැදුරු එල බිම වාඩි වී සිටියහ. ප්ලාස්ටික් පුටු කීපයක් පැත්තක විය. එක අම්ම කෙනෙක් පමණක් පුටුවකට බරදී සිටියාය.

තවදුරටත් කියවන්න

මරදන්කනි වසරක් !