මසුන් ඇල්ලීමට විවිද ක්‍රම යොදා ගනිති. එකා, එකා බා ගැනීම‍, කෙමනක් අටවා එයට හසු කර ගැනීම, බොර දියේ අන්දමන්ද වූ මසුන් නිකම්ම අල්ලා ගැනීම එවැනි ක්‍රමයන්ය. බොර දියේ මසුන් ඇල්ලීම ලෙස ජනවහරේ හදුන්වනු ලබන්නේ යම් තැනක පවතින තත්ත්වය අවුල් වියවුල් වූ කල එයින් අයුතු ඵල නෙලා ගැනීමයි.

එදා ජනවාරි 8 වැනි දින මෛත්‍රීපාල සිරිසේන ඡන්ද ලක්ෂ 62 ක් ලබමින් මහින්ද රාජපක්ෂ පරදවා ජනාධිපතිවරයා බවට පත්වන නමුත් එදා ඒ ජයග්‍රහණය ලැබුයේ මෛත්‍රීපාල හෝ රනිල් නැතිනම් පක්ෂයක් නොව පැවති අන්ත දූෂිත පසුගාමී පාලනයට එරෙහිව රටේ මිනිසුන් අතර ගොඩ නැගුණු මතවාදයයි. ඒ සඳහා එදා එකට සංදාන ගත වූ බලවේගයන් කියා සිටියේ බලය මාරු වූ විගස රටේ යහපාලනයක් ස්ථාපිත කිරීම, නැවත නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කිරීම, ව්‍යවස්ථාවට ඉහලින් සිටින ප්‍රජාතන්ත්‍රවිරෝධී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලයට එන අය මුලින්ම කලයුතු කාර්යන් බවයි. මෛත්‍රී සහ රනිල් ඒ වෙනුවෙන් කැපවන බව ඒ බලවේග හමුවේ දිව්රා කියා සිටියහ. තමන් බලයට ආ විගසම හොරුන්, මිනීමරුවන් වහාම නීතිය ඉදිරියට ගෙන එන බව ඔවුන් සපථ කළහ.

එදා ජනවාරි 8 බලය මාරු වූ විගස බලය අපයෝජනය කල බලයේ සිටි දූෂිතයන් අන්දමන්ද විය. සමහරු වහාම රටින් පිටවී ගියහ. විදෙස් තානාපති සේවාවට සම්බන්ධව සිටි දූෂිතයන් ඒ ඒ රටවලම අතුරුදහන් වූයේ පැදුරටත් නොකියාය. නමුත් බලය පෙරලූ බලවේගයන්ගේ අභිලාශයන් පාවාදීම ඒ සමගම ඇරඹෙන්නේ බලයට පත් නව නායකයන් (මෛත්‍රී, රනිල්) හොරුන් සහ දූෂිතයන් සමග රහස් සාකච්ඡා පවත්වමින් රහස් ‘එකඟතා’ නැතිනම් ‘ඩීල් ‘ දේශපාලනය ඇරඹීමත් සමගිනි.

මේ රහස් එකගතා සමග තමන්ගේ දූෂිත ක්‍රියාවන් සහ හොරකම් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ තමනට වගවීමට සිදුවේය යන බියෙන් වෙලී සිටිය දූෂිතයන් ගේ බිය ක්‍රමයෙන් නැතිව යන්නේ ‘ගෙර වූ තරමට වැසි නොවැටෙන බව ‘දැකීමෙන්, නැතිනම් ‘කිව්ව තරමට යකා කළු නැත’ යන්න ක්‍රමයෙන් ඔවුනට වැටහීමෙනි. බලය පෙරලීමට කර ගැසූ බලවේගයන් බලා සිටියේ බලයට ආ අය ඉක්මනින් තම යුතුකම් ඉටු කරන තුරුය.

නමුත් බලය අපයෝජනය කළ දූෂිතයන්ගේ බිය දුරුවීම සමගම ඔවුන් ඔහේ නිකම්ම බලා නොසිටි අතර අලුත බලයට පත්අය දුබල කිරීමට ‘දිය බොර කිරීමේ’ විදි ක්‍රමය ආරම්භ කලේය. මේ අනුව මේ දූෂිතයන් ඔවුන්ගේ බලය පෙරළා මාස තුනක් යාමට පෙරම නුගේගොඩට තම අනුගාමිකයන් ඒකරාශී කරමින් තම ‘ජනප්‍රියවාදී’ මත ප්‍රචාරය ඇරඹීය.

‘අපි ජනතාව වෙමු’ ‘ජනගඟ අපටයි’ ‘විරුවන් කුදලාගෙන යාමට ඉඩ නොදෙමු’ ‘රට බෙදීමට ඉඩ නොහරිමු’ ‘විදේශ බලවේගයන්ගෙන් රට මුදවා ගමු’ ආදී මෙකී නොකී ජනප්‍රියවාදී පාඨයන් සමග ‘මුස්ලිම් උවදුර’ ගැන තවත් මතයක්ද සමාජ ගත කිරීම ඇරඹීය. බලය අවුල්කර එතුළින් බලය පෙරළා දැමීම අරමුණු කරගත් එම දිය බොර කිරීම එදා මෙදා තුර කරමින් සිටී. මෙම දූෂිතයන් ඔවුන්ගේ වැරදි වලට තමන් නීතිය ඉදිරියට ගෙනඒම වැලැකීමට නම් බලය තම අතට ආපසු ගත යුතු බව දනී. ඒ සඳහා බිය සමාජ ගත කරමින් වර්ගවාදය ඇවිලවීම ඔවුන්ගේ උපක්‍රමයයි.

