iMage by: srilanka army

අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා. දැන් නිදහස් කරන්න උත්සවයක් ලෑස්ති කරනවා, ඒ අල්ලගන හිටිය කට්ටියම.

ඒ උත්සවයේදී අපේ ඉඩම් අල්ලගන හිටිය කණ්ඩායමේ නායකයාව පෙරහැරකින් එක්කං එනවා. ඒකට බෙර ගහනවා, අපේ නංගිලා.. මල්ලිලා…. තාත්තලා ගිහිල්ලා මල්මාලයක් දානවා. බාප්පා ගිහිල්ලා රතු පලස් දාලා, නංගිලා දෙපැත්තේ ඉදලා නැටුමකුත් නටලා ඉතාමත් ගාම්භිරව අපේ ගෙවල් අල්ලගන හිටපු කණ්ඩායමේ නායකයාව වේදිකාවට නග්ගනවා.

දැන් ඒ නායකයා කතා කරනවා. අපි දාපු මල්මලා බෙල්ල පුරාම එල්ලගන. අපේ ඉඩම්වල අයිතිය ආපසු ගන්න, අපේ ඒවා අල්ලගන හිටපු එයාලට බෙරගහල, රතු පළස් දාලා, නැටුම්නටලා, අපේ කරමතින්ම වේදිකාවට නැගලා එයාලා මෙහෙම කියනවා ‘ඔන්න අපි ඔයාලට අවුරුද්දට තෑගි දුන්නා. මම කිව්වා නේ පහුගිය මාසේ ඇවිල්ලා ඉඩම් දෙනවා කියලා. ඔන්න අපේ තෑග්ග’

අපේ ඉඩම් අල්ලගන හිටපු කණ්ඩායමේ නායකයා මෙහෙම ඇවිල්ලා, එහෙම කියනකොට හුස්ම ගන්න මට මොනවද හිතෙන්නේ? අපේ මව්පියොන්ට මොනව හිතෙන්න ඇතිද? මේකද අපේ නිදහස? කොහොද මේ වගේ අශීලාචාර වැඩ ගැන අපි කල්පනා කරන්නේ?

මේ කතාව මෙහෙම ලියන්න උනේ පසුගිය දා යාපනයේ දී සිදුකල ඉඩම් නිදහස් කිරීමක් පිළිබද කියැවුනු වාර්තාවක් නිසාය. එහි දී තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්(මෛයිලෙඩ්ඩි) ඉඩම් අක්කර 653ක් යුද හමුදාපති මහේෂ් සේනානායක සහ යාපනයේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී නීත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකුට බෙදා දෙන ලද පුවතක් මූලික වූ නිසාය. එම වාර්තාවෙන් කියැවුනේ ‘මෙම ඉඩම් නිදහස් කිරීමේ උත්සවය 2018 සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පිරිණමනු ලබන නව අවුරුදු ත්‍යාගයක් ලෙස යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්ඡි මහතාගේ මග පෙන්වීම මත සංවිධානය කරනු ලැබීය’

ඒ පිළිබද ශ්‍රී ලංකා මිර්ර වෙබ් අඩවිය විසින් තැබූ වාර්තාවක් පහතින් උපුටා දක්වමි.

බලහත්කාරයෙන් ලබා ගත් ‘ඉඩම්’ ආපසු පැවරීමේදී ‘තෑගි’ වන සංහිදියාව

යුද්ධය සදහා කිසිදු පුද්ගලයෙක් ස්ව කැමැත්තෙන් සිය ගේ දොර ඉඩකඩම් යුදවාදීන්ට පවරා දී ස්වේච්ඡාවෙන් සරණගාතයන් වූයේ නැත. විශේෂයෙන් උතුරේ සිවිල් ජනයා යුද්ධයේ ගොදුරු බවට පත් කර ගත්තේ ඊනියා මානුෂික මෙහෙයුම් කරුවන්ය. සිවිල් ජනයාට සිදු උනේ ඒ බලහත්කාරී හමුදා සපත්තුවට සිය ආත්මයම ගිලගන්නට හැර සරණාගත කදවුරු තුළ ගාල්වන්නටය. නැත නම් සිය භූමියේ වැළලෙන්නටය. නැති නම් හමුදාවට භාර වී අතුරුදහන් ලැයිස්තුවට එකතුවන්නටය.