දිගන හෝ අම්පාරේ මුස්ලිම් ජනයාට පහරදීම සිදුවන්නේ අහම්බ හේතුවක් නිසා නොව ඒවා වසර පහ හයක සිට කරගෙන ගිය වෛරී මත ප්‍රචාරවල ප්‍රතිඵලයන්ය. එදා නුගේගොඩින් ඇරඹූ ක්‍රියාදාමයේම දිගුවක්ය. මෙම රජයට (මෛත්‍රී -රනිල්) වර්ගවාදී කුපිතකිරීම් සහ හිතාමතාම ජන වර්ග අතර ප්‍රකෝපකිරීම් ඇතිකරවන වෛරී ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට උවමනාවක් තිබුනේ නම් මෙම පහරදීම් ඇති වීමට ප්‍රථම එම කුපිත කරවන්නන් නීතිය ඉදිරියට ගෙනවිත් පවතින නීතිය තුලින්ම වැරදිකරුවන් කළ හැකිව තිබුණි. එවැනි උවමනාවක් එනම් ජනවර්ග අතර සැබෑ සංහිදියාවක් ඇති කිරීමේ අවංක පරමාර්ථායක් ඔවුන් තුළ නොතිබීම නිසා වර්ගවාදී මත ප්‍රචාරය නිදහසේ කරගෙන යාමට ඉඩදීමේ ප්‍රතිඵලය වූයේ අම්පාර දිගන වැනි පහර දීම්ය.

අම්පාර හෝ දිගන මෙන්ම ඊට ප්‍රතමද සිංහල – බෞද්ධ පහරදීම්, කුපිත කරවීම් වලට වගකිවයුතු චීවරධාරීන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීම තබා ප්‍රශ්න කිරීමකට වත් මේවනතුරු ලක් නොවීය. එපමණක් නොව නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට රාජ්‍යයට දිවුරුම් දී සිටින පොලිස් නිලධාරීන්, මෙම තුච්ඡ පහරදීම් දෙස බලා සිටියේ ඒවාට අනුබල දෙමිනි. ඒ මදිවාට සමහර චීවරධාරීන් වෛරී ප්‍රචන්ඩත්වයකින් හැසිරෙද්දී ඔවුන් ඉදිරියේ බැගෑපත්වන පොලිස් නිලධාරීන්ද දකින්නට සිටියහ. එවිට නීතියේ පාරදෘශ්‍යත්වය වින්දිතයාට කෙසේ නම් ඉටුවේද?

ජනප්‍රියවාදී මත ප්‍රචාරය කිරීම ලොව ඕනෑම තැනක වර්ගවාදීන්ගේ, අති දක්ෂිනාංශිකයින්ගේ සහ ෆැසිස්ට්වාදීගේ ඒකායන ක්‍රියාදාමයයි. එසේ කරන මත ප්‍රචාරයන් තුළ ඇති වන සසල වීම, අනාරක්ෂිත හැඟීම් කුළු ගන්වා ඔවුන් ප්‍රකෝපකාරී පහරදීම් වලට මෙහෙය වීම මෙම ‘ජනප්‍රියවාදීන්ගේ’ ක්‍රියාදාමයයි. සැමවිටම මෙම ජනප්‍රියවාදී මත තමාට සැඟවීමට කඩතුරාවක් ලෙස මෙම වර්ගවාදීන්, ෆැසිස්ට්වාදීන් උපයෝගී කර ගනී. ජනප්‍රියවාදී පාඨයන් රටින් රටට වෙනස්ය. නමුත් සෑම රටකම පොදු යෙදුම් වන්නේ ‘අපි ජනතාව වෙමු’ ‘ජනතාව අප සමගයි’ ‘සිස්ටම් එකට එරෙහි ජනතාව වන අපි’ යන ආදී ලෙසින් ඔවුන් තමන් ‘ජනතාව’ බව තමන් විසින්ම හදුන්වා ගනිමින් තමන් ජනතාවගේ එකම නියෝජිතයා බව පැවසීමයි. ඒ වාගේම තමන් එම ජනතාවගේ එකම ගැලවුම්කරු බවද පුන පුනා පවසති. එමෙන්ම තමන් සමගනොවන අන් හැම ‘ජනතා සතුරන්’ ලෙස හඳුන්වති. ඔවුන්ගේ දේශපාලන මතයට එකග නැති මත, ආගම්, ජනවර්ග, නිදහස් මතධාරීන්, සුළු ලිංගික කොටස්’ සමලිංගිකයන් ආදී සෑම කොටසක්ම සතුරන් ලෙස හදුන්වති. මේවා රටින් රටට වෙනස්වන අතර සෑම රටකම පොදු ගුනාකාරය වන්නේ ‘තමන් ජනතාව’බවට තමන්ම හදුන්වා ගැනීමයි.