නමුත් යුද්ධය අවසන්ව වසර 9කට ආසන්න කාලයක් ගතව තිබිය දී පසුගිය වසර 2කකට ආසන්න කාලයක් තුළ යම් ඉඩම් ප්‍රමාණයක් එහි අයිතිකරුවන් වෙත නිදහස් කිරීමට බලධාරීන්ට සිදුවිය. එය යම් ආකාරයකට පැසසිය යුතු කරුණකි.

නමුත් එම ඉඩම් නිදහස් කිරීමේදී ද පවතින සිංහල ස්වෝත්තමාවාදී භාවිතාව හමුදා නිළ ඇදුම මතින් නැවතත් දෙමළ ජනයාගේ හිස මත කඩාපාත් කරමින් සිටින්නේ සුවපත් කිරීමේ ක්‍රියාවලිය අමු අමුවේ පාගා දමමිනි.

එයට හොදම උදාහරණය ඉහත දැක්වූ තෙල්ලිප්පිලි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීමේදී හමුදාව දුන් පණිවිඩයයි.

‘මේ අවුරුද්දට තෑග්ගක්’…. දහස් ගණනකගේ ආත්මයද විනාශ කළ යුද්ධය වෙනුවෙන් බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඉඩම් ලබාගෙන නැවත එම ඉඩම් පැවරීමේදී ‘මේ අපෙන් තෑග්ගක්’ කීම කෙතරම් අශ්ලීල භාවිතාවක්ද? වසර ගණනාවක් කිසිදු පහසුකමක් නැතිව සරණගාත කදවුරු තුළ දිවි ගෙවු ජනයාට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දෙන විට කිව යුත්තේ එයද? උතුරේ ‘මිනිසුන්ගේ අයිතිය’ නැවත හිමි වනවිට කවුරුන් හෝ එයට ‘අපෙන් තෑග්ගක්’ යැයි එය රූපාන්තරණය කරන්නේ නම් එය ඒ මිනිසුන්ගේ අයිතිවාසිතකම් වලට සිදුකරන බරපතල පහරකි. සරලවම කිවහොත් ලැජ්ජනැති වැඩකි. අයිතිවාසිකම් ‘තෑග්ගක්’ ලෙස නිර්වචනය කරමින් උතුරේ සිවිල් කටයුතුවලට හමුදාව මැදැහත්වී, ඇති වී තිබෙන තුවාල සුවකරනවා වෙනුවට කරමින් ඇත්තේ නැවත නැවතත් ඒ තුවාළ පෑරීමකි.

ඉතින් අපි එයට ‘සංක්‍රාන්ති යුක්තිය’ කියා කියමුද?

ඉඩම් බළධාරියා යුදහමුදාපතිද?

ලංකාවේ ඉඩම් පිළිබද බලධාරියා අදාල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම්වරයා හෝ දිස්ත්‍රික් ලේකම් වරයා ය. නමුත් මේ වන විට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට එය බලනොපාන සේයකි. ඒ පිළිබද විටින් විට යුදහමුදාපතිවරයා සිදුකරනු ලබන ප්‍රකාශවලින් කදිමට එය පැහැදිලි වෙයි.

ඉහත ප්‍රකාශයත් එවැන්නකි. යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය අනුව, අදාළ ඉඩම් වල අයිතිකරුවා යුද හමුදාව බවට හැගී යා හැකිය. ඒ තරමටම එය හමුදා අධිපත්‍යයෙන් යුක්තය. නමුත් ඔහු එය ප්‍රකාශ කරන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් වරයා ද ඉදිරියේ තබාගෙනය. යුද්ධයෙන් වසර 9කට ආසන්න වෙත්ම තවමත් උතුරු බිමේ මතුවන ප්‍රධාන ගැටලුවක් විද්‍යාමාන වෙයි. එනම් ලංකාවේ සිවිල් නීතිය අභිබවා උතුරේදී ‘හුමුදා නීතිය’ ක්‍රියාත්මක වන්නේ ද යන්නය. නමුත් දකුණට තවමත් මෙය ප්‍රශ්ණයක් නොවේ. දකුණේ ‘සංහිදියා’ සාකච්ඡාවට ද එය ප්‍රශ්ණයක් නොවන සේයකි.

ඉඩම් පිළිබද ප්‍රශ්ණය සිවිල් ප්‍රශ්නයකි. යුද කටයුතු හේතුවෙන් සිවිල් ජනයාගේ ඉඩම් හමුදාව විසින් ලබා ගත් බව සත්‍යකි. නමුත් යුද්ධය අවසන් වූ පසු ඒ ඉඩම් නැවත සිවිල් ජනයා වෙත මුදා හැරීම ශිෂ්ට සමාජයක ලක්ෂනයකි. නමුත් සිදුවන්නේ ‘නිදහස්’ කිරීම සිවිල් කටයුත්තක් ලෙස විදහා දැක්වීමෙන් වැලකී, තව දුරටත් ‘හමුදා ආදිපත්‍ය සහිතව උඹලා හිටපල්ලා’ වැනි හැගීමක් ජනිත කරමින් ඒ ක්‍රියාවලිය සිදු වීමය.

ඉතින් අපි මේකට සංහිදියාව යැයි කියමු ද?

හමුදාපතිවයරා ‘සංහිදියාවට’ ‘සංක්‍රාන්ති යුක්තියට’ තර්ජනයක්

එපමණක් ද නොවේ වත්මන් හමුදාපතිවරයා වරෙක මෙසේ ප්‍රකාශ කළේය. ‘මේ ඉඩම් සහ පහසුකම් දෙනවා වගේම, ගන්නත් පුලුවන්’ (වීඩියෝව 9.30-9.31 බලන්න) ඒ පසුගිය අප්‍රේල් 4වනදා යාපනයේ පැවති උත්සවයකදීය.

යුද හමුදාපතිවරයා මේ පවසන සිංහල අදහස, සිංහල තේරෙන ඒනෑම අයෙකුට එහි අර්ථය තේරුම් ගන්නට අපහසු වන්නේ නැත.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කිසියම් ප්‍රමාණයකට හෝ සාකච්ඡා කරමින් සිටින්නේ සංහිදියාව ගැනය. ඒ පෑරුණු සිත් යළි සුවපත් කිරීමක් ගැනය. තර්ජනය, බිය වැද්දීම්, යුද්දය වැනි ඛේදවාචකයන් යළි ඇති නොවීමක් ගැන ය. එයට නවමු වචනයක් ද එක් කරමින් සිටින්නේ එය ඉතා වැදගත් නිසාය. ‘සංක්‍රාන්ති යුක්තිය’ නම් ඒ වදන පිළිබදවද බොහෝ සාකච්ඡාවන් පටන් ගනිමින් සිටින්නේ ඒ නිසාය. එම සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලිය පිළිබද ස්ථර 4ක් ගැන සාකච්ඡා වෙයි. 1. සත්‍ය දැනගැනීමට ඇති අයිතිය. 2. යුක්තියට ඇති අයිතිය 3. හාණි පූර්ණයට ඇති අයිතිය 4. නැවත සිදුනොවන බව සහතික කිරීම.

එහි, හාණි පූර්නයට ඇති අයිතිය පිළිබද කොටසේ තව දුරටත් මෙසේ සාකච්ඡා කරයි . – සිවිල් වැසියන්ට අයත් ඉඩම් ආපසු ලබා දීම, හමුදාකරණය ඉවත් කිරීම ආදියයි.

නමුත් යුදහමුදාපතිවරයා පවසන්නේ, ‘මේ ඉඩම් සහ පහසුකම් දෙනවා වගේම, ගන්නත් පුලුවන්’ යනුවෙනි.