ඒවාගේම මෙම වර්ගවාදීන්, අති දක්ෂිනාශිකයින්, ෆැසිස්ට්වාදීන් තම ‘ජනප්‍රියවාදී’ පාඨයන් කලින් කලට වෙනස් කරති. උදාහරණයකට එදා නට්සි ජර්මානුවන් තම ජනප්‍රිය පාඨය කර ගත්තේ යුදෙව් විරෝධයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජනප්‍රිය පාඨය පිටරැටියන්ට එරෙහිවීමය. අද වන විට ජනප්‍රිය පාඨය මුස්ලිම්වරුන්ට සහ ත්‍රස්තවාදීන්ට එරෙහිවීමය. තම වර්ගය වඳවීම, අනෙක් වර්ගය බෝවීම එදාමෙදාතුර එක දිගටම පවතින ජනප්‍රියවාදී පාඨයකි.

ලංකාවේදී එය දෙමළ විරෝධය විය. දෙමළුන් වැඩි වී සිංහලුන් අඩුවීම ගැන බිය, ආර්ථිකය දෙමළා අත බව එදා ජනප්‍රිය පාඨ විය. යුද්ධයෙන් පසු අද එතැනට මුස්ලිම් මිනිසා ආදේශ කර ඇත. මුස්ලිම් ගැහැණිය දරුවන් 5 ක් හෝ 6 ක් වදන බව පවසති. සිංහලයා වඳ වී මුස්ලිමුන් වැඩිවන බව පවසති. වෙළඳපොල ඔවුන් අත ඇති බව ආදී එදා දෙමළා අද මුසල්මානුවා කර ඇත. මෙම ජනප්‍රියවාදී මත පිටිපස සැඟවී සිටින්නේ වර්ගවාදීන්ය. ෆැසිස්ට්වාදීන්ය. බොරු මත, වෛරය සහ කුපිත කරවීම් වපුරන්නවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. ඔවුනට මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ නොහැරීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක වගකීමකි. යහපාලනය යනු වචන හරබයක් නොව නීතියේ ආධිපත්‍ය තුළ ජනයාගේ ජීවිත ආරක්ෂිත බව තහවුරු කළ සමාජයකට අඩිතාලමයි.

අප රටේ පාලකයන් ප්‍රශ්න විසදා ගැනීම වෙනුවට ඒවා අනා ගැනීමට අති දක්ෂය. දැන් කලක සිටම කරගෙන යන මෙම වෛරී කුපිත කරවීම්වලට වගකිව යුතු අය නීතිය ඉදිරියේ වගවීමට ලක් කළානම් මේ ප්‍රශ්නය මෙතෙක් දුර නොයනු ඇත. වසර ගණනක සිටම චන්ඩි චීවරධාරීන් හත් අට දෙනෙකු වරින් වර රට කළඹවමින් වර්ගවාදී පහරදීම් මෙහෙයවති. උසාවිවලට පවා කඩා පැන ප්‍රචණ්ඩ ලෙස හැසිරෙති. නමුත් ඔවුන්ට එරෙහිව නීතිය කිසිදිනෙක ක්‍රියාත්මක නොවීය. මෙම චන්ඩි චීවරධාරීන්ට අවහිර නැතිව මෙසේ හැසිරීමට ඉඩ දීම තුලින් රටේ ඇදිරි නීති හදිසිනීති පවා පැනවීමට සිදුවන තත්වයකට වැඩ දුරදිග ගොස් ඇත. නමුත් හදිසි නීතිය යටතේවත් මෙම ත්‍රස්ත චීවරධාරීන් වෙත නීතියේ හස්තය ලඟා වී නොමැත. හදිසි නීතිය යනු නිදහසින් පසු ලංකාවට අලුත් දෙයක් නොවන්නේ නිදහසින් පසු ලංකාව වැඩි කලක් පාලනය වී ඇත්තේ හදිසි නීතිය මත බැවිනි. නමුත් හදිසි නීතිය මත රටක් පාලනය වීමෙන් පැවසෙන්නේ රටෙහි ඇති අසාර්තක බවයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට සිදුවීම ජාත්‍යන්තර වශයෙන් රටක් අප කීර්තියට ලක්වීමට හේතු වෙයි.

කලක සිට ලංකා දේශපාලනය තුල සිදු වෙමින් පවතින්නේ හිතා මතා සැලසුම් කර දිය බොර කිරීමක්ය. පවතින රජයට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංගය යනු දිය බොර කිරීමක් බව වටහා නොගෙන මෙම බොර කරමින් පවතින දියේ තම හිස් තෝන්තු කරගෙන උන්මත්තකයින් ලෙස හැසිරෙන්න වුන් දිය බොර කරන්නන්ගේ “සූත්තර” දැලේ පැටලී තම විනාශය ලගා කර ගනු ලබයි.

රන්ජිත් හේනායකආරච්චි