මේ ප්‍රකාශයෙන් හැගවෙන බරපත කාරණය කුමක්ද? ‘අපිට ගන්නත් පුලුවන් දෙන්නත් පුලුවන්’ වැනි තර්ජනයක් නොවේද? එය සෘජු ලෙසම ඉඩම් පිළිබද ජනයාට ඇකි අයිතිවාසිකමට හමුදාපතිවරයා එල්ලකරන ලද සෘජු තර්ජනයකි. ඔහුට එසේ කියන්නට කිසිදු නීතිමය බලයක් නැත. නමුත් ඔහු එසේ කියයි. නීතය ඔහුව ප්‍රශ්ණ කරන්නේ නැත. සමාජය ඔහුව ප්‍රශ්ණ කරන්නේ නැත. සිවිල් සමාජය ඔහුව ප්‍රශ්ණ කරන්නේ නැත. එැවැනි බිමකට…

දැන් ඉතින් ‘යහපාලනයක්’ කුමකටද?

දැන් ඉතින් ‘සංක්‍රාන්ති යුක්තියක්’ කුමකටද?

සියල්ල තවමත් සිදුවන්නේ හමුදාවට අනුව නම්, උතුරේ දෙමළ ජනයාගේ අයිතිවාසිකම්, නිදහස තවමත් පවතින්නේ හමුදා සපත්තුව යට නම් අපේ ශිෂ්ටත්වය පෙන්වන්න බුරුතු පිටින් ජීනිවා ගියාට වැඩක් වන්නේ නැත.

යුද සමයේ දෙමළ මිනිසාගේ හිස මත හෙලු ‘බර අවිවල’ බරට වඩා බරක්, අනියමින් ඔවුන් ගේ හිස මතට පතිත කරන්නේ නම් ‘සංක්‍රාන්ති යුක්තියෙන්’ ඵලක් වේද?

එසේම ඔවුන්ගේ බෙරහඩින්, ඔව්න්ගේම වේදිකාවල, ඔවුන්ගේම සිවිල් නියෝජිතයා ලග තබාගෙන, ඔවුන්ගේම ඡන්දයෙන් පත් වූ ‘යහපාලන’ යේ හමුදාපති ‘දෙන්නත් පුලුවන්, ගන්නත්’ පුලුවන් යනුවෙන් පවසන්නේ, හමුදා ආධිපත්‍ය නැවතත් දෙමළ ජනයා මත පටවමින් තිබෙන බවට තවත් සාක්ෂීන් කුමකටද? මෙය ඉතාමත් ඛේදවාචකයක් බව අමුතුවෙන් ලියා තැබිය යුතු නැත. මේ නැවතත් පැළකිරීමට උත්සහ ගන්නේ විශ්වාසයේ බීජය වෙනුවට අවිශ්වාසයේ බීජයයි. යුද්ධය අවසන්ව වසර 9කට ආසන්න ව ත් මෙවැනි දේ සිදුවීම අනෙක් ඛේදවාචකයයි.

එබැවින් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ පැවසෙන පරිසි වහා ම කළ යුතු වන්නේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමයි. එසේ නොවුනහොත් සිදුකරණ ලබන කුමන හෝ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනයන්ගෙන් ප්‍රතිඵලයක් අත්කර ගත හැකිවන්නේ නැත.

පසු සටහන

iMage bY: tamilguardian.com

නිදහස් කර ඇති තම ඉඩම්වලට ගිය ඇතැම් මිනිසුන්ට දැකගත හැකිව ඇත්තේ, විනාශ කරන ලද තම නිවාසය. විනාශ කරන ලද තම ගොඩනැගිලිය. එපමණක් ද නොවේ. තම භූමියේ ඇති සජීවි උණ්ඩය. ඒවා ඉවත් කර දෙන ලෙසට හමුදාවෙන් ඉල්ලා සිටි පසු හමුදාව පවසා ඇත්තේ අවුරුදු නිවාඩු බැවින් ඉන් පසුව ඒවා ඉවත්කර දෙන බවය. ඒ දුන්නා යැයි කියන තෑග්ගේ තරමය.